Monday, November 26, 2012

අපට වෙච්ච දේ 005: ප්‍රයිවෙට් බස් එකේ ගිහින් ලෙඩ සුව කරගැනීම!


කාලෙකට පස්සේ පොඩි කතාවක් ලියන්න අවස්ථාව හොයා ගත්තා. පහුගිය දවස් ටිකේම මේ වගේ කතා කීපයක්ම ලියන්න ඔලුවේ තිබුනත්, සීරියස් ලිපි කීපයක්ම ලියපු නිසාත් වෙන වෙන වැඩ සෙට් වෙච්ච නිසාත් "අපට වෙච්ච දේ" ලියන්න අවස්ථාව ලැබුනේ නෑ.

ප්‍රයිවෙට් බස් කිව්වහම අපිට ඇති වෙන්නේ එච්චර ධනාත්මක අදහසක් නෙවෙයි. ඒ ගැන මම එච්චර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ප්‍රයිවට් බස්වලින් හොඳකුත් වෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. එහෙම අමතක කරන එක අපි ප්‍රයිවට් බස් අයිති අයට සහ ඒවායේ රියදුරු, කොන්දොස්තරවරුන්ට කරන අසාධාරණයක්. උදාහරණයක් විදියට ගත්තොත්, අපි කොච්චර නම් වන්දනා ගමන්, විනෝද චාරිකා යන්න ප්‍රයිවට් බස් යොදා ගන්නවාද? පොසොන් කාලෙට එහෙම ලංගම බස්වලින් විතරක් වන්දනා ගමන් ගියොත් පාරවල්වල දුවන්න ලංගම බස් ඉතුරු වෙන එකකුත් නැහැ. අපිත් මාස කීපයකට කලින් එහෙම වන්දනා ගමනක් ගිය වෙලාවක ගත්තු ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ...



අර රුවන්වැලිසෑය බලන්න ගිය ගමනක් ගැන මම කලින් දවසක ලිව්වේ. ඒ ගියෙත් ඔය ගමනේදීම තමයි...

මම අද කියන්න යන කතාව සිද්ධ වුනේ පහුගිය ඔක්තෝම්බර් 8 වෙනිදා. ඊට කලින් දවසේ, ඒ කියන්නේ 7 වෙනිදා, තමයි 20-20 අවසන් තරඟය තිබුනේ. ඒ දවස්වල මම හිටියේ චේ ගුවේරා ගැන මම ලියපු ලිපිය ලියන්න සූදානම් වෙමින්. එත්, ලියනවා තියා හිතන්නවත් බැරි තත්ත්වයකට මම පත් වුනේ 7 වෙනිදා උදේ. කලින් දවසේ ඉඳන් මගේ වම් අතේ වැලමිටට යන්තම් උඩින් රිදෙමින් තිබුනා. 7 වෙනිදා තත්ත්වය බොහොම දරුණු වුනා. මගේ අත ඉදිමිලා, රතු වෙලා, වේදනාව ඉවසන්නම බෑ. සතෙක් කාලා කියලයි මට හිතුනේ. බ්ලොග් පෝස්ට් එකක් ටයිප් කරන එක කොහොම වුනත් වේදනාව ඉවසගන්න බැරුව මම හිටියේ. එදා ක්‍රිකට් මැච් එක බැලුවෙත් ඒ වේදනාව පිටින්. එදා රෑ හරියකට නින්ද ගියෙත් නැත්තේ මැච් එක පැරදුන එකටත් වැඩිය අතේ වේදනාව නිසා. ඊළඟ දවසේ නම් තත්ත්වය වෙනස් නොවුනොත් දොස්තර කෙනෙක් ලඟට යන්න වෙන බව මම හොඳටම දැනගෙන හිටියා.

