Saturday, April 26, 2014

ලන්දේසින්ට අහිමි වූ කටුවන බලකොටුව

කටුවන බලකොටුවේ දොරටුව සහ කොටු පවුරේ කොටසක්
මාතර සිට හක්මණ හරහා වලස්මුල්ලට පැමිණ එහි සිට මිද්දෙනිය නගරය කරා ගමන් කරන්නෙකුට වලස්මුල්ලේ සිට කිලෝ මීටර පහලවක් පමණ දුරින් පිහිටි කටුවන නගරයට පැමිණිය හැක. වලස්මුල්ල දෙසින් නගරයට ඇතුලු වී තරමක් දුර ගිය තැන, වම් පැත්තෙන් වන කුඩා මාර්ගයකට හැරී මඳ දුරක් ගමන් කිරීමෙන් ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවවේ ප්‍රවේශ දොරටුව අසළට පැමිණිය හැක.

කටුවන ප්‍රදේශයේ ඉතිහාසය අනාදිමත් කාළයකට දිව යන බැව් අනුමාන කළ හැක. මහාවංශයේ සඳහන් වන අන්දමට 12 වන සියවසෙහි පරාක්‍රමබාහු රජු හා සටන් වැදුණ සුගලා දේවියගේ සෙබලු රැඳී සිටි ස්ථානයක් ලෙස කටුවන ප්‍රදේශය ගත හැක. වර්තමානයේ වුවද, කටුවන බලකොටුවේ පිහිටීම අනුව මෙම ස්ථානය මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක් වන්නට ඇති බැව් පැහැදිලි වේ.

කටුවන ලන්දේසි බලකොටුවේ ඓතිහාසික වැදගත්කම ඉහළ නංවන මූලික සාධකය වන්නේ එය රට අභ්‍යන්තරයෙන් පිහිටි වඩාත්ම හොඳින් ආරක්ෂා වී ඇති ලන්දේසි බලකොටුව වීමය. තවද, පුරාවෘත්ත සහ ඓතිහාසික මූලාශ්‍ර එකට ගැලපීමෙන් කටුවන බලකොටුවේ ඉතිහාසය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවාගත හැක්කේය.

ලංකාවට 1505 සිට පැමිණි බටහිර ජාතීන් විසින් කෙමෙන් කෙමෙන් රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගන්නා ලද බැව් අපි දනිමු. සිය පාලන ප්‍රදේශයන් දේශීය මෙන්ම විදේශීය ප්ර්තිවාදීන් ගෙන් ආරක්ෂා කරගැනීම පිණිස ඔව්හු රටේ මූලෝපායිකව වැදගත්වන ස්ථානයන්හි බලකොටු ඉදි කළහ. පළමුවෙන් මෙසේ බලකොටුවක් ඉදි කරන ලද්දේ පෘතුගීසීන් විසින් කොළඹදීය. බොහෝ බලකොටු ඉදිකරවන ලද්දේ වෙරළබඩ ප්‍රදේශවලය. එහෙත් පසු කාලීනව, උඩරට රාජ්‍යයෙන් එල්ලවිය හැකි ප්‍රහාරවලින් මුහුදුබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීම මෙන්ම උඩරට ආක්‍රමණයකදී මූලස්ථාන ලෙස යොදා ගැනීම යන මූලික අරමුණු දෙකම පෙරදැරි කරගෙන උඩරට දේශසීමාව ආසන්නයේද බලකොටු ඉදිකරන ලදී. පෘතුගීසීන් විසින් මෙසේ ඉදිකළ බොහෝ බලකොටු අද වනවිට දක්නට නොලැබේ. මේ ඇතැම් බලකොටු ලන්දේසීන් විසින් වැඩිදියුණු කර ඇති අතර තවත් සමහර බලකොටු ඔවුන් විසින් අලුතෙන්ම ඉදි කරන ලදී. කටුවන, එසේ අලුතෙන්ම සෑදූ ලන්දේසි බලකොටුවකි.

