Thursday, January 24, 2013

ඉන්දියාවේ නැක්සලයිට් ව්‍යාපාරයේ ඉතිහාසය සැකෙවින්

බටහිර බෙංගාලයේ නැක්සල්බාරි ගම්මානය නොවන්නට නැක්සලයිට්වරුනට ඒ නම නොලැබෙන්නේය. ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශය එරට අනෙකුත් ප්‍රදේශය හා යා කෙරෙන සිලිගුරි කොරිඩෝරය නම් පටු බිම් පෙදෙස ආසන්නයේම මෙම ගම්මානය පිහිටා ඇත.සාමාන්‍ය ලෝක සිතියම් පොතක නම් මෙම කුඩා ගම්මානය හමු නොවේ. නමුත් ඉන්දියානු මාවෝවාදීන්ගේ ඉතිහාසයේ සහ ඔවුනගේ ප්‍රකාශනවල මෙම ගම්මානයට මහා නගරයකට මෙන් වැදගත්කමක් ලැබෙන්නේය. ඊට හේතුව ඉන්දීය රජයට එරෙහි ඔවුනගේ සන්නද්ධ අරගලය ඇරඹුණේ එම ගම්මානයෙන් වන නිසාය.

1960 මැද භාගය වනවිට බීජිං-මොස්කව් මත ගැටුම ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂය දෙකඩ කිරීමට සමත් විය. 1964 වසරේදී එම දෙකඩ වීමත් සමඟ වඩා විශාල පිළ චීනයට හිතවත් ඉන්දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගත්තේය. එය අදටත් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සම්බන්ධව පවතින විශාලතම කොමියුනිස්ට් පක්ෂය වේ. මෙමෙ පක්ෂය ආරම්භයේදීම එය තුල ක්‍රියාත්මක වූ වඩා රැඩිකල්වාදී කණ්ඩායමක් විය. එහි ප්‍රමුඛතම නායකයා වූයේ බෙංගාලි ජාතිකයකු වූ චාරු මසුම්දාර්ය. ඔහු මාඕ සේතුංගේ මතවාදය හා කෙතරම් එකඟ වීද යත් "ඉන්දීය විප්ලවයේ මූලික පදනම වන්නේ ගොවිජන විප්ලවයයි" යනුවෙන් වරක් ප්‍රකාශ කළේය. මැතිවරණ යනු ධනපති පන්තියේ ප්‍රෝඩාකාරී රැවටීමක් බව විශ්වාස කල ඔහු සහ ඔහුගේ අනුගාමිකයෝ, සිය පක්ෂය මැතිවරණවලට තරඟ කිරීමට ගත් තීරණය නිර්දය ලෙස විවේචනය කළහ. මසුම්දාර් විශ්වාස කලේ ඉන්දියානු ගොවි ජනතාව විප්ලවයකට සූදානමින් සිටින බවත් එක ගිනි පුපුරකින් එය ඇවිලී යනු ඇති බවත්ය.

චාරු මසුම්දාර්, Wikimedia Commons



1967 වසරේ නැක්සල්බාරි ගම්මානයේ ඇතිවූ කැරැල්ලට නායකත්වය දුන්නේ මෙම කණ්ඩායමය. නමුත් එයින් මසුම්දාර් බලාපොරොත්තු වූ ආකාරයේ විප්ලවයක් ඇති නොවූ අතර ටික කලකින්ම පොලීසිය විසින් කැරැල්ල මර්ධනය කරන ලදී. කෙසේ වුවද එය ඉන්දියාවේ නැක්සලයිට් ව්‍යාපාරයේ ආයුධ සන්නද්ධ අරගලයන්හි ආරම්භය සනිටුහන් කළේය. 1969 වසරේදී මසුම්දාර් විසින් ඉන්දියාවේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය [Communist Party of India (Marxist-Leninist)-CPI(ML)] පිහිටුවන ලදී. ඉන්දියාවේ තන්හි තන්හි මතු වූ නැක්සලයිට් කණ්ඩායම් බොහොමයක උපත සිදු වන්නේ මෙම පක්ෂය තුලිනි.

