Adolf Hitler (1937) German Federal Archives (Bundesarchiv, Bild 183-S33882 / CC-BY-SA) ඇඩොල්ෆ් හිට්ලර් (1937 දී) Wikimedia Commons
ඔස්ට්‍රියාවේ බ්‍රෞනාවු ඇම් ඉන් (ඉන් නදීබඩ බ්‍රෞනාවු) නම් කුඩා නගරයේ 1889 අප්‍රේල් 20 වනදා උපන් හිට්ලර් ජර්මනියේ මියුනික් නගරයට සංක්‍රමණය වූයේ 1913 පමණය. 1914 ජර්මන් යුධ හමුදාවට බැඳුන ඔහු 1920 මාර්තු වනතෙක් එහි සේවය කළේය. ඔහුගේ දේශපාලන ගමනට පාර කැපුනේ හමුදාවේ සිටි කාලයේදීය.
1918 නොවැම්බරයේදී පළමු ලෝක යුද්ධය අවසන් වූයේ ජර්මනියේ සහ ඇගේ මිත්‍ර රටවල පරාජයෙනි. මින් පසු ජර්මනිය තුල ඇති වූ අස්ථායී දේශපාලන වාතාවරණය අතරවාරයේ බොහෝ ජාතිකවාදී කණ්ඩායම් බිහිවීමට විය. ජර්මනිය යුද්ධයෙන් පරාජය වූවා නොව රට අභ්‍යන්තරයෙන්ම සිදුවූ කුමන්ත්‍රණයකින් එරට පරාජය කරනු ලැබුණු බව ඔවුහු විශ්වාස කළහ. ඒ බොහෝ ජාතිකවාදී කණ්ඩායම්වල අදහස වූයේ මෙම කුමන්ත්‍රණය පිටිපස යුදෙව්වන් සහ වාමාංශිකයන් වූ බවය.
මෙසේ බිහිවූ එක කුඩා දේශපාලන පක්ෂයක් වූයේ ජර්මන් කම්කරු පක්ෂය [Deutsche Arbeiterpartei (DAP)] ආරම්භ වූයේ 1919 ජනවාරි 5 වනදා මියුනික් නගරයේදීය. එම වසරේම සැප්තැම්බර් 12 වනදා මේ අලුත් පක්ෂය පිළිබඳව ඔත්තු බැලීම සඳහා යුධ හමුදාව විසින් ඔවුනගේ රැස්වීමකට සහභාගී වීමට හිට්ලර් යවන ලදී. හිට්ලර් පවසන පරිදි මුලින් ඔහු මෙය සැලකුවේ කම්මැලි පැවරුමක් ලෙසය. මෙම පක්ෂය තවත් එක කුඩා ජාතිකවාදී එකතුවකට වඩා වැඩි දෙයක් යයි ඔහු සිතුවේ නැත.
නමුත් සිදු වූයේ අනෙකකි. මෙම රැස්වීමට සහභාගී වූ තැනැත්තෙකු බැවේරියාව (මියුනික් යනු බැවේරියාවේ අගනුවරය) ජර්මනියෙන් වෙන්ව, ඔස්ට්‍රියාවත් සමඟ එක්ව වෙනමම රාජ්‍යයක් පිහිටුවා ගතයුතු බව ඔහු තර්ක කළේය. එම අදහස නොරිස්සූ හිට්ලර් ඔහු සමඟ වාදයකට පැටලිණ. එම වාදයෙන් හිට්ලර් ජයග්‍රහණය කල බව පෙනේ. මෙම සිද්ධිය දුටු පක්ෂ නායක ඇන්ටන් ඩ්රෙක්ස්ලර් තුල ඇති වූයේ මේ තරුණයා තමන්ගේ පක්ෂයේ කටයුතුවලට පාවිච්චි කළහැකි වනු ඇතැයි යන හැඟීමයි. එහෙයින් ඔහු විසින් හිට්ලර්ට පක්ෂ සාමාජිකත්වය පිළිගන්වන ලදී.
