Tuesday, September 30, 2014

රටවල් පහක ජාතික ගීය බවට පත්වූ "අප්‍රිකාවේ ගීතය​"

මීට අවුරුදු 117 කට පෙර, 1897 දී එනොක් සොන්ටොන්ගා නම් ක්සෝසා (Xhosa) මෙතෝදිස්ත පූජකයා තමා සේවය කළ පාසැලේ ගායක කණ්ඩායම වෙනුවෙන් කුඩා ගීතයක් නිර්මාණය කළේය​. එදින මේ ගීතය ඔහුගේ පාසැලට කෙසේ වෙතත් සමස්ථ උප සහරානු අප්‍රිකාවටම කෙතරම් වැදගත් ගීයක් වනු ඇත්දැයි ඔහුම නොදැන සිටින්නට ඇත​. ඔහු එදා නිර්මාණය කළ "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" හෙවත් "අප්‍රිකාවට දෙවි පිහිට ලැබේවා" (Nkosi Sikelel' iAfrica - Lord Bless Africa) යන ගීතය දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි සටනේ ප්‍රධාන අංගයක් වූවා පමණක් නොව මහාද්වීපයේ රටවල් පහක ජාතික ගීත ලෙසද භාවිතා කෙරිණ​.

එනොක් මන්කයි සොන්ටොන්ගා උපත ලැබුවේ 1873 දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ප්‍රාන්තයේ. වර්තමානයේ නම් නැගෙනහිර කේප් ප්‍රාන්තයේ. ඔහු ක්සෝසා බස කතා කරන තෙම්බු ගෝත්‍රයේ ම්පින්ගා (Mpinga) පරපුරේ කෙනෙක්. (නෙල්සන් මැන්ඩෙලා ද තෙම්බු ගෝත්‍රයේ, මඩීබා පරපුරේ කෙනෙක්) සොන්ටොන්ගා ලව්ඩේල් ගුරු පුහුණු පාසැලේ පුහුණුව ලැබීමෙන් පසු ජොහැන්නස්බර්ග් ආසන්නයේ නැන්ස්ෆීල්ඩ් මෙතෝදිස්ත මිෂනාරි පාසැලේ ගුරුවරයකු ලෙස පත්වීම ලැබුවේ 1896. එතැන් පටන් වසර 8 ක් පමණ ඔහු එම පාසැලේ සේවය කළා.
ගීතයේ ශත සංවත්සරය සැමරීම

පාසැලේ ගීතිකා කණ්ඩායම මෙහෙයවූ ඔහු එම කණ්ඩායම වෙනුවෙන් 1897 වසරේදී මේ ගීතයේ මුල් කොටස් ලියුවා. පසු කාලීනව එයට තවත් කොටස් එක් කරනු ලැබුනා.

පාසැල් ගීතිකා කණ් ඩායම වෙනුවෙන් නිර්මාණය වුනාට මේ ගීය 1899 දී ම්බොවෙනි පූජකතුමා පූජ්‍යත්වයට පත් වීම වෙනුවෙන් පැවති උත්සවයේදී ගායනා කෙරුණා. ඔහු පළමු ට්සොන්ගා ජාතික මෙතෝදිස්ත පූජකවරයා වීම විශේෂයක්.

1901 දී ජෝන් ලැන්ගලිබලේලේ ඩුබේ විසින් ඔහ්ලාන්ගේ ආයතනය පිහිටවූ අතර එය විසින් මේ ගීතය වඩාත් ජනප්‍රිය කෙරුණා. 1912 දී පැවති දකුණු අප්‍රිකානු ස්වදේශික ජාතික කොංග්‍රසයේ (පසුව අප්‍රිකානු ජාතික කොංග්‍රසය බවට පත් වූ) පළමු සැසිවාරයේදී මේ ගීතය ගායනා කෙරුණා. මෙය 1923 දී ලන්ඩනයේදී මුල් වරට පටිගත කෙරුණ අතර 1925 දී අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් සිය නිල ගීතය ලෙස පිළිගනු ලැබුණා. 1927 ලව්ඩේල් මුද්‍රණ සමාගමෙන් මෙය මුද්‍රණය කර බෙදා හැරුණා. පසුව ප්‍රෙස්බිටේරියානු ගීතිකා පොතට සහ වෙනත් පොත්වලටත් ඇතුලත් කෙරුණා. 1947 දී එලිසබත් කුමරිය දකුණු අප්‍රිකාවේ සංචාරය කරද්දී ඇය ඉදිරියේත් මෙය ගායනා කෙරුණා.

