අතීතයේදී ඩොමීනියන් යන පදය ඉංග්‍රීසි කිරීටයට යටත් ප්‍රදේශ සියල්ල හැඳින්වීමට යොදාගන්නා ලදී. වත්මන් එක්සත් රාජධානියේම කොටසක් වන වේල්සය 1535 පමණ සිට කලක් යනතුරු හඳුන්වා දී ඇත්තේ ඩොමීනියනයක් ලෙසය. උතුරු ඇමරිකාවේ ඉංග්‍රීසි කොලනි වූ වර්ජිනියාව සහ නව එංගලන්තය 1660 ගණන්වල සිට ඩොමීනියන් ලෙස හඳුන්වා දෙන ලදී. නමුත් මේ එකකටවත් ස්වයං පාලන අයිතියක් නොවීය. ඩොමීනියන් යන පදය මෙසේ කිරීටයට යටත් සියලු ප්‍රදේශ හැඳින්වීමට යොදාගැනීම 20 වන සියවස කරාද පැමිණි පුරුද්දකි.
Map of the provinces of Canada as they were from 1867 to 1870, පළමු ඩොමීනියන් රාජ්‍යය වූ කැනඩාවේ පළාත් (1967-70). Wikimedia Commons.
අද අප ඩොමීනියන් තත්ත්වයක් ලෙස සලකන ආකාරයට ආසන්න තත්ත්වයක් ඇති ප්‍රදේශයක් මුලින්ම ඇති කරන ලද්දේ බ්‍රිතාන්‍ය උතුරු ඇමරිකා පනත (1867) මගිනි. ඒ කැනඩා සහසන්ධීය රාජ්‍යයයි (Canadian Confederation). වර්තමානයේ කැනේඩියානු ව්‍යවස්ථාවේ කොටසක් වන බැවින් මෙම පනත එරටේදී හඳුන්වනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත (1867) ලෙසය. මීට පෙර පැවති කැනඩා පළාත දෙකඩ කොට ඔන්ටාරියෝ සහ ක්විබෙක් නම් පළාත් දෙකක් නිර්මාණය කර, ඊට නිව් බ්‍රන්ස්වික් සහ නොවා ස්කොෂියා පළාත් දෙකද එක් කර, පළාත් හතරකින් යුතු සහසන්ධීය රාජ්‍යය පිහිටවන ලද්දේ 1867 ජූලි 1 වනදාය. එහෙයින් කැනඩාවේ ජාතික දිනය හෙවත් "කැනඩා දිනය" සමරනු ලබන්නේ ජූලි 1 වනදාය. 1867 දී කැනඩාවේ පළමු අගමැතිවරයා ලෙස තේරී පත් වූයේ ජෝන් ඒ. මැක්ඩොනල්ඩ් ය.
මින් පසු 1901 වසරේ පිහිටුවන ලද ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයටද ඩොමීනියන් තත්ත්වය ලැබිණ. 1907 පැවැත්වූ යටත් විජිත සමුළුවේදී කැනඩාව සහ ඔස්ට්‍රේලියාව ඩොමීනියන් ලෙස හඳුන්වා දෙන ලද අතර, ස්වයං පාලන තත්ත්වය හිමි යටත් විජිත වූ නවසීලන්තය සහ නිව් ෆවුන්ඩ්ලන්තයද ඩොමීනියන් තත්ත්වයට උසස් කරන ලදී. (ස්වයං පාලන තත්ත්වය හිමි යටත් විජිතවලට ඒවායේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ බලතල තිබුනද ආණ්ඩුක්‍රමය සහ කිරීටය සමඟ යටත් විජිතයේ තිබුණු සම්බන්ධය පිළිබඳ නීති සැකසීමට අයිතියක් නොවීය. උදාහරණයක් ලෙස ගතහොත් ඩොමීනියන් රාජ්‍යයකට 1972 ශ්‍රී ලංකාව සිදුකළ පරිදි කිරීටය සමඟ වූ සම්බන්ධතා බිඳ දැමිය හැකි වුවද ස්වයං පාලන තත්ත්වය හිමි යටත් විජිතවලට ඒ අයිතිය නොවීය).
මින් ටික කලකට පසු 1910 දී දකුණු අප්‍රිකාව බිහි වූ අවස්ථාවේ, එරටට ඩොමීනියන් තත්ත්වය දෙන ලදී. 1922 අයිරිෂ් නිදහස් රාජ්‍යයටද එම තත්ත්වය ලබා දෙන ලදී. 1937 දී කිරීටය සමඟ සම්බන්ධතා බිඳ දමා ජනරජයක් බවට පත් වූ පළමු ඩොමීනියන් රාජ්‍යය බවට එය පත් විය.
