Sunday, September 20, 2020

ඉතිහාසය වෙනස් කිරීමට හේතු වූ, රජකුමරකුගේ මරණය

 රුසියාවේ ත්සාර්යෙවිච් (කිරුළ හිමි කුමරු) කෙනකු වූ නිකොලායි අලෙක්සන්ද්‍රොවිච් රොමානොෆ් උපන්නේ 1843 සැප්තැම්බර් 20 වනදා යි. ඔහුගේ අකල් මරණය රුසියාවේ ඉතිහාසය වෙනස් මගක ගෙන යෑමට ඉවහල් වූයේ යයි සිතිය හැකියි.

ත්සාර්යෙවිච් අලෙක්සන්දර් නිකොලයෙවිච්ගේ (පසුව ත්සාර් දෙවන අලෙක්සන්දර්) සහ මාරියා අලෙක්සන්ද්‍රොව්නාගේ දෙවන දරුවා සහ පළමු පුත්‍රයා වූ නිකොලායි අලෙක්සන්ද්‍රොවිච්, පවුලේ අය විසින් හඳුන්වන ලද්දේ නික්සා (Nixa) යනුවෙන්. (රොමානොෆ් පවුලේ සමාන නම් ඇති අය එමට සිටින බැවින් නික්සා යනුවෙන් ඔහුව හැඳින්වීම අපට ද පහසුයි). නික්සා ඔහුගේ බාල සොහොයුරන්ට වඩා "හැදිච්ච" තරුණයකු ලෙස හැදී වැඩුණි. ඔහුගේ සහෝදරවරුන් හැඩිදැඩි තරුණයින් ලෙස උස් මහත් වෙද්දී නික්සා පවුලේ බුද්ධිමතා විය; උගතා විය; නූතනවාදියා විය. ඔහුගේ ඉතිහාස ගුරුවරයා පැවසූයේ සෑම දස වසරකට වරක් නික්සා වැනි ශිෂ්‍යයකු හදන්නට හැකි නම් තමාගේ කාර්යය සඵලත්වය ගැන උදක්ම සෑහීමකට පත්වන බව ය.


රොමානොෆ් පවුලේ ඉතිහාසය පුරාවටම නික්සා තරමට ත්සාර් පදවියට සූදානම් වූවකු නොවීය. ඔහුගේ නීති ගුරුවරයා ලෙස දෙවන අලෙක්සන්දර් විසින් තෝරාගන්නා ලද්දේ තමාගේ නෛතික ප්‍රතිසංස්කරණ පිළිබඳ විශාල කාර්යයභාරයක් කළ කොන්ස්තන්තීන් පබෙදනෝස්ත්සෙෆ් ය. සිය නීති ගුරුවරයා සමග වරක් නික්සා රුසියාව පුරා සංචාරයක නියැළුණි. නික්සා සිය පියා මෙන්ම ප්‍රතිසංස්කරණවාදී, නූතනවාදී තරුණයකු විය.

නික්සාට සුන්දර ප්‍රේම වෘතාන්තයක් විය. ඒ අතින් ද ඔහු සිය පියා මෙන්ම ආදරවන්තයකු විය. 1863 අගෝස්තු 15 වනදා ඔහු සිය මවට මෙසේ ලීවේ ය. "මා බොහෝ කලෙක සිට කිසිවකු හා ප්‍රේමයෙන් වෙළුණේ නැත. ඔබ මට සිනාසෙනු ඇත. එහෙත් ඊට හේතුව නම්, හැබැහින් දැක නැති වුවද, මා ඩග්මාර්ට බොහෝ කලෙක සිට ප්‍රේම කරන බැවිනි. මා සිතන්නේ ඇය පිළිබඳවම ය".

ඩෙන්මාර්කයේ නවවැනි ක්‍රිස්ටියන් රජුගේ දියණිය වූ ඩග්මාර් සුරතලයට "මිනී" විය. නික්සා කලකට පෙර ඇගේ ඡායාරූපයක් දැක ඈ කෙරේ සිත් පහළ කරගෙන සිටියේ ය. 1864 දී අලෙක්සන්දර් සිය පුත්‍රයාව යුරෝපා සවාරියක් සඳහා යැවීය. එහි එක් නවාතැනක් වූයේ ඩෙන්මාර්කය යි.

