1940 වසරේ දෙවන භාගය ගෙවී යද්දී සෝවියට් දේශය හා ජර්මනිය අතර සැකය වර්ධනය වෙමින් තිබුණි. නෝර්වේ හි උතුරු දෙසට යන ජර්මන් සේනාංක ෆින්ලන්තය හරහා ගමන් කිරීම සෝවියට් දේශයේ සැකයට හේතු විය. මේ අතර ජර්මනිය, ඉතාලිය සහ ජපානය ඇතුලත් මිත්‍ර සන්ධානය නව ත්‍රි පාර්ශවික මිත්‍රත්වයක් මගින් ශක්තිමත් වීම කෙරෙහි ද සෝවියට් දේශය සැකයෙන් බලා සිටියේ ය. පෙරමුණු දෙකක කරන යුද්ධයක් පිළිබඳ බිය සෝවියට් දේශයෙහි ජනිත විය.
දෙරට අතර මෙම ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට සෝවියට් විදේශ ඇමති ව්‍යචෙස්ලාව් මෝලතෆ් බර්ලින් වෙත පැමිණියේ ය. 1940 නොවැම්බර් 12 බර්ලින් වෙත පැමිණි ඔහු රිබන්ත්‍රොප් මෙන්ම හිට්ලර් ද හමුවිය. එහෙත් නට්සින් විසින් ලබා දුන් ව්‍යාජ පොරොන්දුවලට ඔහු හසු නොවී ය.
දෙපාර්ශවය අතර සාකච්ඡා වූයේ එකිනෙකාගේ බලපෑම් කලාපයන් පිළිබඳව ය. මෙහිදී ජර්මනිය උත්සාහ කළේ සෝවියට් අවධානය ඉන්දියන් සාගරය වෙත යොමු කිරීම ය. සෝවියට් දේශය අවධානය යොමු කළේ කළු මුහුද දෙසට ය. එහෙත් එම ප්‍රදේශය ජර්මනියට ද අවශ්‍ය විය.
මෝල්තෆ් නැවත මොස්කව් ගොස් ස්වල්ප දිනෙකින් සෝවියට් රජයේ ඉල්ලීම් ජර්මන් රජය වෙත ලැබුණි. ෆින්ලන්තයෙන් ජර්මන් හමුදා ඉවත් කරගැනීම මෙන්ම බොස්පරස් සහ ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධි ආසන්න ප්‍රදේශයක යුධ හා නාවික හමුදා කඳවුරක් ලබා ගැනීම ද සෝවියට් ඉල්ලීම් අතර විය.
"ස්ටාලින් දක්ෂයෙක් වගේම කට්ටයෙක්. ඔහු හිතක් පපුවක් නැති කප්පම්කාරයෙක්. ජර්මන් ජයග්‍රහණය රුසියාවට දරාගන්න බැහැ. එහෙයින් ඉක්මණින්ම රුසියාව දණගැස්විය යුතුයි" මෙම ඉල්ලීම් පිළිබඳ අදහස් දැක්වූ හිට්ලර් කියා සිටියේ ය.
1940 දෙසැම්බර් මුලදී ජර්මන් හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් වෝල්තර් ෆොන් බ්‍රවුහිච් සහ යුධ හමුදා උත්තරීතර අණදෙන මණ්ඩලයේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෆ්‍රාන්ස් හැල්ඩර් විසින් සෝවියට් දේශයට පහර දීමේ සැලසුම හිට්ලර්ට ඉදිරිපත් කරන ලදී. දෙසැම්බර් 18 වනදා ෆ්‍යුරර්ගේ (නායකතුමාගේ) කාර්යාලය විසින් මේ පිළිබඳ උපදෙස් මාලාවක් ඉදිරිපත් කෙරිණ. "බාබරෝසා මෙහෙයුම" යන සංකේත නාමය මුලින්ම හඳුන්වා දෙනු ලැබුණේ ද එය මගිනි.