මෙසේ ජනප්‍රිය වූ මේ ගීතය අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නිල ගීතය නිසාම දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි සටනේ ප්‍රධාන අංගයක් බවට පත් වුණා. එමෙන්ම අප්‍රිකානු එක්සත්භාවය පිළිබඳ සිහින මැවූ දේශපාලන නායකයන් මේ ගීතයට මහත් සේ ඇලුම් කළා.

1961 දී ටැන්ගනීකාව නිදහස ලැබූ පසු මේ ගීතයට පළමු වරට රාජ්‍ය මට්ටමේ නිල පිළිගැනීමක් ලැබුණා. ටැන්ගනීකාව මෙම ගීතයේ ස්වාහිලි පරිවර්තනය සිය ජාතික ගීය බවට ප්‍රකාශයට පත් කළා. අදටත් ටැන්සානියාවේ ජාතික ගීය වන්නේ එම ගීතයයි.

1964 දී සැම්බියාව නිදහස ලද පසු මෙම ගීතය ඒ ආකාරයෙන්ම සිය ජාතික ගීය ලෙස යොදාගන්නට පටන් ගත්තා. නමුත් 1973 දී ඔවුන් එහි පද පෙළ වෙනස් කොට ඉංග්‍රීසි වචනවලින් යුතු, එමෙන්ම අප්‍රිකාව වෙනුවට සැම්බියාව ගැන කියැවෙන ගීයක් (Stand and Sing of Zambia, Proud and Free) ජාතික ගීය ලෙස යොදා ගත්තා.

1980 දී සිම්බාබ්වේ රාජ්‍යය නිදහස ලැබූ පසු වසර 14 ක් ම සිය ජාතික ගීය විදියට පාවිච්චි කළේ "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" ගීයේ ෂෝනා සහ න්ඩෙබෙලේ භාෂාවලින් යුත් පරිවර්තනයක්. 1994 දී ඔවුන් ඒ වෙනුවට වෙනමම ගීයක් තෝරා ගත්තා.

1989 නිදහස ලැබූ නැමීබියාවත් එක් අවුරුද්දක් තාවකාලිකව සිය ජාතික ගීය ලෙස මේ ගීතය යොදා ගත්තා.

1994 දී වර්ණභේදවාදයේ බිඳ වැටීමෙන් පසු දකුණු අප්‍රිකාවේ අලුත් රජය භාෂා කිහිපයකින් පද පේළි අඩංගු ගීයක් ජාතික ගීය ලෙස යොදා ගත්තා. මෙහි මුල් කොටස "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" ගීතයේ මුල් කොටසයි.

මේ අතර විවිධ නිර්මාණ සඳහාද "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" යොදා ගැණුනා. 1987 දී රිචඩ් ඇටෙන්බරෝ අධ්‍යක්‍ෂණය කර නිර්මාණය වූ ස්ටීව් බිකෝගේ ජීවන චරිතය අළලා සැකසුන "Cry Freedom" චිත්‍රපටයේ මේ ගීතය ඉතා හැඟීම් දනවන ලෙස යොදාගෙන තිබෙනවා. ස්ටීව් බිකෝගේ අවමඟුල් උත්සවයේදී දෙනෝදාහක් දෙනා මේ ගීතය ගායනා කරනවා. එමෙන්ම අවසන් ජවනිකාවෙන් ඇටෙන්බරෝ මේ ගීතය යළිත් යොදාගන්නේ දකුණු අප්‍රිකානු වර්ණභේදවාදයට එරෙහි සටනෙන් මිය ගිය බොහෝ දෙනා සිහිකිරීමටයි.

එනොක් සොන්ටොන්ගා 1905 අප්‍රේල් 18 වනදා මිය ගියා. එවිට ඔහුට වයස අවුරුදු 32 ක් පමණයි. ඔහුගේ සොහොන බොහෝ කලක් සොයාගන්නට බැරිව තිබුණා. නමුත් 1990 ගණන්වල මුල් කාළයේදී බ්‍රෑම්ෆොන්ටෙයින් සුසාන භූමියේ තිබෙන එම සොහොන සොයාගනු ලැබුණා. 1996 සැප්තැම්බර් 24 වනදා නෙල්සන් මැන්ඩෙලා ජනධිපතිවරයා විසින් එය ජාතික වස්තුවක් ලෙස නම් කරනු ලැබුණා.

12 comments:

  1. මෙහෙම දෙයක් ඇහුවාමයි.උඩ ගියාත් කමක් නැහැ ඇත්තම කියන්න මම මේ බ්ලොග් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන,දැනගෙන තියෙනවා.වේලාවක මේ බ්ලොග් එක මුල ඉඳන්ම කියවන්න ඕනේ.:)

    හැබැයි ඉතින් මේ විදියට එකම ගීයක් රටවල් කිහිපයක ජාතික ගිය වීම ගිය වීම ලොකු පුදුමයකට හේතුවක් නෙමේ කියලාමට හිතෙන්නේ.මොකද අප්‍රිකානු කලාපය බොහෝවිට සංස්කෘතික වශයෙන් එක වගේ නිසා.

