Tuesday, August 23, 2016

සෝවියට් දේශය බිඳ වැටීම - 1991 අගෝස්තු කුමන්ත්‍රණය​

සෝවියට් දේශයෙහි බිඳ වැටීම වේගවත් වීමට සෘජු ලෙසම දායක වූ 1991 අගෝස්තු කුමන්ත්‍රණයට පසුගිය දා වසර 25 ක් සපිරුණි. ලෝක ඉතිහාසය වෙනස් කිරීමට දායක වූ සිදුවීම් අතර එතරම් ඉහළින් සාකච්ඡාවට භාජනය නොවූව ද සෝවියට් දේශයෙහි ඉරණම කෙරෙහි ප්‍රබල බලපෑමක් කළ සිදුවීමක් ලෙස මෙය සැලකේ.
මොස්කව් නගරයේ යුධ ටැංකි. Pic: Sergey Subbotin / Sputnik

කුමන්ත්‍රණය දියත් කළ පිරිසගේ බලාපොරොත්තුව වූයේ සෝවියට් දේශය තුල ක්‍රියාත්මක වෙමින් පැවති ප්‍රතිසංස්කරණ නවතා දමා දැඩි මතධාරී පාලනයක් නැවත ස්ථාපිත කිරීමය​. නමුත් එම කුමන්ත්‍රණයේ අවසන් ප්‍රතිඵලය වූයේ ඔවුන් විසින් රැක ගැනීමට ගිය සෝවියට් දේශයේ කඩා වැටීම වේගවත් වීම ය​.

කඩා වැටෙන සෝවියට් දේශය රැක ගැනීමේ ගොර්බචොව්ගේ වෑයම

අගෝස්තු කුමන්ත්‍රණයට ආසන්නතම හේතුව වූයේ සෝවියට් ජනාධිපති මිහායිල් ගොර්බචොව්ගේ මූලිකත්වයෙන් පිළියෙල වූ නව ඒකාබද්ධතා ගිවිසුම (New Union Treaty) ය​. 1985 දී බලයට පැමිණි ගොර්බචොව් ඉන් වසර කිහිපයකට පසු සිය පෙරෙස්ත්‍රොයිකා වැඩපිළිවෙල හඳුන්වා දෙමින් රටේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළේ ය​. මෙහිදී ඔහුට සාම්ප්‍රදායික කණ්ඩායම්වලින් මෙන්ම ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම්වලින් ද එන අභියෝගවලට මුහුණ දීමට සිදු විය​. පැරණි සෝවියට් නායක පැලැන්තිය සහ කේ.ජී.බී ඔත්තු සේවය ප්‍රතිසංස්කරණවලට එරෙහි වූ අතර වඩා ලිබරල්වාදී කොටස් ගොර්බචොව්ගේ ගමන මන්දගාමී බව විශ්වාස කළ හ​. මේ අතර සෝවියට් පාලන තන්ත්‍රයෙහි බැමි ලිහිල් වත්ම ජනතාව වඩා වැඩි නිදහසක් ඉල්ලන්නට වූ අතර ජාතිවාදී කොටස්වල වර්ධනයක් ද දිස් වීය​.

1990 අවසන් භාගය වනවිට මෙම සියලු පිරිස්වල බල අරගල අතරේ සෝවියට් දේශය බිඳ වැටෙමින් පැවතියේය​. ඇතැම් සමූහාණ්ඩු, වෙසෙසින්ම බෝල්ටික් සමූහාණ්ඩු, බොහෝ දුරට තමන්ට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට පටන් ගෙන තිබුණි. මොස්කව්වල පාලනය භයානක ලෙස තර්ජනයට ලක් වෙමින් පැවතිණ​.
ගොර්බචොව් සහ යනායේව් (වමේ) Pic: Boris Kaufman / Sputnik