1697 දී ඉදිකළ කටුවන බලකොටුව, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙලෙඳ සමාගමට අයත් වූ උතුරු දිග සීමාවේ, එනම් උඩරට රාජ්‍යයේ දකුණු දිග සීමාව ආසන්නයේ පිහිටවන ලද විශාලතම බලකොටුව වන්නේය. මෙම ස්ථානයේ මූලෝපායික වැදගත්කමට මූලික හේතුව වන්නේ බලකොටුව උඩරට කඳුකරයේ දකුණු සීමාවට මුහුණලා සිටීමයි. අද වනවිට රූස්ස ගස් වැවී තිබීම හේතුවෙන් බලකොටුවේ සිටින අයකුට බොහෝ දුර නොපෙනුනද, අතීතයේදී මෙම ස්ථානයට ඉතා ඈත ප්‍රදේශ මනාව දිස් වූ බව පුරාවෘත්තවල සඳහන් වේ.

1734 දී බලකොටුවට පැමිණි ලන්දේසි ඉතිහාසඥ යොහාන් වුල්ෆ්ගෑන්ග් හෙයිත් (Heydt), බලකොටුවේ එවක පැවති තත්ත්වය පිළිබඳ සඳහන් කරයි. ඔහු සඳහන් කරන අන්දමට බලකොටුව සමචතුරශ්‍රාකාර, කපරාරු කළ බිත්ති සහිත ගොඩනැඟිල්ලකි. එහි සමචතුරශ්‍රාකාර හැඩය මඳක් විකෘති වන්නේ ප්‍රතිමුඛ කොන් දෙකක වන මුරපලවල් (බැස්ටියන්) දෙකක් හේතුවෙනි. මේ එක් මුරපලක කාලතුවක්කු හය බැගින් වූ බැව් හෙයිත් සඳහන් කරයි.

බලකොටුවේ පැත්තක දිග අඩි 150 ක් වන අතර කොටු පවුර පිටතින් අඩි 20 ක් උසය. කොටු පවුර මත මංපෙත අඩි 10 ක් පළලින් යුතු බැව් හෙයිත් සඳහන් කරයි. බලකොටුවේ ඇතුලත චතුරශ්‍රාකාර මැද මිදුලක් වෙයි. කොටු පවුරට යාබදව පිහිටුවා ඇති ගොඩනැගිලි කිහිපයක පාදම් ද එහි දිස් වේ.
කටුවන බලකොටුවේ බිම් සැලැස්ම
හෙයිත්ගේ වාර්තාව අනුව බලකොටුවේ පිරිස් බලය 40 දෙනෙකුගෙන් පමණ සමන්විත වී ඇත. එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ සාර්ජන්ට්වරයෙකි. බලකොටුවේ දොරටුවෙන් ඇතුලු වන්නෙකුට ඔහුගේ දකුණු අත පැත්තෙන් කෙළවරේම දිස්වන ගොඩනැගිල්ල අණදෙන නිලධාරියාගේ නිල නිවසය. ඊට යාබදව ගබඩාවක් වන අතර එයින් වම් පසින් වෙඩි උණ්ඩ ගබඩාව සහ ඊටත් වම් පසින් වෙඩි බෙහෙත් ගබඩාව වේ. වෙඩි බෙහෙත් ගබඩාව පිහිටියේ දොරටුවට මුහුණලා ය. තවද එය තට්ටු දෙකකින් යුතු විය. ඊට වම් පැත්තෙන් හමුදා බැරැක්ක විය. දොරටුවෙන් වම් පැත්තේ ළිඳක් ද ඊට යාබදව වෛද්‍ය නිලධාරියාගේ කාර්යාලයද විය. බලකොටුවේ වැසි වතුර බැසයාමට ක්‍රමවේදයක් වූ බව සඳහන් ය.

කටුවන බලකොටුව ලන්දේසි හමුදා විසින් භාවිතා කළේ 1761 වනතුරු පමණි. එම වසරේදී සිදු වූ උඩරට ආක්‍රමණය අවස්ථාවේ බලකොටුව අත හැර දමන ලදී. පුරාවෘත්තවල සඳහන් අන්දමට මෙම ප්‍රහාරයේ පෙරමුණ ගත්තේ මඩුවන්වෙල දිසාවේගේ පරම්පරාවේ කෙනෙකි. ඔහු ජය සංකේතයක් ලෙස බලකොටුවේ ගේට්ටුව ගලවාගෙන ගියේය. එය මඩුවන්වල වලව්වේ ගේට්ටුවක් ලෙස සවිකොට ඇත.
ඇතුලත මැද මිදුල

බලකොටුව අත හැර දමන ලද පසු එය වනාන්තරයෙන් වැසී ගත්තේය. නමුත් පසු කාලීනව කටුවන නගරය කෙමෙන් කෙමෙන් ජනාකීර්ණ විය. 20 වන සියවසේ මුල් කාළයේ කටුවන රෝහල ඉදි කරන ලද්දේ කොටු පවුරට යාබදවය. පසු කාලීනව එය වෙනත් තැනකට ගෙනයන ලදී.

