Wednesday, July 27, 2016

සිලෝන් (Ceylon) හි උපන් ඇමරිකානු උප ජනාධිපති

ශ්‍රී ලංකාව 1972 තෙක් සිලෝන් (Ceylon) නමින් හැඳින් වූ බව අපි දනිමු. වෙසෙසින් ම බ්‍රිතාන්‍ය පාලන සමය තුළ සිලෝන් දිවයින සැළකිය යුතු ප්‍රසිද්ධියක් ඉසිලීය​. ඒ එහි ස්වභාවික පිහිටීම සහ විශේෂයෙන් ම 'සිලෝන් ටී' හෙවත් සිලෝන් තේ හේතුවෙනි.

සිලෝන් හි උපන් ඇමරිකා එක්සත් ජනපද උප ජනාධිපතිවරයකු ද වෙයි. නමුත් ඒ, වර්තමානයේ ශ්‍රී ලංකාව ලෙස හැඳින්වෙන දූපත නොවේ. සිලෝන් යනු ඇමරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ කුඩා නගරයක නමක් ද වේ. එරට එක් උප ජනාධිපතිවරයකු උපන්නේ එම නගරයේ ය​.

2010 දී 369 ක ජනගහනයක් විසූ එම නගරය අදටත් හඳුන්වන්නේ සිලෝන් යන නමිනි.

1899 දී සිතියම්ගත කර නීතිගත කෙරුණ සිලෝන් නගරයට නම ලැබෙන්නේ සිලෝන් දූපත, එනම් වර්තමාන ශ්‍රී ලංකාව මුල් කරගෙනය​. මිනසෝටා හි දකුණු දිග කෙළවරට වන්නට පිහිටි මාර්ටින් කෝරළයේ මෙම නගරය පිහිටා ඇත​. ජනප්‍රවාදයට අනුව මෙම නගරයට නමක් යෙදීමට සාකච්ඡා වනවිට යම් කිසිවකු "සිලෝන් ටී" නොහොත් සිලෝන් තේ පෙට්ටියක් දැක "සිලෝන්" යන නම යෝජනා කළේ ලු.
උප ජනාධිපති මොන්ඩේල් (වමේ) ජනාධිපති ජිමී කාටර් සමඟ 1979 දී

වෝල්ටර් ෆෙඩ්‍රික් මොන්ඩේල් උපන්නේ මිනසෝටාවේ සිලෝන් නගරයේදී 1928 ජනවාරි 5 වනදා ය​. ඔහුගේ පියා මෙතෝදිස්ත පූජකවරයකු වූ අතර, මව සංගීත ගුරුවරියක වූවාය​. 1951 දී ඔහු මිනසෝටා විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා පසුව නීතීඥයකු ලෙස ද දිවුරුම් දුන්නේය​. මේ අතර 1948 සිටම ඩිමොක්‍රටික් පක්ෂයෙන් ක්‍රියාකාරීව දේශපාලන කටයුතුවල නිරත වූ මොන්ඩේල් 1960 දී මිනසෝටා ප්‍රාන්තයේ නීතිපති ලෙස පත් කරන ලදී. ඒ එවක හිටපු නීතිපති ඉල්ලා අස්වීමෙන් වූ පුරප්පාඩුව මැකීමට ය​. එවක ඔහුගේ වයස අවුරුදු 32 ක් පමණි. කෙසේ වෙතත්, 1962 දී ඔහු නැවතත් නීතිපති ලෙස මහජන ඡන්දයෙන් පත් විය​.
Pic: www.city-data.com

1964 දී හියුබර්ට් හම්ප්‍රි උපජනාධිපති ධූරයට තරඟ කිරීම හේතුවෙන් පුරප්පාඩු වූ එක්සත් ජනපද සෙනට් අසුනට පත් කරන ලද මොන්ඩේල් 1966 දී සහ 1972 දී මහජන ඡන්දයෙන් සෙනට් සභාවට තේරී පත් විය​. 1976 දී ජිමී කාටර්ගේ උප ජනාධිපති තරඟ සගයා ලෙස මොන්ඩේල් පත් කරගන්නා ලදී. කාටර් ජනාධිපතිවරණය ජය ගත් අතර මොන්ඩේල් උප ජනාධිපති බවට පත් විය​.

