වර්තමානයේ දී ලොව විශාලම රාජ්‍යය වුණත්, රුසියාව යනු සපේක්ෂව කුඩා භූමි ප්‍රදේශයක සිට වර්ධනය වූ රටක්. රුසියාව යන රාජ්‍යය නිල වශයෙන් නිර්මාණය වූයේ 1547 දී හතරවන ඉවාන් හෙවත් බිහිසුණු ඉවාන්, "ත්සාර්" යන තනතුර ලබාගැනීමත් සමග යි. ඔහු විසින් රුසියානු ත්සාර් රාජ්‍යය පිහිටවනු ලැබුණා.
රුසියාව, රුසියාව වීමට පෙර කුමාරවර රාජ්‍යයන් සහ ආධිපාද ප්‍රදේශයන් කිහිපයක් වර්තමාන යුරෝපීය රුසියානු භූමියේ පිහිටා තිබුණා. මේවායෙන් මුස්කොවි මහාධිපාද ප්‍රදේශය වඩා ප්‍රමුඛව නැගී සිටි අතර රුසියානු ත්සාර් රාජ්‍යය පිහිටවූයේ මුස්කොවි හි මහාධිපාද වූ බිහිසුණු ඉවාන් විසින්.
මෙම කුමාරවර රාජ්‍යයන් හි ආරම්භය ක්‍රි.ව. නව වන සියවසේ දී බිහි වූ කියේවන් රුස් නම් වූ රාජ්‍යය වෙත දිව යනවා. එහි ද ආරම්භය දිව යන්නේ ක්‍රි.ව. 862 දී පිහිටවූ බව කියන නොව්ගොරොද් නගරය වෙත යි. නොව්ගොරොද් පිහිටවූයේ රුරික් නම් වූ වයිකිං කුමාරයකු බවයි සඳහන් වන්නේ. වර්තමානයේ රුසියානු රාජ්‍යත්වය ආරම් භ වූ අවස්ථාව ලෙස මෙය සැලකෙනවා. මේ පිළිබඳ 1852 දී ත්සාර් පළමු නිකුලස් විසින් ආඥාවක් ද නිකුත් කළා.
පුරාවෘත්ත
රුරික් පිළිබඳ එක් වැදගත් කරුණක් වන්නේ ඔහු පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැති වීම යි. රුරික්ගේ පවුලෙහි විස්තර, ඔහු උපන් ස්ථානය ආදිය අදට ද තහවුරු ව නැහැ. ඔහු වර්තමාන උතුරුදිග ජර්මනියෙහි පිහිටි වෙළෙඳ නගරයක් වූ ඩොරෙස්ටාඩ්හි අයකු යයි ඇතැම් ඉතිහාසකරුවන් සැක කළ ද එයත් සනාථ වී නැහැ.
රුරික්ගේ කතාපුවත සඳහා ප්‍රධානම මූලාශ්‍රය වන්නේ ප්‍රාථමික වංශකතාව නම් කෘතිය යි. "අතීතයෙන් එන කතා" ලෙස ද හැඳින්වෙන මෙම කෘතිය නෙස්ටර් නම් පූජකයකු විසින් 1113 දී ලියන ලදැ යි සඳහන් වනවා. මෙම කෘතියෙහි 1110 දක්වා කියේවන් රුස්හි ඉතිහාසය දැක්වෙන අතර මුල් කෘතිය 12 වන සියවසේ දීම වෙනත් පූජකයින් විසින් යම් යම් සංස්කරණයන්ට ලක් කර ඇතැ යි ද විශ්වාස කෙරෙනවා.
පුරාවෘත්ත අනුව රුරික් යනු වර්තමාන ස්වීඩනයේ හෝ ජර්මනියේ හෝ වාසය කළ වයිකිං පවුලක් අයෙක්. ඔවුන් උතුරුදිග රුසියාව හරහා වැටී තිබූ වෙළෙඳ මාර්ග පාලනය කරන්නට ඇතැ යි විශ්වාස කෙරෙනවා. මේ අතර 850 දී පමණ මෙම ප්‍රදේශයේ වාසය කළ ගෝත්‍ර අතර කැරලි කෝලාහල සහ ආරවුල් හටගන්නට වුණා. එහි ප්‍රතිඵලය ලෙස එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කිරීම සඳහා එහි ගෝත්‍ර නායකයින් රුරික්ගේ උපකාර ඉල්ලා සිටියා. මේ අනුව රුරික්, ඔහුගේ සහෝදරයින් වූ සිනියස් සහ ටෘවෝර් ඇතුළු පිරිවර සමග එම ප්‍රදේශය කරා පිටත් වුණා.
