Tuesday, September 8, 2020

ලෙනින්ග්‍රාද් වටලෑම සහ සෝවියට් ජනයාගේ වීරෝධාර ප්‍රතිරෝධය

"පීටර්ස්බර්ග් නගරය මිහිමතින් මකා දැමීමට ෆ්‍යුරර් තීරණය කර තිබේ. සෝවියට් රුසියාව විනාශ කරන ලද පසු මෙහි පැවැත්ම පිළිබඳ මට කිසිදු අවශ්‍යතාවයක් නොමැත".

- ඇඩොල්ෆ් හිට්ලර් (1941 සැප්තැම්බර් 22)

බාබරෝසා මෙහෙයුම ආරම්භ කළ අවස්ථාවේදී ජර්මානුන්ගේ මූලික ඉලක්කය වූයේ ලෙනින්ග්‍රාද් නගරය ය. මෙහෙයුමෙහි මුල් දිනවලදී උතුරුදිග හමුදා කණ්ඩායම බෝල්ටික් ප්‍රදේශයන් ඔස්සේ වේගයෙන් ඉදිරියට ඇදුණි. මේ අතර ෆින්ලන්තය දෙසින් ද ජර්මන් - ෆින්ලන්ත හමුදා ලෙනින්ග්‍රාද් දෙසට ඇදුණ හ.

ලෙනින්ග්‍රාද් වෙත කෙමෙන් ආසන්න වෙද්දී ජර්මන් උතුරුදිග හමුදා කණ්ඩායමට එල්ල වන ප්‍රතිරෝධය කෙමෙන් වැඩි විය. නෝව්ගරද්වලදී එල්ල වූ ප්‍රතිප්‍රහාර ඊට එක් උදාහරණයකි. කෙසේ නමුත් දිගටම එල්ල වූ ජර්මන් ප්‍රහාර හමුවේ රතු හමුදාවන් පසුබස්වන ලදී. 1941 සැප්තැම්බර් 8 වනදා, ලාදගා විල්බඩ පිහිටි ෂ්ලිසෙල්බුර්ග් වෙත ජර්මානු සේනා ළඟා වූහ. ලෙනින්ග්‍රාදය සහ අනෙක් සෝවියට් පාලන ප්‍රදේශ අතර වූ අවසන් ගොඩබිම් මාර්ගය මෙසේ ජර්මානුන් අතට පත් වූයේ ය. දින 882 ක් පැවති ලෙනින්ග්‍රාද් වටලෑම ඇරඹුණි. මෙම අවස්ථාවේ නගරයෙහි ළමුන් 400,000 ක් ඇතුළුව මිලියන 2.5 ක ජනගහනයක් වූහ. එහි ආහාරපාන තිබුණේ මාසයක පමණ කාලයකට ය.


සෝවියට් යුධ හමුදා ප්‍රධාන පරිපාලක මණ්ඩලයේ ලෙනින්ග්‍රාද් හි නියෝජිතයා ලෙස ජෙනරාල් ෂූකොෆ්ව වහා යැවීමට ස්ටාලින් තීරණය කළේ ය. කල්ඛින්-ගොල් හිදී ජපනුන් අන්ත පරාජයකට පත් කිරීමෙන් පසු ඔහුගේ කීර්ති නාමය ඉහළ ගියේ ය. බාබරෝසා මෙහෙයුම ඇරඹෙන අවස්ථාවේදී ෂූකොෆ් රතු හමුදා මාණ්ඩලික ප්‍රධානියා වූයේ ය. ජූලි මාසයේදී ඔහුව එම ධුරයෙන් ඉවත් කර හමුදාවක ප්‍රධානියකු කරන ලදී. එය නිලයෙන් පහළ හෙලීමක් යයි බැලූ බැල්මට දිස් වුවද, ඔහුව යොමු කරන ලද්දේ මොස්කව් දෙසට එල්ල වූ ප්‍රහාරයට එරෙහිව ප්‍රතිප්‍රහාරක මෙහෙයුමකට නායකත්වය දීමට ය. එය ස්ටාලින් සහ ෂූකොෆ් අතර එකඟතාවක් සහිතව සිදු වූ ස්ථාන මාරුවක් බව පෙනී යයි.

මෙම මෙහෙයුම සාර්ථක වූ අතර ජර්මන් හමුදා බාබරෝසා මෙහෙයුම ආරම්භයේදී ලද විරල පසුබැසීමක් ලෙස එය ඉතිහාසයට එක් විය. එයින් අනතුරුව යුධ පෙරමුණේ අවදානම් ස්ථාන පිළිබඳ කටයුතු කිරීම සඳහා ෂූකොෆ් යැවීමට ස්ටාලින් ද යොමු වූ බව පෙනේ.


ලෙනින්ග්‍රාද් හි ප්‍රධාන පරිපාලක මාණ්ඩලික නියෝජිතයා වූයේ මාර්ෂල් වරශීලොෆ් ය. අතිශයින් ම නිර්භීත නිලධාරියකු වූ නමුත් යුධ උපක්‍රම පිළිබඳ ඔහු සතු වූයේ ශුන්‍යයට ආසන්න දැනුමකි. ඔහු මාර්ෂල්වරයකු ලෙස පත් වූයේ ස්ටාලින්ගේ පැරණි මිතුරකු වූ බැවිනි. එහෙත් ලෙනින්ග්‍රාද් හි මතුවූ තත්ත්වය හේතුවෙන් ස්ටාලින් සිය මිත්‍රයාගේ ක්‍රියාකලාපය කෙරෙහි නොසතුටු වූයේ ය.