1926 බැල්ෆෝර් ප්‍රකාශනය මඟින් ඩොමීනියන් රාජ්‍යයක් යනු කවරක්දැයි අර්ථ දක්වන ලදී. ඒ අනුව ඩොමීනියන් රාජ්‍යයන් යනු "බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල එකිනෙකා හා සමාන තත්ත්වයෙන් යුතු, අභ්‍යන්තර හෝ බාහිර හෝ කිසිදු කරුණකදී ඔවුන්ගෙන් එකකට වඩා පහත් නොවන, එනමුත් කිරීටය සමඟ වන සම්බන්ධතාවයෙන් බැඳී සිටින, ස්ව කැමැත්තෙන් බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වන සමූහයන්ය."
1931 දෙසැම්බර් 11 වනදා ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ සම්මත වූ වෙස්ට්මිනිස්ටර් ආඥාපනත (1931) ඩොමීනියන් රාජ්‍යයන්ට ඉතා වැදගත් විය. එම පනතට අනුව, ඉංග්‍රීසි පාර්ලිමේන්තුවට ඩොමීනියන්වලට බලපාන ලෙස නීති සැකසීමට එතෙක් තිබූ බලය අහෝසි කෙරිණ. මින් ඉදිරියට එසේ නීතියක් සකසන්නට ඉංග්‍රීසි පාර්ලිමේන්තුවට ඉඩ ලැබුණේ අදාළ ඩොමීනියන් රාජ්‍යය විසින්ම ඉල්ලීමක් කළහොත් පමණි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු බොහෝ රටවල් නිදහස ලබා ගනිද්දී ඩොමීනියන් තත්ත්වය ලබා දෙන ලදී. යටත්විජිතවාදය අවනතියට පත් පැවති මේ යුගයේ එසේ නිදහස ලද රටවල් ඩොමීනියන් ලෙස නොව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස හඳුන්වා දෙන ලදී. මේ රටවල රාජ්‍ය නායකයා වූයේ එක්සත් රාජධානියේ රජු හෝ රැජිනයි. කිරීටයේ නියෝජිතයා ලෙස අග්‍රාණ්ඩුකාරයෙක් කටයුතු කළේය. එමෙන්ම රටේ උපරිමාධිකරණ බලය වූයේ ප්‍රිවි කවුන්සිලයටය.
කෙසේ නමුත් ඇතැම් යටත් විජිත (උදාහරණයක් ලෙස බුරුමය) නිදහස ලබද්දී කෙලින්ම ජනරජ බවට පත් වීමට කැමැත්ත පල කළහ. ඩොමීනියන් බවට පත් වූ බොහෝ රටවල්ද නිදහසින් පසු වසර කිහිපයක් තුළ ජනරජ බවට පත් වූහ. ජනගහනයෙන් බහුතරය ඉංග්‍රීසි කතා කරන සුදු ජාතිකයන් වන ඩොමීනියන් සහ ඇතැම් කුඩා ඩොමීනියන් තවමත් ඒ තත්ත්වය පවත්වාගෙන යනු දක්නට ලැබේ. මුලින්ම බිහිවූ කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයද මේ අතර වෙති. නිව්ෆවුන්ඩ්ලන්තයද වර්තමානයේ කැනඩාවේ කොටසකි.
ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව තාම බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ද??????
ReplyDeleteරැජින තමයි රාජ්‍ය නායකයා. එච්චරයි. සියලු පාලන කටයුතු වෙන්නේ ඕස්ට්‍රේලියානු මධ්‍යම ආණ්ඩුවට සහ ප්‍රාන්ත ආණ්ඩුවලට අවශ්‍ය විදියට.
Delete"නිව්ෆවුන්ඩ්ලන්තය" මොකක්ද මේ කියලා මට හිතා ගන්න බැරි උනා.ටිකක් වෙලා බලද්දිනේ හරියට දැක්කේ.ජනරජයක් බවට පත් වූ පළමු රට අයිරිෂ් ද? ශ්‍රී ලංකාව ජනරජයක් උනේ පොදුරාජ්‍ය මණ්ඩලය තුලදීමයි නේ? දැනට පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ගණන 58 ක්ද? 60 ක්ද?
ReplyDeleteජනරයජයක් වෙච්ච පලවෙනි ඩොමීනියන් එක...... බුදුන්ගේ කාලෙත් සමූහාණ්ඩු ක්‍රමය තිබුනා කියනවා නේ.
Deleteනිව්ෆවුන්ඩ්ලන්තය ගැන මම කියලා තියෙනවා ඇමරිකාව හොයාගත්තේ කවුද? කියන පෝස්ට් එකේ....
