Wednesday, July 20, 2016

ෆැසිස්ට් හමුදා කරලියට පැමිණි ස්පාඤ්ඤ සිවිල් යුද්ධය​

ලෝක යුද්ධ දෙක අතර සමයේ, එනම් 1918 සිට 1939 තෙක් කාළ වකවානුවේ, යුරෝපයේ ඇති වූ අවසන් දරුණු අවි ගැටුම වූයේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ය​. මෙම යුද්ධය දරුණු මිනිස් ඝාතනයකට මග පෑදූ අතර එකළ දක්ෂිනාංශික සහ වාමාංශික කොටස් අතර දරුණු අරගලයක් ලෙස ද ෆැසිස්ට්වාදයෙහි නැගීම සහ ඒ කෙරෙහි බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල වූ උදාසීනත්වය උලුප්පා දක්වන අවසථාවක් ලෙස ද ඉතිහාසයට එක් වී ඇත​. ලෝක යුද්ධ දෙක අතර වැඩිම අවධානයක් දිනාගත් අවි ගැටුම ලෙස සැළකිය හැකි මෙම යුද්ධය මූලික කරගෙන ප්‍රකට කලා නිර්මාණ කිහිපයක්ම බිහිවී ඇත​​.

පසුබිම​

1930 දශකය ලොව බොහෝ රටවල මෙන්ම ස්පාඤ්ඤයේ ද දේශපාලන කැළඹීම් ඇති කළේය​. 1931 දී ස්පාඤ්ඤය සමූහාණ් ඩුවක් බවට පත් විය​. මෙය දෙවන ස්පාඤ්ඤ සමූහාණ්ඩුව (Second Spanish Republic) ලෙස හැඳින්වේ. 1933 පැවති මැතිවරණයෙන් දක්ෂිනාංශික පක්ෂ ජයග්‍රහණය කළ ද 1936 පැවති මැතිවරණයේදී සමාජවාදී, කොමියුනිස්ට් යනාදී වාමාංශික පක්ෂ එකතුවක් බලය ලබාගත්තේය​.

ස්පාඤ්ඤය අරාජිකවාදී සහ කොමියුනිස්ට්වාදී කණ්ඩායම්වල පාලනය යටතට වැටේය යන බියක් දක්ෂිනාංශික කණ්ඩායම් අතර ඇති වූයේය​. මේ අතර ජාතිකවාදීන්, රාජාණ්ඩුවාදීන්, සාම්ප්‍රදායික කතෝලිකයන් ආදී විවිධ පිරිස් වූහ​. එමෙන්ම යුධ හමුදාවේ ද සැලකිය යුතු කොටසක් මෙම පිරිසට අයත් විය​.

ජාතිකවාදී හමුදා නිලධාරීන්ගේ කුමන්ත්‍රණයක් පිළිබඳ බියෙන් පසු වූ නව වාමාංශික රජය එවකට මාණ්ඩලික ප්‍රධානියා වූ ජෙනරාල් ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ කැනරි දූපත්වල අණ දෙන නිලධාරියා වශයෙන් ද​, ජෙනරල් මැනුවෙල් ගොඩෙඩ් ලෝපිස් බැලියරික් දූපත්වල අණ දෙන නිලධාරියා ලෙසද පිටත් කර යැවීය​.
General Franco

මේ අතර ජෙනරාල් එමිලියෝ මෝලා, ස්පාඤ්ඤයේ උතුරු දිග නවාරේ ප්‍රදේශයේ පැම්ප්ලෝනා හි හමුදා අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී. මෙම පත්කිරීම තුළින් ස්පාඤ්ඤ ප්‍රධාන භූමියේ කුමන්ත්‍රණය මෙහෙයවීමේ අවස්ථාව ඔහුට ලැබුණි.

හමුදා කැරැල්ල​

ජූලි 17 වනදා ස්පාඤ්ඤ මොරොක්කෝවේ (එවක මොරොක්කෝවේ උතුරුදිග ප්‍රදේශය ස්පාඤ්ඤයට අයත් විය​) හමුදාව කැරළි ගැසීය​. මේ අතර කැනරි දූපත් සහ බැලියරික් දූපත්වලද හමුදා ඊට එක් විය​. ජූලි 19 වනදා රජයට විරුද්ධ හමුදා කැරැල්ල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ජෙනරාල් එමිලියෝ මෝලා ය​. ඒ සමඟම ස්පාඤ්ඤ ප්‍රධාන භූමියේ හමුදාව කැරලි ගැසීය​.