"එංගලන්තය සමග යුද්ධය නිමා වීමට පෙර, වේගවත් කෙටි කාලීන යුධ ව්‍යාපාරයක් මගින් සෝවියට් රුසියාව විනාශ කිරීම සඳහා ජර්මන් සන්නද්ධ හමුදා සූදානම් විය යුතු ය" හිට්ලර් එහි සඳහන් කළේ ය. 1941 මැයි 15 වනවිට සෝවියට් දේශය ආක්‍රමණය සඳහා සූදානම් වන ලෙස හිට්ලර් දන්වා සිටියේ ය.
ජර්මන් සැලසුම ඉතා පුළුල් ලෙස සකසන ලද්දක් විය. ජර්මන් හමුදා කණ්ඩායම් තුනක් සෝවියට් දේශයට කඩාවැදිය යුතු වූ අතර ප්‍රිපෙත් වගුරු බිම් ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රදේශ වෙන් කෙරෙන ප්‍රධාන භූමි කලාපයක් විය. මෙම වගුරු ප්‍රදේශයෙන් උතුරට වන්නට හමුදා කණ්ඩායම් දෙකක් ලෙනින්ග්‍රාදය හා මොස්කව් ඉලක්ක කරගෙන ගමන් කළයුතු විය. ලෙනින්ග්‍රාද් කරා යන සේනාංකය "උතුරුදිග හමුදා කණ්ඩායම" ද මොස්කව් කරා යන සේනාංකය "මධ්‍යමදිග හමුදා කණ්ඩායම" ද විය. මේ අතර ප්‍රිපෙත් වගුරුබිම් ප්‍රදේශයෙන් දකුණුදිගින් තවත් හමුදා කණ්ඩායමක් යුක්‍රේනය වෙත පහර දියයුතු වූයේ ය. එය "දකුණුදිග හමුදා කණ්ඩායම" ය. සෝවියට් දේශයේ විවෘත භූමිය හරහා වේගයෙන් කඩාවැදී, රතු හමුදා සේනාංක වට කිරීමටත්, ඔවුන් ක්‍රමානුකූලව පසුබැසීමේ ඉඩ ඇහිරීමටත් නියමිත විය.
උතුරුදිග හමුදා කණ්ඩායමට අණ දුන්නේ ෆීල්ඩ් මාර්ෂල් විල්හෙල්ම් රිටර් ෆොන් ලීබ් ය. දකුණුදිග හමුදා කණ්ඩායමට ෆීල්ඩ් මාර්ෂල් ගර්ඩ් ෆොන් රුන්ස්ටෙඩ් විසින් අණදෙන ලදී. මධ්‍යමදිග හමුදා කණ්ඩායමට අණ දෙන ලද්දේ ෆීල්ඩ් මාර්ෂල් ෆෙඩෝර් ෆොන් බොක් ය.
මෙහිදී ද ප්‍රංශයේදී මෙන් පැන්සර් කණ්ඩායම් විශේෂ කාර්යයභාරයක් කළ යුතු වූයේ ය. සෝවියට් දේශයේ විවෘත භූමිය ඔස්සේ පැන්සර් සේනාංකයන්ට පහසුවෙන් ගමන් කළ හැකි වේ යයි අනුමාන කරන ලදී. එම අදහසින් යුක්තව යුධ ටැංකි සේනාංක හතරක් බාබරෝසා මෙහෙයුමට දායක වූහ. උතුරුදිග හමුදා කණ්ඩායමට සහ දකුණුදිග හමුදා කණ්ඩායමට මෙයින් පැන්සර් සේනාංක එක බැගින් ලබාදුන් අතර මධ්‍යමදිග හමුදා කණ්ඩායමට පැන්සර් සේනාංක දෙකක් විය.
උතුරුදිග හමුදා කණ්ඩායමට අනුයුක්ත වූ 4 වන පැන්සර් හමුදාවේ අණදෙන නිලධාරියා වූයේ ජෙනරාල් එරික් හ්‍යොප්නර් ය. දකුණුදිග හමුදා කණ්ඩායමේ වූ 1 වන පැන්සර් හමුදාවේ අණදෙන නිලධාරියා වූයේ කර්නල් ජෙනරල් එවාල්ඩ් ෆොන් ක්ලයිස්ට් ය. මධ්‍යමදිග හමුදා කණ්ඩායමේ වූ 2 වන පැන්සර් කණ්ඩායම ජෙනරල් හයින්ස් ගුඩේරියන් විසින් ද 3 වන පැන්සර් කණ්ඩායම ලුතිනන් ජෙනරල් හර්මන් ගොත් විසින් ද මෙහෙයවන ලදී.