හිට්ලර්ට වෙනත් හැකියාවන් බොහොමයක් නොවී වී නමුදු, වෙනත් බොහෝ දෙනාට වැඩි චතුර කථිකත්වයක් ඔහුට හිමිව තිබිණ. පක්ෂය තුල තම බලය වැඩි කරගැනීමට එය ඔහු උපරිමයෙන් පාවිච්චි කළේය. 1920 වසරේදී පක්ෂය විසිරුවා හැර ඒ වෙනුවට ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය [National Socialist German Workers Party; ජර්මන් භාෂාවෙන් Nationalsozialistische Deutsche Arbeiterpartei (NSDAP)] පිහිටුවාගෙන තිබුණි. නාසි පක්ෂය ලෙස හඳුන්වනු ලබන්නේ මෙම පක්ෂයයි. හිට්ලර් පාවිච්චි කරන්නට සිතූ ඩ්රෙක්ස්ලර් කෙටි කලකින්ම පක්ෂ නායකත්වයෙන් පවා ඉවතට විසි විය. ඒ 1921 වසරේය. 1921 සිට 1945 වසරේ අප්‍රේල් මස 30 වනදා වනතුරු එම පක්ෂයට නායකත්වය දුන්නේ ඔස්ට්‍රියාවෙන් ජර්මනියට සංක්‍රමණය වූ ඇඩොල්ෆ් හිට්ලර්ය.
1923 වර්ෂයේ "බියර්හලේ පෙරලිය" හෙවත් බැවේරියානු රජය පෙරළීමේ තැත අසාර්ථක වූ පසු හිට්ලර් අත්අඩංගුවට ගන්නා ලදී. පසුව පවතී නඩු විභාගයේදී ඔහු ඉතා ව්‍යක්ත ලෙස තම උත්සාහය සාධාරණීකරණය කළේය. අවුරුදු පහක කාලයකට ඔහුව හිරගෙට යවන ලද නමුත් මාස කිහිපයකට පසු 1924 දෙසැම්බර් 20 වනදා ඔහු නිදහස් කෙරිණ. හිරේ සිටි කෙටි කාලය ඔහුට වැඩි අපහසුවක් නැති කාලයක් විය. ඊට පෙර බොහෝ අවස්ථාවල එදාවේල සොයාගැනීමට පවා ඔහුට අපහසු විය. නමුත් ලෑන්ඩ්බර්ග් බලකොටුවේ ආණ්ඩුවේ මුදලින් සිරගතව සිටි සමයේ ඔහුට මුරකරුවන්ගෙන් පවා ලැබුනේ මිත්‍රශීලී සැලකිල්ලකි. ලියුම් ගනුදෙනුවලට අවසර ලැබී තිබුන අතර පක්ෂ සාමාජිකයන්ට ඔහු හමුවීමටද වැඩි කරදරයක් නොවීය. හිට්ලර් සිය "මගේ සටන" කෘතියේ පළමු වෙළුම ලියුවේ මේ කාළයේය. ඔහුගේ ලේකම් ලෙස කටයුතු කලේ පක්ෂයේ දෙවනියා බවට පත් වූ රුඩොල්ෆ් හෙස් ය.
