Sunday, July 10, 2016

පළමු ලෝක යුද්ධය​: බටහිර පෙරමුණ 1917

පෙර කී අයුරින් 1917 අප්‍රේල් 6 වනදා ඇමරිකා එක්සත් ජනපදය සංග්‍රාමාවතීර්ණ වුව ද යුද්ධය සඳහා අවශ්‍ය බල ඇණි සකස් කරගැනීමට කල් ගතවූ බැවින් 1917 වසර තුලදී එරට හමුදාවල විශාල දායකත්වයක් යුද්ධයට නොලැබුණි.

අරාස් ප්‍රහාරය (අප්‍රේල් 09 - මැයි 21)

මෙම ප්‍රහාරය සැලසුම් කරන අතරවාරයේ ජර්මන් හමුදා ඒන් නදී අසබඩ 'හින්ඩන්බර්ග් සීමාව​' නමින් හැඳින්වූ ආරක්ෂිත පෙදෙසට පසු බැස්සෝය​. එහෙයින් ප්‍රහාරයේ එක් අංගයක් වූයේ මෙම කලාපයට පහර දීමය​.

බ්‍රිතාන්‍යය සහ පොදු රාජ්‍ය මණ්ඩල රටවල් කිහිපයක හමුදා අරාස් ප්‍රහාරයට සහභාගී වූහ​. මෙහිදී කැනේඩියානු හමුදාවෝ ජර්මානුන් විසින් දැඩි ලෙස ආරක්ෂා කරන ලද විමි රිජ් ප්‍රදේශය අල්ලාගත් හ​. බ්‍රිතාන්‍ය හමුදා සේනාංක ද කිලෝමීටර හයක් පමණ ඉදිරියට ගියහ​.

මේ අතරවාරයේ දී ඒන් නදී ප්‍රදේශයේ සහ ෂැම්පේන් ප්‍රදේශයේ සටන්වලට සහභාගී වූ ප්‍රංශ හමුදා සුලු ජයග්‍රහණ ලද හ​. කෙසේ වෙතත් මෙහිදී විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වූ අතර ඉන් කළකිරුණ ඇතැම් ප්‍රංශ සේනාංක කැරලි ගැසූහ​. එක්තරා අවස්ථාවකදී යුධ බිමේ තත්ත්වය ඉතාමත් භයංකර විය​. නමුත් කැරැල්ල මැඬ පවත්වන ලද අතර​, අසාර්ථක වූ ජෙනරල් නිවෙල් වෙනුවට ප්‍රධාන අණදෙන නිලධාරී තනතුරට ජෙනරාල් පෙටේන් වෙත පවරන ලදී. ඔහුගේ මූලික ප්‍රතිපත්තිය වූයේ ඇමරිකානුන් පැමිණෙන තුරු ආරක්ෂා සහිතව සටන් පෙරමුණෙහි රැඳී සිටීමය​.

පැශන්ඩේල් සටන​ (ජූලි 31 - නොවැ. 10)

ප්‍රථම ජගත් සංග්‍රමයෙහි ප්‍රතිඵලයක් නොවී විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ වීමෙන් කෙළවර වූ සටන් අතුරින් මෙය ද එකකි. බ්‍රිතාන්‍යය විසින් අරඹන ලද මෙම ක්‍රියාන්විතයේදී දෙපක්ෂයේම 250,000 ක පමණ බැගින් වූ පිරිසක් මියගිය හෝ තුවාල ලැබූ හෝ ගණයට වැටුණෝය​.

ජෙනරාල් ඩග්ලස් හේග් යටතේ බ්‍රිතාන්‍යයන් විසින් දියත් කෙරුණ මෙම ක්‍රියාන්විතය පිළිබඳ විවිධ මතභේද පවතී. බ්‍රිතාන්‍යයන් අදහස් කළේ බෙල්ජියමේ වෙරළබඩ ප්‍රදේශ අල්ලාගනිමින් ජර්මන් සබ්මැරීන මධ්‍යස්ථාන අල්ලා ගැනීමය​. මෙකළ සබ්මැරීන ව්‍යාපාරය දරුණු ලෙසම පැවති සමය බව මෙහි ලා සැලකීම වැදගත් ය​.

