Wednesday, July 13, 2016

පළමු ලෝක යුද්ධය​: රුසියාව යුද්ධයෙන් ඉවත් වීම​

* 1918 ට පෙර රුසියාවේ භාවිතා වූයේ ජුලියානු දින දර්ශනය ය​. 1917 දී එය ලෝකයේ පොදුවේ භාවිතා වන ග්‍රෙගරියානු දින දර්ශකයට වඩා දින 13 ක් පිටිපසින් විය​. මෙම ලිපියෙහි සාමාන්‍යයෙන් වත්මන් දින දර්ශනය අනුගමනය කර ඇති අතර අවශ්‍ය ස්ථානවලදී පැරණි දින දර්ශනය අනුව දිනය පැහැදිලිව​ දක්වනු ලැබේ.

යුද්ධය ආරම්භ වූ දිනවල සිටම රුසියානු හමුදා විශාල ජීවිත හානි ප්‍රමාණයකට මුහුණ දුන් අතර 1916 වසර තුළ දී ද අති විශාල ජීවිත හානි ප්‍රමාණයකින් එරට බැට කෑවේය​. යුධ පෙරමුණෙහි මෙන්ම රට තුළ ද තත්ත්වය තව දුරටත් අයහපත් අතට හැරෙමින් පැවතිණ​.

1917 මුල් කාළය වනවිට රටෙහි මහජන ප්‍රතිරෝධය උත්සන්න වෙමින් පැවතුණි. පැරණි අධිරාජ්‍යය එහි අවසන් දින කරා එළඹී තිබිණ​. විශාල වශයෙන් ගොවීන් යුධ පෙරමුණ කරා යාමෙන් ආහාර නිෂ්පාදනය ද අඩාල විය​.

පෙබරවාරි විප්ලවය​

කෙසේ නමුත් අධිරාජ්‍යය අවසානය කරා ගිය සිද්ධි මාලාවට මූලාරම්භය සපයන ලද්දේ කාන්තාවන් වීම රුසියානු අධිරාජ්‍යයේ ඉතිහාසය පිළිබඳ වැදගත් කරුණකි. 1917 මාර්තු 8 වනදා පෙට්‍රොග්‍රාඩ් නුවර කාන්තාවෝ ජීවන වියදමට සහ ආහාර හිඟයට එරෙහිව පෙළපාලි ගියේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ය​. එදින ඇරඹි ආණ් ඩු විරෝධී පෙළපාලි දිනෙන් දින වර්ධනය වූ අතර හමුදා සෙබලුන් අතරින් ද ඊට සහයෝගය ලැබෙන ලකුණු පහළ විය​. තත්ත්වය අයහපත් අතට හැරුණ විට අන් පිළියමක් නොවූයෙන් රුසියාවේ අවසන් සාර්වරයා වූ දෙවන නිකොලස් සිහසුන අතහැරියේය​.  ඒ මාර්තු 15 වනදා ය​. තාවකාලික ආණ් ඩුවක් පිහිටුවන ලදී. රුසියාව සමූහාණ්ඩුවක් බවට පත් වූයේය​.
තාවකාලික ආණ්ඩුව (මාර්තු, 1917)

මෙම විප්ලවය ඇරඹියේ මාර්තු 8 වන දින බව කළින් සඳහන් කෙරිණ​. පැරණි ක්‍රමයට අනුව එදින පෙබරවාරි 23 වනදා විය​. එහෙයින් මෙම විප්ලවයට පෙබරවාරි විප්ලවය යයි කියනු ලැබේ.

මෙම සිදුවීම් අතරතුර වූ අනෙක් වැදගත් සිද්ධිය නම් පෙට්‍රොග්‍රාඩ් කම්කරුවන් ගේ සහ සොල්දාදුවන් ගේ සෝවියට් සභාව පිහිටුවීම ය​. මාර්තු 12 වනදා පිහිටවන ලද එය  මීළඟ මාස කිහිපයේදී තාවකාලික ආණ් ඩුවට සමගාමීව එයට විකල්ප බලයක් ලෙස ක්‍රියාත්මක විය​.

'කෙරෙන්ස්කි ක්‍රියාන්විතය​'

තාවකාලික ආණ්ඩුවට යුද්ධය අවසන් කිරීමේ අවශ්‍යතාවයක් නොවීය​. මිත්‍ර පාක්ෂිකයන් බලාපොරොත්තු වූයේ නව රජය යටතේ රුසියාව වඩා සාර්ථකව යුද්ධයට සහභාගී වනු ඇති බවය​. ජනතාවගේ අවශ්‍යතාව වූයේ සාමය වුව ද නව රජයේ අවශ්‍යතාව එය නොවීය​.

මේ අතරතුර දශකයකට වැඩි කළක් පිටුවහල් ව සිටි රුසියාවේ බෝල්ශවික් නායක ව්ලැඩිමීර් ඉලීච් ලෙනින්ට ජර්මනිය හරහා සිය රට බලා යෑමට අවසර දෙන ලදී. බෝල්ශවික්වරුන් යුද්ධය ප්‍රතික්ෂේප කළ අතර ඒ හේතුව නිසා වෙනදාට වඩා වැඩි ජන ප්‍රසාදයක් ඔවුන් වෙත ලැබීමේ ඉඩක් ද මෙකළ විය​.

තාවකාලික ආණ්ඩුව යටතේ රුසියානු හමුදාවෝ ජූලි 1 වනදා ගැලීසියාව දෙසට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ හ​. මුලදී එම ප්‍රහාරය සාර්ථක වූ නමුත් දින කිහිපයකින්ම ඔවුන් පසු බස්වන ලදී. මෙහි අතුරු ඵලයක් වූයේ යුද්ධය තිත්ත වී සිටි සාමාන්‍ය සෙබලුන් හමුදා අණ නොතැකීමට පටන් ගැනීමය​.

මෙම යුධ ක්‍රියාන්විතය එවක තාවකාලික ආණ්ඩුවේ යුධ අමාත්‍ය වූ ඇලෙක්සැන්ඩර් කෙරෙන්ස්කිගේ නමින් 'කෙරෙන්ස්කි ක්‍රියාන්විතය​' ලෙස ද හැඳින්වේ.

මේ සමඟම යුධ විරෝධී කම්කරු පෙළපාලි පෙට්‍රොග්‍රාඩයේ ඇති විය​. බෝල්ශවික් පක්ෂය අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් එයට නායකත්වය දීමට ඉදිරිපත් වූ නමුත් එම පෙළපාලි මැඩ පවත්වන ලදී. ලෙනින් ෆින්ලන්තයට පළා ගියේය​. අනෙකුත් බෝල්ශවික් නායකයන් අත් අඩංගුවට ගන්නා ලදී.

යුධ මෙහෙයුම් අසාර්ථක වීමත් ආණ්ඩු විරෝධී පෙළපාලිත් මධ්‍යයේ තාවකාලික ආණ්ඩුවේ අර්බුද ඇති වූ අතර ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Constitutional Democratic Party) හෙවත් කැඩෙට් පක්ෂය රජයෙන් ඉවත් විය​. කෙරෙන්ස්කි අගමැති බවට පත් විය​.
ජර්මන් හමුදා රීගා නගරයට ඇතුලු වෙති. 1917 සැප්. 3

අභිනවයෙන් රුසියානු හමුදා ප්‍රධානී තනතුරට පත් ජෙනරල් ලවාර් කෝර්නිලොව් විශ්වාස කළේ යුධ පෙරමුණේ විනය පිරිහීමට පෙට්‍රොග්‍රාඩ් සෝවියට් සභාව වගකිව යුතු බවත් එයට එරෙහිව පියවර ගැනීමට රජය අපොහොසත් බවත් ය​. ඊට පිළියමක් ලෙස තමා පෙට්‍රොග්‍රාඩ් සෝවියට් සභාව විනාශ කළ යුතු යැයි කෝර්නිලොව් සිතන්නට ඇත​. අගෝස්තු මාසයේදී පෙට්‍රොග්‍රාඩ් සෝවියට් සභාව ඔහු කළ උත්සාහය ලත් තැනම ලොප් වූයේ පෙට්‍රොග්‍රාඩ් සෝවියට් සභාව හේතුවෙනි. සෝවියට් සභාවට පහර දීමට ඔහු සිය හමුදා යෙදවූ නමුත් එයට සහය දුන් කම්කරුවන් සහ සොල්දාදුවන් විසින් එම ප්‍රහාරය ලත් තැනම ලොප් කරන ලදී.