ඔන්න ඉතින් මම 8 වෙනිදා, ඒ කියන්නේ සඳුදා උදේ වැඩට එන්න පිටත් වුනා. මම ලෑස්ති වුනේ පවා බොහොම අපහසුවෙන්. 120 බස් එකේ උදේට එනවා කියන්නේ වෙනමම දුකක් නේ. මට උදේ පාන්දර ලෑස්ති වෙන්න බැරි වුන නිසා බස් එකේ හිටගෙන එන්න වෙන බව දැනගෙන හිටියා. මම දහ අතේ කල්පනා කර කර ආවේ මගේ අතත් එක්ක කොහොම එන්නද කියලා. ඒ මදිවට අනිත් අතේ බෑග් එකක්!

කොහොමහරි මම බස් එකකට නැගලා ඇතුලට රිංග ගත්තා. ඒ වෙලාවට ඉතින් මැද පේලිය තමයි. වම් අත තියාගන්න ක්‍රමයක් ඇත්තෙම නැතුව මම ඒ අතින් එල්ලිලා අනිත් උරහිසට බෑග් එක ගත්තා. පැය බාගෙකටත් වැඩිය මම ඒ විදියට හිටගෙන ආවා. පුදුම වැඩේ කියන්නේ මිනිස්සු එහාට මෙහාට යන වෙලාවට එහා මෙහා වෙලා ඉඩ දෙන්න වුනාම ඇරෙන්න මට බරපතල වේදනාවක් දැනුනේ නෑ. මම බහින තැන ලං වෙනකොට ටිකක් සෙනග අඩු වෙන නිසා ලොකු කරදරයක් නැතුව බස් එකෙන් බහින්න මට පුළුවන් වුනා.

බස් එකෙන් බැස්සම තමයි මට සැබෑ වෙනසක් තේරුනේ. කලින් තිබුන වේදනාවෙන් බාගයකටත් වැඩිය අඩු වේදනාවක් තමයි දැන් දැනුනේ. ඒ වුනත් මම පරිස්සම් වුනේ මේ තාවකාලික සමනය වීමක් විතරක් කියලා හිතාගෙන. නමුත් දවස ගත වෙද්දී වේදනාව තවත් අඩු වුනා මිස වැඩි වුනේ නෑ. එදා හවස මම ගෙදර ඇවිත්, ටිකක් අමාරුවෙන් වුනත් චේ ගැන පෝස්ට් එක ටයිප් කළා.

පැය බාගයක් බස් එකේ එල්ලිලා ඇවිත් වේදනාවෙන් බාගයක් අඩු වුනා නම්, පැයක් විතර ආවානම් ලෙඩේ නිට්ටාවටම සනීප වෙන්නත් ඉඩ තිබුනා. ඇත්තටම, ප්‍රයිවට් බස්වලින් යද්දී අතපය කැඩෙන්න වගේම ඇතැම්විට අතේ පයේ ලෙඩ සනීප වෙන්නත් ඉඩ තියෙන බව මට තේරුම් ගියේ එදා තමයි.

17 comments:

  1. ආවා අද සිටන්..
    ඇවිත් යන්නම් ආයෙත් ..
    තුති මල් මිටි පිටින්
    දුන්නු සුබ පැතුමටයි සතුටින්..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි.. සමී නියම කවියෙක්නේ... මමත් ඉස්සර පුංචි කාලේ කවි ලියනවා. එත් පස්සේ වැඩේ අත අරුනා. එක වුනේ එක්තරා අප්‍රසන්න සිදුවීමක් නිසා. මම ඒ ගැන ලියන්න කැමති නෑ මොකද එකට සම්බන්ධ කීප දෙනාගෙන් කාටහරි ඒක දකින්න ලැබිලා, ඒක කියවලා හිත රිදීමක් වෙයි කියලා... බලමු. හිතුනොත් ලියන්නම්කො ඒ ගැනත්...

      Delete
  2. :D මේක මාර කතාවක්නේ.

