Wednesday, September 2, 2020

වියට්නාමය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම​

දෙවන ලෝක යුද්ධය අවසන් කරමින් ජපානය යටත් වීමේ ලේඛනයට නිල වශයෙන් අත්සන් කළ 1945 සැප්තැම්බර් 2 වනදා සිදුවූ තවත් සිද්ධියක් වූයේ වියට්නාමය සිය නිදහස ප්‍රකාශ කිරීමයි.

වියට්නාමය නිල වශයෙන් ප්‍රංශ පාලනයට සම්පූර්ණයෙන් නතු වූයේ 1883 අගෝස්තු 25 වනදායි. එදින, වියට්නාම් රජය විසින් ටොන්කිං හා අන්නාම් ප්‍රංශ ආරක්ෂාව යටතේ වන ප්‍රදේශ ලෙස පිළිගත්තා. දකුණුදිග වියට්නාමයේ කොචින් චීනය ඒ වනවිට ද ප්‍රංශ ආරක්ෂාව යටතට පත්ව තිබුණා.

ප්‍රංශ පාලනය විසින් වියට්නාමයට සැලකිය යුතු විපර්යාසයන් ගෙන ආවා. පොදු ගොඩනැගිලි සහ මංමාවත් ඉදි කෙරුණා. කෙසේ වෙතත් සාමාන්‍ය ජනයාගෙන් අති බහුතරයකට මෙහි වාසිය ළඟාවූයේ නැහැ. ඉහළ බදු සහ පොළී අනුපාත විසින් ඔවුන්ව දිගටම ණයකරුවන් ලෙස පවත්වා ගැනුණා. 1940 වනවිට ද රටේ ජනගහනයෙන් සියයට 85 ක් ගොවීන් වුණා.

සම්ප්‍රදායික ගම් නායකයින් වෙනුවට ප්‍රංශ පුහුණුව ලද වියට්නාම් නිලධාරීන් පත් කෙරුණා. සාමූහික ජීවන රටාව වෙනුවට පුද්ගලවාදය ඉස්මතු වුණා. ප්‍රංශ නෛතික ක්‍රමය හඳුන්වා දුන් අතර යුක්තිය පසිඳලන ලද්දේ ප්‍රංශ විනිසුරුවන් විසින්. ඔවුන්ට දේශීය සිරිත් විරිත් පිළිබඳ දැනුමක් හෝ ඒ ගැන දැනගැනීමේ අවශ්‍යතාවක් තිබුණු බවක් පෙනුණේ නැහැ. සාමාන්‍ය ජනජීවිතය අවුල් වීමට මෙය ද බලපෑමක් වුණා.

ජාතික සටන්

වියට්නාම් ජනතාව 1883 න් පසු එකාවන්ව ප්‍රංශයට යටත් වීමට සූදානම් වූයේ නැහැ. විසිවන සියවස මුල් කාලය වනතුරු ද විටින් විට ප්‍රංශ විරෝධී ජනතා නැගිටීම් සිදුවුණා. මේ අතර ජාතිකවාදී ව්‍යාපාර බිහිවනු දක්නට ලැබුණා. මේ අතර ඇතැම් සංවිධානවලට මාක්ස්වාදයේ බලපෑම තිබුණා. කෙසේ වෙතත් මෙම සංවිධාන අතරින් විශාලම සංවිධානය වූ වියට්නාම් ජාතිකවාදී පක්ෂය (Viet Nam Quoc Dan Dang - VNQDD) මාක්ස්වාදී සංවිධානයක් වූයේ නැහැ. 1930 දී ඔවුන් විසින් දියත් කළ නිදහස් අරගලයක් මර්ධනය කෙරුණා. ඒ සමගම ජාතිකවාදී කඳවුර දුර්වල වූයෙන් මාක්ස්වාදී නැඹුරුවක් සහිත ජාතික ව්‍යාපාර කරලියට පැමිණියා.