ෂූකොෆ් සිය උපරිම උත්සාහය ලෙනින්ග්‍රාද් රැකගැනීම සහ එහි වටලෑම බිඳ දැමීම කෙරෙහි යෙදවීය. එහිදී ඔහු කාලතුවක්කු කෙරෙහි වැඩි අවධානය යොමු කළේ ය. මේ අතර කිරොෆ් කර්මාන්ශාලාවේ නවතම KV යුධ ටැංකි නිපදවෙමින් තිබුණි. මේවා කෙලින්ම යවන ලද්දේ යුධ පෙරමුණට ය. තවද, සෝවියට් බෝල්ටික් මුහුදු නාවික බලකායේ නැව්වල කාලතුවක්කු ද, නාවික බලකොටු ද, වෙරළබඩ ප්‍රදේශයේ සටන් සඳහා උපකාරී විය.

කෙසේ වෙතත් වටලෑම කඩා දැමීමේ උත්සාහය මූලිකව කේන්ද්‍ර කෙරුණේ ෂ්ලිසෙල්බුර්ග් ප්‍රදේශය අසළ ය. ලෙනින්ග්‍රාද් ප්‍රදේශය තුළ කොටු වූ රතු හමුදා ද, ඊට එපිටින් වූ හමුදා ද දෙපසින් එදෙසට පහර දුන් හ. කෙසේ වෙතත්, ජර්මන් සේනාංක එම ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට සමත් වූහ.

ලෙනින්ග්‍රාද් පෙරමුණේ දී ෂූකොෆ් කෙතරම් සාර්ථක වූයේ ද යන්න විවාදයට තුඩු දෙන කාරණයකි. එක් අතකින් ඔහු නගරය ජර්මානුන් අතට පත් වීමෙන් ගලවා ගත්තේ ය. එහෙත් ඔහු අති සාර්ථක වූයේය යන අදහස පිළිබඳ ඒකමතික මතයක් නොමැත.

සැප්තැම්බර් මාසයේ අවසන් සතිය කරා එළඹෙන විට කියෙව් සටන අවසන් වෙමින් පැවතුණි. නැවත මොස්කව් වෙත මූලික අවධානය යොමු කිරීමට මෙම අවස්ථාවේදී හිට්ලර් තීරණය කළේ ය. මේ අනුව ලෙනින්ග්‍රාද් දෙස අවධානය අඩු කෙරිණ. හිට්ලර් තීරණය කළේ නගරය වටලාගෙන, හාමත් කර යටත් වීමට සැලැස්වීම ය. යම් හෙයකින් ජර්මානුන් දිගටම සම්පූර්ණ ශක්තියෙන් පහර දුන්නේ නම්, ලෙනින්ග්‍රාද් සටන කොයි අතට යන්නට තිබුණිදැයි අනුමාන කිරීම අසීරු ය.

එමෙන්ම ෂූකොෆ්ට ලැබුණ මූලික නියෝගය වූයේ ලෙනින්ග්‍රාද් වටලෑම බිඳ හෙලීම ය. එහිදී ඔහු සාර්ථක නොවූයේ ය. මේ අනුව, ඔහුගේ මූලික අරමුණ සාක්ෂාත් කරගැනීමට ෂූකොෆ් අපොහොසත් වූයේ ය.

කරුණු එසේ වුවද, ලෙනින්ග්‍රාද් ගලවා ගන්නා ලද බව ද, ඒ සඳහා ෂූකොෆ් පැහැදිලි දායකත්වයක් දැක්වූ බව ද පිළිගත යුතු සත්‍යයකි. එමෙන්ම, පරාජය පිට පරාජය ලබන සෝවියට් රතු හමුදාවන්ට ලෙනින්ග්‍රාද් රැකගත හැකිවීම වැදගත් කරුණක් වූයේ ය.

මීළඟ මාස කිහිපයේදී තත්ත්වය තවත් අයහපත් අතට හැරුණි. සිසිර ඍතුව නගරය වෙළා ගනිද්දී ආහාර සැපයුම් අඩාල විය. පුද්ගලයකුට ලබාදෙන පාන් සලාකය දිනකට ග්‍රෑම් 125 දක්වා අඩු කෙරිණ. කම්කරුවන්ට එමෙන් දෙගුණයක් ලැබුණි. පාන්වල තත්ත්වය ද බාල විය. මේ අතර, ලාදගා විල මිදී තිබුණ ද ඒ මතින් සැපයුම් ගෙන ඒම අපහසු විය. විලෙහි ජලය එකාකාරව නොමිදීම ඊට එක් හේතුවක් විය. එමෙන්ම මිදුණ විල හරහා ගමන් කළ හැකි කෙටිම දුර, සතුරු කාලතුවක්කු පරාසයේ විය. එහෙයින් ඊට උතුරින්, විල මතින් සැපයුම් මාර්ගයක් නිර්මාණය විය. විටින් විට, හිම පතනයෙහි සහ අයිස් තට්ටුවේ ඝණකම අනුව, මෙම සැපයුම් මාර්ගය ස්වල්ප වශයෙන් වෙනස් කර ගන්නා ලද්දේ ය. මෙම මාර්ගය අදට ද "ජීවයේ මග" ලෙස හඳුන්වා දෙනු ලබයි.

(මෙසේ ඇරඹුණු ලෙනින් ග්‍රාද් වටලෑම අවසන් වූයේ 1944 ජනවාරි 27 වනදා ය)

No comments:

Post a Comment