Monday, July 11, 2016

ෂින්සෝ අබේගේ ජයග්‍රහණයත් සමඟ ජපන් ව්‍යවස්ථාව වෙනස් කිරීමේ සූදානමක්

ඊයේ පැවති ජපන් උත්තර මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීමේදී අගමැති ෂින්සෝ අබේගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ කොමෙයිටෝ පක්ෂය (Komeito Party) ඇතුළත් පාලක සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි විය​.

මෙම ප්‍රතිඵලවලින් පසු, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය උත්තර මන්ත්‍රී මණ්ඩලයෙන් ආසන 120 ක් දිනාගෙන සිටියි. කොමෙයිටෝ පක්ෂයට ආසන 25 ක් හිමිවී තිබේ.

මෙම මැතිවරණයේ වඩාත් වැදගත් ප්‍රතිඵලය නම් ජපන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පක්ෂ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට උත්තර මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරය හිමි වීමය​. මේ වනවිට එම කණ්ඩායම්වලට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ තුනෙන් දෙකක බලය ලැබී ඇත​.

ජපන් ඩයට් සභාව (පාර්ලිමේන්තුව​)

ජපානයේ පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ජාතික ඩයට් සභාව නමිනි. එහි මන්ත්‍රී මණ්ඩල දෙකකි. පහළ මන්ත්‍රී මණ්ඩලය සෑම සිව් වසරකටම වරක් පත් කරගනු ලබන අතර එහි සාමාජික සංඛ්‍යාව 475 කි.
ෂින්සෝ අබේ (kremlin.ru)

උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීහු 242 ක් වෙති. ඔවුනගේ ධූර කාළය වසර 6 ක් වන අතර සෑම වසර තුනකටම වරක් ඉන් 121 දෙනෙකු තෝරාපත් කරගැනේ.

මැතිවරණය

ජූලි 10 වනදා මැතිවරණයේදී ආසන 121 ක් සඳහා අපේක් ෂකයෝ 389 ක් ඉදිරිපත් වූහ​. මින් 73 දෙනෙක් ඡන්ද කොට්ඨාශ මට්ටමෙන් ද 48 දෙනෙක් ජාතික ලැයිස්තුවකින් ද තෝරාපත් වූ අතර කොට්ඨාශ මට්ටමෙන් තේරීපත් වූ 32 දෙනෙක් තනි මන්ත්‍රී ආසනවලින් තෝරාගන්නා ලද හ​.

මෙම තනි මන්ත්‍රී ආසන සඳහා විපක්ෂ පක්ෂ හතරක් නිතරඟ ගිවිසුමකට එළෙඹිය හ​. එම පක්ෂ අතර ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය​, ජපන් කොමියුනිස්ට් පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙති.

කෙසේ වෙතත් මෙම තනි මන්ත්‍රී ආසනවලින් ද වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කරන ලද්දේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වීම විශේෂත්වයකි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මූලික සටන් පාඨය වූයේ ෂින්සෝ අබේගේ ආර්ථික ප්‍රතිපත්තිවල සාර්ථකත්වය ය​. වෙසෙසින්ම ඔහුගේ බදු ප්‍රතිපත්ති කෙරෙහි මැතිවරණයේ වැඩි අවධානය යොමු විය​. එරට පරිභෝජන බද්ද ඉහළ නැංවීම සඳහා වූ සැලසුම් අබේ විසින් මෑත කාළයේදී දෙවරක් ම කල් දමන ලදී. එයට හේතුව ලෙස ඔහු කියා සිටියේ වැඩි බදු ප්‍රතිශතය මගින් ජනතාව වියදම් කිරීමේ ප්‍රවණතාව අඩුවනු ඇති බවත්, පවතින තත්ත්වය ය්ටතේ එය ආර්ථිකයට අයහපත් වනු ඇති බවත් ය​.

කලකට පෙර අබේගේ ප්‍රබලම සටන් පාඨයක් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාව කෙරෙහි පාලක පක්ෂය එතරම් අවධානයක් මෙම මැතිවරණයේදී යොමු නොකළේය​. එය දැන් පවතින තත්ත්වයන් යටතේ ප්‍රමුඛ සාධකයක් නොවන බව ඒත්තු ගැන්වීමට රජය උත්සාහ කළ ද විපක්ෂය දිගටම කියා සිටියේ එය මෙම මැතිවරණයේ ප්‍රධානතම සාධකයක් බවය​.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය​

1947 දී ඇමරිකානුවන් විසින් වත්මන් ආණ් ඩුක්‍රම ව්‍යවස්ථාව ජපානයට හඳුන්වා දෙන ලදී. එහි 9 වන වගන්තිය පිළිබඳව එවක පටන්ම දැඩි මතභේදයන් පැවති අතර රටෙහි යුධවාදී පිරිස් කිසි දිනෙක එම වගන්තියට එකඟ වූයේ නැත​. එම වගන්තිය ප්‍රකාරව ජපානය රටවල් අතර අර්බුද විසඳාගැනීමට යුද්ධය උපක්‍රමයක් ලෙස භාවිත කිරීමේ අයිතිය ප්‍රතික්ෂේප කළ අතර ආක්‍රමණකාරී හැකියාවන් සහිත යුධ හමුදාවක් පවත්වාගැනීම ද ප්‍රතික්ෂේප කරයි.

