Friday, July 29, 2016

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අවුෂ්විට්ස් නාසි ඝාතකාගාරය දැක ගනී

පෝලන්තයේ සංචාරයක නියැළෙන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද දින අවුෂ්විට්ස් - බිර්කනාවු ඝාතන කඳවුරු සංකීර්ණය වෙත ගියේය​.

"Arbeit macht frei" (වැඩ කිරීම ඔබට නිදහස ගෙනෙයි) යනුවෙන් ජර්මන් බසින් ලියූ ප්‍රධාන ද්වාරය වෙතින් නිහඬව, තනිවම කඳවුර වෙත ඇතුලු වූ පාප් වහන්සේ අවුෂ්විට්ස් හි රැඳී සිටි කාළය තුළ එකදු වචනයක් හෝ කතා නොකළේය​.

"දෙවියනි​, ඔබ වහන්සේගේ වැසියනට කමාව දුන මැන! දෙවියනි, මෙවන් වූ කෲරතරභාවයන් කමාව දුන මැන!" යනුවෙන් අවුෂ්විට්ස් හි අමුත්තන් ගේ සටහන් පොතේ ලියා තැබූ පාප් වහන්සේ ජර්මානුන් විසින් ඝාතනය කෙරුණ පෝලන්ත කතෝලික පූජකයකු වූ මැක්සිමිලියන් කොල්බේගේ සිරකුටිය වෙත ගොස් යාඥා කළේය​. වෙනත් අයකුගේ ජීවිතය ගලවාගැනීම උදෙසා සිය ජීවිතය කැපකළ කොල්බේ පසු කළෙක ශාන්තුවරයට උසස් කරන ලදී.


අවුෂ්විට්ස් ස්මාරකයෙහි ඉටි පන්දමක් දල්වා යාඥා කළ පාප්වහන්සේ එහි සිට දිවි ගලවාගත්තවුන් පිරිසක් ද හමු විය​.


ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අවුෂ්විට්ස් සිට කිලෝමීටර තුනක් ඈතින් වූ බිර්කනාවු වෙත ගියේ ජර්මානුන් විසින් ඉදි කරන ලද දුම්රිය මාර්ගය වැටී තිබූ මග ඔස්සේය​. අවුෂ්විට්ස් හි සිටි සිරකරුවන් ඝාතනය කරනු පිණිස​ බිර්කනාවු වෙත රැගෙන ගියේ මෙම දුම්රිය මාර්ගයෙනි.

අවුෂ්විට්ස් ඝාතන කඳවුර 1945 ජනවාරි 27 වනදා සෝවියට් හමුදා විසින් මුදා ගන්නා ලදී. ඒ වනවිට නාසි ජර්මානුන් විසින් මිලියන 1.1 ක පමණ පිරිසක් එහිදී ඝාතනය කොට තිබුණි. මින් අති බහුතරය වූයේ යුදෙව්වන් ය​.

5 comments:

  1. මම අහලා තියෙන දෙයක් තමා හිට්ලර් මේ වධකාගාර ඇතුලට කවදාවත් ගිහිල්ලා නෑ කියන එක..

    ReplyDelete
    Replies
    1. මට මතක විදියට මිනිහ ඔය එකක්වත් ඇතුලට ගිහින් නෑ. අවුස්විෂ්ට් විතරක් නෙවෙයි.

      Delete
  2. හිට්ලර්ගෙන් යුදෙව්වෝ බේරා ගන්න කතෝලික සභාව ලොකු මැදිහත්වීමක් කලේ නැතිද ?නැතිනම් ඒ මැදිහත්වීම් නාසීන් විසින් නොසලකා හැරියවත්ද ?

    ReplyDelete
    Replies
    1. මගේ මතකයේ හැටියට කතෝලික සභාව පුලුවන් විදියට මැදිහත් වෙන්න උත්සාහ කළා කියනව​. ඒත් ඉතින් කරන්න පුලුවන් දෙයක් තිබ්බෙ නැහැ.

      Delete
    2. ජර්මනියෙ තිබුනු පෙතකොස්ත සභාවයි කතෝලික සභාවයි හිට්ලර්ට උදව් කරා. මොකද හිට්ලර් කතෝලිකයෙක් වෙලත් හිටියා. ඉතින් මේ ආගමික නායකයන් හිතුවා තමන්ගෙ ආගමේ කෙනෙක් නායකයා වෙන එක හොදයි කියලා. හැබැයි හැම කතෝලිකයෙක්ම හිට්ලර්ට සහය උනා කියන්න බෑ.

      Delete