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ වේවා හොඳේ!

      අප්‍රිකාව ගැන ඔය දෙපැත්තම කියන්න පුලුවනි. එක අතකට එක එක ගෝත්‍ර මරාගන්නවා. අනික් අතට එක්තරා කාලෙක ලොකු පිළිගැනීමක් තිබුණා අප්‍රිකාව එක්සත් වෙන්න ඕන කියලා. නමුත් ඉතින් එක එක නායකයන් තම තමන් ගෙ පුද්ගලික ඇජෙන්ඩා ප්‍රොමෝට් කළ නිසා ඒ අදහස් එකක් වත් ඉස්සරහට ගියේ නැහැ. (ඒකත් වෙනමම මාතෘකාවක්) :)

      Delete
    2. (ඒකත් වෙනමම මාතෘකාවක්)
      ඒ කියන්නේ ඒ ගැනත් ලිපි පෙළක් ලියවේවි.

      කෝ බෝල ලෝක යුද්ද ලිපිය ?:D

      Delete
    3. අපෝ නෑ... එච්චර දේවල් මට බෑ.

      අර ලිපිය තියෙනවා. පබ්ලිෂ් කරන තත්ත්වෙට හදලා නෑ.

      Delete
    4. විවිධ ජාතීන්ට, විවිධත්වයක් න‍ොවූ ජාතික ගීතය

      චාමර දන්නවාද?
      අපිට අප‍ේ රටේ අප‍ේම වූ ජාතික ගීතයක් තිය‍ෙනවා.
      අප‍ේ අය හිතා ග‍ෙන ඉන්න‍ේ ම‍ේ ගීතය ද‍ෙමළ භාෂාව‍ෙන් ගයපුවාම ජාතික සමගිය ගොඩනැග‍ෙනවා කියලා.

      Delete
    5. ජාතික සමඟිය කියන එක ජාතික ගීයකින් ගොඩ නගන්න බැහැ. ජාතික ගීයක් නිර්මාණය වෙන්නේ ඓතිහාසික සාධක මත​.

      මේ ගීතය ගත්තොත්, එහි සඳහන් තේමාව නිසා බොහෝ දුරට අප්‍රිකාවේ රටවල් ගොඩකට මෙය අදාළ කරගන්න පුලුවන් වුණා. නමුත් ඒ සමහර රටවල් පස්සෙ තමන්ට කැමති ලෙස ඒක වෙනස් කරගත්තා.

      අපේ ළඟම තියෙන ඉන්දියාව ගත්තොත් ජාතික ගීය බෙංගාලි. ඒ කියන්නේ රටේ සාපේක්‍ෂව කුඩා පිරිසක් කතා කරන භාෂාවක්. නමුත් එහෙම වුණා කියල ප්‍රශ්නයක් වෙලා නෑ. මොකද ඒ ගීතය ජාතික ගීතය වුණා කියලා කාටවත් ගැටලුවක් වෙලා නෑ. අනික ඒ රටේ ගොඩක් දෙනාට ඒ ගීතයේ තේරුම වැටහෙනවා...

      දකුණු අප්‍රිකාවෙ සිද්ධිය තවත් එකක්. නිල භාෂා 11 ක් තියෙනවා. ජාතික ගීයට ඉන් 5 කින් කොටස් අඩංගුයි. නමුත් ඒක හැම කෙනාම එක වගේ ගායනා කරනවා. භාෂා සේරම කතා කරන ඔක්කොම දකුණු අප්‍රිකානුවන්.

      Delete
  2. මාත් මේ ඔය ගැන ඇහුවමද කොහෙද ! ස්තූතියි විස්තරයට චාමර.

    ReplyDelete
  3. ඇත්තට ම චාමර... මමත් පළවෙනි වතාවට තමයි මේ දේ ඇහුවේ.. හරිම වැදගත් ලිපියක්. ඔබේ ලිපි බහුතරයක මේ ලක්ෂණය තියෙනවා..ඉතින් ඔබට සුභ පතනවා මේ දැනුම හැමදාමත් අප වෙත ගෙන එන්න ලැබේවා කියලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! දිගටම කියවන්න​. අපි දිගටම ලියනවා... :)

      Delete
    2. //අපි දිගටම ලියනවා.//
      :D :D
      පත්තරේට වෙන්න ඇති.

      Delete
    3. ඒ ඉතින් රස්සාව නෙ :D

      Delete