මෙම වගන්තිය හේතුවෙන් ජපානය යනු අතිශය සාමකාමී රටක් බවට මතයක් ඇතැම් අය අතර මතුව ඇත​. නමුත් සත්‍ය කරුණ වන්නේ මෙම වගන්තිය කෙරෙහි මුල පටන් ම ඇතැම් කොටස්වල දැඩි විරෝධයක් මතු වීමය​.

මේ අතර ජපානය "ස්වයං ආරක්ෂක හමුදා" (Self Defence Forces) ලෙස නම් කරන ලද යුධ​, ගුවන් සහ නාවුක හමුදා පවත්වාගෙන යනු ලබයි. ලොව ආරක්ෂක වියදම් වැඩිම රටවල් අතර ජපානය ද පෙරමුණේ සිටී. 2015 දී අයවැයෙන් වෙන් වූ ආරක්ෂක වියදම ජපන් යෙන් ට්‍රිලියන 4.98 ක් වූ අතර 2016 සඳහා එම වියදම ජපන් යෙන් ට්‍රිලියන 5.1 ක් විය​.

ආණ් ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය සංශෝධනය කළ යුතු බව ප්‍රකාශ කරන පක්ෂ අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ කොමෙයිටෝ පක්ෂය ද​, ඕසකාවෙන් නැගෙන මුලපිරීම් (Initiatives from Osaka) සහ ජපන් හදවත් පක්ෂය (Party of the Japanese Kokoro) යන කුඩා පක්ෂ ද වන අතර ඇතැම් ස්වාධීන මන්ත්‍රීන් ද ඊට සහය දක්වයි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ වාමාංශික පක්ෂ එම අදහස තරයේ ප්‍රතික්ෂේප කරති.

ජපන් ජාතික ඩයට් සභාවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙන් ම 2/3 බහුතරයක් එම යෝජනාවට ලැබුණහොත් අදාළ සංශෝධනය පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්විය හැක​. කෙසේ නමුත් එවන් පියවරකට නුදුරු අනාගතයේ ෂින්සෝ අබේ යොමු නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අවස්ථාව වනවිට ඔහු ආර්ථික ප්‍රතිපත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව පෙනෙන අතර රජයේ අනාගත ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වැඩපිළිවෙලක් සකසන ලෙස ඔහු අද දිනයේදී සිය මුදල් ඇමතිවරයාට උපදෙස් දුන්නේය​.

4 comments:

  1. බොහොම ස්තූතියි! නොදන්නා කරුණු බොහොමයක් දැනගන්න සැලැස්සුවාට.

    මැතිවරණයක් කියන්නෙ කොයි තරම් සාමකාමීව පවත්වන්න පුළුවන් දෙයක්ද කියලා මේ රටවල් අපූරුවට කියලා දෙනවා. ජූලි 10 මේ රටේ තවත් එක දවසක් විදිහටනෙ ගෙවිලා ගියෙ

    බලන්න අපේක්ෂකයන්ගෙ විස්තර ප්‍රදර්ශණය කරන පිළිවෙල. අපිට ඒ වගේ පුංචි දෙයක්වත් මේ ජන්ද වලින් ඉගෙනගන්න පුළුවන්නම් ගස් ගල් තාප්ප දේශපාලකයො බදු ගන්න එක නවත්තන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අපේ ඈයො එච්චර දෙයක් කළොත් බැරියැ :)

      Delete
  2. //1947 දී ඇමරිකානුවන් විසින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජපානයට හඳුන්වා දෙන ලදී. //

    අන්න එක වැදගත්.ඒ කියන්නේ ජපානය යටත් වීමෙන් පස්සේ වෙන්න ඇති මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජපානයට හඳුන්වා දෙන්න ඇත්තේ.යටත් වෙලා හිටපු ජපානයට ඒ ව්‍යවස්ථාව පිළිගන්නවා ඇරෙන්න දෙයක් නොතිබෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා.
      හැබැයි පස්සෙ ජපානය මිලිටරි බලය ශක්තිමත් කරද්දි ඇමරිකාවම තමයි ඒකට සපෝට් කළෙත්. ආරක්ෂක උපක්‍රමයක් විදියට තමයි ඒක හඳුන්වා දෙන්නෙ. කලාපයේ තියෙන තත්ත්වයත් එක්ක ඉතින් හමුදාවක් තිබීම වරදක් නෙවෙයි.

      Delete