කෙසේ නමුත් 1923 බියර්හළේ පෙරළියෙන් පසු පක්ෂය තහනම් කරන ලද බැවින් හිරභාරයට පත් නොවී ඉතිරි වූ NSDAP පක්ෂ නායකයින්, තවත් ජාතිකවාදී පක්ෂයක් වූ ජර්මන් ජනතා නිදහස් පක්ෂය [Deutschvölkische Freiheitspartei (DVFP)] සමඟ ඒකාබද්ධව ජාතික සමාජවාදී නිදහස් ව්‍යාපාරය (National Socialist Freedom Movement; ජර්මන් භාෂාවෙන් [Nationalsozialistische Freiheitsbewegung (NSFB)] පිහිටුවා ගත්හ. මෙම පක්ෂය 1924 ජර්මන් ෆෙඩරල් මහ මැතිවරණයට තරඟ කලේ හිට්ලර්ගේ නඩු විභාගය හේතුවෙන් ලද ප්‍රසිද්ධියත් සමඟය. ඡන්ද 1,918,329 ක්, එනම් මුළු ඡන්ද ගණනින් සියයට 6.55 ක් ලබාගත් එම පක්ෂයට ආසන 32 ක් ලැබිණ. නමුත් එම වසරේම දෙසැම්බරයේ පවත්වන ලද මැතිවරණයේදී මෙම ඡන්ද ගණන භාගයකින් පමණ අඩු වූ අතර පක්ෂයට දිනා ගතහැකි වූයේ ආසන 14 ක් පමණි. 1925 වනවිට මෙම NSFB සන්ධානය බිඳ වැටිණ. නමුත් DVFP පක්ෂය සමඟ සම්බන්ධ වීම නාසි පක්ෂයට ඉතා වැදගත් පියවරක් බවට පත් විය. මෙතෙක් ජර්මනියේ දකුණුදිග ප්‍රදේශවල පැතිර තිබූ පක්ෂයට උතුරුදිග ජර්මනිට පැතිරීමට අවස්ථාව සැලසුනේ මෙම සන්ධානය තුලිනි.
නාසි පක්ෂයට ජර්මන් දේශපාලනය තුල විශාල බලයක් හිමි වූයේ 1929 ලෝක ආර්ථික අවපාතය හේතුවෙන් ඇතිවූ ආර්ථික පරිහානියත්, වයිමාර් ජනරජයේ බලයට පත්වන ආණ්ඩුවල පැවති අස්ථාවරත්වයත් යන කරුණු මතය. (1919 ජර්මන් ෆෙඩරල් ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගනු ලැබුනේ වයිමාර් නගරයේ බැවින් එම ජනරජයට මේ නම භාවිතා විය. හිට්ලර් බලයට පැමිණීමෙන් එහි මළගම සිදුවිය). උදාහරණයක් ලෙස ගතහොත්, ජර්මන් ආර්ථිකය මදක් යහපත් අතට හැරෙමින් පැවති 1928 වසරේ පවත්වන ලද මැතිවරණයේදී නාසි පක්ෂයට ලැබුනේ ඡන්ද 810,000 කට මදක් වැඩි ඡන්ද ප්‍රමාණයකි. එනම් සියයට තුනකි.
ආර්ථික අවපාතය සමඟ ජර්මන් දේශපාලනය තුල පැහැදිලි වෙනසක් ඇතිවිය. ඉහල යන උද්ධමනය සහ විරැකියාව හමුවේ, බලයේ සිටි මධ්‍යස්ත දේශපාලන පක්ෂවල ජනප්‍රියත්වය අඩු වෙමින් අන්තවාදී කණ්ඩායම්වල බලය වැඩි වන්නට විය. මේ අනුව දක්ෂිනාංශික සහ වාමාංශික අන්ත දෙකෙහි වූ නාසි පක්ෂයත්, ජර්මන් කොමියුනිස්ට් පක්ෂයත් යන දෙකෙහිම ජනප්‍රියත්වය වැඩිවනු දක්නට ලැබුණි. නමුත් මේ පක්ෂ දෙක එකිනෙකා මරාගන්නා තත්ත්වයකට පත්ව තිබිණ. මීට අමතරව ප්‍රධාන වාමාංශික පක්ෂය වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SPD) සමඟද කොමියුනිස්ට් පක්ෂය ගැටුණි. ප්‍රතිවාදීන්ගේ රැස්වීම්වලට කඩාවැදීම් සහ පෙළපාලිවලට පහරදීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල මෙම පක්ෂ තුනේම ආධාරකරුවෝ යෙදුනහ. ඇතැම්විට ප්‍රතිවාදීන් ඝාතනය කරන තැනට පවා ඔවුහු පත්වූහ.
ලෝක ආර්ථික අවපාතයෙන් පසු පවත්වන ලද පළමු ජර්මන් මහා මැතිවරණය නාසි පක්ෂයට ඉතා වැදගත් මැතිවරණයක් විය. 1930 සැප්තැම්බර් 14 වනදා පැවති එම මැතිවරණයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 577 න් 143 ක් දිනාගෙන විශාලතම තනි පක්ෂය බවට පත් විය. 1928 දී ආසන 12 ක් පමණක් දිනාගත් නාසි පක්ෂය ආසන 107 ක් දිනාගත්තේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 18 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි. කොමියුනිස්ට් පක්ෂයද ආසන 77 ක් දිනාගනිමින් තුන්වන ස්ථානයට පත්විය.