සිලිගුරි කොරිඩෝව (රතු පැහැයෙන් පෙන්වා ඇති ස්ථානය), Wikimedia Commons



මුල් අවධියේ නැක්සලයිට් ව්‍යාපාරය ඇතැම් ගොවි නායකයන් සහ සරසවි සිසුන්ගේ අවධානය දිනා ගැනීමට සමත් විය. ශ්‍රීකාකුලම් වැනි පිටිසරබද ප්‍රදේශවල ඇතිවූ ගොවි ජන නැගිටීම් සහ කල්කටා වැනි නගරවල ක්‍රියාත්මක වූ නාගරික ත්‍රස්තවාදී ව්‍යාපාරය වසර කිහිපයක් යනතුරු පැවතින. මේවාට එරෙහි රාජ්‍ය ප්‍රතික්‍රියාවද ඉතා දරුණු විය. 1972 ජූලි මාසයේදී චාරු මසුම්දාර් අල්ලා ගන්නා ලදී. දින දොළහකදී ඔහු අත්අඩංගුවේදීම මරණයට පත් විය. 1970 දශකය මැද භාගය වනවිට නැක්සලයිට් ව්‍යාපාරය මුළුමනින්ම පාහේ මැඩ පවත්වා තිබිණ.

කෙසේ වුවද මෙම පරාජයෙන් නැක්සලයිට් ව්‍යාපාරය මුළුමනින්ම අතුගෑවී නොගියේය. මෙම පරාජය තුලින් උපන් කුඩා කණ්ඩායම් කිහිපයක් දිගටම අරගලය ගෙන ගියේය. ඔවුන් CPI(ML) පක්ෂය අතින් සිදුවූ වැරැදිවලින් පාඩම් ඉගෙනගෙන තිබුණහ. ඇත්තෙන්ම පක්ෂය ගෙනගිය සටනෙහි වැරදි බොහොමයක් විය. මසුම්දාර් අන්ධ ලෙස මාඕ සේතුං අනුගමනය කල අතර එක්තරා අවස්ථාවක "චීනයේ සභාපති, අපෙත් සභාපති" වැනි සටන් පාඨයක් පවා යොදා ගත්තේය. එම සටන් පාඨය ඉන්දියාවේදී යොදාගත හැකිව තිබූ අනුචිතම සටන් පාඨයකි. තවද, මුලින් සඳහන් කල පරිදි මසුම්දාර් තුල ගොවි ජනතාවගේ විප්ලවීය සූදානම පිළිබඳව වූයේ වැරදි වැටහීමකි. එමෙන්ම "පන්ති සතුරන් වැනසීමේ" නාගරික ත්‍රස්තවාදී ව්‍යාපාරය බොහෝ සාමාන්‍ය වැසියන්ගේ අප්‍රසාදයට හේතු විය. පුළුල් ජනතා පදනමක් නොමැති වීම ඔවුනගේ සටන පහසුවෙන් පරාජය වීමට ඍජුවම බලපෑවේය.

අද වනවිට ඉන්දියාවේ බොහෝ මාවෝවාදී කණ්ඩායම් වෙති. 2011 වසරේ අගභාගයේදී ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක ප්‍රධානතම කණ්ඩායම වන ඉන්දියාවේ මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය [Communist Party of India (Maoist)] හැරුණු විට ක්‍රියාත්මකව පවතින තවත් කණ්ඩායම් 23 ක් ප්‍රකාශයට පත් කළේය. මෙතරම් විශාල කණ්ඩායම් ප්‍රමාණයක් පැවතීමට 1970 ගණන්වල සිදුවූ සිද්ධීන් බලපෑවේය. ඒ වනවිටත් නැක්සලයිට් ව්‍යාපාරය තුල මතවාදී බෙදීම් ඇතිවෙමින් පැවතින. ඔවුනගේ පරාජයත් සමඟ ඉතිරි වූ කුඩා කණ්ඩායම් සී සී කඩ වූ අතර එහෙයින් ඔවුන් වෙනමම ක්‍රියාත්මක වන්නට වූහ. කෙසේ වුවද, ඔවුනගේ පොදු මූලාරම්භය සනිටුහන් කරමින් ඒ බොහෝ කණ්ඩායම්වලට ඇත්තේ එක හා සමාන නම් ය. මෙය ඉන්දියාවේ මාවෝවාදී ව්‍යාපාරය පිලිබඳ කියවන සාමාන්‍ය තැනැත්තෙකු නොව ඒ පිලිබඳ හදාරන්නන් පවා අපහසුතාවයට පත් කරයි.