මේ අතර රුරික් ජර්මනිය හෝ ස්වීඩනය තරම් ඈතක ජීවත් නොවූ අයකුයැ යි ද ඇතැම් විචාරකයන් සැක පළ කරනවා. ඊට හේතු වී ඇත්තේ එස්තෝනියානු පුරාවෘත්තවල සඳහන් සහෝදරවරුන් තිදෙනකු පිළිබඳ කතාපුවතක්. සාමාන්‍ය පවුලක උපන් ඔවුන් පසු කලෙක තම උපන් බිමෙන් පිටත ප්‍රදේශයන්හි පාලකයින් බවට පත්වන බව එම කතාවල කියවෙනවා.
රුරික් රාජවංශය
රුරික් සහ ඔහුගේ පිරිවර ලාදගා ප්‍රදේශයේ බලය තහවුරු කරගත්තේ වසර 862 දී යි. මෙම ලාදගා ප්‍රදේශය ලාදගා විල නොව වත්මන් නොව්ගොරොද් නගරය අසල පිහිටි, එවක වැදගත් වූ වෙළෙඳ නගරයක්. රුරික් මෙම ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීම රුසියානු නිල ඉතිහාසයේ ආරම්භක අවස්ථාව ලෙස සැලකෙනවා. මින් ස්වල්ප කලකට පසු රුරික් විසින් හෝම්ගාර්ඩ් නම් වූ නගරය ස්ථාපිත කළ බව යි සඳහන් වන්නේ. පසු කලෙක නොව්ගොරොද් නම් වූයේ මෙම නගරය බව විශ්වාස කෙරෙනවා. නොව්ගොරොද් ප්‍රදේශය උතුරුදිග රුසියාව හරහා වැටී තිබුණු වෙළෙඳ මාර්ගවල කේන්ද්‍රුස්ථානයක් බවට පත් වුණා.
රුරික් 879 වසරේදී මියගිය බව සඳහන් වනවා. ඔහුගේ පුත්‍රයා ඒ වන විට ලාබාල වූ හෙයින් තම රාජ්‍යයේ පාලනය ඔලෙග් නම් වූ ප්‍රධානියා වෙත පැවරීමට රුරික් කටයුතු කර තිබෙන බවයි සඳහන් වන්නේ. ඔලෙග් විසින් 882 දී කියෙව් ප්‍රදේශය අල්ලාගත් අතර ඒ අනුව කියේවන් රුස් නම් රාජ්‍යය කියෙව් කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණා. සම්ප්‍රදායිකව මෙම රාජ්‍යයේ පාලකයා කියෙව්හි සිට රාජ්‍ය පාලනය සිදු කරද්දී රජකම උරුමව සිටින්නා නොව්ගොරොද් පාලනය කළා. කියේවන් රුස් රාජ්‍යය මෙකල මෙම ප්‍රදේශයේ ප්‍රබලම රාජ්‍යයක් වුණා.
912 දී ඔලෙග් මියගිය පසු රුරික්ගේ පුත්‍රයා වූ ඉගෝර් කියේවන් රුස්හි පාලකයා බවට පත් වුණා. ඉන්පසු එම රාජ්‍යය කඩා වැටෙන තෙක්ම රුරික්ගෙන් පැවතෙන අය, එනම් රුරික් රාජවංශයේ සාමාජිකයන්, එම රාජ්‍යය පාලනය කළා. 11 වන සියවසෙහි පමණ සිට එම රාජ්‍යය දුර්වල වන්නට වූ අතර 1240 මොන්ගොල් ආක්‍රමණ හමුවේ එය කඩා වැටුණා.
කෙසේ නමුත් කියේවන් රුස් රාජ්‍යය පිහිටි ප්‍රදේශයේ නිර්මාණය වූ තවත් රාජ්‍යයන් කිහිපයකම පාලනය රුරික් රාජවංශයට අයත් අය විසින් සිදු කළා. මුස්කොවිවලට අමතරව, ව්ලැදිමීර් හෙවත් ව්ලැදිමීර්-සුස්දාල් රාජ්‍යය, චර්නිගොෆ් කුමාරවර රාජ්‍යය, ගැලීසියා-වොල්හිනා රාජ්‍යය ආදිය මේ අතර වනවා. රුසියානු ඉතිහාසයේ මුල් යුගය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවන්හි දී ව්ලැදිමීර්, සුස්දාල් ආදී ප්‍රදේශයන්ට විශේෂ ස්ථානයක් හිමි වනවා.
රුරික් රාජවංශය 1598 දී අවසානය කරා ආවේ රුසියාවට අරාජික සමයක් උදා කරමින්. එම අරාජික සමය වසර 15 ක් පැවති අතර එය අවසන් වූයේ 1613 දී මිහයිල් රොමානොෆ් බලයට පත් වීමෙන්.
No comments:
Post a Comment