කෙසේ නමුත් නාසිවාදීන්ගේ නැගීමෙන් පාඩු සිදු වූයේ අනෙකුත් දක්ෂිනාංශික දේශපාලන පක්ෂවලටය. කලක් තිස්සේ ජර්මන් දේශපාලනයේ වැදගත් සාධකයක් වූ ඇල්ෆ්‍රඩ් හූගන්බර්ග්ගේ ජර්මන් ජාතික ජනතාවාදී පක්ෂය [Deutschnationale Volkspartei (DNVP)] ආසන 73 කින් 41 කට පහල වැටුන අතර, ජර්මන් ජනතා පක්ෂය [Deutsche Volkspartei (DVP)] ආසන 45 කින් 30 කටත් පල්ලම් බැස්සේය.
DNVP පක්ෂයට වඩා NSDAP පක්ෂය කෙරෙහි දක්ෂිනාංශික ජර්මන් ජාතිකයන් නැඹුරුවීමට හේතු වූයේ එම පක්ෂ දෙකෙහි සංයුතියයි. DNVP පක්ෂය මුලින් (1918 සිට) ප්‍රචලිත වූයේ රාජාන්ඩුවාදී පක්ෂයක් ලෙසයි. පසුව එය ජාතිකවාදය කෙරෙහි නැඹුරු විය. නමුත් එම පක්ෂය නාසි පක්ෂය තරම් අන්තවාදී නොවීය. එමෙන්ම පක්ෂයේ නායකයින් බොහොමයක් ඉහල සමාජ ස්ථරවලින් පැමිණියවුන් වූහ. එහෙයින් සාමාන්‍ය ජනතාව වැඩි දෙනෙක් නාසි පක්ෂය දෙසට නැඹුරු වූ අතර DNVP පක්ෂය සමඟ රැඳී සිටියේ ඉහල සහ මධ්‍යම පාන්තිකයන්ය. මේ හේතුවෙන්, කාලයාගේ ඇවෑමෙන් නාසි පක්ෂය, DNVP පක්ෂය අභිබවා යනු දැකිය හැකි විය.
සමස්ථයක් ලෙස ගත් විට, මෙම මැතිවරණයෙන් ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සැලකියයුතු පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පක්ෂවල සාමාජිකයන් වූහ. මේ අනුව 1930 මැතිවරණය, ජර්මන් දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිවාක් මෙන්ම වයිමාර් ජනරජයේ අවසානය පිලිබඳ අනාවැකියක් ලෙසද ගත හැක.
1930 මැතිවරණයෙන් තෝරාගන්නා ලද ජර්මන් ෆෙඩරල් ව්‍යවස්ථාදායකය හෙවත් රයිෂ්ටාගය තුල බහුතර බලයක් හිමි කරගැනීමට සමත් කිසිදු පක්ෂයක් නොවීය. කොමියුනිස්ට් පක්ෂය මෙන්ම නාසි පක්ෂයද වෙනත් පක්ෂ සමඟ සන්ධානගත වීමට අකමැති වූහ. අනෙක් පක්ෂද ඔවුන් සමඟ සම්බන්ධ වීමට කැමැත්තක් නොදැක්වූහ. මෙම පක්ෂ දෙක අතර ආසන 577 න් 184 ක් හෙවත් තුනෙන් පංගුවකට ආසන්න ප්‍රමාණයක් බෙදී ගොස් තිබිණ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ද අනෙකුත් දක්ෂිනාංශික පක්ෂ සමඟ සන්ධානගත වීමට අකමැති වූ අතර නාසි පක්ෂය නොමැතිව අනෙක් දක්ෂිනාංශික පක්ෂවලටද බහුතර බලයක් නොමැති විය. මේ අතර කතෝලික පක්ෂයක් වූ සෙන්ට්රුම් පක්ෂය (මධ්‍යස්ථ පක්ෂය) ආසන 68 ක් ලබාගෙන තනිව සිටියහ.
