Monday, October 15, 2012

නව ස්වීඩනය: ඇමරිකාවේ ස්වීඩන් කොලනිය


17 වන සියවසෙහි ස්වීඩනය යුරෝපයේ ප්‍රබල රාජ්‍යයක් විය. 1630 ගණන් වනවිට වර්තමානයේ ෆින්ලන්තයට අයත් ප්‍රදේශද, ලැට්වියාව සහ එස්තෝනියාව යන බෝල්ටික් රාජ්‍යයන්ට අයත් ප්‍රදේශද, රුසියාවට අයත් ප්‍රදේශද සහිතව විශාල බිම් පෙදෙසක් ස්වීඩනයට යටත් ව තිබිණ. මේ යටත් ප්‍රදේශ ඊළඟ දශක දෙක තුල තවත් වැඩි වනු දක්නා ලදී.

ස්වීඩනයට අයත් වූ ප්‍රදේශ (1560-1815), Wikimedia Commons

අනෙක් රටවල් මෙන්ම නව ලෝකයෙහි ජනපද ගොඩ නැගීමේ අවශ්‍යතාවයක් ස්වීඩනයටද ඇති වන්නට ඇත්තේ යුරෝපයේ කෙරුම්කාරයෙකු වූ හෙයිනි. මේ අනුව ස්වීඩන්, ලන්දේසි සහ ජර්මන් කොටස්කරුවන් පිරිසක් එකතු වී 1637 දී 'නව ස්වීඩන් සමාගම' පිහිටුවා ගත්තේ සත්ව ලොම් සහ දුම්කොළ වෙළෙඳාමට අත ගසන බලාපොරොත්තුවෙනි. මේ අනුව උතුරු ඇමරිකාවේ ජනපදයක් පිහිටුවන අදහසින් පීටර් මිනුයිට්ගේ නායකත්වයෙන් 'කල්මාර් නයිකල්' සහ 'ෆෝගල් ග්‍රිප්' යන නැව් දෙකක නැගුනු පිරිසක් ස්වීඩනයෙන් පිටත් වූහ. මිනුයිට් මීට පෙර 1626-32 කාලයේ 'නව නෙදර්ලන්තයේ' ආණ්ඩුකාරයාද වූයේය. ඔවුහූ 1638 මාර්තු 29 වනදා හෝ ඒ ආසන්න දිනෙක හෝ වර්තමාන ඩෙලවෙයාර් ප්‍රාන්තයේ විල්මින්ග්ටන් නගරය අසල ගොඩබැස බලකොටුවක් ඉදි කිරීම ආරම්භ කළහ. එම ස්ථානය පිහිටියේ, ඩෙලවෙයාර් ගඟ මුහුදට වැටෙන ස්ථානයෙන් තරමක් ඉහළිනි. එම බලකොටුවට එවක ස්වීඩන රැජින වූ 12 හැවිරිදි ක්‍රිස්ටිනාගේ නම යොදන ලදී. ඒ අසලින් ගලා ගිය කුඩා ගඟද රැජිනගේ නමින්ම නම් විය. ක්‍රිස්ටිනා කොටුව ඩෙලවෙයාර් ගංගා නිම්නයේ ඉදි වූ පළමු ස්ථීර යුරෝපීය ජනපදය විය.