මේ අතර 2007 වසරේදී නෙදර්ලන්ත ආධාර ඇතිව කොටුවේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සිදුකරන ලදී. මේ අනුව ගරාවැටී තිබූ ප්‍රධාන ආරුක්කුව යථා තත්ත්වයට පත් කරන ලදී. තවද, කොටුපවුරේ ඉදිරි දොරටුව දෙසට වැටී ඇති මාර්ගය සකස් කොට එහි තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ලංකාවේ ලන්දේසි බලකොටු සහ දකුණු පළාතේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයන්නකුට කටුවන බලකොටුව දැක බලාගැනීම වටිනා අත් දැකීමක් වනු ඇත.

16 comments:

  1. මේක ගැන මමනම් ඔය ඇහුවමයි.. ස්තූතියි චාමර. සැලැස්මනම් මාරයි. 40 දෙනෙකුට පුළුවන්ද බලකො‍ටුවක් ‍රැක ගන්න. මම හිතන්නෙ වැටෙන්න ඇත්තෙත් ඒකම තමා..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ 40 ක් කියන්නේ විශාල හමුදාවක්. ප්‍රතිවාදී ස්වදේශිකයන් අතේ ඔවුන්ට මුහුණ දෙන්න එපමණ ශක්තිමත් ගිනි අවි බලයක් තිබුණේ නැහැ.

      Delete
    2. ඇත්තෙන්ම​. විචාරක මහත්මා හරි...ඒ කාලෙ 40 ක් කියන්නෙ ටිකක් ලොකු හමුදාවක් තමයි...

      මට අමතක වෙලා කියන්න​... එක අට්ටාලයක 6 ගාණෙ කාලතුවක්කු 12 ක් තිබ්බා කියනවා... කාලතුවක්කු පිටතට යොමු කරපු කටවල් තමයි අර සැලසුමේ බැස්ටියන් දෙකේ බිත්ති හරහා කානු කපලා වගේ පෙන්වන්නේ...

      Delete
  2. කටුවන කියන්නේ දකුණු පළාතේ නගරයක් නම් උඩරට පැත්තේන් එල්ල වන සතුරු ආක්‍රමණ වලට මුහුණ දෙන්නද,ඌව වෙල්ලස්ස පැත්තෙන් එන සතුරු ආක්‍රමණ වලක්වන්නද කටුවන බලකොටුව හැදුවේ.?මොකද උඩරට පැත්තට වඩා ඌව වෙල්ලස්ස නේද ලග කටුවනට...?

    ReplyDelete
    Replies
    1. ඔව්. නමුත් ඌව වෙල්ලස්ස පැත්තත් අයිති වෙලා තිබ්බෙ උඩරටට නෙ.
      ඒ කාලෙ මාතර ප්‍රදේශය ලන්දේසින්ට බොහොම වැදගත් ප්‍රදේශයක් වුනා නෙ. ඒ පළාතෙ ආරක්ෂාව ඉතා වැදගත් වුනා. උඩරට අයට ඕන නම් ඒ පැත්තටත් හමුදා එවන්න පුලුවන්කම තිබුනා. කටුවනට ඈතින් පෙනෙන කඳු වැටිය හරහා තමයි උඩරටට යන පාර වැටිල තිබ්බෙ.

      1761 "මාතර කැරැල්ල​" කියලා කියන සිද්ධියෙදි තමයි ලන්දේසි කටුවන අත ඇරියෙ. මට මතක විදියට එතනදි වුනේ පහතරට වෙච්ච කැරැල්ලකට උදව් කරන්න උඩරටින් හමුදා එවාපු එක​.... හරියටම නම් මතක නෑ සම්පූර්ණ විස්තරේ. ඊට පස්සෙ එයාලා තේරුම් ගත්තා රට ඇතුලෙ බලකොටුවක් ආරක්සා කරන්න අමාරු බව​. ඊට පස්සෙ තමයි එයාලා මාතර තාරකා කොටුව හැදුවෙ. ඒ මාතර බලකොටුවෙ ආරක්ෂාව තර කරන්න​.