මේ අතර, මොරොක්කෝවේ සහ අනෙකුත් අවශේෂ ප්‍රදේශවල සිට ප්‍රධාන භූමිය ආක්‍රමණය කිරීමේ අවදානම මතුවූ විට ස්පාඤ්ඤයේ ප්‍රධාන වෘත්තීය සමිති දෙකක් වූ ජාතික කම්කරු සම්මේලනය (CNT) සහ මහා කම්කරු සංගමය හමුදා කැරැල්ලට මුහුණ දීම සඳහා රජයට සහය පළ කිරීමට කැමැත්ත පළ කලත්, අගමැති සන්තියාගෝ කසරෙස් ක්විරෝගා එයට අදි මදි කළේය​. කෙසේ වෙතත් එම සංගම් සිය සාමාජිකයන් සූදානම් කළ අතර ඇතැම් අවි ගබඩා ද අල්ලාගන්නා ලදී.

ජූලි 19 වනදා හමුදාව ප්‍රධාන ස්පාඤ්ඤ භූමියේ කැරලි ගැසූ විට කම්කරු සංගම්වල ශක්තිය ප්‍රබල වූ නගර ගණනාවක් ම අල්ලාගැනීමට කැරලිකරුවන්ට හැකි නොවීය​. දකුණුදිග කාඩිස් (Cadiz) සහ සෙවිල් (Seville) වැනි නගර කැරලිකාර ජාතිකවාදී හමුදා අතට පත් වූ අතර එය මොරොක්කෝවේ සිටි හමුදා ප්‍රධාන භූමියට ගෙන්වාගැනීමට රුකුලක් විය​.


සම්පූර්ණ නැගෙනහිර වෙරළම පාහේ සමූහාණ්ඩුව අත රැඳුන අතර සාම්‍ප්‍රදායික කතෝලික වැසියන් වැඩි වශයෙන් ජීවත් වූ වයඹ දිග ලියොන් (Leon) සහ උතුරු දිග කැස්ටීල් (Castille) ප්‍රදේශ ජාතිකවාදී හමුදා අතට පත් විය​. එහෙත් උතුරුදිග වෙරළබඩ ප්‍රදේශ රැසක් සමූහාණ්ඩුව අත රැඳිණ​.

බාසිලෝනා නුවර සහ ඒ අවට කැටලන් ප්‍රදේශ අරාජකවාදීන් ප්‍රමුඛ සමූහාණ් ඩුවාදීන් අත රැඳුන අතර ජාතිකවාදී ජෙනරල් ගොඩෙඩ් ලෝපිස් බාර්සිලෝනාව අල්ලාගැනීමට කරන ලද අසාර්ථක උත්සාහයෙන් පසු අල්ලාගන්නා ලදී. ඔහු අගෝස්තුවේදී මරණ දණ්ඩනයට ලක් කෙරුණි.

යුද්ධය​

මින් පසු ස්පාඤ්ඤයේ ඇති වූයේ දැවැන්ත ලේ සෙලවීමකි. ජාතිකවාදී කඳවුරට ජර්මනිය සහ ඉතාලිය ආධාර කළ අතර යුරෝපය පුරා ජාතිකවාදී සහ කතෝලික කණ් ඩායම් ජාතිකවාදීනට සහය පළ කළහ​. මේ අතර වාමාංශික කණ් ඩායම් සමූහාණ් ඩුවාදීනට ආධාර කළෝය​.

ජර්මන් සහ ඉතාලි ජාතිකයන් ජාතිකවාදී කඳවුර වෙනුවෙන් ද සෝවියට් ජාතිකයන් සමූහාණ් ඩුවාදීන් වෙනුවෙන් ද යුධ වැදුණෝය​.

ජර්මනිය මුදලින් ද ජාතිකවාදීන්ට ආධාර කළ අතර යුධ සහ ගුවන් භටයන් ගෙන් සමන්විත වූ කොන්ඩෝර් ලීජනය සටනට සම්බන්ධ කළේය​. ජර්මනියේ ස්ටූකා සහ ජන්කර් ගුවන් යානා මෙන්ම යුධ ටැංකි අත්හදා බැලීමට ස්පාඤ්ඤය කදිම සටන් බිමක් ලබා දුන්නේය​.

ජාතීන්ගේ සංගමය හරහා ලෝක බලවතුන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් ගැනීම තුලින් වාසි සැලසුනේ ජාතිකවාදීන්ට බව නොරහසකි. සෝවියට් සංගමය හැරුණ කල වෙනත් කිසිදු රාජ්‍යයක් පිරිස් ආධාර ලබා නොදුනි. මෙක්සිකෝව සහ තවත් ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් සමූහාණ් ඩුවාදීන්ට ද්‍රව්‍යමය වශයෙන් සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ආධාර කළ හ​.
පෝලන්ත අන්තර්ජාතික බ්‍රිගේඩ ස්වේච්ඡා සෙබලු

මේ අතර විවිධ රටවලින් ස්වේච්ඡාවෙන් පැමිණි පිරිස් 'අන්තර්ජාතික බ්‍රිගේඩ​' ලෙස සංවිධානය වී සමූහාණ්ඩුවට ආධාර කළ හ​. නමුත් එයින් ලැබුණ හමුදාමය වටිනාකම නම් අල්ප විය​.

