පසුගිය වසර 40 ක කාළය තුළ ටෙක්සාස් ප්‍රාන්තය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රබල "රතු" හෙවත් රිපබ්ලිකන් බල කඳවුරක් ලෙස සළකන ලදී. 1976 ජනාධිපතිවරණයේදී ජිමී කාටර් ජයග්‍රහණය කළ පසු ඇමරිකානු ජනාධිපතිවරණ කිසිවකදී ඩිමොක්‍රටික් අපේක්ෂකයකු එම ප්‍රාන්තය ජයගත්තේ නැත. 1976 දී රිපබ්ලිකන් පක්ෂය තරඟ කළේ අවාසිදායක තත්ත්වයන් යටතේ බවත් කාටර් ද දකුණේ ප්‍රාන්තයක අයකු බවත් මෙහිදී සැළකිය යුතු වේ.
1976 න් පසු, 1992 දී විශේෂිත අවස්ථාව සහ 1996 ජනාධිපතිවරණය හැරුණ විට අද දක්වා පැවති සියලු ජනාධිපතිවරණ සටන් වලදී රිපබ්ලිකන් අපේක්ෂකයින් ටෙක්සාස් හි ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 55 ඉක්මවා ඡන්ද ලබාගෙන ඇත. 2012 දී ද මිට් රොම්නි ටෙස්කාස් ප්‍රාන්තයේදී ඡන්ද සියයට 57.2 ක් ලබාගත්තේ ය.
නමුත් මෙවර තත්ත්වය තරමක් අපැහැදිලි වී ඇති අතර හිලරි ක්ලින්ටන් ටෙක්සාස් ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමට ඉඩක් ඇති තත්ත්වයක සිටින බව මත විමසුම්වලින් පෙනී යයි.
පහත දැක්වෙන්නේ මෑතකදී කරන ලද එවන් මත විමසුම් කිහිපයකි. මෙහි රතු පැහැයෙන් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ද, නිල් පැහැයෙන් ක්ලින්ටන් ද දැක්වේ.
මත විමසුම් මගින් ලැබෙන ප්‍රතිඵල කිසිසේත් ම අවසානාත්මක නොවේ. ඡන්දය පවත්වන දිනයේදී සිදුවන දේ සක්සුදක් සේ පුරෝකථනය කිරීමට කිසිදු මත විමසුමකට නොහැකි අතර, මත විමසුම් මගින් පුරෝකථනය කරන ප්‍රතිඵලවලට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල ලැබුණ මැතිවරණ ද ඕනෑ තරම් වේ. එසේ වුවත් මෙම මත විමසුම්වලින් ඇඟවෙන කරුණ නම්, 2016 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් විට ටෙක්සාස් යනු උග්‍ර රිපබ්ලිකන් ප්‍රාන්තයක් නොවන බවය.
ටෙක්සාස් ප්‍රාන්තය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් බවට පත් වූයේ 1845 දී ය. 1848 සිට එරට ජනාධිපතිවරණවලට එම ප්‍රාන්තය සම්බන්ධ වී ඇත. (1864 සහ 1868 හැර). 1976 දක්වා ඉන් බොහෝ තරඟවලදී ඩිමොක්‍රටික් පක්ෂය එම ප්‍රාන්තය ජයගත්තේය. නමුත් දේශපාලන වෙනස්වීම් සමඟම එය රිපබ්ලිකන් පක්ෂය වෙත නැඹුරු වූයේය.
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය වක්‍ර මැතිවරණයකි. එනම්, මෙහිදී ජනාධිපතිවරයා කෙලින්ම තෝරාගනු නොලැබේ. ඒ වෙනුවට තෝරාගනු ලබන්නේ ඡන්ද විද්‍යාලයක් (Electoral College) සඳහා නියෝජිතයන් හෙවත් වරකයින් පිරිසකි. ජනාධිපතිවරයා තෝරාගන්නේ ඔවුන් විසිනි. ජනාධිපතිවරණය පැවැත්වීම ප්‍රාන්තවල වගකීමක් සේම, ඡන්ද විද්‍යාලය සඳහා නියෝජිතයින් පත් කිරීමද එම ප්‍රාන්තවල නීති රීති අනුව සිදුවේ. මේ අනුව, නීත්‍යානුකූලව යම් අපේක්ෂකයකු ජයග්‍රහණය කරන්නේ ජනපතිවරණ දිනයෙන් ටික කලකට පසුව වුවද, ප්‍රායෝගිකව ජයග්‍රාහී අපේක්ෂකයා කවරෙක්ද යන්න ප්‍රතිපල නිකුත් වූ විට දැනගත හැකි වේ.