එතකොට ඩොමීනියන් රාජ්‍යයක් යනු ස්වාධීනයි කිව්වට කිරීටයේ රෙගුලාසි වලට යටත් රාජ්‍යයක්ද ?
ReplyDeleteස්වාධීනව පාලනය ගෙන යන්න බැරිද එතකොට ?
මට හරියටම මීටර් උනේ නෑ
1931 වෙනකල් ඩොමීනියන් වලට බලපාන නීති හදන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට පුළුවන් උනා. දැන් එහෙම බැහැ. ඩොමීනියන් එකක රාජ්‍ය නායකයා එංගලන්තේ රජ්ජුරුවෝ/රැජින තමයි. එයාගේ නියෝජිතයා විදියට අග්‍රාණ්ඩුකාරයා ඉන්නේ. ඒ වුනත් අග්‍රාණ්ඩුකාරයා වැඩ කරන්නේ රටේ අගමැති කියන විදියට. එංගලන්තේ රජු/රැජින කියන විදියට නෙවෙයි.
Deleteහැබැයි මෙහෙම එකක් තියෙනවා ..
ReplyDeleteඔය කියන තරමි ලේසියෙන් නමි අපිට 72 දි ජනරජයක් වෙන්න ලැබුණෙ නැහැ නේද..
මොකද 47 ව්‍ය. කියලා තිබිබනේ මෙ ව්‍ය. වෙනස් කරන්න සොල්බරි පාර්ලිමෙන්තුය යටතේ බැහැ කියලා....
සමහර විට කොල්වින් ආර් ද සිල්වා වාගේ මිනිස්සු නොහිටියනමි ලංකාව තාමත් ඩොමිනියන් තත්වයේ නිදහසක් භුක්ති විදියි
එහෙම වෙලාවට කරන්න පුළුවන් විකල්ප ක්‍රම කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති මූලධර්මවල සඳහන්. එයින් එකක් තමයි 1972 කලේ. පාර්ලිමේන්තුව තුල නැතුව පිටතදී රැස් වෙන එක. එහෙම රැස් වුනේ රාජකීය විද්‍යාලයේ නවරඟහලේ. මෑතක් වෙනකල් ඒ ගැන පාසලේ ය පවා එච්චර දැනගෙන හිටියේ නැහැ. දැන් නම් නවරඟහල ළඟ ඒ බව කියාපු ඵලකයක් තියෙනවා. පුළුවන් වුනොත් ඒකෙත් පින්තූරයක් අරන් ඒ ගැන ලිපියක් ලියන්නම්කො....
Deleteහොඳ ලිපියක්.
ReplyDeleteස්තුතියි! :)
Deleteවටිනා තොරතුරු.. ස්තුතියි..!
ReplyDeleteඑල! :)
Deleteනොදැන සිටි අවුස් සහගතව තිබුනු කරුණක්.. ස්තූතියි නිරවුන් දැණුම ලබා දුන්නාට..
ReplyDeleteඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ කැනඩාව සිය රාජ්‍ය නායකයා ලෙස සලකන්නෙ බ්‍රිතාන්‍ය කිරීටය දරන තැනත්තාවද ?
ඇමෙරිකාවෙ තවමත් බ්‍රිතාන්‍යය කොළනි තියනවාද ?
වර්තමාන දකුණු අප්‍රිකාව ජනරජයක්ද ? ඩොමිනියන් එකක්ද ?
රාජ්‍ය නායකයා කිරීටය දරන තැනැත්තා තමයි.
Deleteඇමරිකාවේ බ්‍රිතාන්‍ය කොලනි නැහැ. උතුරු ඇමරිකාවේ ඩොමීනියන් තත්ත්වයේ තියෙන රටක් තමයි බෙලීස් රට (කැනඩාව ඇරුනම). බටහිර ඉන්දීය කොදෙව් සමහරකුත් ඒ තත්ත්වයේ තියෙනවා. තවමත් බ්‍රිතාන්‍ය කොලනි විදියට තියෙන දූපත් රාජ්‍ය කිහිපයක් කැරිබියානු දූපත්වල තියෙනවා. (ඇන්ගුයිලාව, මොන්ට්සෙරාට්, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්, ටර්ක්ස් සහ කේකොස්, කේමන් දූපත්, බර්මියුඩාව ඒ සඳහා උදාහරණ).
දකුණු අප්‍රිකාව ජනරජයක් වුනේ 1961... මම ඒ ගැනත් ලැබුන විටෙක ලියන්න ඉන්නවා. කවදා ලියයිද මන්ද.....