කෙසේ නමුත් මෙම ප්‍රහාරය පිළිබඳ බ්‍රිතාන්‍යය එක මතයක නොසිටි බව පැහැදිලි ය​. ඇතැම් හමුදා සහ දේශපාලක නායකයන් අදහස් කළේ ඇමරිකානු හමුදා පැමිණෙන තුරු ඉවසා සිටීමය​. "පැශන්ඩේල් යනු සමස්ථ යුද්ධයේ මහත් වූ විනාශයන් ගෙන් එකකි. යම් කිසි හෝ බුද්ධියකින් යුතු කිසිදු සොල්දාදුවකු තේරුමක් නොමැති එම ප්‍රහාරය සාධාරණීකරණය නොකරයි" එවක බ්‍රිතාන්‍ය අගමැති වූ ලොයිඩ් ජෝර්ජ් වරෙක ප්‍රකාශ කළේ ය​.

ජර්මන් හමුදාවලට ද පැශන්ඩේල් ක්‍රියාන්විතය දැඩි තර්ජනයක් වූයේය​. කෙසේ වෙතත්, 1917 අවසන් සමයේදී ඉතාලිය වෙත එල්ල වූ දරුණු ජර්මනි - ඔස්ට්‍රා හන්ගේරියානු ප්‍රහාරයක් හේතුවෙන් පැශන්ඩේල් සටන අඩපණ විය​. ඉතාලිය අතිශයින්ම දරුණු තත්ත්වයකට වැටුණ අතර මිත්‍ර පාක්ෂිකයන් ගේ අවධානය එරට ආරක්ෂා කිරීම කෙරෙහි යොමු විය​.
---
මේ අතර 1917 දී තවත් සටන් කිහිපයක්ම බටහිර පෙරමුණේදී සිදු විය​. ප්‍රංශ හමුදා වර්ඩුන්වලදී අහිමි වූ ප්‍රදේශ කිහිපයක් ලබා ගත් හ​. මේ අතර නොවැම් බර් 20 වනදා කම්බ්‍රායි සටන ආරම්භයේදී බ්‍රිතාන්‍යයෝ යුධ ටැංකි 400 ක් පමණ උපයෝගී කරගනිමින් ප්‍රහාරය ඇරඹූහ​. යුධ පෙරමුණක මෙතරම් යුධ ටැංකි ප්‍රමාණයක් එකවර දක් නට ලැබුණු මුල්ම අවස්ථාව මෙය විය​.

මේ අතරතුර එක්සත් ජනපදය යුද්ධය සඳහා විශාල හමුදාවක් සූදානම් කරමින් සිටියේය​.  1917 වන විට ඇමරිකානු කාර්ය සාධක හමුදාවේ (American Expeditionary Force) 175,000 ක් ප්‍රංශයේදී යුධ පුහුණුව ලබමින් සිටියෝය​. එක බල ඇණියක් බෙල්ෆෝර්ට් අසළ යුධ පෙරමුණටද යවා තිබුණි.

යුද්ධාවසාන වන විට ඇමරිකානු කාර්ය සාධන බලකායට අයත් මිලියන දෙකක පමණ හමුදාවක් බටහිර පෙරමුණෙහි දක්නා ලදී.

6 comments:

  1. අහම්බෙන් පැමිණි තැනක් ලිපිය බොහොම සිත්ගන්නවා ස්තුතියි ඔබට

    ReplyDelete
    Replies
    1. බොහොම් ස්තුතියි මේ පැත්තට ඇවිත් බැලුවට​. දිගටම එන්න​.

      Delete
  2. මේ ගැම්මෙන්ම මේකේ තවත් කොටසක් දාමු.

    ReplyDelete
    Replies
    1. එනව එනව​. අද රෑ තමයි රෑ!

      Delete
  3. බොහොම දීර්ඝව විස්තර කලයුතු කරුණු රාශියක්, මෙලෙස සංක්‍ෂිප්ත කර දැක්වීම අගය කරනවා. සිතියම් සහ පින්තූර තවත් එකතු කළහැකි නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මමත් ටිකක් අමාරුවකට තමයි වැටුණෙ, විශේෂයෙන්ම පැෂන්ඩේල් වගේ සටනක් ගැන කියද්දි. දිග වැඩි කරන්නත් බෑ නෙ.

      මේ ලිපියට නම් සිතියම් එකතු නොකලෙ ගොඩක් ලොකු ලිපියක් නොවෙන නිසා.

      ස්තුතියි අදහසට​.

      Delete