යුද්ධය පුරාවටම විවිධ සමූල ඝාතන වාර්තා වූ අතර ජාතිකවාදීන් විසින් වාමාංශිකයන් මෙන්ම අහිංසක සිවිල් වැසියන් ද මරා දමන ලද අවස්ථා එමට විය​. එමෙන්ම සමූහාණ්ඩු පාර්ශවයේ, වෙසෙසින්ම කොමියුනිස්ට්වාදී සහ අරාජකවාදී කොටස් විසින් පූජකයන්, සැක කාර ජාතිකවාදීන් ඇතුලු විශාල පිරිසක් මරාදමන ලදී.

කලා නිර්මාණ

ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ආශ්‍රිතව, වෙසෙසින් ම සමූහාණ් ඩුවාදීනට පක්ෂව සහ යුද්ධයේ ආදීනව කියැවෙන​, සැලකිය යුතු කලා කෘති ප්‍රමාණයක් එළි නිර්මාණය කෙරිණ​. මේ අතර ලෝක ප්‍රසිද්ධියට පැමිණි නිර්මාණ අතර පැබ්ලෝ පිකාසෝගේ ගුවර්නිකා චිත්‍රයත්, ජෝර්ජ් ඕර්වෙල්ගේ Homage to Catalonia (කැටලෝනියාවට ප්‍රණාමය) කෘතියත් වැදගත් වේ.

1937 අප්‍රේල් 26 වනදා ස්පාඤ්ඤයේ බාස්ක් ප්‍රදේශයේ ගුවර්නිකා ගම්මානයට ජර්මන් සහ ඉතාලි ෆැසිස්ට්වාදීන් විසින් ගුවනින් බෝම්බ දැමීම ගුවර්නිකා චිත්‍රයට ප්‍රස්තුත විය​. මෙම චිත්‍රය ජූනියේදී ඇඳ නිම කෙරුණ අතර ජූලි මාසයේදී පැරිසියේ ප්‍රදර්ශනය කෙරිණ​.
George Orwell

1936 දෙසැම් බරයේදී බාර්සිලෝනාවට පැමිණි ජෝර්ජ් ඕර්වෙල් 1937 මැදක් වනතෙක් ස්පාඤ්ඤයේ රැඳී සිටි අතර ඔහු සම් බන් ධ වී සිටි ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් වූ මාක්ස්වාදී එක්සත්භාවය සඳහා වන කම්කරු පක්ෂය තහනම් කෙරුණ පසු එරට අතැර යාමට බල කෙරිණ​. මෙසේ මෙම පක්ෂයට එරෙහිව සමූහාණ්ඩුවාදී කඳවුර කටයුතු කළේ එවක යුද්ධයට සම් බන් ධව සිටි සෝවියට් සංගමයේ සහ දේශීය කොමියුනිස්ට්වාදීන් ගේ අවශ්‍යතාව මතය​. තමා ස්පාඤ්ඤයේ සිටි කාළය පිළිබඳ ඕර්වෙල් ලියූ ග්‍රන්ථය 1938 අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලදී.

අවසානය​

ඕර්වෙල්ගේ ග්‍රන්ථය නිකුත්වන සමය වෙද්දී ස්පාඤ්ඤයේ සමූහාණ්ඩුවාදීන් සතු ප්‍රදේශ දෙකඩ කරමින් ජාතිකවාදී හමුදා අරගන් (Aragon) ප්‍රදේශය හරහා මධ්‍යධරණී මුහුද කරා පැමිණ තිබිණ​. ඒ මාර්තු මස මුල සිට අප්‍රේල් මැද දක්වා වූ මෙහෙයුමකිනි. ජූලි මාසයේ වැලෙන්සියාව අල්ලාගැනීමට ජාතිකවාදීන් කළ උත්සාහය නගරය ආසන්නයේදී ව්‍යර්ථ කරන ලදී.

ජූලි මාසයේදී ෆ්‍රැන්කෝගේ හමුදා වෙත සමූහාණ් ඩුවාදීන් දරුණු ප්‍රති ප්‍රහාරයක් එල්ල කළේ දෙකඩ වූ ප්‍රදේශ යළි එක් කරන අටියෙනි. එබ්‍රෝ සංග්‍රාමය (Battle of Ebro) නම් මෙම සටනේදී ෆ්‍රැන්කෝ පෞද්ගලිකවම සිය හමුදා මෙහෙයවූ අතර නොවැම්බරය දක්වාම දරුණු ගැටුම් ඇතිවිය​.

මේ අතර වෙනත් ප්‍රදේශයක සිදුවූවක් හේතුවෙන් ස්පාඤ්ඤ සමූහාණ්ඩුවාදීන් ගේ චිත්ත ධෛර්යය දැඩි සේ පිරිහුනි.

1938 ඔක්තෝබරයේදී චෙකොස්ලොවැකියාව පිළිබඳ ගැටලුවේදී එංගලන්තය සහ ප්‍රංශය හිට්ලර්ගේ පක්ෂය ගත්තේය​. මේ අනුව ස්පාඤ්ඤ ප්‍රශ්නයේදී ජර්මනියට කිසිදු විරුද්ධත්වයක් අන් බලවතුන් ගෙන් එල්ල නොවන බව පසක් විය​.

නොවැම්බරයේදී එබ්‍රෝ සටන නිම වූයේ සමූහාණ්ඩුවාදීන් පරාජය වීමෙනි.

1938 අවසන් සතියේදී ජාතිකවාදී හමුදා කැටලෝනියාවට කඩා වැදුණහ​. 1939 ජනවාරියේදී ප්‍රාන්තය ඔස්සේ ඔවුන් වේගයෙන් ඇදෙමින් එක් එක් ප්‍රදේශ යටත් කළහ​. බාර්සිලෝනාව ජනවාරි 26 වනදා අල්ලා ගන්නා ලදී.

පෙබරවාරි 27 වනදා එක්සත් රාජධානිය සහ ප්‍රංශය ෆ්‍රැන්කෝගේ රජය පිළිගත්තේය​. අප්‍රේල් 1 වනදා ෆ්‍රැන්කෝ සිවිල් යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශ කළේ සියලු ප්‍රදේශ තමා යටතට ගැනීමෙන් පසුවය​. අවසන් දිනවලදී සහ යුද්ධයෙන් පසු මරා දමන ලද සමූහාණ්ඩුවාදීන් ගණන අවම වශයෙන් 30,000ක් වන අතර ඇතැම් ඇස්තමේන්තුවලට අනුව එය 200,000 පමණ වේ.

7 comments:

  1. ස්පාඤ්ඤ සිවිල් යුද්ධය​ මොකක්ද කියලා හිතෙන්නේ ඇති දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ.

    ReplyDelete
    Replies
    1. සිරාවට​
      ජර්මනියට නම් මේක හොඳ practice එකක් වුනා. ප්‍රංශ ආණ්ඩුව මෙලෝ දෙයක් වෙන්නෙ නෑ වගේ බලන් හිටියා.
      අන්තිමට උන්ට පව් පල දුන්නෙ පොළියත් එක්ක​

      Delete
    2. //ප්‍රංශ ආණ්ඩුව මෙලෝ දෙයක් වෙන්නෙ නෑ වගේ බලන් හිටියා.
      අන්තිමට උන්ට පව් පල දුන්නෙ පොළියත් එක්ක​ //

      තෙරුන්නැහැ,පොඩ්ඩක් පැහැදිලි කරහංකෝ සංසිද්දිය.

      Delete
    3. ජර්මන්කාරයො ෆ්‍රැන්කෝට උදව් කරද්දි ප්‍රංශකාරයො බලන් හිටියා. උන් හරිනම් සමූහාණ්ඩුවට උදව් කරන්න තිබ්බෙ. නමුත් උනුත් වක්‍රාකාරයෙන් උදව් කළේ ෆැසිස්ට් කඳවුරට​... බකංනිලාගෙන ඉඳීමෙන්.

      ජර්මන්කාරයො ස්පාඤ්ඤය පාවිච්චි කළා යුධ ප්‍රැක්ටිස් එකට​. යුධ ටැංකි සහ බෝම්බ​.

      1940 මැයි - ජූනි කාළෙ වුනේ මොකක්ද කියල ඉතින් අමුතුවෙන් කියන්නෝන නෑ නෙ

      Delete
    4. එළ,එළ දැන් වැටෙහේ.
      ස්තුතියි පැහැදිලි කිරීමට...:)

      Delete
  2. ප්‍රංශය හිතුවේ මැගිනෝල්ට් ලයින් එක, ඝණ කැලෑබද අතුරුපාරවල් සහ ආඩෙන්ස් කැලෑ පෙදෙස් නිසා ජර්මන්කාරයා නිකං ඉඳි කියා ය. අන්තිමට ආවාම වුණත් කලේ එංගලන්ත හමුදාව සමඟ පසුබැසීමය.

    ReplyDelete
    Replies
    1. ජර්මන්කාරයන්ගෙ බ්ලිට්ස්ක්‍රීග් එකත් එක්ක උන්ට හැරෙන්නවත් බැරි වුනා නෙ

      Delete