Thursday, September 24, 2020

යුධ ටැංකි කතාවකට ඔබ්බෙන් ගිය "White Tiger"

කරේන් ශක්නසාරෆ්ගේ "බේලි ටිගර්" (White Tiger) චිත්‍රපටය බැලූ බැල්මට යුද්ධ කතාවකි. යුධ ටැංකි දෙකක් අතර ද්වන්ද්ව සටනක පුවතකි. එහෙත් එය සැබෑ ලෙසින්ම එය ඉක්මවා ගිය දේශපාලනික චිත්‍රපටයකි.

ඉල්යා බයාෂොෆ්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ බේලි ටිගර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ ඉවාන් නයිද්යොනෆ් නම් යුධ ටැංකි සෙබළෙකි. එය ඔහුගේ සත්‍ය නාමය නොවේ. 1943 ගිම්හානයේ යුධ ටැංකි සටනකදී බරපතල තුවාල ලබන ඔහුගේ සියළු ලිපි ලේඛන විනාශ වෙයි. ඔහුගේ මතකය ද අහිමි වේ. ඔහුට මේ නම ලබාදෙන්නේ ඉන් පසුව ය.

මතකය නැති වුවද නයිද්යොනෆ් අමුතු පුද්ගලයෙකි. සිරුරේ සියයට 90 ක් පිළිස්සුණ ද ඔහු ප්‍රාතිහාර්යයකින් මෙන් සුවය ලබයි. එමෙන්ම ඔහුට යුධ ටැංකි සටන් පිළිබඳ හැකියාව එසේම පිහිටයි. සත්‍ය වශයෙන්ම ඔහු හා යුධ ටැංකි අතර සම්බන්ධය වඩාත් දැඩි වේ. ඔහු පවසන්නේ ඔහු සමග යුධ ටැංකි කතා කරන බවයි.

ඔහු යුධ ටැංකිවලට අධිපති දෙවියකු ගැන විශ්වාස කරයි. මේ දෙවියාගේ වාහනය සෝවියට් T-34 යුධ ටැංකියකි. එනම් මේ කියන්නේ සෝවියට් දෙවියෙකු ගැනයි!

සෝවියට් හමුදා මෙකල මුහුණ දෙන අභිරහස් යුධ ටැංකියකි. ජර්මන් ටයිගර් යුධ ටැංකියක් වන එය සුදු වර්ණයෙන් දිස් වන බවක් කියවේ. නොසිතන තැනකින් මතුවීමටත්, සෝවියට් යුධ ටැංකි කණ්ඩායමකට වුවද තනිව පහර දීමටත්, පැමිණි ලෙසම පළා යාමටත් ඊට හැකියාව ඇත. සෝවියට් හමුදා එය හඳුන්වන්නේ "බේලි ටිගර්" (සුදු ටයිගර්) ලෙසයි. මෙය විනාශ කිරීම සෝවියට් හමුදාවල ප්‍රධාන ඉලක්කයක් බවට පත් වේ.


නයිද්යොනෆ් විශ්වාස කරන්නේ යුධ ටැංකි දෙවියා තමන්ට පිහිට වන්නේ මෙම යුද්ධ ටැංකිය විනාශ කිරීමට බවයි. සෝවියට් හමුදාව ද විශේෂ ලෙස සැකසූ T-34/85 යුධ ටැංකියක් මේ සඳහා යොදවයි. නයිද්යොනෆ් සමග තවත් දක්ෂතම දෙදෙනකු ඊට යෙදවේ. අවසානයේ ඔවුන් සහ බේලි ටිගර් අතර සටනක් සිදුවේ.

යුද්ධය නිමවූ පසුව ද නයිද්යොනෆ්ට යුද්ධය අවසන් නැත. තව වසර ගණනාවක් ගිය ද තර්ජනය අවසන් නොවන බව ඔහු පවසයි.

මෙම චිත්‍රපටයෙහි එක් චරිතයක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් ද මතු වේ. ඔහු නට්සිවාදය අර්ථ දක්වන්නේ යුරෝපයේ ජනතාව තුළ යටිහිතෙහි තැන්පත්ව තිබුණු මූලික ආකල්පයන් දෙකක් පිටතට ගැනීමක් ලෙස ය. එනම් යුදෙව් විරෝධය සහ රුසියන් විරෝධය යි. චිත්‍රපටයේ හිට්ලර් පවසන්නේ තමන් කළේ එම ආකල්ප පැහැදිලි ලෙස ඉස්මතු කිරීම පමණක් බව ය.

මෙම චිත්‍රපටයෙහි ප්‍රධාන වශයෙන් පෙනෙන කරුණු කිහිපයක් වෙයි. එකක් නම් සෝවියට් නිලධාරියකු දෙවියකු කෙරේ දක්වන විශ්වාසය සහ එම දෙවියා සෝවියට් යුධ ටැංකියක් දරා සිටීම ය. මෙය රුසියානු ජාතිකත්වය ඓතිහාසික මූලයන් කරා ගමන් කිරීමක් ලෙස දැකිය හැක. මේ කියන්නේ ඒකදේවවාදය යටතේ ලෝකය මැවූ දෙවියන් ගැන නොවේ; ඊටත් කලින් විවිධ දෙවියන් ඇදහූ ඈත අතීතයේ සිට එන සංකල්පයක් පිළිබඳ ය. මෙය රුසියානු ජාතිකත්වය එක්තරා ඉන්ද්‍රජාලික බලවේගයක කැටිකොට ඊට සුවිශේෂී බලයක් ආරෝපණය කිරීමකි.

මෙය වැදගත් වන්නේ "බේලි ටිගර්" නිර්මාණය වන කාලය ද සැලකීමේදී ය. එය නිර්මාණය වන්නේ සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමග බිඳ වැටී, 1990 දශකය මුළුල්ලේ ද ඇද වැටී තිබුණ රුසියානු ආත්මාභිමානය යළි නැගී සිටිමින් තිබුණු කාලය ය. සම්පූර්ණයෙන් විනාශ වූ රුසියානුවාගේ යළි පිබිදීම නයිද්යොනෆ් වෙතින් පිළිබිඹු වන අතර ඔහුට දේවාශිර්වාදය ද ලැබෙන්නේ ය.

එමෙන්ම බේලි ටිගර් යනු නිකම්ම යුධ ටැංකියක් නොවේ. එය ෆැසිස්ට්වාදයේ සංකේතය ය. එය පිළිබිඹු වන්නේ හිට්ලර්ගේ කතාවෙනි. එය මතු වෙයි, යට යයි, එහෙත් එය පවතියි. එයට එරෙහි සටන නිම වන්නේ නැත. යුරෝපයේ වර්තමාන ජාතිකවාදී රැල්ලේ මුල් ලක්ෂණ දිස්වන සමයේ තිරගත වූ "බේලි ටිගර්" ඒ අතින් පෙන්වන්නේ අඳුරු චිත්‍රයකි.

අනෙක් අතට මෙම චිත්‍රපටය මගින් හිට්ලර්ගේ විශිෂ්ටත්වය පිළිබඳ වන ප්‍රවාදය බිඳ දමයි. නට්සිවාදීන්ගේ විශ්වාසය වන්නේ හිට්ලර් නව්‍ය අදහසක් ඉදිරිපත් කළ බවය. නමුත් "බේලි ටිගර්" හි හිට්ලර් පවසන්නේ තමුන් අමුතු දහමක් දේශනා නොකළ බව ය. අනාදිමත් කාලයක සිට යුරෝපීයයා තුළ තිබුණු මූලික භීතීන් දෙකක් පිටතට ගෙන පෙන්වීම පමණක් තමුන් විසින් සිදුකළ බව ඔහු කියයි. හිට්ලර්ට ජර්මනියේ බලය අල්ලාගෙන එය වසර දොළහක් ආරක්ෂා කරගැනීමට උපකාර වූයේ ද ඔහු අමුතු දහමක් දේශනා නොකිරීමදැයි සිතීමට අප ද පෙළඹේ. හිට්ලර්ලා මෙන්ම පුටින්ලා ද නයිද්යොනෆ්ලා මෙන්ම ස්ටාලින්ලා ද ඉතිහාසයේ අවශ්‍යතා මත ඒ ඒ අවස්ථාවන් හි මතුවන චරිත නොවේදැයි සිතීමට "බේලි ටිගර්" අපව යොමු කරයි.

ඉංග්‍රීසි උපසිරැසි සමග චිත්‍රපටය යූ ටියුබ් චැනලය ඔස්සේ නැරඹිය හැකි ය​.



No comments:

Post a Comment