Sunday, July 3, 2016

බංග්ලාදේශයේ ධකා අවන්හල් ප්‍රහාරයෙන් හෙළිවන වැදගත් කරුණු

සිකුරාදා රාත්‍රියේ බංග්ලාදේශයේ විදෙස් තානාපති සේවකයින් ගැවසෙන ආරක්ෂිත කලාපයක පිහිටි අවන්හලක කඩා වැදුණ "ඉස්ලාමීය රාජ්‍ය" හෙවත් ISIS ත්‍රස්ත කල්ලි සාමාජිකයන් පිරිසක් එහි වූ විදේශිකයන් ඇතුලු කණ්ඩායමක් ප්‍රාණ ඇපයට ගත් හ​. මෙම ත්‍රස්තයින් සෙනසුරාදා උදෑසන වනතෙක් එහි රැඳී සිටි අතර ඔවුන් යටතේ සිටි ප්‍රාණ ඇපකරුවන් මුදා ගත්තේ හමුදා මෙහෙයුමකිනි.

කෙසේ වෙතත් විදේශිකයන් 20 දෙනකු මෙම සිදුවීමේදී මිය ගිය අතර බංග්ලාදේශ හමුදාව සහ රජය ප්‍රකාශ කළේ ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමට පෙර ඔවුන් මරා දමා ඇති බවය​. ත්‍රස්තවාදීන් 6 දෙනකු ද මෙම ප්‍රහාරයේදී මරා දැමුණ අතර එක් ත්‍රස්තයකු අල්ලාගන්නා ලදී.

මෙම ප්‍රහාරයේදී ඉතා වැදගත් කරුණු දෙකක් ඉස්මතු විය​. මෙම කරුණු දෙකම පිළිබඳ අවධානයෙන් සිටීම ඕනෑම රටක ත්‍රස්ත විරෝධී කටයුතු සඳහා ඉතා වැදගත් වේ.

පළමුවැන්න නම් හදිසි තත්ත්වයක් සඳහා බංග්ලාදේශ ආරක්ෂක අංශවල කිසිදු සූදානමක් නොමැති වීමය​. මෙය බරපතල තත්ත්වයක් වන්නේ බංග්ලාදේශයේ පසුගිය දිනවල ත්‍රස්ත කටයුතු උත්සන්න වෙමින් පැවතීම සහ රාමසාන් මාසයේදී ලොව වටා රටවල් ගණනාවකට පහර දෙන බව ISIS සටන්කාමීන් අනතුරු අඟවා තිබීම යන කරුණු සැලකීමේදී ය​.

ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් පසුගිය දිනවල බංග්ලාදේශයේ විරුද්ධාකල්ප දරන බ්ලොග්කරුවන් සහ හින්දුන් ඇතුලු අන්‍ය ආගමිකයින් කිහිප දෙනකුම අමු අමුවේ ඝාතනය කළ බව ප්‍රකට කරුණකි.

සිකුරාදා ධකා නගරයේදී සිදු වූ සිද්ධියේදී හමුදා මෙහෙයුම් සංවිධානය කිරීමේ කටයුතුවලදී අදාල අවන්හලේ සිතියම් සකස් කිරීම සඳහා වටිනා කාළය බෙහෙවින් වැය විය​. නමුත් එම අවන්හලේ සැලැස්ම පහසුවෙන්ම අන්තර්ජාලයෙන් සොයාගත හැකිව තිබුණි. අදටත් බොහෝ දියුණු වන රටවල ආරක්ෂක අංශ අතර අන්තර්ජාලය පිළිබඳ දැනුම අතිශයින්ම අසතුටුදායක තත්ත්වයක පවතී.​

අනෙක් වැදගත් කරුණ සබැඳී ඇත්තේ අන්තර්ජාල භාවිතය සමඟය​. ත්‍රස්තයෝ සමාජජාල සහ අන්තර්ජාලය භාවිතය පිළිබඳ කෙළ පැමිණියෝ වෙති. ප්‍රහාරය ඇරඹි පසු ඔවුහු සිය අමාක් (Amaq) පුවත් සේවය ඔස්සේ එහි වගකීම බාරගත් අතර විවිධ අවස්ථාවලදී ට්විටර් සමාජජාලය ඔස්සේ අවන්හලේ ඡායාරූප ප්‍රදර්ශනය කළෝය​. මෙම ඇතැම් ඡායාරූපවල මරා දමන ලද අයගේ ඡායාරූප ද විය​. කෙසේ වෙතත් මේ කිසිවක් කෙරෙහි හමුදා අංශ අවධානය යොමු කළ බවක් නොපෙනේ.

සමාජ ජාල ඔස්සේ සිය මතවාදය ව්‍යාප්ත කිරීම කෙරෙහි ත්‍රස්තවාදීන් ඉතා දක්ෂ ය. අන්තර්ජාලයට දේශසීමා බල නොපායි. ඕනෑම රටක සිටින්නකු එම ප්‍රචාරයන්ට හසු විය හැකි අතර එවන් සිදුවීම් රැසක් පිළිබඳව පසුගිය සමයෙහි වාර්තා විය​. අවාසනාව වන්නේ එම තත්ත්වය අද වනතුරුත් බොහෝ රජයයන් විසින් හඳුනාගෙන නොතිබීමය​.

1 comment:

  1. it looks like these people will be attacking sri lanka also soon like mad dogs.

    ReplyDelete