    ReplyDelete
  3. වල ගොඩැලි සහිත සමහර පාරවල්වල ප්‍රයිවෙට් බස් එකකින් ගියානම් අර්ශස් රෝගයත් සුවවෙයි. බබාලා හම්බවෙන්න ඉන්න අම්මලාට මාතෘ නිවාස අවශ්‍ය නැතිවෙයි.

    ප්‍රයිවට් යනුවෙන් නොලියා ප්‍රයිවෙට් යනුවෙන් ලිව්වානම් වඩාත් නිවැරදියි කියා හිතනවා. ඉංග්‍රීසි වචනය උච්ඡාරණය වන්නේ ප්‍රයිවෙට් කියලයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. උච්ඡාරණය ගැන කතන්දරේ මම පිලි ගන්නවා... මම කලේ සාමාන්‍යයෙන් සිංහල අපි උච්ඡාරණය කරන විදිය යොදා ගැනීම. සමහර වෙලාවට හරියටම නිවැරදි දේට වැඩිය අපි කරන්නේ අපිට සුදුසුයි කියලා හිතන දේ නේ... අපි කීයෙන් කී දෙනාද "රුවන්මැලිසෑය" කියලා කියන්නේ. ඔක්කොමල්ලා කියන්නේ "රුවන්වැලිසෑය" කියලා නේ...

      මම මේ කතාකරන්නේ වල ගොඩැලි වැඩිපුර නැති පාරක් ගැන. ඒ වගේම දැන් ඉස්සර වගේ මහාමාර්ග ඔක්කොම වැස්ස කාලෙට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ ධීවර අමාත්‍යංශයට බාර දෙන්න වෙන කාලේ නෙවෙයි නේ.. දැන් පාරවල් ඉස්සරට වැඩිය කොච්චර හොඳද? ඉස්සර නම් ලංකාවේ පාරවල්වල වාහන එලෙව්වොත් හඳේ වාහන එලවන්න ලයිසන් එක නිකම්ම දෙන සයිස් එකක් නේ තිබුනේ...

      Delete
    2. මා සමග උරණ නොවී මොහොතක් හිතන්න, ඔබ උච්ඡාරණය කලේ සිංහල වචනයක් නොවේ. ඉංග්‍රීසි වචනයක්. වෙනත් භාෂාවක් වැරදියට උච්ඡාරණය කරනකොට එය වරදියටම අනුකරණය කරන පිරිසක් බිහිවෙනවා. ඒ නිසා තමයි සිංහල ඉංග්‍රීසි දෙකටම නැති කසිකබල් වචන බිහිවෙන්නේ. ඒවා අපි අපි අතරේ ව්‍යවහාර වුනාට, ලේඛනගතව ඉදිරිපත් කලාම, ඒ තමයි නිවැරදි කියා සිතන පිරිසක් බිහිවෙනවා. විශේෂයෙන් පාසල් ළමයි. බලන්න ඔබ මට දුන් පිළිතුරේ 'ලයිසන්' යන වචනය නිවැරදිව ලියා තිබෙනවා. සමහරු එය උච්ඡාරණය කරන්නේ 'ලයිෂන්' යනුවෙන්.මම ඔබට උගන්නන්න එනවා නොවේ. අදහස් දැක්වීමක් හා ඉල්ලීමක් පමණයි.

      තවමත් ලංකාවේ පාටවල් වලින් 40% ක් පමණ තමයි ඔබ කියන ප්‍රමිතියෙන් තිබෙන්නේ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. හ්ම්ම්... මම පිළිගන්නවා ඔබ කියන දේ.. ලියන වෙලාවට ඒක හරි ආකාරයට ලියන්න ඕන.. ඇත්ත. ඇත්තෙන්ම "වරදියට" නෙවෙයි, "වැරදියට" වෙන්න ඕනා. "පාටවල්" නෙවෙයි, "පාරවල්" වෙන්න ඕනා.

