Friday, August 5, 2016

2016 ඔලිම්පික් සත්කාරක නගරය රියෝ ද ජනේරෝ

මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන රියෝ ද ජනේරෝ නගරය ජනගහනය අතින් බ්‍රසීලයේ දෙවන විශාලතම නගරය වේ. එනුවර නාගරික ප්‍රදේශයේ ජනගහනය මිලියන 6 ඉක්මන අතර අවට ප්‍රත්‍යන්තයන් ද සැළකු කල මුලු ජනගහනය මිලියන 12 ක් පමණ වේ. සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රිය රියෝ ද ජනේරෝව ඓතිහාසික අතින් ද වැදගත් නගරයකි.
Christ the Redeemer (Pic: Artyominc - Wikimedia Commons)

ඉතිහාසය සැකෙවින්

රියෝ ද ජනේරෝව පිහිටුවන ලද්දේ පෘතුගීසීන් විසිනි. ඒ 1565 දී ය​. 2015 දී එනුවර සිය 550 වන සංවත්සරය සැමරීය​. පෘතුගීසී බ්‍රසීලයේ වැදගත් මධ්‍යස්ථානයක් වූ මෙය මුලින් රියෝ ද ජනේරෝ කපිතාන්සියේ අගනුවර විය​. 1763 දී බ්‍රසීලය ප්‍රතිරාජ ප්‍රදේශයක් වූ කල්හි රියෝ ද ජනේරෝව එහි අගනගරය බවට පත් විය​.

1807 දී නැපෝලියන් ගේ හමුදා පෘතුගාලය ආක්‍රමණය කළ විට පෘතුගීසී රජපවුල බ්‍රසීලයට පළා ගියෝය​. ඉක්බිති රියෝ ද ජනේරෝ නගරය පෘතුගීසී අධිරාජ්‍යයේ අගනුවර බවට පත් වූයේය​. මෙය යම් අධිරාජ්‍යයක අගනුවර මව් රටෙන් පිටත යටත් රාජ්‍යයක පිහිටවූ ඓතිහාසික අවස්ථාවකි.

1822 දී බ්‍රසීලය ස්වාධීන අධිරාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර සයවැනි ජුවාම් (ජෝන්) රජුගේ පුත්‍රයා වූ පේද්‍රෝ එහි අධිරාජයා ලෙස ප්‍රකාශ කරන ලදී. 1889 දී එම අධිරාජ්‍යය අහෝසි කර බ්‍රසීලය ජනරජයක් බවට ප්‍රකාශ කරන ලදී. 1822 සිට 1960 තෙක් ස්වාධීන බ්‍රසීලයේ අගනුවර වූයේ රියෝ ද ජනේරෝ නුවරයි. ඉන්පසු අලුතින් ඉදි වූ බ්‍රසීලියා නගරය එරට අගනුවර ලෙස නම් කෙරිණ​.
Pic: Raphael Lorenzeto de Abreu (Wikimedia Commons)

බ්‍රසීලයේ අත්ලාන්තික් වෙරළේ නැගෙනහිර - බටහිර දිශානතියක් ඔස්සේ දිවෙන කොටසක පිහිටි ගුවනබාරා බොක්කෙහි (Guanabara Bay) බටහිර ඉවුරෙහි රියෝ ද ජනේරෝ නුවර පිහිටුවන ලදී. පසුව එම නගරය බටහිර දෙසට ව්‍යාප්තවී අද තිබෙන ප්‍රදේශය තෙක් පැතිරුණි. නගරයෙහි කොටසක් කඳුකර ප්‍රදේශයක් වන අතර ඒ ආශ්‍රිතව ඇති ටියුකා වනාන්තරය (Tijuca Forst) නගරයක් තුළ පිහිටි ලොව විශාලතම නිවර්තන කලාපීය වැසි වනාන්තරය ලෙස සැළකේ. ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර ඇති ටියුකා වනාන්තරය සහ රියෝ ද ජනේරෝ ආශ්‍රිත වෙරළබඩ පෙදෙස් සමහරක් යුනෙස්කෝ ලෝක උරුම ප්‍රදේශයක් ලෙස ද නම් කර ඇත​. රියෝ ද ජනේරෝ හි ලෝ ප්‍රකට "ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයාණෝ" (Christ the Redeemer) ප්‍රතිමාව ඉදිකර ඇත්තේද ටියුකා වනාන්තරයෙහි කොර්කොවාඩෝ කඳු මුදුනෙහි ය​.

තවත් වැදගත් කඳු ගැටයක් වන්නේ නගරයට පිවිසෙන මාර්ගයේ හමුවන සීනි රාත්තල් කන්ද (Sugarloaf) ය​. එය යටත් විජිත සමයේ මුල් ශතවර්ෂවල නිපදවුන සීනි ගෙඩියක​ හැඩය ගන්නා එයින් එම නම ලැබී ඇත​. එමෙන්ම ටියුකා වනන්තරයට අයත් පෙඩ්‍රා ද ගාවියා යනු තවත් විශේෂිත ශේෂ කඳු ගැටයකි.
Sugarloaf (Halley Pacheco de Oliveira- Wikimedia Commons)

ප්‍රධාන නාගරික කලාප​

රියෝ ද ජනේරෝවේ ප්‍රධාන නාගරික කලාප වන්නේ පැරණි නගර කේන්ද්‍රය හෙවත් සෙන්ට්‍රෝව​ (Centro), දකුණුදිග කලාපය​, උතුරු කලාපය සහ බටහිර කලාපයයි. මින් සෙන්ට්‍රෝව නගරයේ ආර්ථික කේන්ද්‍රය වන අතර දකුණු කලාපය සංචාරක ප්‍රදේශය වේ. ලෝ ප්‍රකට ඉපනෙමා සහ කොපකබානා ආදී වෙරළවල් පිහිටියේ මෙහි ය​.

උතුරුදිග කලාපය නගරයේ වැඩිම ජනගහනයක් වසන ප්‍රදේශය වන අතර සංඛ්‍යාවෙන් දහසක් පමණ වන ෆවේලා (Favela) හෙවත් මුඩුක්කු වැඩි ප්‍රමාණයක් පිහිටියේ මෙහි ය​. (කෙසේ වෙතත් නගරයේ විශාලම ෆවේලාව වන රොසින්චා පිහිටියේ දකුණුදිග කලාපයේ ය​).
Rocincha - Pic: Chensiyuan (Wikimedia Commons)

තවද සුප්‍රකට මරකානා ක්‍රීඩාංගනයද රියෝ ද ජනේරෝවේ උතුරු දිග කලාපයේ පිහිටියේය​. මරකානා ක්‍රීඩාංගනය එතෙක් මෙතෙක් ලොව වැඩිම නරඹන්නන් පිරිසකට ඉඩ කඩ සහිත වූ පාපන්දු ක්‍රීඩාංගනය ලෙස වාර්තා පොත්වලට එකතු වී ඇත​. එවකට වැඩ අවසන් නොවූ මරකානාවේ 1950 ලෝක පාපන්දු තරඟාවලියේ අවසන් තරඟය නැරඹූවෝ 199,000 ක් බව ගණන් බලා ඇත​. වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආරක්ෂක ක්‍රමවේදයන් අනුව නරඹන්නන් 90,000 කට ආසන පනවා ක්‍රීඩාංගනය නවීකරණය කර තිබේ. 2014 ලෝක පාපන්දු කුසලානයේ අවසන් තරඟය ද පැවැතියේ එම ක්‍රීඩාංගනයේ ය​.

රියෝ ද ජනේරෝවේ බටහිර කලාපය වඩා ධනවත්, ඉහළ පැළැන්තියේ පුද්ගලයන් වසන ප්‍රදේශය ය​. සැන්ටා කෲස්, කැපෝ ග්‍රාන්ඩේ සහ බැරාඩා ටියුකා එහි වන ප්‍රධාන දිස්ත්‍රික්ක වෙති.

වෙනත් කරුණු කිහිපයක්

බ්‍රසීලයේ අගනුවර ලෙස වසර 197 ක්ම පැවැති හෙයින් ආර්ථික අංශයෙන් රියෝ ද ජනේරෝව වැදගත් තැනක් ගනී. බ්‍රසීලයේ කාර්මික කේන්ද්‍ර කිහිපයෙන් එකක් වන රියෝ ද ජනේරෝ ප්‍රදේශයේ තෙල් පිරිපහදුව සහ වෙනත් පෙට්‍රො රසායනික කර්මාන්ත​, රෙදිපිළි, ඖෂධ​, සිමෙන්ති, වානේ සහ ලෝහ කර්මාන්ත​, නෞකා කර්මාන්තය ආදී විවිධාකාර කාර්මික කටයුතු සිදු කෙරේ.

රියෝ ද ජනේරෝව ලොව පුරා අතිශයින් ජනප්‍රිය වීමට එක් හේතුවක් වන්නේ එනුවර වාර්ෂික සැණකෙළිය ය​. කතෝලිකයන් ගේ චතාරික සමයට (Lent) පෙර සැණකෙළි පවත්වන සතියක් ලෙස මෙය සමරනු ලබයි. ඉතිහාසයෙහි සඳහන් අයුරින් 1723 සිට රියෝ ද ජනේරෝවේ සැණකෙළි පවත්වා ඇත​. වර්තමානයේදී එය ඉතා විචිත්‍රවත් උළෙලක් ලෙස පැවැත්වන අතර ලෝ පුරා ප්‍රකටම සැණකෙළිය ලෙස සැළකිය හැක​.

8 comments:

  1. බොහොම ස්තුතියි ලිපියට... දැන් නන් රියෝ වල ඔලිම්පික් තියෙන එකට ඒ රටේ මිනිස්සු නන් කැමති නෑ කියලයි කියන්නෙ. රටේ මිනිස්සුන්ට හරියට කන්නවත් නැතුව ඔලිම්පික් තියෙනවා.. ඩිල්මාටත් අයථා මුදල් ගනුදෙනු වලට නඩුවක් ගිහිල්ලනෙ ඉන්නෙ... ඕක අහුවුනොත් හිරේ ලගින්න වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. 2014 FIFA World Cup එක වෙලාවෙත් ලොකුවට විරෝධතා තිබ්බා

      Delete
    2. වටිනා ලිපියක්.

      ජයවේවා!!!

      Delete
    3. තැන්ක් යූ වේවා!!!

      Delete
  2. ස්තූතියි විස්තරයට.... ආරක්ෂාව දෙන්න ලොකු පරිශ්‍රමයක් දරන්න වෙයි නේද?

    Loaf කියන්නේ රාත්තල කියන එකට ද ගෙඩිය කියන එකට ද ?

    ReplyDelete
    Replies
    1. Sugarloaf එක එක ප්‍රමාණවලින් තියෙනව​. ගෙඩිය කියන එක වඩා නිවැරදි කියල හිතනව​. ඕකට හරි සිංහල වචනයක් සෙට් උනේ නෑ මට​. තැන්ක් යූ වේවා යෝජනා කරපු නමට​. edited.

      සිකියුරිටි ගැන කීවොත් ඉතින්, 1972 න් පස්සෙ ඒක හැමදාම ප්‍රශ්නයක් තමා.

      Delete
    2. 1972 ෆුල් ඩ්‍රාමා එක මගේ බ්ලොග් එකේ තියනවා. කියවලා නැත්නම් කියවන්න පුලුවන්, නොමිලේ... "බිනර මහේ එක් දවසක්"

      Delete
    3. මම ඒක කියවා තිබේ... :)
      ඔන්න ලින්කුව දැම්ම හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා
      http://kurundha.blogspot.com/2013/02/blog-post.html

      Delete