නව ඒකාබද්ධතා ගිවිසුම කරළියට රැගෙන එනු ලැබුවේ එම තත්ත්වය පාලනය කිරීමටය​. මෙය කෙටුම්පත් කිරීම සඳහා සමූහාණ්ඩු පහලවෙන් නවයක් දායක වූහ​. බෝල්ටික් සමූහාණ්ඩු තුන, එනම් ලැත්වියාව​, ලිතුවේනියාව සහ එස්තෝනියාව මෙන්ම, මොල්ඩෝවාව​, ආර්මේනියාව සහ ජෝර්ජියාව යන සමූහාණ්ඩු ද එම ගිවිසුමට දායක වූයේ නැත​. මෙම ගිවිසුමෙන් බලාපොරොත්තු වූයේ මධ්‍යගත පාලනය ලිහිල් කොට නව සන්ධීය ක්‍රමවේදයක් සැකසීම ය​. 1990 අග භාගයේදී ඇරඹුන මෙම ගිවිසුම කෙටුම්පත් කිරීම 1991 මැද වෙද්දී අවසන් විය​. එය අත්සන් කිරීමට නියමිතව තිබුණේ අගෝස්තු 20 වනදා ය​.

මෙම ගිවිසුම පිළිබඳ තමන් සතුව විශාල බලාපොරොත්තු තිබූ බව මිහායිල් ගොර්බචොව් RT රූපවාහිනී සේවය සමඟ මෑතකදී කියා සිටියේ ය​. ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේදී රට මුහුණදුන් අභියෝග සමඟ සන්සන්දනය කිරීමේදී අනාගතයේ එන අභියෝග එතරම් විශාල වනු ඇතැයි තමන් නොසිතූ බව ඔහු සඳහන් කළේ ය​.

ගිවිසුම අත්සන් කිරීමට පෙර සෝවියට් නායක ගොර්බචොව් නිවාඩුවක් ගත කිරීම පිණිස ක්‍රිමියාවේ ෆොරොස් වෙත ගියේය​.

කුමන්ත්‍රණ සැලසුම

අගෝස්තු කුමන්ත්‍රණය එකෙණෙහි ඇති වූවක් නොව කලක් තිස්සේ සැලසුම් කොට ක්‍රියාත්මක කළ එකකි. එහි එක් ප්‍රධානම නායකයකු වූයේ කේ.ජී.බී. සේවයේ ප්‍රධානී ව්ලැඩිමීර් කෘච්කොව් ය​. එමෙන්ම උප ජනාධිපති ගෙනඩි යනායෙව් ද ඒ අතර විය​. කේ.ජී.බී. ය විසින් කුමන්ත්‍රණකරුවන් ද ඇතුලු ප්‍රධාන සෝවියට් නායකයන් සියලු දෙනාගේ දුරකතන මාර්ග ටැප් කළ අතර හදිසි අවස්ථාවක් ප්‍රකාශ කර රට පාලනය කිරීමේ පිඹුරුපත් ද සකසනු ලැබිණ​.

කුමන්ත්‍රණයෙන් දින කිහිපයකට පසු එවක රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති වූ බොරිස් යෙල්ට්සින් කුමන්ත්‍රණකරුවන් ගේ සිතැඟි පිළිබඳ සිය අදහස පළ කළේ ය​. "නව ඒකාබද්ධතා ගිවිසුමෙන් පසු පරණ සෝවියට් නිලධාරී යාන්ත්‍රණය​, කැබිනට් මණ්ඩලය ආදී සියල්ලම අනවශ්‍ය වන තැනට කටයුතු සැකසෙන්නට නියමිතව තිබුණා. කුමන්ත්‍රණකරුවන් ඒ සඳහා යොමු වූයේ මෙම බිය නිසා."

කුමන්ත්‍රණය දියත් වූ විගස බාධකයක්

අගෝස්තු 18 වනදා ෆොරෝස් හි ගොර්බචොව්ගේ බංගලාවෙහි සියලුම දුරකථන මාර්ග කපා දමන ලදී. කේ.ජී.බී. සභාපතිවරයා කුමන්ත්‍රණකරුවන් සමඟ සිටීම හේතුවෙන් එහි කිසිදු අපහසුතාවක් නොවී ය​. තත්ත්වය කෙතරම් බරපතල වී ද යත් සෝවියට් න්‍යෂ්ඨික අවි ගබඩා සමඟ වූ සම්බන්ධය පවා කපා දමනු ලැබීය​. මේ අතර කේ.ජී.බී. භටයින් විසින් නිවෙස වටලනු ලැබීය​.

මින් පැය භාගයකට පමණ පසු කුමන්ත්‍රණකරුවන් පිරිසක් ගොර්බචොව් හමුවීමට පැමිණියෝය​. කෙලින්ම ඔහුගේ කන්තෝරු කාමරය වෙත ගිය ඔව්හු ඔහුට අත්සන් තැබීමට ලියවිලි කිහිපයක් ඉදිරිපත් කළෝ ය​. ඉන් එකක් රටපුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර කැරලිකාර සමූහාණ්ඩු පාලනය කිරීමේ අණක් වූ අතර තවත් ලියවිල්ලක වූයේ සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තමා සිය බලතල සියල්ල උප ජනාධිපති යනායේව් වෙත පවරන බව ය​. කුමන්ත්‍රණයේ මුල් පියවර කිහිපය තිතටම සිදු වී තිබුණ අතර කුමන්ත්‍රණකරුවන් බලාපොරොත්තු වූයේ ගොර්බචොව් විරුද්ධත්වයක් නොදක්වා බලයෙන් ඉවත්වනු ඇති බවය​.
කුමන්ත්‍රණය පරාජය වූ පසු යුධ ටැංකි මත නැගී රුසියානුවෝ සිය ප්‍රීතිය පළ කරති. Pic: Sergey Subbotin / Sputnik

ගොර්බචොව් විරුද්ධත්වය ප්‍රකාශ කළහොත් ගතයුතු පියවර පිළිබඳ කුමන්ත්‍රණකරුවන් අවධානය යොමු කළ බවක් නොපෙනේ.

නමුත් සිදු වූයේ ඔවුන් බලාපොරොත්තු නොවූ දෙයයි. එනම් ගොර්බචොව් කුමන්ත්‍රණකරුවන්ගේ අණසකට යටත් නොවීමයි. තම අතේ ලේ තවරාගැනීමට අකමැති බව ප්‍රකාශ කළ ගොර්බචොව් කුමන්ත්‍රණකරුවන් අවස්ථාවාදීන් ලෙස හඳුන්වා දෙමින් ඔවුනට දරුණු ලෙස බැණ වැදුනේ ය​.

ගොර්බචොව්ට ජීවිත හානියක් සිදු කිරීමේ බරපතලකම දන්නා හෙයින් කුමන්ත්‍රණකරුවෝ එවන් පියවරකට නොගියෝ ය​. ඔවුනට අවශ්‍ය වූයේ ගොර්බචොව් විරුද්ධත්වයක් නොදක්වා බලය පැවරූ බව ප්‍රදර්ශනය කිරීමට ය​. එහෙත් ඔවුනට සිදු වූයේ අත්සන් නොකළ ලියවිලි සමඟ ආපසු මොස්කව් වෙත යෑමට ය​.

හදිසි තත්ත්වය පිළිබඳ රාජ්‍ය කමිටුව හෙවත් අට දෙනාගේ කල්ලිය​

මොස්කව් නුවරදී අත්සන් නොකරන ලද ලියවිලි ද සමඟ රැස්වූ කුමන්ත්‍රණකරුවෝ මීළඟ පියවර පිළිබඳ වාද කරන්නට වූහ​. කිසිවෙකුත් මෙම කුමන්ත්‍රණයේ මූලික වගකීම ගන්නට සූදානමින් නොසිටියෝ ය​. සත්‍ය වශයෙන්ම එය ආඬි හත්දෙනාගේ කැඳ හැළිය බඳු සිද්ධියකි. කේ.ජී.බී. ප්‍රධානියා මෙම ප්‍රයත්නයෙහි පෙරමුණෙන්ම සිටි නමුදු මහජනතාව ඉදිරියේ කුමන්ත්‍රණයේ නායකයා ලෙස පෙනී සිටීමට ඔහුගේ කැමැත්තක් නොවී ය​. රහස් ඔත්තුකරුවකු ලෙස ඔහුගෙන් එය බලාපොරොත්තු විය යුතුව තිබිණ​. අවසානයේදී උප ජනාධිපති යනායේව් කුමන්ත්‍රණයේ නායකත්වය ගතයුතු බව තීරණය කෙරුණි. ඔවුහු හදිසි තත්ත්වය පිළිබඳ රාජ්‍ය කමිටුව ලෙස තමන්ව හඳුන්වා ගනිමින් නියෝග නිකුත් කරන්නට පටන් ගත් හ​.

අගෝස්තු 19 වනදා මොස්කව් අගනුවරට යුධ ටැංකි කැඳවන ලදී. සියලුම රූපවාහිනී නාලිකාවල සාමාන්‍ය වැඩසටහන් නවතා දමන ලද අතර සියල්ලෙහි ම චයිකොව්ස්කිගේ Swan Lake (හංස විල​) නාටකය විකාශය කිරීමට පටන් ගත්තේය​.

අගෝස්තුවේ වීරයා

අගෝස්තු කුමන්ත්‍රණයෙහි වීරයා මේ අවස්ථාවේ සිටියේ සිය ගිම්හාන ඩචාවේ (බංගලාවේ) නිදි සුව විඳිමිනි. රුසියානු සෝවියට් සමූහාණ් ඩුවේ ජනාධිපති බොරිස් යෙල්ට්සින් කසාක්ස්ථානයේ නායකයා හමුවීමෙන් පසු මොස්කව් වෙත පැමිණ නගරයෙන් පිටත වූ සිය ඩචාවට ගියේ විවේක ගැනීමට ය​. රූපවාහිනී නාලිකා සියල්ලේම හංස විල විකාශය වනු දුටු ඔහුගේ දියණිය සිය පියා අවදි කළේ කුමක් හෝ අමුත්තක් ඇති බව දැනුණ හෙයිනි. වහාම සිය වාහනයට නැගුණ යෙල්ට්සින් මොස්කව් වෙත වේගයෙන් ගමන් කළේ සිදුව ඇත්තේ කුමක්දැයි විමසන අටියෙනි. ඔහුගේ ඩචාව වටා ඒ වනවිටත් විශේෂ බලකාය රැඳී සිටියද ඔවුනට යෙල්ට්සින්ට වෙඩි තැබීම හෝ ඔහු අත් අඩංගුවට ගැනීමට හෝ අණ තහනම් විය​.

ක්‍රෙම්ලීන පවුර අසළට යෙල්ට්සින් ගේ ආධාරකරුවන් සුලු පිරිසක් එකතු වූ අතර ඉන්පසු ඔව්හු රුසියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හෙවත් ධවල මන්දිරය (White House) වෙත ගිය හ​. මෙහිදී රජයේ හමුදා වෙතින් අල්ලාගන්නා ලද යුධ ටැංකියක් මත නැගුණ යෙල්ට්සින් ප්‍රතිවිප්ලවකාරී කුමන්ත්‍රණය හෙළා දකිමින් කතාවක් පැවැත්වී ය​. මෙය යෙල්ට්සින් ගේ "යුධ ටැංකියේ කතාව" ලෙස හැඳින්වේ.

මෙයින් පසු සිය දහස් ගණනින් ජනයා ධවල මන් දිරය කරා ඇදී එන්නට වූහ​. එම ජනකාය 70,000 ක් ඉක්මවූ බව ගණන් බලා ඇත​. කෙමෙන් කෙමෙන් මෙම පිරිස අතරට හමුදා සෙබලුන් සහ නිලධාරීන් පවා එක් වන්නට වූහ​.

වෙවුලන ජුන්ටාව​​

රූපවාහිනී නාලිකා පාලනය කිරීමෙන් පලක් නොවූ තැන කුමන්ත්‍රණකාර ජුන්ටාව මීළඟ තීරණය ගත්තේය​. ඔව්හු මාධ්‍ය හමුවක් කැඳවූවෝය​. ගොර්බචොව් හමුවූ අවස්ථාවේ මෙන්ම මාධ්‍ය හමුවූ අවස්ථාවේද කුමන්ත්‍රණකරුවන් බලාපොරොත්තු වූ දෙය සිදු නොවීය​. එහෙත් මෙවර වරදකරුවන් වූයේ ඔවුන්ම ය​.
From left: Alexander Tizyakov, Vasily Starodubtsev, Boris Pugo, Gennady Yanayev, and Oleg Baklanov. Pic: Vladimir Rodionov / Sputnik

දිග මේසයක් පිටිපස එක පෙළට හිඳගෙන මාධ්‍යවේදීනට මුහුණ දුන් මෙම පිරිසෙහි ජුන්ටාවක ලක්ෂණ වෙනුවට වූයේ බියෙන් තැති ගත් ස්වභාවයකි. කුමන්ත්‍රණයෙහි නායකයා ලෙස නාමමාත්‍රව කටයුතු කළ යනායේව්ගේ දෑත් වෙවුලනු පැහැදිලිව දිස් විය​. කුමන්ත්‍රණය සාර්ථක වේ යයි යම් ආකාරයක හෝ බලාපොරොත්තුවක් වී නම් එය එදින ම සුන් වූයේය​.

රට ගිනි ගනිද්දී ආරක්ෂකයෝ උපන් දින සැමරුමක​

මේ අතර කුමන්ත්‍රණයට හමුදාවේ කොටස්වල මතු නොව සෝවියට් දේශයේ පරම ආරක්ෂකයා වූ කේ.ජී.බී. ආයතනයේම ඇතමුන් ගේ සහය නොමැති බව පැහැදිලි වූයේය​. එවක කේ.ජී.බී මේජර්වරයකු වූ වැලේරි ෂිර්යයෙව් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය සමඟ මෑතකදී සඳහන් කළ පරිදි ඇතැම් කේ.ජී.බී. නිලධාරීන් අණ පිළි නොපැදීමට ක්‍රම සොයාගත්තෝ ය​. ප්‍රතිසංස්කරණවාදී මහජන නියෝජිතයන් අත් අඩංගුවට ගැනීමට අණ ලැබුණ කේ.ජී.බී. නිලධාරීන් පිරිසකට එකවරම 'මතක් වූයේ' සිය සගයකු එදිනම උපන් දිනය සමරන බවයි. එම පිරිස උපන් දින සැමරුම සඳහා ගොස් හොඳහැටි මත්පැන් බීවෝ ය​.

රාජකාරි වේලාවේ බීමතින් හැසිරීමට නිලයෙන් පහත් කළ හැක​; රැකියාවෙන් ඉවත් කළ හැක​; දඬුවම් ලෙස මාරු කිරීම හෝ වෙනත් ආයතනික දඬුවමක් දිය හැක​. නමුත් සිරගත කළ නොහැක​. කේ.ජී.බී. නිලධාරීන් මත්පැනෙහි ආධාර සෙව්වේ එම පදනමෙනි.

ගොර්බචොව් තනිව ජාතිය අමතයි

සිය ඩචාවේ සිරගත වූ ගොර්බචොව් රූපවාහිනිය ඔස්සේ රටේ වූ පෙරළිය පිළිබඳ දැන ගත්තේය​. සිදු වෙමින් පවතින සිද්ධි දාමය දකිමින් නිහඬව සිටීම සුදුසු නොවන බව හැඟුණ හෙයින් දෝ ඔහු අගෝස්තු 20 වනදා ප්‍රකාශයක් පටිගත කළේ ය​. එමගින් තමා බලයෙන් පහ කරනු ලැබ ඇති බව ජනතාවට හෙළි කළේ ය​. කෙසේ වෙතත් ඔහු එම වීඩියෝ පටය සිය ඩචාවෙන් පිටතට යැවීමට උත්සාහ නොකළේ ය​. ඇතැම්විට ඊට ක්‍රමයක් නොතිබෙන්නට ඇත​. කෙසේ නමුත් සෝවියට් ජනතාව එය දුටුවේ සියල්ල අවසන් වූවාට ද පසුවය​. එවිට එය දැකීමෙන් සිදුවූ එකම දෙය නම් ගොර්බචොව් ඇතමුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමයි.

අද වනතුරු සිදු නොවූ හමුදා මෙහෙයුම​

අගෝස්තු 20 වනදා වන විට තමන් වෙතින් බලය ගිලිහෙමින් පවතින බව ජුන්ටාව තේරුම් ගත්තේ ය​. මේ අනුව එය හමුදාව යොදවා විරෝධතාකරුවන් මර්ධනය කිරීමට තීරණය කළ හ​. ඇත්තෙන්ම​, කැමරාව ඉදිරියේ කෙතරම් බියසුලු බවක් පෙන්වූවද ජුන්ටාවේ බලය තවමත් සම්පූර්ණයෙන් කඩා වැටී නොතිබුණි. විරෝධතාකරුවන් අතර හමුදාමය මැදිහත්වීමක් පිළිබඳ බිය දිගටම පැවතිණ​.

අගෝස්තු 20 වනදා ධවල මන්දිරයට පහර දෙන ලෙස 'ඇල්ෆා' විශේෂ හමුදා ඛණ්ඩයට අණ ලැබිණ​. නමුත් එම සේනාංක අණ පිළිපැදීම ප්‍රතික්ෂේප කළ හ​. සවස 6ට නියමිත වූ මෙහෙයුම ඉන්පසු රාත්‍රී 8ට කල් දමන ලදී. ඉන්පසු එය තවත් කිහිප විටෙකම කල් දමන ලදී. එය කිසිදා දියත් වූයේ නැත​.

ඊළඟ දිනය වනවිට කුමන්ත්‍රණය බිඳ වැටිණ.

යෙල්ට්සින් විසින් යවන ලද භට පිරිසක් ගොර්බචොව් මුදාගෙන මොස්කව් වෙත ඔහු රැගෙන ආවෝ ය​. ඔහු මොස්කව් වෙත ආවේ පරාජිතයකු ලෙස ය​. කුමන්ත්‍රණය දිනවල ඔහු ඈත පිටිසරක සිරගතවී සිටියෙන් ඔහු සිටන වගක් ජනතාවට නොවී ය​. ජනතාවගේ වීරයා වූයේ යෙල්ට්සින් ය​.

මීළඟ සති කිහිපය තුළ කොමියුනිස්ට් පක්ෂය තහනම් කරන ලදී. මුලින්ම යෙල්ට්සින් විසින් රුසියාව තුළ එය තහනම් කෙරුණ අතර පසුව ගොර්බචොව් විසින් සෝවියට් දේශයටම බලපාන පරිදි පක්ෂය තහනම් කෙරුණි. මේ අතර දෙසැම්බර් 8 වනදා අත්‍සන් කෙරුණ බෙලවෙජා ගිවිසුම මගින් රුසියාව​, බෙලාරස් සහ යුක්‍රේන නායකයෝ සෝවියට් දේශය විසුරුවා හරින ලද බව ප්‍රකාශ කළෝ ය​. ගොර්බචොව් දෙසැම්බර 25 වනදා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ ය​. සෝවියට් දේශය ද ඒ සමඟම විසුරුවා හැරිණ​.

4 comments:

  1. සෝවියට් ජනාධිපති මිහායිල් ගොර්බචොව් ඇමරිකානු අතකොළුවක් විදියට වැඩ කලා කියලා චෝදනාවක් තියෙනවා නේද?එක එහෙම වෙන්න බැහැ වගේ මේ පොස්ට් එක කියෙව්වාම මට තේරෙන විදියට නම්.
    පොස්ට් එකේ මුල තිබ්බ ප්‍රශ්නයකට අන්තිම වෙද්දී උත්තරයත් ලැබුනා....:)

    ReplyDelete
    Replies
    1. ගොර්බචොව් ගැන එහෙම කියනවා තමා. ඒක අපි හරියටම දන්නෙ නෑ. හැබැයි ගොර්බචොව්ට වඩා සෝවියට් දේශය කඩා දාන්න හේතු වුනේ යෙල්ට්සින්

      Delete
  2. මිහයිල් ගොර්බචෝව් යටතේ සෝවියට් දේශය ඉතාම ආර්ථික අවපාතයකට ගිය බව නම් අසා තියෙනවා, නමුත් බොරිස් යෙල්ට්සින් ගේ රුසියාවේ තත්වය දරුණු වුනා මම හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ අමාරු කාළයක් නිසා. එක සිස්ටම් එකකින් තව එකකට මාරු වීම​. වෙනස යෙල්ට්සින් දූෂණයට ඕන හැටියෙ ඉඩ දුන්න එක​. ඒ කාලෙ කුණු කොල්ලෙට රජයේ දේපල ගත්තු උන් නෙ පස්සෙ මහා ධන කුවේරයො වුනේ.

      Delete