      Delete
    2. ස්තුතියි විස්තරයට,දැනන් හිටියේ නැහැ මේ තරම් කරුණු මේ ගැන....:)

      Delete
    3. සන්තෝසයි... සන්තෝසයි :)

      Delete
  3. මමත් කියෝලා තිබ්බේ නැහැ මේ ගැන . ස්තුතියි

    ReplyDelete
  4. නොදන්න කරුණු ටිකක්, පළවෙනි වතාවට ඇහැව්වේ රට ඇතුලෙත් ලන්දේසි බලකොටු තිබුණා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් තිබුණා. හංවැල්ල​, රුවන්වැල්ල සහ කටුවන එයින් ප්‍රධානයි. තව කුඩා ප්‍රමාණයේ එච්චර හොඳට හදාපු නැති කීපයකුත් තිබ්බා. හංවැල්ල බලකොටුව නම් අද දකින්න නෑ. ඒ හරියෙ තමයි දැන් තානායම තියෙන්නෙ. එතන නටබුන් ටිකක් නම් තියෙනවා...

      Delete
  5. මම ලියපු බලකොටුවක් ගැන විස්තරේකට මනෝජ් දාපු ලින්කුවකින් තමයි පාර හොයන් මෙහෙ ආවෙ.. මේ ගැන නම් අහලා තිබ්බෙවත් නෑ.. ඒ වගේම රට මැද බලකොටුවක් ඉදි කළා කියන එකම අලුත් දෙයක් උනා මට.. මේ විදිහට රට මැද හදපු තවත් බලකොටු තියෙනවද?

    http://dreamsofharee.blogspot.com/2014/05/blog-post_31.html

    ReplyDelete
    Replies
    1. තියෙනවා. පරංගි සමයේ උඩරට ආක්‍රමණය කරන්න මූලස්ථානය වගේ පාවිච්චි වුන දැදිගම පැත්තෙ තියෙන මැණික්කඩවර එහෙම තැනක්. ඒක ලන් දේසි කාලෙ පාවිච්චි වුනේ නෑ මම දන්න විදියට​. එතන බලකොටුවෙ නම් නෂ්ටාවශේෂ ඉතිරි වෙලා නෑ. බලකොටුව තිබුනා කියන තැන නම් දකින්න පුලුවන්. එතනම කිට්ටුව ඉතාම ආවේණික චිත්‍ර තියෙන මැණික්කඩවර රජමහා විහාරය තියෙනවා.

      පරංගින් පාවිච්චි කරපු සහ පසුව ලන්දේසින් පාවිච්චි කරපු හංවැල්ල​, රුවන්වැල්ල, අඟුරුවාතොට වගේ බලකොටුත් තියෙනවා. ඊට අමතරව සීතාවක එහෙමත් කලක් ලන් දේසි බලකොටු තිබුණාලු. දකුණු පළාතෙත් හක්මණ සහ අකුරැස්සෙ කුඩා ප්‍රමාණයේ බලකොටු තිබිලා තියෙනවා.

      Delete
  6. අපේ ගෙදර කොටුව ලගමයි.අපි බෝල ගහන්නෙත් කොටුව ඉස්සරහ.මේකෙ ලිදක් තියෙනවා.ගොඩක් අය කියනවා මේ ලිද අැතුලේ උමගක් තියෙනවලු මාතර කොටුවට.එ් කතාව අැත්තද.අපේ යාලුවේ ලිද අැතුලටත් බහිනවා වැටෙන බෝල ගන්න.එ්ත් එහෙම උමගක් දැක්කේ නෑ

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් තිබ්බට එහෙම සළකුණක් නෑ නේද​?
      ළිඳ නම් තියෙනවා.
      මාතර තරම් දුරකට උමගක් කපන්න ලේසි නෑ නෙ. සමහර විට ඉස්සර උමගක් තියෙන්නත් ඇති. ඒත් එච්චර දුරකට නැතිව ළඟ තැනකට​.

      Delete
  7. කටුවන කොටුවට 100m අපේ ගෙදර ලග ඉදලා.අපි බෝල ගහනවා කොටුව ඉස්සරහා.මේ ලිද අැතුලේ උමගක් තියෙනවලු මාතරට.එ් කතාව අැත්තද

    ReplyDelete