1930 මාර්තුවේදී එතෙක් පැවති සභාගය බිඳ වැටීමෙන් පසු මධ්‍යස්ථ පක්ෂයේ හයින්රිච් බ්රූනින්ග් චාන්සලර් පදවියට පත් විය. ඔහුට රයිෂ්ටාගයේ බහුතර කැමැත්ත නොවූ නිසා රට පාලනය කිරීමට සිදු වූයේ ජනාධිපතිවරයාගේ හදිසි නියෝග පැනවීමේ බලය උපයෝගී කරගනිමිනි. මේ තත්ත්වය 1930 මැතිවරණයෙන්ද වෙනසක් නොවීය. එහෙයින්, 1930-1933 කාලය ජර්මනියේ කැබිනෙට් මණ්ඩලය, රයිෂ්ටාගය මෙන්ම එහි ප්‍රධාන පක්ෂත් යන සියල්ල සම්බන්ධ වූ සංකීර්ණ බල අරගලයක ඉතිහාසය විය.
Berlin, Wahlplakat für Hindenburg, (Hindenburg Election Poster "With Him!") පෝල් ෆොන් හින්ඩන්බර්ග් මැතිවරණ පෝස්ටරයක්. එහි සඳහන් වැකියෙන් කියවෙන්නේ "ඔහු සමඟ!" යන්නය. German Federal Archive, (Bundesarchiv, Bild 183-R99203 / CC-BY-SA), Wikimedia Commons.
මෙම කාලය තුල රටේ ජනතාවගේ බහුතර කැමැත්ත තිබූ දේශපාලකයකු රටේ වී නම් ඒ ජනාධිපති පෝල් ෆොන් හින්ඩන්බර්ග් ය. පළමු ලෝක යුද්ධයේ යුධ වීරයකු වූ මෙම ෆීල්ඩ් මාර්ෂල්වරයා 1925 දී ජර්මන් ජනාධිපති ධූරයට පත් විය. ප්‍රශියාවේ රදළ පවුලකින් පැවතෙන්නෙකු වූ ඔහු සාමාන්‍ය ජනයා අතර යුධ වීරයකු ලෙස ගෞරවය දිනාගෙන සිටියේය. 1932 වසරේ ඔහුගේ පළමු ධූර කාලය අවසන් වූ අතර මාර්තු මාසයේදී ජනාධිපතිවරණයක් පවත්වන ලදී. මෙහිදී ඔහුට විරුද්ධව අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තීරණය කළේ දේශපාලන ක්ෂේත්‍රයේ දකුණෙහි සහ වමෙහි වූ අන්තවාදී පක්ෂ සහ කණ්ඩායම් තුනක් පමණි. ඒ නාසි පක්ෂයත්, දක්ෂිනාංශික සංවිධානයක් වූ "ස්ටාල්හෙල්ම්" (යකඩ හෙල්මටය) සංවිධානයත්, කොමියුනිස්ට් පක්ෂයත්ය.
1932 වනතුරු හිට්ලර්ට ජර්මන් මැතිවරණයකට ඉදිරිපත් වීමේ හැකියාවක් නොවීය. මන්ද යත්, ඔහු ජර්මන් පුරවැසියකු නොවූ බැවිනි. 1925 දී සිය ඔස්ට්‍රියානු පුරවැසිභාවය ප්‍රතික්ෂේප කල දින සිට ඇඩොල්ෆ් හිට්ලර් යනු කිසිදු රටක පුරවැසියකු නොවීය. නමුත් ඔහුගේ වාසනාවට 1932 වනවිට ඔහුගේ හෙන්චයියලා ජර්මනියේ වැදගත් ස්ථානවලට පත්ව සිටියහ. එවැන්නකු වූ බ්‍රන්ස්වික් ප්‍රාන්තයේ අභ්‍යන්තර ඇමතිවරයා හිට්ලර්ට 1932 පෙබරවාරියේදී එම ප්‍රාන්ත පුරවැසිකම ලබා දුන්නේය. ජර්මනියේ ප්‍රාන්තයක පුරවැසිකම ලැබීමෙන් හිට්ලර් ජර්මනියේද පුරවැසියකු බවට පත් විය. ඊළඟ මාසයේ එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහුට අවස්ථාව ලැබුනේ එලෙසිනි.