1980 දී රිපබ්ලිකන් පක්ෂයේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහුගේ උප ජනාධිපති තරඟ සගයා වූයේ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් ය​. රීගන් - බුෂ් දෙපළ විසින් කාටර් - මොන්ඩේල් දෙපළ පරාජය කරන ලදී.
Pic: www.iandoesprojects.com

ජනාධිපතිවරණයෙන් පසු මොන්ඩේල් යළි නීති වෘත්තියට එළඹි අතර 1984 දී ඩිමොක්‍රටික් පක්ෂය විසින් ඔහු සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස තෝරාගනු ලැබුණි. ඔහු සිය උප ජනාධිපති සටන් සගයා ලෙස තෝරාගත්තේ කාන්තාවකි. ඇය ජෙරල්ඩීන් ෆෙරාරෝ වූවාය​. මේ අනුව ඇමරිකාවේ ප්‍රධාන පක්ෂයකින් උප ජනාධ්පති ලෙස ඉදිරිපත් කෙරුණ පළමු කාන්තාව බවට ඇය පත් වූවාය​.

කෙසේ නමුත් රේගන් විසින් මොන්ඩේල් පහසුවෙන්ම පරාජය කෙරිණ​.

ඡන්ද සටනින් පසු නැවත නීති වෘත්තියට අත තැබූ මොන්ඩේල් 1993 දී ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් ජපානයේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ලෙස පත් කරනු ලැබුණි. ඉන්පසු නැවතත් ඔහු නීති වෘත්තියට පිවිසියේය​.

2002 දී හදිසියේම යළිත් දේශපාලනයට අවතීර්ණ වීමට මොන්ඩේල්ට සිදු විය​. ඒ සෙනට් මණ්ඩලයට තේරී පත්වීම සඳහා තරඟ කළ පෝල් වෙල්ස්ටන් ඡන්දයට දින 11 ක් තිබියදී ගුවන් අනතුරකින් හදිසියේ අභාවයට පත් වූ හෙයිනි. වෙල්ස්ටන් ගේ ඥාතීන් ගේද පෙළඹවීම මත මොන්ඩේල් ඔහු වෙනුවට ඡන්දයට ඉදිරිපත් වූ අතර තියුණු සටනකින් පසු පරාජයට පත් විය​.

6 comments:

  1. ඕස්ට්‍රේලියාවේ තියනවා "බඩගිනි" කියලා නගරයක්. ලංකාවෙන් වැඩට ගිය බඩගිනි කාරයො ටිකක් නිසාලු ඒ නම වැටිලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. වැඩ කරන මිනිස්සුන්ට හරියට කන්න නොදීපු නිසා වෙච්ච දෙයක් කියලයි මම අහල තිබ්බෙ. කොහොම නමුත් එහෙ උප ජනාධිපතිල නැතිව ඇති. ඔස්ට්‍රේලියාවෙ ජනාධිපතිල නෑ නෙ

      Delete
  2. ලංකාවේ කාලයක් හිටපු කෙනෙක් මේ නම දැම්මා කියලා තමා අහලා තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. වෙන්නත් පුලුවනි. නම හැදුන කතාව මම දැක්කෙ මහාචාර්ය කාවන් රත්නතුංග ලියල තිබ්බ ලිපියක​

      Delete
  3. පල් හොරු ස්ත්‍රී දූශකයො ඉන්න පළාතක් වෙන්ට ඇති...

    ReplyDelete
  4. චාමර, නිවාඩු පාඩුවේ ලංකාවේ නම් ඇසුරෙන් හැදුනු වෙනත් රටවල ගම් සහ නගර වල විස්තර ඇතුලත් ලිපියක් ලියලා පල කරන්නකෝ. හුගාක් සිත්ගන්නාසුළු වෙයි!

    ReplyDelete