ඩෙන්මාර්කය මෙකල යුද්ධයකට පැටළුණේ ය. ශ්ලෙස්විග්-හොල්ස්ටයින් ප්‍රදේශය අරභයා ප්‍රශියාව එරට හා යුද්ධයට පැටළුණි. ප්‍රශියාවේ රජු පළමු විල්හෙල්ම් විවාහ වී සිටියේ අලෙක්සන්දර්ගේ පියාගෙ සොයුරිය සමග ය. මේ යුද්ධය නිමවී ස්වල්ප දිනෙකින් නික්සා කෝපන්හේගන් වෙත සේන්දු වූයේ ය.

"මා කෙතරම් සතුටින් වූයේදැයි ඔබ දැන සිටියේ නම්? මම ඩග්මාර් සමග ආලයෙන් වෙළී සිටියෙමි. ඇයට මා අප්‍රමාණව ප්‍රේම කරන බව දැන දැනම මා සතුටින් පසු නොවන්නේ කෙසේ ද?" ඔහු සිය මවට ලීවේ ය. "මා ඇය කෙසේ විස්තර කරම් ද? ඇය ඍජු ය; බුද්ධිමත් ය; උද්‍යෝගීමත් ය. එහෙත් ලජ්ජාශීලී ය".

ඩාර්ම්ස්ටාඩ් වෙත පැමිණ සිය දෙමාපියන් හමුවූ නික්සා නැවත කෝපන්හේගන් ගියේ ය. "පවුලේ සක්මන්වලදී අපි අන් අයට වඩා සෙමින් ගමන් කළෙමු", ඔහු මවට ලීවේ ය. "මට පොළව පැළී මා සඟවා ගනී නම් යයි සිත් විය. ඇයට ආදරය කරන බව පැවසීමට කෙතරම් උත්සාහ කළ ද ඊට ගැලපෙන වදන් සොයාගැනීම අසීරු විය. එහෙත් ඈ ඒ බව දැන සිටියා ය. ඇගේ කැමැත්ත හිමි විය. ඉන්පසු අපි සිපගත්තෙමු".

නික්සා සහ මිනී 1864 දී

නික්සා මීළඟට ඉතාලිය වෙත පිටව ගියේ ය. එහෙත් කුමක් හෝ වරදක් සිදුව තිබුණි. ඔහුට අසුපිටින් යාම අසීරු වන්නට විය. වෛද්‍යවරු ඔහුගේ කශේරුකාවේ ඉදිමීමක් සොයාගත් හ. එහෙත් ඔවුන් කළ රෝග විනිශ්චය නිවැරදි නොවී ය. ඔහුට විවේකය, හිරු එළිය සහ විවිධ ප්‍රතිකර්ම නියම කෙරිණ. සති හයක් ගත වූයේ ය. එහෙත් නික්සාගේ තත්ත්වය යහපත් අතට හැරුණේ නැත. එහෙත් ඔහු දිනපතා මිනීට පෙම්පත් ලියුවේ ය. දෙසැම්බරයේදී ඔහු නීස් නුවරට පැමිණ සිටි සිය මව කරා ගියේ යුධ නැවකිනි. දැන්, ඔහුට දිනපතා මිනීට ලියන්නට නොහැකි විය. ඔහු කළු ඇස් ඇති රූමතියක හා පෙමින් වෙළී ඇතිදැයි මිනී විමසා සිටියා ය. එහෙත් ඔහු සිටියේ මිය යමිනි.

1865 අප්‍රේල් මාසයේදී, නීසියේ විලා ඩීස්බාක් හි අසරණ ව වැටී සිටියදී, ඔස්ට්‍රියානු වෛද්‍යවරයකු නික්සාගේ රෝගය සොයාගත්තේ ය. ඔහුගේ කශේරුකාවට ටියුබර්කියුලෝසිස් තත්ත්වයක් බලපා තිබුණි.

