Friday, April 18, 2014

1930 පාපන්දු ලෝක කුසලානය

යූල්ස් රිමේ

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් පැවැත්වීමේ අදහස 1904 ලෝක පාපන්දු සම්මේලනය (FIFA) ආරම්භ කරන අවධියේද පැවති නමුත් එම අදහස එකළ එතරම් ජනප්‍රිය නොවීය. ඊට ප්‍රධාන හේතුව වූයේ එකළ ඔලිම්පික් උළෙලෙහි පාපන්දු තරඟාවලිය ලෝක පාපන්දු කුසලානයක් හා සමාන ලෙස සැලකීමයි. එනිසා 1920 ගණන් වනතුරු පාපන්දු ලෝක කුසලානයක අවශ්‍යතාවය එතරම් නොදැනුණි.

නමුත් 1920 ගණන් වනවිට මේ තත්ත්වයේ වෙනසක් සිදු විය. මේ කාළය වනවිට චෙකොස්ලොවැකියාව, හන්ගේරියාව සහ ඔස්ට්‍රියාව වැනි රටවල වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන් බිහිවන්නට විය. එහෙයින් එම ක්‍රීඩකයනට ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ අවස්ථාව අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වූයේය. මක්නිසාද යත්, අන්තර්ජාතික ඔලිම්පික් සමුලුවේ (IOC) නීති රීති ප්‍රකාරව වෘත්තීය ක්‍රීඩකයන්ට ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ ඉඩකඩ නොමැති වීමයි. එහෙයින්, ඔලිම්පික් උළෙල සඳහා තමන්ගේ හොඳම කණ්ඩායම ඉදිරිපත් කිරීමට හැකියාවක් නොලැබීම පිළිබඳ එම රටවල් මැසිවිලි නගන්නට විය. මෙය IOC සහ FIFA අතර මතභේදයකටද හේතු විය. මේ අතර ඔලිම්පික් උළෙලට සහභාගී වන ඇතැම් දකුණු ඇමරිකානු කණ්ඩායම්වල ආධුනික ස්වාභාවය පිළිබඳද ගැටලු මතුවිය.

කෙසේ වුවද පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් වෙනමම පැවැත්වීමේ අවශ්‍යතාව තදින්ම දැනෙන්නට වූයේ 1932 ඔලිම්පික් උළෙලෙන් පාපන්දු ක්‍රීඩාව ඉවත් කරනු ලැබීමත් සමඟය. එවර ඔලිම්පික් උළෙල පැවැත්වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේය. එක්සත් ජනපදයේ පාපන්දු ක්‍රීඩාව එතරම් ජනප්‍රිය නොවීම හේතුකොටගෙන සංවිධායකයෝ එම පියවර ගත්හ. ඒ සමඟම ලෝක පාපන්දු සම්මේලනයේ පාලනය යටතේ පැවැත්වෙන වෙනමම තරඟාවලියක අවශ්‍යතාවය මතු විය. මෙම අදහස ක්‍රියාත්මක කිරීමේ මූලිකත්වය ගත්තේ එවක ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වූ යූල්ස් රිමේ (Jules Rimet) ය. 1928 ඇම්ස්ටර්ඩෑම් නගරයේ පැවති FIFA සමුළුවකදී ඔහු විසින් මෙම අදහස ඉදිරිපත් කරන ලදුව ඡන්ද 25-5 ලෙස එම යෝජනාව අනුමත කරගන්නා ලදී.

නෙදර්ලන්තය, හන්ගේරියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ උරුගුවේ රාජ්‍යය පළමු පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කළහ. නමුත් එම ගෞරවය හිමිවූයේ උරුගුවේ රාජ්‍යයටය. ඒ වනවිට එරට පාපන්දු ඔලිම්පික් ශූරයින්ද වූ අතර ලෝක කුසලානය පැවැත්වූ 1930 වසරේ එරට නිදහසේ ශත සංවත්සරයද යෙදී තිබිණ. එමෙන්ම එම රට ලෝක කුසලානය සඳහා සහභාගී වන සියලු කණ්ඩායම්වල ගමන් වියදම් දැරීමට කැමැත්ත පල කිරීමද එරටට එම භාග්‍යය ලැබීමට හේතු විය. මේ අතර මෙවන් තරඟාවලියක් පැවැත්වීමේ වියදම පිළිබඳ අවබෝධ වීම හේතුවෙන් අනෙක් රටවල්ද මුලින් තිබූ උනන්දුව පසුව දක්නට නොලැබිණ.