යුධ පෙරමුණේ තත්ත්වය තවත් දරුණු අතට හැරෙමින් පැවතිණ. බෝල්ටික් මුහුදුබඩ විශාල නගරයක් වූ වර්තමාන ලැට්වියාවේ අගනුවර වන රීගා නගරය ජර්මානුන් විසින් 1917 සැප්තැම්බර් 3 වනදා අල්ලාගන්නා ලදී. පෙට්‍රොග්‍රාඩය දෙසටද ජර්මන් හමුදා ළඟාවනු ඇතැයි ඇතැම් පිරිස් සැක පහළ කරන්නට වූහ​.

ඔක්තෝබර් විප්ලවය​

බෝල්ශවික්වරුන් ගේ බලය දිනෙන් දින වැඩෙන්නට විය​. 1917 නොවැම්බර් 7 වනදා, (පැරණි දින දර්ශනයට අනුව ඔක්තෝබර් 25) ඔවුහු අවිගත් නැගිටීමක් මගින් තාවකාලික රජය පෙරළා දැමූහ​. ඒ සමඟම රුසියාව යුද්ධයෙන් ඉවත් විය යුතු බව ඔවුහු කියා සිටියහ​. සටන් නැවැත්වීමේ මූලික ගිවිසුමක් දෙසැම්බර් 15 වනදා අත්සන් කරන ලදී.
බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් ගිවිසුම අනුව ජර්මානුන් විසින් ඍජුවම අත්පත් කරගත් ප්‍රදේශ රතු පාටින් ද, රුසියාව විසින් අත් හරින ලද ප්‍රදේශ ලා කොළ පැහැ ඉරිවලින් ද දැක්වී. තිත්වලින් දැක්වෙන ප්‍රදේශයෙන් ජර්මන් හමුදා ඉවත් කරගනු ලැබුණි.

අභිනවයෙන් පිහිටවූ ලොව පළමු සමාජවාදී රාජ්‍යය ලෙස හැඳින්විය හැකි සෝවියට් රුසියාව තවමත් දුර්වල තත්ත්වයක පැවැතියේය​. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් තමන්ට අතිශයින් වාසිදායක ගිවිසුමකට එළඹීමට ජර්මනිය කටයුතු කළේය​. 1918 මාර්තු 3 වනදා බ්‍රෙස්ට්-ලිටොව්ස්ක් ගිවිසුම (Brest-Litovsk Treaty) අත්සන් කරන ලදී. මේ මගින් යුක්‍රේනය​, ලිවෝනියාව​, එස්තෝනියාව​, ෆින්ලන්තය​, ලිතුවේනියාව සහ කෝර්ලන්තය පිළිබඳ අයිතිවාසිකම් රුසියාව විසින් අත හරින බවට ප්‍රකාශ කෙරිණ​. තවමත් අස්ථාවර තත්ත්වයක පැවති සෝවියට් රුසියාවට මීට එකඟ වීමට සිදු විය​.

6 comments:

  1. /සෝවියට් රුසියාව තවමත් දුර්වල තත්ත්වයක පැවැතියේය​. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් තමන්ට අතිශයින් වාසිදායක ගිවිසුමකට එළඹීමට ජර්මනිය කටයුතු කළේය​.//

    හැබැයි ඕකම පළමුවැනි ලෝක යුද්ධය අවසානයේදී නැවත ජර්මනියටම කැරකුනා නේද?

    ReplyDelete
    Replies
    1. Yep. ඊට පස්සෙ ඒක ආයෙ යුද්ධෙකට මාර්ගය පාදලා තවත් ගිනි විජ්ජුම්බර ගොඩකට පාර කැපුව​

      Delete
  2. Replies
    1. ඉවසල හිටු
      අපිට මෙව්ව ලිව්වට කවුරුත් සල්ලි දෙන්නෙ නෑ නෙ. නිදහස් වෙලාවට තමා ලියන්නෙ

      Delete
  3. godak asawen kiyewwe... Russia gena thawa wisthara puluwan widiyata liyanna.. :)

    ReplyDelete