මේ අතර තවත් ඛේදවාචකයක් පිළිබඳ අලෙක්සන්දර් කණ වැකුණි. අප්‍රේල් 14 වනදා (රුසියානු ක්‍රමයට අප්‍රේල් 2), සාහසිකයකු විසින් ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ඝාතනය කර තිබුණි. ත්සාර්වරයා වැළපුණේ ය. කසාන් ආසන දෙව් මැදුරේ දේව මෙහෙයක් පැවැත්වීමට නියම කළේ ය. "අපේ පරම්පරාවේ වැදගත්ම සහ ශ්‍රේෂ්ඨතම ක්‍රිස්තියානි ලබ්ධිකයා ඔහු විය. ලොවට ඔහු මිණි පහනක් විය. ඔහු තුළ වූයේ නිර්භීතත්වය, ඍජුබව මෙන්ම යහපත සැලසීමේ අභිප්‍රාය මිස අනෙකක් නොවේ" යයි හෙතෙම මේරි ලින්කන් වෙත ලියා යැවී ය.

මුහුදු රළ නාදය දරාගැනීම අපහසු වූයෙන් නික්සා රට අභ්‍යන්තරයේ විලා බර්මොන් වෙත ගෙනයන ලද්දේ ය. ආඝාත ත්ත්වයක් හේතුවෙන් ඔහුගේ එක් පසක් පණ නැති විය. ත්සාර්ට සහ මිනීට හදිසි පණිවිඩ යැවිණ. "නිකුලස් අවසාන ආගමික වතාවත් සිදුකළා. හැකි නම් එන්න".

"අහෝ මෑණියනි. ඔබේ නිකී නැතිව ඔබට කුමක් වේද?" නික්සා වැළපුණේ ය. නික්සාට බෙහෙවින් ලෙන්ගතු වූ ඊළඟ සහෝදරයා අලෙක්සන්දර් (සාෂා) ඔහු වෙත ආවේ ය. "සාෂා, සාෂා. මොකක් කරනවද ඔතන? ඇවිත් මා වැළඳගනින්!" නික්සා කීවේ ය.

සිය බාල පුතුන් වූ ව්ලදිමීර් හා අලෙක්සිස් සමග ත්සාර් අලෙක්සන්දර් දුම්රියෙන් නීස් කරා පිටත් විය. අලෙක්සන්දර් තුළ වූයේ එකම සැකයකි. "ඔහු ජීවතුන් අතර සිටියදී අපට එහි ළඟා වීමට දෙවියන් ඉඩ දෙයි ද?" බර්ලිනයේදී විල්හෙල්ම් ඔහු වැළඳගෙන දුක බෙදාගත්තේ ය. ඩෙන්මාර්කයෙන් පැමිණ සිටි මිනී හා ඇගේ මව සිටි දුම්රිය මැදිරියක් ත්සාර්ගේ දුම්රියට ඈඳන ලදී. වසරකටත් මෙහා යුධ වැදුණ රාජ්‍ය දෙකක රාජකීයයෝ මෙසේ අලෙක්සන්දර්ගේ ශෝකයේදී එක් වූහ.

පැරිසියේදි තුන්වන නැපෝලියන් අධිරාජයා ද ශෝකය බෙදාගැනීමට ත්සාර් හමුවිය. හැකි වේගයෙන් ඔහු නීසිය කරා ගමන් ගත්තේ ය. අප්‍රේල් 22 වෙනිදා රජවාසල සේවකයෝ නීස් දුම්රිය ස්ථානයේදී ඔහුව හමු විය.

නික්සාගේ ඇඳ අසළින් දණින් වැටුණ ත්සාර් අලෙක්සන්දර් සිය පුත්‍රයාගේ අත සිප ගත්තේ ය. ඉන්පසු නික්සා මිනී දෙස බැළුවේ ය. "ත්සාර්වරයා ඇගේ අතගෙන නික්සා වෙත කැටුව යද්දී ඔහුගේ මුහුණේ වූයේ අප්‍රමාණ සතුටකි" මිනීගේ මව ලීවා ය. "ඈ ඉතා සුන්දරයි නේද පියාණෙනි?" නික්සා අලෙක්සන්දර්ගෙන් ඇසුවේ ය.

"කල් ඇතිව මා ඔහු වෙත ගෙනගිය දෙවියන්ට ස්තූති වේවා. ඔහු මා දෙස බැලූ අයුරු කිසි විටෙක අමතක කළ නොහැකියි" මිනී සිය පියාට ලියුවා ය.

