Tuesday, July 19, 2016

රිපබ්ලිකන් පක්ෂයේ දරුණු බෙදීමක්: ප්‍රබලයෝ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරති

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති සටන අමුතුම ආකාරයේ එකකි. ජනාධිපතිවරණයේ මහජන ඡන්ද විමසීම සෑම සිව් වසරකටම වරක් නොවැම්බර් මස පළමුවැනි සඳුදාට පසුව එන පළමුවැනි අඟහරුවාදා පැවැත්වේ. කෙසේ වෙතත් ප්‍රධාන පක්ෂ දෙක සහ ඇතැම් සුලු පක්ෂ සිය අපේක්ෂකයින් තෝරාගැනීම අරඹන්නේ ඊට කළින් වසරේ අවසන් මාස කිහිපයේ පටන් ය​.

මෙහිදී ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් තෝරාගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවන අතර එම පක්ෂවල නාමයෝජනා බලාපොරොත්තු වන එක් එක් අපේක්ෂකයෝ ඒ සඳහා සිය වැඩපිළිවෙලවල් ඉදිරිපත් කරමින් පාක්ෂිකයන් ගේ අනුමැතිය ඉල්ලා සිටිති.

මෙම අවස්ථාවේ එක් එක් අපේක්ෂකයන් අතර වාද විවාද පක්ෂ දෙකක දේශපාලකයන් අතර වාද විවාද තරමටම තීව්‍ර වන අවස්ථා ඕනෑ තරම් ඇත​.

කෙසේ වෙතත් බොහෝ අවස්ථාවලදී මෙම මූලික වටවලදී නාමයෝජනා සඳහා අපේක් ෂකයකු තෝරා ගැනෙන අතර ඔහු වටා පක්ෂය නැවත ඒකරාශී වේ. සාමාන්‍ය තත්ත්වයන් යටතේ දී ජනාධිපති මැතිවරණ වසරකදී ජූලි මාසයේදී පමණ රිපබ්ලිකන් ජාතික සම්මේලනය පවත්වනු ලබන අතර එය පක්ෂය යළි එක් අපේක්ෂකයකු වටා ඒකරාශී කෙරෙන අවස්ථාව වේ.

ඒ සාමාන්‍ය තත්ත්ව යටතේ ය​.

මෙවර පවතිනුයේ සාමාන්‍ය තත්ත්වයක් නොවේ. මූලික ඡන්දවලදී, එනම් රිපබ්ලිකන් ප්‍රාථමික ඡන්දවලදී නිව් යෝර්ක් නුවර කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය​. මේ වනවිට ඔහුට අවශ්‍ය පමණට වඩා නියෝජිතයින් ලැබී ඇත​. එහෙත් පක්ෂ ප්‍රබලයන් රැසක් ජාතික සම්මේලනය වර්ජනය කරමින් ට්‍රම්ප්ට සිය විරෝධය පළ කිරීමට තීරණය කර ඇත​.

2012 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා වූ මිට් රොම්නි සහ 2008 අපේක්ෂකයා වූ ජෝන් මැකේන් ද , අවසන් රිපබ්ලිකානු ජනපතිවරුන් වන ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් සහ ඔහුගේ පුත් ජෝර්ජ් ඩබ්. බුෂ් මෙන්ම කොංග්‍රස් සභිකයන් රාශියක් ද ක්ලීව්ලන්ඩ් නුවර පැවැත්වෙන ජාතික සම්මේලනය වර්ජනය කරති. මේ අතර ඇමරිකානු කොංග්‍රසයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ කතානායක පෝල් රයන්, පාක්ෂිකයන් පිරිසක් අමතා කතාවක් පැවැත්වූ අතර, ඔහු ට්‍රම්ප් පිළිබඳ කිසිදු සඳහනක් නොකරන්නට වග බලාගත්තේය​.

මේ අතර ඔහයෝ ආණ්ඩුකාර ජෝන් කේසික් ජතික සම්මේලනය වර්ජනය කිරීම ට්‍රම්ප් පාක්ෂිකයන්ට තදින් ම වේදනා ගෙන දී ඇත​. කේසික් නාමයෝජනා සටනේදී අවසානයටම ඉවත් වූ තරඟකරුවා විය​. ජාතික මට්ටමෙන් ඔහු ජනප්‍රිය චරිතයක් නොවූවද ඔහයෝ ප්‍රාන්තයේ කේසික් ඉතා ඉහළ ජනප්‍රියත්වයක් උසුලයි. ජනපතිවරණ සටනේදී තීරණාත්මක සටන් බිමක් (Battleground State) වන ඔහයෝ ප්‍රාන්තයේදී ට්‍රම්ප්ට කේසික්ගේ සහය අහිමි වීම දැඩි පසු බෑමකි.

ක්ලීව්ලන්ඩ් නගරය පිහිටා ඇත්තේද ඔහයෝ ප්‍රාන්තයේ වීම තවත් විශේෂත්වයකි.

ට්‍රම්ප් පාක්ෂිකයන් කේසික්ට හතර අතට පහර දෙද්දී ඇතැම් රිපබ්ලිකානු පාක්ෂිකයෝ තවමත් ට්‍රම්ප් සිය ජනාධිපති අපේක්ෂකයා වීම වැළැක්වීමට උපරිම උත්සාහයක් දරමින් සිටිති.

2 comments:

  1. එහෙම වුනොත් ඊ ළඟට රිපබ්ලිකන් එකෙන් කවුද එන්න ඉඩ තියෙන්නෙ... ?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන එකක් නෑ. ඒ උත්සාහය අසාර්ථක වුනා මම දන්න විදියට​.
      නමුත් එහෙම ඡන්දයක් තිබ්බා නම් සම්මේලනය විසින් ඕනෑම කෙනෙක්ව තෝරගන්න පුලුවන්. ට්‍රම්ප්වම වුනත් :)

      Delete