එමෙන්ම බාබරෝසා මෙහෙයුම් සැලසුමෙහි ෆින්ලන්ත සහ රුමේනියා හමුදාවල දායකත්වය පිළිබඳ ද කරුණු සඳහන් විය. ෆින්ලන්ත හා ජර්මන් හමුදා එක්ව ලෙනින්ග්‍රාද් දෙසට සහ මුර්මන්ස්ක් දුම්රිය මාර්ගය දෙසට ගමන් කළ යුතු වූ අතර, උතුරුදිග වරායවල් අල්ලාගත යුතු වූයේ ය. සමස්ථයක් ලෙස ගත්විට බාබරෝසා මෙහෙයුම මගින් උතුරේ ආහන්ගෙල්ස්ක් සිට දකුණේ අස්ත්‍රහාන් දක්වා ප්‍රදේශයක් අල්ලා ගැනීමට අපේක්ෂා කෙරිණ.
මෙම ප්‍රදේශයේ ඉඩම් අල්ලාගැනීම සඳහා ජර්මානුන් සැලසුම් සකස් කළෝ ය. ජර්මන් ජාතිය උත්තරීතරය යන නට්සි දර්ශනය අනුව රුසියාවේ ස්ලාව් ජාතිකයන් සුදුසු වූයේ වහලුන් ලෙස යොදාගැනීමට ය. රුසියාවේ නගරවාසීන් හාමත් කර ඒවා ජනශුන්‍ය කිරීමට නට්සීහු අදහස් කළ හ. එමෙන්ම ලෙනින්ග්‍රාදය පොළවට සමතලා කිරීමට සැලසුම් කරන ලද්දේ ය. ජර්මන් සෙබළුන් සෝවියට් දේශයේදී සිදු කෙරෙන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපරාධමය චෝදනා ගොනු නොකෙරෙන ලෙස නීති පනවන ලදී. කොමියුනිස්ට් පාක්ෂිකයන් අල්ලාගත් වහා ඝාතනය කළ යුතු වූයේ ය.
1940 දෙසැම්බර් මුලදී හමුදා නායකයින් සමග වූ සාකච්ඡාවක් අතරතුර හිට්ලර් දන්වා සිටියේ මොස්කව් නගරය අල්ලාගැනීමට වඩා ප්‍රමුඛ ස්ථානයක් රතු හමුදාවට හැකි උපරිම හානි සිදුකිරීම කෙරෙහි යොමු වියයුතු බව ය. එහෙත් ඔහු ඉදිරිපත් කළ සැලසුමෙහි මොස්කව් පිළිබඳ වූයේ වෙනස් කරුණකි. මොස්කව් නගරය සෝවියට් දේශපාලනික කේන්ද්‍රස්ථානය වන හෙයින්ද, එරට වැදගත්ම දුම්රිය මාර්ග මධ්‍යස්ථානය හෙයින් ද, එම නගරය අල්ලාගැනීම ඉතා වැදගත් බව බාබරෝසා සැලසුම කියා සිටියේ ය.
කෙසේ නමුත් මොස්කව් අල්ලාගැනීම සහ රතු හමුදාවට හැකි උපරිම හානිය සිදු කිරීම යන අරමුණු දෙක අතර හිට්ලර් දෝලනය වෙමින් සිටියේ ය. මෙය ඔහු හා හමුදා නායකත්වය අතර මතගැටුම් සඳහා මග විවර කළ අතර බාබරෝසා මෙහෙයුමේ අවසන් අසාර්ථකත්වයට ද හේතු විය.
මේ මෙහෙයුමට දෙපාර්ශවයේම ගුවන් හමුදා සහභාගී උනේ නැද්ද?
ReplyDeleteසම්බන්ධ වුණා. නාවික හමුදාත් සම්බන්ධ වුණා.
Delete