Monday, July 11, 2016

තෙරේසා මේ (Theresa May) නව බ්‍රිතාන්‍ය අගමැතිණිය ලෙස බදාදා දිවුරුම් දෙයි

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සිය ධූරයෙන් එළඹෙන බදාදා, එනම් ජූලි 13 වනදා, ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළේය​. මේ අනුව වත්මන් ස්වදේශ ලේකම් තෙරේසා මේ, එදින අභිනව බ්‍රිතාන්‍ය අගමැති ලෙස දිවුරුම් දෙනු ඇත​.

කැමරන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ ජුනි 24 වනදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳව වූ ජනමත විචාරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟය​. මේ සමඟම බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂය සඳහා නව නායකයකු ද පත් කරගැනීමේ අවශ්‍යතාව මතු විය​. එම නව නායකයා අභිනව අගමැති ලෙස දිවුරුම් දෙනු ඇතැයි අපේක්ෂිත විය​. මක් නිසාද යත් කොන්සර්වේටිව් පක්ෂය වර්තමාන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් දරන බැවිනි.
Pic: Reuters

කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා වන සටනට කිහිප දෙනකුම ඉදිරිපත් වූ අතර මේ අනුව පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර ඡන්ද වට කිහිපයක් ම පවත්වන ලදී. මේ එක් එක් වටයේදී අන්තිමයා ඉවත් කරමින් අවසානයේදී අපේක්ෂකයන් දෙදෙනකු තෝරා ගන්නා ලදී.

මෙසේ අවසන් වටයට ඉදිරිපත් වීම සඳහා ඉතිරි වූයේ තෙරේසා මේ සහ ඇන්ඩ්‍රියා ලෙඩ්සම් ය​. සැප්තැම් බර් මාසයේදී සියලු කොන්සර්වේටිව් පාක්ෂිකයන් සහභාගී වන ඡන්දයකින් නව පක්ෂ නායකයා තෝරාගත යුතු විය​.

එහෙත් ඇන්ඩ්‍රියා ලෙඩ්සම් අද දින පක්ෂ නායක සටනින් ඉවත් වූ අතර මේ අනුව නායකත්වය වෙනස් කිරීම සඳහා සැප්තැම් බරය තෙක් සිටීම අනවශ්‍ය බව කැමරන් තීරණය කළේය​.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ වූ ජනමත විචාරණයෙදී කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් දෙපසට බෙදී තරඟ කළ අතර එහිදී කැමරන් ගේ මතය වූ බ්‍රිතාන්‍යය තව දුරටත් යුරෝපා සංගමය තුළ සිටිය යුතුය යන්න පරාජය විය​. මෙහිදී පක්ෂය තුළ ඇතිවූ බෙදීම් සමහන් කිරීම සඳහා නව නායකත්වයක් අවශ්‍ය විය​.

කැමරන් අද දින සිය තීරණය දැනුම් දෙමින් සඳහන් කළේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සියයට 60 ක පමණ මනාපය ලද තෙරේසා මේ එම කාර්යය සඳහා සුදුසුම පුද්ගලයා බවය​. තවද​, සංක්‍රාන්ති සමයක නායකත්ව වෙනසක් සඳහා තවත් කල් බලා සිටීම අර්ථ ශුන්‍ය බව ඔහු සඳහන් කළේය​.

නව අගමැතිණිය වන තෙරේසා මේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය තුළ රැඳිය යුතු බව පිළිගත් අයෙකි. නමුත් ජනමත විචාරණයෙන් පසු ජනතාවගේ තීරණයට ගරු කරන බව ඇය ප්‍රකාශ කළ අතර යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ කටයුත්ත මෙහෙයවීමට ඒ සඳහා සටන් කළ අයකු පත් කරන බව ද වරෙක සඳහන් කළාය​.

ඉදිරි කාළය තුළ තෙරේසා මේ මුහුණ දෙනු ඇත්තේ ප්‍රබල අභියෝගවලට ය​. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා සාකච්ඡා සහ අදාල ගිවිසුම් සඳහා එළැඹිය යුතු අතරම එරට ආර්ථිකය නගා සිටුවීමේ අභියෝගය ද ඒ අතර වේ.

3 comments:

  1. "තෙරේසා මේ" "මාග්‍රට් ට්‍රැචර්" කෙනෙක් නම් නොවෙනු ඇතිනේ.


    ආන්ටි "තෙරේසා"ගැනත් පොඩ්ඩක් කියහන්කෝ විස්තර.

    ReplyDelete
    Replies
    1. හෙට නෙ එයා අගමැති වෙන්නෙ හිටන්...

      මෙයා නිසා මට ලෝක යුද්ධෙ ඊළඟ චැප්ටර් එක ලියන්නත් වුනේ නෑ. අද ඒක​

      Delete
    2. තෙරේසා, මේ අනේ, ඔයාවත් හරියට රට පාලනය කරන්න.

      Delete