ඡන්ද විද්‍යාලයේ සාමාජික සංඛ්‍යාව 538 කි. මින් 535 දෙනෙක් කොන්ග්‍රස් මණ්ඩලයේ සිටින නියෝජිතයන් 535 වෙනුවෙනි. මීට අමතරව කොලොම්බියා දිස්ත්‍රික්කය සඳහාද නියෝජිතයින් 3 දෙනෙකු වෙන් කොට ඇත.. යම් ප්‍රාන්තයකින් කොන්ග්‍රස් මණ්ඩලයේ සෙනට් සභාවට නියෝජිතයින් දෙදෙනෙකුත්, පහල මන්ත්‍රී මණ්ඩලයට යම් කිසි නියෝජිතයින් ගණනකුත් යවන බව ඔබ අසා ඇතැයි සිතමි. ඡන්ද විද්‍යාලයටද එම ප්‍රාන්තයෙන් ඊට සමාන නියෝජිත පිරිසක් යවනු ලැබේ. උදාහරණයක් ලෙස කැලිෆෝර්නියාව සලකමු. එය නියෝජනය කරමින් සෙනට් සභිකයින් දෙදෙනෙකුද, පහල මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයින් 53 දෙනෙකුද දැනට වෙති. මේ අනුව, ජනාධිපතිවරණ ඡන්ද විද්‍යාලය සඳහා 55 දෙනෙක් එම ප්‍රාන්තයෙන් තෝරාගනු ඇත. ඇලස්කාවේ සෙනට් සභිකයින් දෙදෙනාට අමතරව පහල මන්ත්‍රී මණ්ඩලයේ එක නියෝජිතයෙක් පමණක් සිටී. එබැවින් එම ප්‍රාන්තයෙන් ඡන්ද විද්‍යාලයට තෝරා ගන්නේ නියෝජිතයින් 3 දෙනෙකු පමණි.
ඇමරිකාවේ ප්‍රාන්ත 50 සහ කොලොම්බියා දිස්ත්‍රික්කය මගින් මෙසේ ඡන්ද විද්‍යාලයට නියෝජිතයෝ පත් කෙරෙති. මෙයින් ප්‍රාන්ත දෙකකදී හැර අන් සියලු ප්‍රාන්තවලදී සිදු වන්නේ එම ප්‍රාන්තය තුල වැඩිම ඡන්ද ලබා ගත් අපේක්ෂකයාගේ පක්ෂයට ඡන්ද විද්‍යාලය සඳහා නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව ලැබීමයි. උදාහරණයක් වශයෙන් කැලිෆෝර්නියාව තුල වැඩිම ඡන්ද ප්‍රමාණය දිනුවේ නම් ඔහුගේ හෝ ඇයගේ හෝ පක්ෂය විසින් එම ප්‍රාන්තයේ වරකයින් 55 දෙනා තෝරාගනු ඇත. මෙම ක්‍රමය හේතුවෙන් මුළු රටේම වැඩි ඡන්ද ලැබූ අපේක්ෂකයාට ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකි වූ අවස්ථා පවා පැන නැගී ඇත. අවසන් වතාවට එවැනි සිදුවීමක් වූයේ 2000 වසරේදීය.
වර්තමානයේ ටෙක්සාස් ප්‍රාන්තය ඇමරිකානු ජනාධිපතිවරණ සටනේ වැදගත් ප්‍රාන්තයකි. එරට ඡන්ද විද්‍යාලයේ සාමාජිකයන් 538 න් 38 දෙනකුම පත් කෙරෙන්නේ එම ප්‍රාන්තයෙනි. මෙයට වඩා වැඩි පිරිසක් පත් වන්නේ කැලිෆෝර්නියාවෙන් පමණි.
ටෙක්සාස් හි ට්‍රම්ප් පසු බෑමට බලපෑ කරුණු අතර එහි විශාල ලැටීනෝ ජනතාවක් (ස්පාඤ්ඤ ඇමරිකානුවන් හෙවත් හිස්පැනික් ඇමරිකානුවන්) පිරිසක් සිටීම සහ සෙනට් සභික ටෙඩ් කෲස් ට්‍රම්ප්ට සහය නොදීම වැදගත් වේ. රිපබ්ලිකන් ජාතික සම්මේලනයේදී ටෙඩ් කෲස් ප්‍රසිද්ධියේම සිය අප්‍රසාදය ට්‍රම්ප් වෙත පළ කළේ ය.