ජනාධිපතිවරණයේ ප්‍රතිපලය කුමක් වීද?
හිට්ලර් "මස් රාත්තලම ඉල්ලුවේ" කෙසේද? එය ලබා ගත්තේ කෙසේද?
රූකඩ නටවන්නන් රූකඩ වූයේ කවර ආකාරයෙන්ද?
සියලු විස්තර මෙම ලිපියේ දෙවන කොටසින්. . . . . .
Supiri lipiyak.. :)
ReplyDeleteතැනක් යූ වේවා! :-)
Deleteහ්ම්.. එල එල.ලියමු ලියමු.මං හිතනවා හිට්ලර් ගැන තියෙන බොහෝ වැරදි කතා නිවැරදි වේවි කියලා.
ReplyDeleteමටත් එහෙම හිතෙනවා. ඒක තීරණය වෙන්නේ අපි දැනට හිට්ලර් ගැන හිතන් ඉන්න දේවල් අනුව.
Deleteහපොයි දෙයියනේ මේ මහ ලොකුවට ජර්මන් ජාතිය ලෝකෙ උසස්ම ජාතිය කරන්න දඟලපු මිනිහා ජර්මන් කාරයෙක් නෙමේද ?
ReplyDeleteතව ටිකක් හොයලා බැලුවොත් මිනිහා යුදෙව්වෙක් වෙන්නත් බැරි නෑ...
වටිනා ලිපියක් චාමර.. ඉතිරි ටිකත් එනකම් බලා ගන ඉන්නවා..
තැනක් යූ වේවා!!
Deleteඔස්ට්‍රියාවේ ඉන්නෙත් ජර්මන් ජාතිකයන්ම තමයි. කතා කරන්නෙත් ජර්මන්. බැවේරියාවේ ජර්මන් කාරයෝ සහ ඔස්ට්‍රියාවේ ජර්මන් කාරයෝ අතර ටිකක් සමානකම් තියෙනවා. ඒ නිසා තමයි අර එක්කෙනෙක් බැවේරියාව ඔස්ට්‍රියාව එක්ක වෙන්න ඕන කියලා තියෙන්නේ.
කොහොම වුනත් හිට්ලර් උපතින් ඔස්ට්‍රියන්කාරයෙක්. ඒ මදිවට එක්තරා කාලෙක රටක් රාජ්‍යයක් නොතිබුන එකෙක්. ඒ වගේම තමයි (ඔයා කිව්වා වගේ) පොඩි සැකයකුත් තියෙනවා යුදෙව් සම්භවයකුත් තිබුනා කියලා.
හමිමේ මම මෙ දවස් වල හොයන දෙයක් තමයි ඔය නාසි නීති ගැන එහෙම..
ReplyDeleteගොඩාක් නැදගත් තව තවත් ලියන්න
Enabling Act (1933) ගැන කියවන්න. Nuremberg Laws ගැනත් බලන්න.
Deleteතැනක් යූ වේවා!
නියමයි
ReplyDeleteතැනක් යූ වේවා! :)
Deleteදැනගෙන සිටි කරුණු වලට වඩා වෙනස් කරුණු ටිකක්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
තැනක් යූ වේවා! ඒකම තමයි මටත් වෙන්න ඕන කළේ.
Deleteහිට්ලර් කියන්නේ හැදෑරිය යුතු චරිතයක්, ඒ චරිතයේ ගන්න ඕන දේවලුත් තියෙනවා
ReplyDeleteඅපි ශ්‍රී ලංකා නිවුස්
මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.
Deleteහිට්ලර්ගේ ගත යුත්තේ මොකක්ද කියන එක කොහොම වුනත් නොගත යුතු දේවල් නම් තියෙනවා කියල හිතෙනවා..