      මම හිතන්නේ මම මීට කලින් ලියපු මේ වගේ කතාවල පැහැදිලි කරලා තියෙනවා මම මේවා ලියන්නේ විනෝදෙට කියලා. එතෙන්දි මම සාමාන්‍ය මිනිස්සු කතා කරන විදියට ලියනවා මිසක ඊට වැඩිය හිතන්න යන්නේ නෑ. මගේ අවශ්‍යතාවය කතාවක් කීමයි. සුද්දෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කලොත් ඒ මනුස්සයා උච්ඡාරණය ගැන වද වෙන්නේ නෑ. ඒ මනුස්සයා බලන්නේ අපි මොකක්ද කියන්නේ කියලා. භාෂාවක වැදගත්ම කාර්යය අදහස් ප්‍රකාශ කිරීමයි.

      මම දන්නා ලංකාවේ ඉතාම ඉහල තැනක ඉන්න කෙනෙක් දවසක් මෙහෙම කතාවක් කිව්වා. ඔහු එංගලන්තේ නීතිය ඉගෙන ගනිද්දී, ඔවුන් එක්ක හිටියාලු ඉතාලි කාරයෙක්. මිනිහා ඉංග්‍රීසි උච්ඡාරණය කරන්නේ ඉතාලි ක්‍රමයට. එත් කවුරුත් ඒ මනුස්සයාට හිනා වුණේවත් වැරදි කිව්වේවත් නෑ. මොකද එයාලගේ බැච් එකේ හිටපු නියම වැඩකාරයා තමයි ඒ ඉතාලිකාරයා. මිනිහට නීතිය වතුර වගේලු. ඒ මිනිහා හරියට ඉංග්‍රීසි උච්ඡාරණය කරන්නේ නෑ කියලා විහිළු කළා නම් මොකක්ද වෙන්නේ?.....

      වරද පෙන්නා දුන්නාට බොහොම ස්තූතියි. මම ඒක වෙනස් කරන්නම්. ඒ අතරේම ඔබ බලන්න මම ලියාපු "සීරියස්" ආටිකල් දෙක තුනක්. එව්වයෙත් එහෙම වැරදි තියෙනවා නම් මට පෙන්නලා දෙන්න. Hoxha වගේ වචන උච්චාරණය කරන විදිය හොයන්න මම Youtube වීඩියෝ කීපයක්ම බැලුවා. ඒ ඇල්බේනියාවේ අන්තිම කොමියුනිස්ට් නායකයා ගැන මම ලියපු ලිපියේ. ඒ ලිපියත් කියවලා බලන්න මට කරන උපකාරයක් විදියට. අද පොත් ලියන මිනිස්සු පවා තමන්ට හිතෙන හිතෙන විදියට උච්ඡාරණය කරනවා. මම සාමාන්‍යයෙන් සීරියස් ආටිකල් ලියද්දි කවදාවත් එහෙම කරන්නේ නෑ. සිංහල ආටිකල්වල නොදැම්මාට මම ලියන හැම ඉංග්‍රීසි ආටිකල් එකකටම වගේ මූලාශ්‍ර පවා මම දානවා. අදින් පස්සේ මම සිංහල ආටිකල්වලටත් මූලාශ්‍ර දාන්න පටන් ගන්නවා.

      මූලාශ්‍ර ගැන මට මතක් වුනේ ඔබේ 40% කතාව නිසා. ඒ ගැන මතක් කරලා දුන්නාට ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඔබ ඒ කියන ප්‍රතිශතය ඔබ පෙන්නුම් කරේ කොයි මූලාශ්‍රයෙන්ද කියලා මම දැනගන්න කැමතියි. මොකද, මටත් අනාගතයේදී ලිපියක් ලියද්දී උදව් වෙන්න පුළුවන් නේ...