1970 ගණන්වල මැද භාගයේ සිට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නැක්සලයිට් අරගලය ක්‍රියාත්මක වූයේ කොන්ඩපල්ලි සීතරාමයියා නම් පුද්ගලයෙකුගේ නායකත්වය යටතේය. පුළුල් මහජන සංවිධාන පිහිටුවා නොගැනීම මසුම්දාර් කල බරපතල වරදක් ලෙස දුටු හෙතෙම රැඩිකල් ශිෂ්‍ය එකමුතුව, රැඩිකල් තරුණ ලීගය සහ ජන නාට්‍ය මණ්ඩලී වැනි ජනතා සංවිධාන පිහිටුවා මාවෝවාදී මතවාදය පැතිරවීය. මෙමගින් ඔහුට සිය අරගලය සඳහා කැපවීමට සූදානම් තරුණ කණ්ඩායමක් සාදා ගැනීමට හැකි විය. වර්තමාන ඉන්දියාවේ මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී නායකයන් අතුරින් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රදේශයෙන් පැමිණි අය බොහෝදෙනා ව්‍යාපාරයට එකතු වූයේ මේ සමයේය.

1980 අප්‍රේල් 22 වනවිට දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට තරම් සිය ව්‍යාපාරය ශක්තිමත් බව සීතරාමයියා තීරණය කළේය. මේ අනුව එදින ඔහු විසින් ඉන්දියාවේ මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මහජන යුද්ධය) [Communist Party of India (Marxist-Leninist) People's War] නමින් දේශපාලන පක්ෂයක් පිහිටවීය. මෙය වඩා ප්‍රචලිත වූයේ මහජන යුද්ධ කණ්ඩායම (People's War Group-PWG) ලෙසය. මාඕ සේතුංගේ "මහජන යුද්ධ" සිද්ධාන්තය අකුරටම පිළිපදිමින් මෙම පක්ෂය අනාගත අරගලය සඳහා බල ප්‍රදේශ පිහිටුවා ගැනීමට පටන් ගත්හ. මේවා බොහෝකොටම පිහිටුවා ගැනුනේ වර්තමානයේ චට්ටිස්ඝාර් ප්‍රාන්තයට අයත් දණ්ඩකාරණ්‍ය වනාන්තරයේය.

කාඩර්වරු ප්‍රදේශයේ ආදිවාසී ගෝත්‍රිකයන්ගේ සහාය කෙමෙන් කෙමෙන් තමන් වෙත ඇද ගැනීමට සමත් වූහ. කලක් යද්දී ඔවුන් සිය බලපෑම වෙනත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කරන්නට වූහ. ඒ සමඟම එම ප්‍රදේශ සමහරක ක්‍රියාත්මක වූ වෙනත් නැක්සල්වාදී කණ්ඩායම් සමඟද ඔවුහු ගැටුම් ඇති කරගත්හ. එයින් එක ප්‍රධාන කණ්ඩායමක් වූයේ බිහාරයේ ක්‍රියාත්මක වූ මාඕවාදී කොමියුනිස්ට් කේන්ද්‍රයයි (Maoist Communist Centre-MCC). අනෙකුත් බොහෝ නැක්සලයිට් කණ්ඩායම් මෙන් නොව සංවිධානය පක්ෂය තුලින් පන නැගුනක් නොවීය.

1990 ගණන්වල මුල් කාලයේ සිට PWG සහ MCC යන ප්‍රධාන නැක්සලයිට් කණ්ඩායම් දෙක සන්ධානගත වීම සඳහා සාකච්ඡා පැවැත්වූ අතර 2004 දී එය මල්පල ගැනුනේ ඉන්දියාවේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය බිහිවීමත් සමඟය.



මෙය කලින් මා ලියූ "ඉන්දියාවේ 'අමතක කරන ලද' නැක්සල්වාදී යුද්ධය" යන ලිපියට සබැඳේ.


14 comments:

  1. තොරතුරු බෙදා ගන්නවට ස්තුතියි.. අනෙක් ලිපියත් කියවලා එන්නම් කො.

    ReplyDelete
    Replies
    1. කියවලා කමෙන්ට් එකක් දැම්මාටත් ස්තූතියි!