ක්‍රිස්ටිනා කොටුවේ ආකෘතියක්. Stilfehler, Wikimedia Commons

මීළඟ 17 වසර තුල තවත් කණ්ඩායම් 12ක් ස්වීඩනයේ සිට 'නව ස්වීඩනය' වෙත ළඟා වූහ. මෙසේ ළඟා වූ පිරිස අතර ස්වීඩන සහ ෆින් ජාතිකයෝ 600 ක් පමණ වූවෝය. මෙම ජනපදිකයෝ සිය ජනපදය ඩෙලවෙයාර් ගඟ ආශ්‍රිතව ව්‍යාප්ත කළහ. කුඩා පෙදෙසක් වුවද එයට වර්තමාන ඩෙලවෙයාර්, පෙන්සිල්වේනියා, නිව් ජර්සි සහ මේරිලන්ඩ් ප්‍රාන්තවල කොටස් අයත් විය. නව ස්වීඩනයේ දියුණුව කෙරෙහි විශාලම බලපෑමක් කල ආණ්ඩුකාරවරයා වූයේ 1643-53 සමයෙහි එම ප්‍රදේශය පාලනය කල යොහාන් ප්‍රින්ට්ස් ය. ඔහු ප්‍රදේශයේ බලකොටු ඉදි කරමින්, ආරක්ෂාව තර කරගත්තේය. නමුත් මෙම කාලය තුල අවට විසූවන් සමඟ ජනපදිකයෝ සාමයෙන් විසූහ. කෙසේ වුවද, ආණ්ඩුකාරවරයාගේ පාලනය දරදඬු වූ අතර එහෙයින් ඔහුට එරෙහිව ජනපදිකයෝ පෙත්සමක් ඉදිරිපත් කළහ. ප්‍රින්ට්ස් ආණ්ඩුකාරධූරයෙන් ඉවත් කල මහ ආණ්ඩුව ඔහුගේ තැන ගැනීමට යොහාන් රයිසිංග් පත් කළේය.

යොහාන් ප්‍රින්ට්ස් (1592-1663), Wikimedia Commons.

නව ස්වීඩනයේ අවසානයට හේතු වූයේ යොහාන් රයිසිංගේ ඉක්මන් ක්‍රියාකලාපයයි. නෙදර්ලන්තය නව නෙදර්ලන්තයෙන් ඉවත් කිරීමට මාන බැලූ හෙතෙම ඩෙලවෙයාර් ගඟේ පහලින් වූ කැසිමීර් කොටුව අල්ලාගෙන එය ට්‍රිනිටි කොටුව ලෙස නම් කළේය.

මෙකල නව නෙදර්ලන්තයේ ආණ්ඩුකාරයා වූයේ, වහා කිපෙනසුළු ස්ටුයිවෙසන්ට් ය. ඔහු මෙම ක්‍රියාවෙන් දැඩි ලෙස කිපුණු නමුත් එකවර ප්‍රති ප්‍රහාර එල්ල නොකළේය. ඊළඟ වසරේ, එනම් 1655 වසරේ ගිම්හානයේ, නැව් 7 ක නැගුනු 317කින් සමන්විත සේනාංකයක් ඩෙලවෙයාර් ගඟ අසබඩ දක්නා ලදී. ට්‍රිනිටි බලකොටුව වහා යටත් කල ඔවුහූ ක්‍රිස්ටිනා බලකොටුව වැටලූහ. සති දෙකකින් ආණ්ඩුකාර රයිසිංග් යටත් විය.

කෙසේ වුවද ප්‍රදේශයේ වාසය කල ස්වීඩ් සහ ෆින් ජාතිකයනට වෙනමම පාලනයක් පවත්වාගෙන යාමට ලන්දේසි ජාතිකයන්ගෙන් ඉඩ ලැබිණ. මේ අනුව වෙනමම නීති පද්ධතියක් සහ මිලීෂියා භට හමුදාවක් තබා ගැනීමට ඉඩ ලැබුන අතර ඉඩකඩම්, ආගමික නිදහස සහ ස්වදේශිකයන් සමඟ වූ වෙළෙඳාම යනාදියද නොවෙනස්ව පැවතිණ. මේ තත්ත්වය 1681න් පසු ලන්දේසි ප්‍රදේශ ඉංග්‍රීසීන් විසින් ලබා ගන්නා තුරුම පැවතිණ. කෙසේ වුවද, ස්වීඩනය යලිත් 'නව ලෝකයෙහි' ජනපද පිහිටුවීමට උත්සාහයක් ගත්තේ නැත.