එමෙන්ම පසුගිය මැතිවරණ කිහිපයකදීම දකින්නට ලැබුණ පොදු කරුණක් නම් ස්පාඤ්ඤ ඇමරිකානුවන් විශාල පිරිසක් රිපබ්ලිකන් පක්ෂයට සහය නොදෙන බවය. 2008 ඡන්දයේදී මුළු ඡන්ද දායකයින්ගෙන් 9%ක් වූ ඔවුන්ගෙන් 67%ක් ඔබාමා වෙත ඡන්දය දුන් අතර 2012 මුළු ඡන්ද දායකයින්ගෙන් 10% ක් වූ ඔවුන්ගෙන් 71% ක් ඔබාමාට ඡන්දය දුන්හ. ලැටීනෝ ඡන්ද දායකයෝ 2012 ඡන්දයේදී ප්‍රාන්ත කිහිපයකදීම ඔබාමාට ජයග්‍රහණය ගෙන දීමට උපකාර කළහ.
මෙක්සිකෝව පිළිබඳ සහ සංක්‍රමණික ලැටීනෝ ජාතිකයන් පිළිබඳ ට්‍රම්ප් දැක්වූ අතිශය වර්ගවාදී මතය හේතුවෙන් වෙනදාටත් වඩා ලැටීනෝ ජාතිකයෝ රිපබ්ලිකන් පක්ෂයට සහය නොදෙන තත්ත්වයක් මතුව ඇත. ටෙක්සාස් ප්‍රාන්තයේදී මෙය උග්‍ර ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ එහි ජනගහනයෙන් තුනෙන් එකක් පමණ ලැටීනෝවරුන් වන බැවිනි.
මෙම හේතුව නිසා ටෙක්සාස් ප්‍රාන්තය මෙන්ම තවත් ප්‍රාන්ත කිහිපයකදී ට්‍රම්ප්ට අවාසි සහගත තත්ත්වයන් මතුව ඇත. ටෙක්සාස් ප්‍රාන්තය ජය ගත්තද ජනාධිපතිවරණය ජය ගැනීම ඔහුට අපහසු බව මේ වනවිට පෙනී ගොස් ඇත. ටෙක්සාස් ප්‍රාන්තය ද යම් අයුරකින් හෝ පරාජය වුවහොත් ට්‍රම්ප් අනිවාර්යයෙන්ම පරාජය වනු ඇත.
1992 දී විශේෂිත අවස්ථාව මොකක්ද ? සෝවියට් බිඳ වැටීමද ?
ReplyDeleteරොස් පෙරොට් කියල තුන්වන අපේක්ෂකයෙක් ආවා. එක වෙලාවක් තිබ්බා එයා දිනයි කියල පවා හිතාපු. පස්සෙ මෑන් කැම්පේන් එක අතෑරියා. ඒකෙන් සපෝට් බේස් එක අඩු වුනා. ආයෙ මෑන් ගේමට එන්ටර් වුනා. සැලකිය යුතු ඡන් ද ප්‍රමාණයක් ගත්තා. මෑන් ගෙ 'නිවැසි ප්‍රාන්තය' ටෙක්සාස්. එහෙ සීයට 20 ක් වගේ ඡන්ද ඌට වැටුනා. ඒකෙන් අනික් දෙන්නගෙ ප්‍රතිශත අඩු වුනා.... මම ඊළඟට පෙරොට් ගැන ලියන්නම්කො
Deleteටෙක්සාස් ප්‍රාන්තය ඒ කියන්නේ තීරණාත්මක බලපෑමක් කරනවා මැතිවරණයට.
ReplyDeleteකොලොම්බියා දිස්ත්‍රික්කය කියලා වෙනම හඳුන්වන්නේ "කොලොම්බියා දිස්ත්‍රික්කය" කිසිම ප්‍රාන්තයකට අයත් නැතිද ?
ඡන්ද විද්‍යාලය වෙත පත් වෙන සමහර නියෝජිතයන් තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් ජන්දය භාවිතා නොකර වෙනත් අපෙක්ෂකයෙකුට සහය දුන් අවස්ථාත් තියෙනවා නේද?
ටෙක්සාස් ට්‍රම්ප් පැරදුණොත් ඌට චාන්ස් එකක් නෑ. ඒකයි වැඩේ. පරදී කියල හිතන්න අමාරුයි. ෂුවර් නෑ.
Deleteවොෂිංටන් අගනුවර සහ අවට ප්‍රදේශය තමා ඩී.සී. ප්‍රාන්තයකට අයිති නෑ.
සමහර ප්‍රාන්තවල තියෙනව නීති ඡන්දෙ දිනාපු අපේක්ෂකයාට තමා ඡන්ද විද්‍යාලයෙ වරකයින්ට ඡන්දය දෙන්න පුලුවන්. සමහර ප්‍රාන්තවල එහෙම නීති නෑ