      Delete
  2. ඇත්ත ගොඩාක් ස්තුතියි....
    එතකොට අර විජේකුමාරතුංග මහත්තයාලා ව හිරේ දැමිමෙත් නැක්සලයිටි කුමන්තරණ කතාවක් තියලා නේද.....ඒ ගැන විස්තර තියෙනවාද.......

    ReplyDelete
    Replies
    1. ඒක දේශපාලන හේතුවක් නිසා වෙච්ච දෙයක් බවයි මගේ දැනීම. ඒගොල්ලෝ නැක්සලයිට්වාදියෝ නෙවෙයි. ඒ නම යොදා ගත්තේ ඒ සිද්ධියට ආකර්ෂණයක්, අවධානයක් සහ සමහර විට සාධාරණීකරණයක් ඇති කරන්න වෙන්න ඇති.

      Delete
  3. 1970 ගණන්වල මැද භාගයේ සිට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ නැක්සලයිට් අරගලය කියන්නෙත් ලංකාවෙ කළු ජූලිය වගේ සිද්දියක්ද ?

    පුළුවන් නම් ඒ ගැනත් ලිපියක් ලියන්න්කෝ...

    ReplyDelete
    Replies
    1. කළු ජූලිය කියන්නේ එක සැරේම ලොකු වෙනසකට හේතු වෙච්ච දෙයක් නේ. ඉන්දියාවේ මේක වුනේ ටිකෙන් ටික. එක සැරේ වෙච්ච පිපිරීමක් නෙවෙයි. මේ අය ඉතාම හෙමින් තමන්ගේ ව්‍යාපාරය ගොඩ නගලා හෙමින් සැරේ දන්නෙම නැතුව තමන්ගේ බලය ටික ටික ව්‍යාප්ත කළා.

      කළු ජූලිය ගැන නම් මම ලියන්න ඕන නැහැනේ. ඒවා ලියන්න ඕන තරම් කට්ටිය ඉන්නවා නේ. (පත්තරවල වුනත් කාලෙන් කාලෙට ඇති තරම් එව්වා ලියවෙන්නේ). මම උත්සාහ කරන්නේ සිංහලෙන් ලියන කවුරුත් ලියන්නේ නැති එහෙමත් නැත්නම් ලියනවා අඩු මාතෘකා ගැන ලියන්නයි.

      මම ලියාපු ගොඩාක් ලිපි ඒ වගේ. ඉස්සරහට ලියන්න ඉන්න එව්වත් වැඩි හරියක් ඒ වගේ. අනික මම තරමක් හෝ දන්නා දේවල් ගැන තමයි ලියන්නේ. නොදන්නා දේවල්වලට මම අත ගහන්නේ නැහැ. විවාදාත්මක දේවල්වලට මම අත ගහන්නේත් බොහොම කලාතුරකින්.

      Delete
  4. ඕන්න මම මේකත් කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි. තැනක් යූ වේවා!

      තව කොටස් දෙකක් ලියන්න ඉන්නවා. තවම හරියට ඉංග්‍රීසි ලිපිවත් ලියාගන්න බැරි වුනා. මේ සතියේ පත්තරේට යවන්නත් වුනේ නැහැ.
      ලබන සතිය වෙද්දී පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

      Delete
  5. ස්තුතියි බොහොම ..නොදැනම හිටිය දෙයක්

    ReplyDelete
  6. මුස්ලිම් අන්තවාදීන් මදිවට නැක්සලයිට් ප්‍රහාර.පව් ඉන්දීය රජය.

    ReplyDelete
  7. අපූරු ලිපියක්. මට තියෙන ප්‍රශ්නය තමයි මේ මාක්ස්වාදී, මාවෝවාදී දර්ශන අන්තිම අසාර්ථක වෙලා තියෙද්දි මිනිස්සු ඇයි මේවා පස්සෙන් යන්නෙ කියන එක.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සාමාන්‍ය මිනිස්සුන්ට මාඕ ගැන එහෙම අදහසක් නැහැ.
      මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මාඕ උගන්නපු ගරිල්ලා සටන් ක්‍රම නේ. දේශපාලන ක්‍රමයක් විදියට අසාර්ථක වුනත් ගරිල්ලා සටන් ක්‍රමවේදයක් විදියට සාර්ථක ලෙස යොදා ගන්න පුළුවන් ක්‍රමයක්.

      Delete