Monday, July 18, 2016

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ජනපති නාමයෝජනා අහිමි වේද​?

ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනය අද දින පටන් ක්ලීව්ලන්ඩ් නුවර දී පැවැත්වේ.​. එම පක්ෂයේ 2016 ජනාධිපති සහ උප ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම පිණිස මෙම සම්මේලනය පැවැත්වේ.

සාමාන්‍යයෙන් ජාතික සම්මේලනයට පෙර පැවැත්වෙන මූලික වටයේ ඡන්ද විමසීම්වලින් ජනාධිපති අපේක්ෂකයා තීරණය කරගන්නා ලද බැවින් පසුගිය වසරවලදී ජාතික සම්මේලනය එතරම් තීරණාත්මක නොවීය​. මෙවර ද මූලික වටයේ ඡන්දවලින් රිපබ්ලිකන් පාක්ෂිකයෝ වැඩි දෙනෙක් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අපේක්ෂකයා ලෙස තෝරා ගැනීමට කැමැත්ත පළ කළහ​. ඔහුට ඒ සඳහා අවශ්‍ය අවම ජාතික සම්මේලන නියෝජිත සංඛ්‍යාව ඉක්මවා නියෝජිත සංඛ්‍යාවක් ලැබී ඇත​.
Donald Trump (Pic: Gage Skidmore)

මූලික වටයේ ඡන්ද විමසීම්වලදී එක් එක් ප්‍රාන්තවලින් එක් එක් අපේක්ෂකයාට යම් නියෝජිතයන් ප්‍රමාණයක් හිමි වේ. ජාතික සම්මේලනයේදී මේ නියෝජිතයින් ඒ ඒ අපේක්ෂකයාට ඡන්දය දීමෙන් අදාළ අපේක්ෂකයා නිල වශයෙන් තෝරාපත් කරගැනේ.

සාමාන්‍ය තත්ත්වයකදී මෙම ක්‍රියාවලිය සිදු වන අතර අවශ්‍ය අවම නියෝජිතයන් පිරිස ඉක්මවා ලබාගත් අපේක්ෂකයකු වේ නම් ඔහු හෝ ඇය හෝ පක්ෂ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වේ.

මෙවර ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ සාම්ප්‍රදායික නායකත්වය අතර ජනප්‍රිය චරිතයක් නොවීම හේතුවෙනි. ඔහුගේ අධිකතර මමත්වය සහ අන්තවාදී අදහස් හේතුවෙන් ඇතැම් පක්ෂ ප්‍රබලයින් ඔහු අප්‍රිය කරන අතර ඇතමෙක් ඔහුට ජයග්‍රහණය කළ නොහැකි බව පවසමින් ජයග්‍රාහී අපේක්ෂකයකු පත්කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙති.

තවමත් අවැසි නම් ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂය යටතේ තරඟ කිරීම වැළැක්වීමට එක් තුරුම්පුවක් ඇත​.

ජාතික සම්මේලනයෙදී ඡන්දය භාවිතා විය යුතු ආකාරය තීරණය කෙරෙන කමිටුවක් වේ. ඊට සාමාජිකයෝ 112 ක් අයත් වෙති. ඇමරිකාවේ ප්‍රාන්ත පනහ ද​, කොලොම්බියා දිස්ත්‍රික්කය ද​, පාලන ප්‍රදේශ (territories) පහ ද වශයෙන් ප්‍රදේශ 56 කින් එක් ප්‍රදේශයට දෙදෙනා බැගින් මෙහි වෙති. ඒ දෙදෙනා කාන්තාවක සහ පුරුෂයකු ද වේ. මෙම කමිටුව නිර්දේශ කරන අයුරින් ඡන් දය පවත්වනු ලැබේ.

මේ අනුව, අවශ්‍ය නම්, ප්‍රාථමික ඡන්ද විමසීම්වල ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම නොසලකා හැර සෑම නියෝජිතයකුටම තමන් කැමති අයුරින් ඡන් දය ලබාදීමේ අවස්ථාව ලබා දීමට ද මෙම කමිටුවට පිළිවන​. එවිට ඕනෑම දෙයක් සිදුවිය හැක​.

කමිටුවේ බහුතරය එසේ තීරණය කළහොත් අනිවාර්යයෙන්ම ඒ ආකාරයෙන් නිදහස් ඡන්දයක් සම්මේලනයේදී පැවැත්වෙනු ඇත​. කමිටුවෙන් සියයට 25 - 50 අතර පිරිසක් නිදහස් ඡන්දයක් ඉල්ලා සිටියහොත් එම තීරණය ගැනීම සම්මේලන නියෝජිතයනටම පැවරේ. මේ අනුව නියෝජිතයන් 2,472 දෙනා විසින් වැඩි කැමැත්ත අනුව නිදහස් ඡන් දයකට යාම පිළිබඳ තීරණය කෙරෙනු ඇත​.

ට්‍රම්ප් විරෝධී රිපබ්ලිකන් ප්‍රබලයින් සතු එකම තුරුම්පුව මෙයයි.

2 comments:

  1. ට්‍රම්ප් ටිකක් අන්තවාදී පාටයි නේද ? එහෙම කෙනෙක් අමෙරිකා ජනාධිපති පු‍ටුවට යනවා කියන්නේ ලෝකෙටම පොඩි අවධානමක් තියනවා... ඒත් මට හිතෙනවා අමෙරිකාවේ ප්‍රථම ජනාධිපටිනිය 2016 ජනාධිපතිවරණයෙන් බිහි වෙයි කියලා..

    මේ විස්තරයට ස්තූතියි චාමර. නොදැනම සිටි කතාවක් මේක..

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ වේවා!

      ට්‍රම්ප් හරිම අන්තවාදී වගේම බැරෑරුම් ප්‍රශ්නයක් ගැන තාර්කිකව තීරණයක් ගන්න බැරි ඒ වගේම හරිම unstable කෙනෙක්.

      Delete