වැඩි වෙලා නොගොස් ඔහු විකාරයෙන් කියවන්නට විය. ඔහු පීඩනයට පත් ස්ලාව්වරුන් ගැන කියෙව්වේ ය. මිනී සහ පවුලේ අය ද එය දරාගත නොහැකිව නිතර කාමරයෙන් පිටතට දිව ගියෝ ය. "අසරණ ත්සාර් සහ ත්සරීනා. මගේත් ඔවුන්ගේත් ඛේදනීය අවස්ථාවකත් ඔව්හු මා ගැන නිරන්තරයෙන් සොයා බැළුවෝ ය" මිනී ලීවා ය.

මේ වෙද්දී නික්සා සිටියේ මරණය අපේක්ෂාවෙනි. ඔහුගේ සාත්තු සේවකයා අප්‍රේල් 24 වනදා හිමිදිරියේ මාර්ගයෙන් අනෙක්පස බංගලාවේ වූ පවුලේ අය පිබිදවීය. නික්සා සිය බෙහෙත් වමනය කර තිබුණි. අවසානය ළං වෙමින් තිබිණ.

දෙමාපියෝ සහ සහෝදරයෝ නික්සාගේ ඇඳ වටකරගත් හ. මිනී ඔහුගේ නිකටෙහි වූ වමනය පිස දැමුවා ය. "අවසන් මොහොතේ ද ඔහු මා හැඳිනගත්තා" මිනී ලීවා ය. ඔහු ඇගේ අත ගත්තේ ය. එහෙත් ඉන්පසු සාෂා දෙස බැළූ ඔහු පියා ඇමතුවේ ය. "පියාණෙනි, සාෂාව බලාගන්න. ඔහු ඉතා අවංක, යහපත් කෙනෙක්."

එක් අතකින් සාෂාගේ හිස අතගෑ නික්සා අනෙක් අතින් මිනීගේ හිස පිරිමදින්නට උත්සාහ කළ බවක් පෙනිණ. එහෙත් පසුව ඔහු සිය මවගේ අත ගෙන වෛද්‍යවරයා දෙසට හැරුණි. "ඇයව හොඳින් බලාගන්න" ඔහු කීවේ ය. මිනී ඔහුව සිපගත්තා ය. නික්සා මියගියේ ය.

දේහය පීතර්බුර්ග් කරා යන ගමනේදී ද සාෂා කෙතරම් කම්පනයට පත් වී සිටින්නේදැයි මිනී දුටුවා ය. සාෂා නික්සාගේ හොඳම මිත්‍රයා විය. දැන් සාෂා නික්සාගේ තැන, ත්සාර්යෙවිච් තනතුර ගතයුතු වූයේ ය.

ත්සාර් දෙවන අලෙක්සන්දර්, ත්සරීනා මාරියා සහ සාෂා 1870 දී

මේ කලබල සහගත අවස්ථාවලින් පසු මිනී අලෙක්සන්දර් හමු වූවා ය. ඇයට තවමත් සිය පවුලට එක්විය හැකි නොවේදැයි ඥාතියකු ත්සාර්ගෙන් විමසීය. "සත්තකින්ම. ඇයට පුළුවන්" ඔහු කීවේ ය.

* සාෂා සහ මිනී පසුව විවාහ වූහ. එම විවාහය සාර්ථක එකක් විය. සිය පියාගේ ඝාතනයෙන් පසු තුන්වන අලෙක්සන්දර් ලෙස ත්සාර් බවට පත් වූයේ සාෂා ය. සාෂාගේ දෙටු පුත්‍රයා වූ නිකුලස්, අවසාන ත්සාර් වූයේ ය. ඔහුට නම තබන ලද්දේ ද නික්සා සිහි වීමට ය. නික්සා මෙන්ම ඔහු ද නිකුලස් අලෙක්සන්ද්‍රොවිච් රොමානොෆ් විය.

නික්සා මෙන් නොව සාෂා පසුගාමී අයකු විය. ඔහු සිය පියාගේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අහුරා දැමීය. සාෂාගේ පුත්‍රයා නිකුලස් අඥාන, අසාර්ථක පාලකයකු ලෙස රොමානොෆ් පවුලේ ව්‍යසනයට පාර කැපුවේ ය.

නික්සා අකාලයේ මරණයට පත් නොවී නම් රුසියාවේ ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණි.

3 comments: