ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජෝද්පූර් නගරයේ මේරංඝර් බලකොටුව ඉදිකර තිබේ. ජෝද්පූර් යනු මර්වාර් රාජ්‍යයේ අගනුවර වූ අතර ශතවර්ෂ කිහිපයක් ම එහි මහාරාජාවරුන්ගේ ප්‍රධාන නිවහන වූයේ මේරංඝර් බලකොටුව ය. ඇත්තෙන්ම මේරංඝර් පිළිබඳ වෙනමම විස්තර කළ යුතු ය. එහෙත් අද මා අදහස් කරන්නේ මේරංඝර් බලකොටුවේදී දුටු "පාල්කී" පිළිබඳ කෙටි සටහනක් තැබීමට ය.
"පාල්කී" යනු අප දෝලා යනුවෙන් හඳුන්වන වාහනය යි. ඇත්තෙන්ම, දෝලා හෝ දෝලි හෝ යනුවෙන් හඳුන්වන්නේ කුඩා පල්කි ය. මේරංඝර් බලකොටුවේ පාල්කී එහි මහාරාජාගේ හෝ රාජකීය කාන්තාවන්ගේ හෝ ගමන් බිමන් සඳහා භාවිතා කෙරිණ. එහෙයින් ඒවාට විශේෂ රාජකීය ගාම්භීරත්වයක් විය.
පාල්කීයක් යනු ලීයෙන් හෝ ලෝහයෙන් තැනූ ආසනයකි. ඇත් දළ, රත්‍රන්, රිදී ආදියෙන් කළ කැටයම් මෙන්ම මැණික් ආදියෙන් ඒවා අලංකාර කෙරිණි. විශේෂයෙන්ම කාන්තාවන් සඳහා වූ පල්කිවල ගමන් ගන්නා අය අසුන් ගන්නා ප්‍රදේශය ආවරණය කර තිබුණි. පාල්කීවල ඇතැම් විට අසුන් පනවා තිබුණි; ඇතැම් විට කුෂන් යොදා තිබුණි. බොහෝවිට, පාල්කීවල ඇතුලත දේව රූප ඇඳ තිබුණේ දිගු ගමනකදී වන්දනාමාන කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ය. පල්කිවල වූ ආවරණ හා ආසන කවර ආදිය වෙනමම කලා නිර්මාණ සේ ගිණිය හැක.
පාල්කීයක් ඔසවාගෙන යාමට එහි සිව් පැත්තෙන්, එක් පසෙකට දෙදෙනා බැගින් අට දෙනෙකු එකවර අවශ්‍ය විය. සාමාන්‍යයෙන් ජෝද්පූර් හි පාල්කීකරුවන් ලෙස සේවය කළ බොහෝ දෙනා නැගෙනහිර ඉන්දියාවෙන් පැමිණියෝ වූහ.
අවශ්‍ය ගමනාන්තයන්ට ළඟා වූ විට, පාල්කීය නැවැත්වීම සඳහා දෙයෝරි (deori) හෙවත් දරිඛානා (darikhana) නමින් හඳුන්වන නැවතීමේ කුටි තිබුණි. එහිදී පල්කිය නවත්වන අතර, රාජකීය පිළිවෙත් ඉටු කිරීමෙන් පසුව පමණක් එහි ගමන් කරන රාජකීයයා පිටතට පැමිණෙන්නේ ය.
මේරංඝර් බලකොටුවට ඇතුල්වන ප්‍රධාන දොරටුවෙන් මදක් ඉදිරියට ගියවිට, ගලින් කළ ගොඩනැගිල්ලක් හමුවේ. එය එහි පාල්කී ඛානා (Palkikhana) ගොඩනැගිල්ල විය. එනම් පුරාණයේ රාජකීයයන්ගේ පල්කි නවත්වා තැබුණේ එහි ය. දැනට එහි පල්කි තැන්පත් කර නැති අතර එම ගොඩනැගිල්ල වෙනත් කටයුතු උදෙසා යොදාගෙන ඇත. මේරංඝර් හිදී පල්කි දැකගත හැක්කේ එහි ඇතුලත ඇති කෞතුකාගාරයේ ය.
මේරංඝර් කෞතුකාගාරය තුළ, අප එහි යන කාලයේ පාල්කී හතක් පමණ විය. ඒ අතර විවෘත පාල්කී කිහිපයක් ද ආවරණය කරන ලද කිහිපයක් ද විය.
එහා මෙහා තල්ලු කළ හැකි පරිදි සැකසූ දොර පියන් යෙදූ, සම්පූර්ණයෙන් ආවරණය කළ පාල්කීයක් ද වූ අතර එහි ඇතුලත දේව රූප ඇඳ ඇති අයුරු විවර කර තිබූ දොර පියන හේතුවෙන් දිස්විය.
19 වන සියවසෙහි තැනූ පාල්කීවල යුරෝපීය සම්ප්‍රදායයන් හි සලකුණු ද දැකිය හැකි ය.
මේ සියළු පාල්කී මර්වාරයේ නිපදවූවන් නොවී ය. ගුජරාතය ආදී පෙදෙස්වල තැනූ පල්කි ද මෙහි විය.
පාල්කීය යනු පැලැක්කිය යන හෙල වදනින් බිඳුනක්.
ReplyDelete