      Delete
    4. මගේ දැන් වයස අවුරුදු 59 යි. ටයිප් කරනකොට පාරවල් පාටවල් වුනේ ඒ නිසායි.වරදී යන්න 'වැරැදි' විය යුතුයි.පාරවල් හදලා තියෙන්නේ 40% ක් යන්න වෙබ් අඩවියක කියවු නමුත් අඩවිය මතක නැත. ගොසිප් ලන්කා හෝ ගොසිප් 9 විය හැකියි. මම ඔබේ ඉංග්‍රීසි සයිට් වලටත් ගියා. විවේකව ඒවා කියවන්නම්. වෙනත් භාෂා වල වචන මටත් මගේ අඩවියේදී බොහෝවිට යොදන්න සිදුවෙනවා . ඒ වචනවල උච්ඡාරණය මම හොයාගන්නේ Google Translate මගින්. මෙතනින් ගොස් බලන්න. http://translate.google.com/
      ඕනෑම රටක කෙනෙක් තම මවු භාෂාව හැර වෙනත් භාෂා උච්ඡාරණය කරන්නේ 100% ක් නිවැරදිව නොවෙයි. එය එතරම් වරදක් නොවෙයි. හැබැයි කසාක්ස්ථාන් යන්න කසකස්තාන් යනුවෙනුත්, වෙනෙසුවෙලාව වෙනිසියුලා යනුවෙනුත් උච්ඡාරණය කිරීම වැනි වැරැදි ගැන නම් සමාව දිය නොහැකියි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. බොහොම ස්තූතියි. සයිට් එකෙන් උච්චාරණය කරන හැටි අහන්න පුළුවන් බව මම දැක්කේ දැන්.
      වෙනෙසුවෙලා කියනවාට වැඩිය නිවැරදි වෙනෙසුඒලා කිව්වා නම් කියලයි මම හිතන්නේ. එක සිංහලෙන් ලිව්වාම අමුතු නිසා මම ලියන්නෙත් වෙනිසියුලාව කියලා. නමුත් වෙනෙසුවෙලා කියලා ලිව්වා නම් හොඳයි කියලා දැන් මට හිතෙනවා. කසාක්ස්තාන් නොව එහි උච්චාරණය කසක්ස්තාන් විය යුතුයි.

      ඔය කියපු ගොසිප් සයිට් දෙක නම් මම බලන්නේ බොහොම කලාතුරකින්. ඒවායේ පලවන දේවල් ගැන කිසිම වගකීමක් නෑ නේ. මමත් දැන් ඔය 40% කතාව ගැන හොයන්න උත්සාහ කළා. මටත් හොයාගන්න ලැබුනේ නෑ.

      Delete
    6. එතකොට වෙනත් භාසාවක වචනයක් උච්චාරනයෙදී පොඩ්ඩක් වෙනස් වුනාට කමක් නැත්නම්, ප්‍රයිවෙට්, ප්‍රයිවට් උනාට කමක් නැතුව ඇති නේ.. :-)

      Delete
  4. මං නම් හිතන්නේ මොකක් හරි ඖෂධීය ගුණයක් ඇති ඔය ප්‍රයිවට් බස් වල... :D
    කොහොමවත් කමක් නෑ සනීප වුනු එක නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අනිවා... ඖෂධීය ප්‍රයිවට් බස්... :-D

      Delete
  5. අනික නොමිලේම ලබාදෙන ව්‍යායාම් මාලාව ?? වෙන කොහෙන් ලැබෙන්නද ඒ වගේ දෙයක් :P

    ReplyDelete
    Replies
    1. ඒකට තමයි කොල්ලෝ ටිකට් ගන්නේ. සෙනග වැඩි වුනාම ව්‍යායාම වැඩියි නේ. එතකොට තමයි ඉතුරු සල්ලි නොදෙන්නේ...

      Delete
  6. අපොයි නොදුටු පැත්තක් . තව ඉතින් ඉවසීම ප්‍රගුණ කරන්න වුනත් පුළුවන් ඕවයේ ගියාම

    ReplyDelete
    Replies
    1. මට නම් ඒක ටිකක් අමාරුයි... :-)

      Delete