තරඟාවලියට සහභාගී වූයේ රටවල් 13 ක් පමණි. එයිනුත්, යුරෝපා රටවල් වූයේ හතරක් පමණි. යුරෝපයේ සිට ලතින් ඇමරිකාවට ගමන් කිරීම සඳහා ගතවන කාළය මීට බෙහෙවින් හේතු විය. යූල්ස්‌ රිමේ ප්‍රංශ ජාතිකයකු වූ නිසා එරටට කණ්ඩායමක් යැවීමෙන් වැළකීමට හැකියාවක් නොවීය. මේ අතර රුමේනියාව සිය පාපන්දු කණ්ඩායම උරුගුවේ රාජ්‍යයට යැව්වේ එරට පාලකයා වූ 2 වන කැරොල් රජුගේ පුද්ගලික මැදිහත්වීමෙනි. මීට අමතරව බෙල්ජියම සහ යුගොස්ලාවියාවද සිය කණ්ඩායම් ලෝක කුසලානය සඳහා සහභාගී කරවූහ.

මෙම පාපන්දු ලෝක කුසලානයේ සියලු තරඟ උරුගුවේ රටේ අගනුවර වන මොන්ටෙවීඩියෝ නගරයේදී පවත්වන ලද අතර මෙසේ එකම නගරයක සියලු තරඟ පැවැත්වූ පළමු සහ එකම පාපන්දු ලෝක කුසලානය බවටද මෙම තරඟාවලිය ඉතිහාසයට එක් විය. 1930 ජුලි 13 වනදා පළමු තරඟ ලෙස ප්‍රංශය සහ මෙක්සිකෝව අතර තරඟයත්, බෙල්ජියම සහ එක්සත් ජනපදය අතර තරඟයත් එකවිට ආරම්භ විය. ප්‍රංශය 4-1 ලෙසත්, එක්සත් ජනපදය 3-0 ලෙසත් එම තරඟ දෙකෙහි ජය වාර්තා කළහ. ලෝක කුසලානයක පළමු ගෝලය ප්‍රංශ ජාතික ලෝරන්ට් ලෝරන්ට් විසින් වාර්තා කෙරුණේ මෙක්සිකෝව සමඟ තරඟයේ 19 වන මිනිත්තුවේය.

ජූලි 30 වනදා මොන්ටෙවීඩියෝ නගරයේ ශත සංවත්සර ක්‍රීඩාංගනයේ (Estadio Centanario) පැවති අවසන් තරඟය සඳහා උරුගුවේ රට සහ යාබද ආර්ජන්ටීනාව සුදුසුකම් ලැබූහ. පළමු භාගයේදී 2-1 ලෙස ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටි නමුත්, අවසානයේදී 4-2 ලෙස තරඟය ජය ලැබුවේ සත්කාරක උරුගුවේ රටය. මේ අනුව උරුගුවේ රාජ්‍යය පළමු පාපන්දු ලෝක ශූරයින් බවට පත්විය.

යුරෝපා රටවල සහභාගිත්වය අඩු මට්ටමක පැවතියද ප්‍රථම පාපන්දු ලෝක කුසලානය සාර්ථක තරඟාවලියක් ලෙස ඉතිහාසයට එක් වූයේය.

6 comments:

  1. ලිපියට ස්තුතියි.
    …ක්‍රීඩකයන් වෘත්තීයද ආධුනිකද කියලා වෙන්කරන්න භාවිතා කරන මිනුම් දණ්ඩ මොකක්ද?
    …දැනටත් ඔලිම්පික් වලට ආධුනික ක්‍රීඩකයන් සහභාගි වියයුතුයි කියන නීතිය තිබෙනවාද?

    ReplyDelete
    Replies
    1. මේ Amateur සහ Professional කියන කාණ්ඩ දෙක තමයි. වෘත්තීය මට්ටමෙන් ක්‍රීඩාව පමණක් කරන අය මීට අවුරුදු 100 කට පමණ පෙර එච්චර හිටියෙ නෑ (කිසිම ක්‍රීඩාවකට​). ලංකාවේ 1996 වෙනකල් ක්‍රිකට් ක්‍රීඩකයො පවා තරඟාවලියකට ගියේ තමන් කරන රස්සාවෙන් නිවාඩු අරන්... 1930 ෆීෆා වර්ල්ඩ් කප් එකට රුමේනියාවට යන්න පුලුවන් උනේ රජ්ජුරුවො මැදිහත්වෙලා මාස 3 ක් නිවාඩු අරන් දීපු නිසා. අදටත් ලංකාවේ බොහෝ ක්‍රීඩකයන් වගේම වෙනත් රටවල බොහෝ ක්‍රීඩකයනුත් රැකියාවල් කරන ගමන් තමයි ක්‍රීඩාවේ නිරත වෙන්නෙ. රග්බි, ක්‍රිකට්, ෆුට්බෝල් වගේ ක්‍රීඩාවල පවා වෘත්තීය ක්‍රීඩකයො ඉන්නෙ ඒ ක්‍රීඩාවල් ජනප්‍රිය රටවල පමණයි. රග්බි වර්ල්ඩ් කප් එකට එන රටවල් 20 තුල පවා නිවාඩු අරන් සෙල්ලම් කරන අය ඉන්නවා. :)

      අද කාලෙ නම් ඔලිම්පික් සඳහා මේ මිනුම් දඬු කොහොම යොදාගන්නවාද කියන එක ගැන මට අවබෝධයක් නැහැ.

      Delete
  2. නොදැන සිටි විස්තරයක්... ස්තූතියි චාමර.. එහෙම පටන් ගත්තු ලෝක පාපන්දු කුසලානයට අද තියන තැන කොහොමද කියලා හිතුවම පුදුමත් හිතෙනවා.. ලංකාව කවදා ප්‍රථම කණඩායම් 32කටවත් තේරෙයිද මංදා !!

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ වේවා බොස්!

      ලංකාව ඉතිහාසෙ ආපු හොඳම ෆීෆා රෑන්කිං එක 122 වගේ මතක​. මෑතකදි 190 ට බැස්සා. ඒ ඔක්කොම සාමාජිකයො 204 ක් අතුරින්. ඉස්සර අපිට වඩා පහල හිටපු, මෑතක් වෙනකල් ෆුට්බෝල් සෙල්ලම් නොකරපු භූතානය පවා දැන් අපට වඩා හොඳයි...

      1930 වෙද්දි අප්‍රිකාව​, ආසියාව විතරක් නෙවෙයි උතුරු ඇමරිකාවෙ (කැනඩාව​, ඇ.එ.ජ​) පවා ෆුට්බෝල් ජනප්‍රිය වුනේ නෑ. දැන් තත්ත්වය වෙනස්. ආසියා-අප්‍රිකා රටවල් සියල්ලටම 1934 FIFA World Cup එකේ ඉඳන් දුන්නෙ ස්ලොට් එකක් විතරයි. අද වෙනකොට ඒ ගණන ගොඩක් වැඩි වෙලා තියෙනවා..

      පාපන්දු කියන්නේ දුප්පතාගෙ සෙල්ලමක් නෙ. පේලේ ඇතුලු බොහෝ ක්‍රීඩකයො දුගී දුප්පත් භාවයෙන් ගොඩ ඇවිත් තියෙනවා පාපන්දු නිසා. යුරෝපයේ පවා එහෙම දුගී භාවයෙන් එලියට ආපු ක්‍රීඩකයො ඉන්නවා.

      ආයෝජනය කරන්න ඕන මුදල් අඩු නිසා, දුප්පත් රටක දියුණු කරන්න ලේසි ක්‍රිකට් වලට වඩා ෆුට්බෝල් වගේ ක්‍රීඩාවක්. ඒකයි බොහෝ රටවල ඒ ක්‍රීඩාව ජනප්‍රිය වෙලා තියෙන්නෙ. විශේෂයෙන් අප්‍රිකාවෙ...

      Delete
    2. "බොස්" කියන වචනෙට මම කැමති නෑ..

      පොඩි කාලේ "දෙපා ලදිමි" කියලා පරිවර්තනයක් කියෙව්වා මතකයි. ඒකෙත් තිබුනේ දුප්පත් කොල්ලෙක් මහන්සි වෙලා හොඳ පාපන්දු ක්‍රීඩකයෙක් වෙන කතාවක්..

      Delete
    3. "බොස්" කියන්නෙ විහිලුවට​. එහෙනම් "ජබොස්" කියමු... :)

      මටත් ඒ පොත ගැන මතකයක් තියෙනවා. නමුත් විස්තරයක් මතක නැහැ... :(

      Delete