මෙම අරගලයෙන් දශකයකට පසු, කොමියුනිස්ට්වාදීන් මූලිකත්වය ගෙන වියට්නාමයේ ස්වාධීනත්වය සඳහා වන ලීගය (Viet Nam Doc Lap Dong Minh) පිහිටුවා ගත්තා. වියෙට් මින් ලෙස කෙටියෙන් හැඳින්වූ මෙයට කොමියුනිස්ට්වාදීන් මෙන්ම සමාජවාදීන් සහ වෙනත් පිරිස් ද එක් වුණා.

මේ අතර දෙවන ලෝක යුද්ධය ඇරඹී තිබුණා. 1940 දී ජර්මනිය විසින් ප්‍රංශය පරාජය කළ පසු අභිනවයෙන් පිහිටවූ ප්‍රංශ රජය යටතට වියට්නාමය ඇතුළු ඉන්දු චීනය පත් වුණා. එයින් ස්වල්ප කලකට පසු ජපානය උතුරු වියට්නාමයේ හමුදා කඳවුරු ස්ථාපිත කළා. 1944 දී ප්‍රංශය මිත්‍ර හමුදා විසින් මුදවාගත්තා. 1945 මාර්තු 9 වනදා ජපානය විසින් ඉන්දු චීනය තම පාලනයට ගත්තා. වියට් මින් සංවිධානය විසින් ජපනුන්ව ද සැලකූයේ තවත් ආක්‍රමණිකයකු ලෙසයි.

ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම

1945 අගෝස්තු මස 15 වනදා ජපානය යටත් වන බවට නිවේදනය කෙරුණා. ඒ සමගම වියට්නාමයේ නොසන්සුන්තා ඇතිවුණා. ජපන් පාලනය බිඳ වැටෙද්දී වියට් මින් සංවිධානය යටතට රටේ බොහෝ ප්‍රදේශ පත් වුණා. බාඕ දායි රූකඩ අධිරාජයා ඉල්ලා අස්වීමට තීරණය කළා.

1945 සැප්තැම්බර් 2 වනදා වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ස්ථාපිත කෙරුණා. එහි ප්‍රධානියා වූයේ හෝ චි මින්. ස්වාධීනතා ප්‍රකාශනය මගින් වියට්නාම් ජනතාවගේ නිදහස අහිමිකරමින්, අමානුෂික නීති ඔවුන් මත පැනවීම පිළිබඳ ප්‍රංශයට චෝදනා කරුණා. වියට්නාමයට නිදහස් සහ ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතීමේ අයිතිය එමගින් පෙන්වා දුන්නා.



කෙසේ වෙතත් ජයග්‍රාහී මිත්‍ර පාක්ෂික රටවල් තමන්ට අහිමි වූ යටත් විජිත යළි ලබාගන්නා සටනට එළඹ සිටියා. මේ වෙද්දී ආසියාවේ ප්‍රංශයින්ට විශාල සේනාංක වූයේ නැහැ. එහෙයින් ඔවුන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය හමුදා කොචින් චීනයට ගොඩබැස්සා. වියට්නාමය සිය අණසකට යට කරගැනීම සඳහා එරටෙහි ඒ වනවිට රැඳී සිටි ජපන් හමුදාවල සහය ද බ්‍රිතාන්‍යයන් ලබාගත්තා. වියට් මින් සේනාංක නගර අතැර පසුබැස්සා. 1945 වසර නිම වෙද්දී ප්‍රංශ හමුදා පැමිණ ඉන්දු චීනය තම අණසකට ගත්තා. ඔවුන් බාඕ දායි අධිරාජයා ද ආපසු කැඳවා වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට එරෙහි රජයක් පිහිටුවීමට ඔහුව යොදාගත්තා. මේ සමග ප්‍රංශයට එරෙහි වියට්නාම් ජාතික සටන යළි ඇරඹුණා. එය නිම වූයේ 1954 දී ඩියෙන් බියෙන් පූ සංග්‍රාමයෙන් ප්‍රංශය අන්ත පරාජයක් ලබාගැනීමත් සමගයි.

No comments:

Post a Comment