මන්දෝර් නගරය රාජස්ථානයේ ජෝද්පූර් නගරයෙන් උතුරු දෙසට වන්නට පිහිටා තිබෙන මනරම් උයනකි. ජෝද්පූර් දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 9 ක් පමණ ඈතින් එය පිහිටා තිබේ. 1459 දී රාඕ ජෝදා විසින් ජෝද්පූර් හි මේරංඝර් බලකොටුව ඉදි කරන තුරු මර්වාරයේ අගනුවර වූයේ මන්දෝර් ය. වර්තමානයේ මන්දෝර් වඩාත් ප්‍රකට වන්නේ මර්වාර් රජවරුන්ගේ සොහොන් එහි පිහිටි හෙයිනි. එමෙන්ම එය නගරවාසීන් විවේක සුවයෙන් ගත කිරීමට එන මහජන උද්‍යානයකි.
ප්‍රතිහාරවරුන් අත පැවති මන්දෝරය පසුව නදෝල් හි චෞහාන්වරුන් අතට පත් විය. එයින් අනතුරුව දිල්ලි සුල්තාන් සමයේදී ඉල්තුමිෂ්, ජලාඋද්දීන් ඛිල්ජි සහ ෆිරෝස් ෂා තුග්ලුක් යන සුල්තාන්වරුන්ගේ ප්‍රහාර ඊට එල්ල විය. පසුව එය නැවතත් ප්‍රතිහාර පෙළපතක් අතට පත් වූයේ ය.
මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් මෙම ප්‍රදේශ කරා පැමිණ පැළපදියම් වූ රතෝර්වරුන් සමග මෙම ප්‍රතිහාරවරුන් සන්ධානගත වූහ. ඊට හේතු වූයේ එක්ව නැගෙමින් මුස්ලිම් ආක්‍රමණ පරාජය කිරීමේ අරමුණ ය. රතෝර්වරුන්ගේ රජු වූ රාඕ චුන්දා ප්‍රතිහාර කුමරියක හා විවාහ වූ අතර ඔහුගේ දෑවැද්ද ලෙස මන්දෝරය ලැබුණි.
රාඕ චුන්දා 1424 දී ඝාතනය වූයේ ය. ඔහුගේ පුත්‍රයකු වූ රන්මල් 1428 දී මන්දෝරයේ පාලනයට පත්විය. මෙවාරයේ රාන කුම්භ 1438 දී රන්මල් මරාදමා මන්දෝරය අල්ලාගත්තේ ය.
මර්වාරයේ ශ්‍රේෂ්ඨ පාලකයා සඳහා අවස්ථාව උදා වූයේ මෙහිදී ය. රන්මල්ගේ පුත්‍රයා වූ ජෝදා මර්වාර රජු බවට පත් වූයේ ය. රාඕ ජෝදා පහළොස් වසරක් තිස්සේ මන්දෝරය අල්ලාගැනීමට කල් යල් බැලුවේ ය. ඔහුට ඒ අවස්ථාව උදා වූයේ 1453 දී ය.
කෙසේ වෙතත් සිය මුල් අගනුවර වූ බැවින් මර්වාර් පාලකයෝ සිය සොහොන් ඉදිකළේ මන්දෝරයේ ය. එහෙයින් ශත වර්ෂ කිහිපයක් තිස්සේ බලයට පත් වූ මර්වාර පාලකයන්ගේ සොහොන් මෙහි වේ. මුල් කාලීන සොහොන් එතරම් විශාල නැතත්, පසු කාලීනව විශාල සොහොන් ඉදිකර තිබේ.
මීට අමතරව මන්දෝර් හි ප්‍රකට ස්ථානයක් වන්නේ "වීරවරයින්ගේ ශාලාව" ය. එහි මර්වාර් විරුවන්ගේ ප්‍රතිමා ඉදිකර ඇත. එය මෙන්ම ඊට මදක් ඔබ්බෙන් පිහිටි ජනානා මාළිගය ද ඉදි කර ඇත්තේ රාඕ අජිත් සිං (1707-24) ය. ජනානා මාළිගය අජිත් සිංගේ බිරින්දන්ගේ ගිම්හාන නිවහන ලෙස ඉදි කරන ලදී. වර්තමානයේ රජයේ කෞතුකාගාරය ලෙස එය භාවිතා වේ. මන්දෝර් උද්‍යානයට ඇතුල් වීම නොමිලේ වුව ද මෙම කෞතුකාගාරයට ඇතුල් වීමට ප්‍රවේශපතක් මිලදී ගත යුතු ය.
No comments:
Post a Comment