මූලාශ්‍ර

1. The Swedish Colonial Society, A Brief History of New Sweden in America.

2. State of Delaware (A Brief History)

15 comments:

  1. මේ පැත්තට ආවම නොදන්නා දෙයක් දැනගෙන යන්නේ හැමදාම. අදත් ඒ වගේමයි...වටිනා ලිපියක්..!!

    ReplyDelete
    Replies
    1. දැන ගන්න ලැබීමත් සතුටක්... බොහොම ස්තූතියි...

      Delete
  2. එල එල..නියමයි ඈ..දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. තැනක් යූ ආ!.. ඔන්න ඇමරිකාව ගැන ලිව්වා... :-) තව එනවා.. ළඟදීම!

      Delete
  3. භූ ගෝලය ඉගෙනගත්ත කාලේ මේ දේවල් ගැන ලොකු උනන්දුවක් තිබුනා..හොඳ ලිපියක්.ස්තුතියි ඔබට.ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ඇයි එතකොට දැන් උනන්දු නැද්ද? මම භූගෝල විද්‍යාවයි ඉතිහාසයයි ඉගෙනගත්තේ පොත පත නැත්නම් අන්තර්ජාලය පාවිච්චි කරලා. තවමත් ඉගෙන ගනිමින් ඉන්නේ..

      Delete
  4. අදමයි ආවේ නමුත් මට හිතෙනවා මේ පොස්ටුවෙන් පස්සේ දිගටම එන්න රසවත්ව විස්තරාත්මකව ලියල තියෙනවා දැනුමට යමක් අරගත්තා. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෝරලේ මහත්තයෝ! අපි තවම පටන් අරන් වැඩි කලක් නෑ නේ. ඉස්සරහට මීටත් වැඩිය හොඳ වෙයි කියලා හිතනවා.

      Delete
  5. නියමයි, නොදැන සිටි කාරණා බොහොමයක් දැනගත්තා, ජය පතනවා. ආ... තව එකක් මම හිතනවා සාමාන්‍ය කථන භාෂාව පාවිච්චි කරනවා නම් මේ ඉදිරිපත් කිරීම තවත් සරල වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි! ඇත්ත තමයි. මම සමහර එව්වා එහෙම ලියුවා. ප්‍රශ්නේ වුනේ මම නොදැනීම මේ ක්‍රමයට මාරු වීම... :-) උතුරු කොරියාවේ රොකට් පිස්සුව ගැන අප්‍රේල් මාසේ මම ලියද්දි ඒ ප්‍රශ්නේ වුනා. එක ටිකක් දිග පෝස්ට් එකක්. කොහොම හරි, කතා ලියනකොට නම් මම කථන භාසාවෙන් තමයි ලියන්නේ... ඊට අමතරව ඇමරිකාව ගැනත් තව එකක් ලියන්න ඉන්නවා කතා කරන භාෂාවෙන්. එකට නම් ටික දවසක් යයි!

      Delete
  6. මම දැකපු විදියට, චාමරට තිබුනේ දේශීය සහ විදේශීය සිදුවීම් පිලිබඳ සුවිශේෂී දැනුමක්. එක මේ විදියට බෙදා ගන්න හිතපු එක ගොඩක්ම හොද දෙයක්. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. තිබුනේ?? :-) එතකොට දැන් නැද්ද?
      බොහොම ස්තූතියි දිරි ගැන්වීමට ඔබ කව්රු වුනත්... මම දන්නා කෙනෙක් වෙන්න ඇති නේ..

      Delete
  7. වැදගත් ලිපියක්..!
    (පසුබිමේ පාට කලු උනාම ඇහැට ටිකක් අමාරුය් මචං....අමනාප වෙන්න එපා..!)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! මට පාට ගැන එච්චර තේරුමක් වුනේ නෑ.

      Delete