Wednesday, November 14, 2012

ඇමරිකාවේ මැතිවරණවලදී ඔසාමා බින් ලාඩ්න් තවමත් වැදගත් චරිතයකි


වසර අටකට පෙර 2004 නොවැම්බරයේදී ඇමරිකානුවෝ ඊළඟ සිව් වසර සඳහා සිය ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමට ඡන්දය දුන්හ. එම ජනපති සටන එවකට ජනාධිපතිවරයා වූ ජෝර්ජ් ඩබ්. බුෂ් සහ ඩිමොක්‍රටික් පාක්ෂික ජෝන් කෙරී අතර කරට කර සටනක් වනු ඇතැයි සියල්ලෝම බලාපොරොත්තු වූහ. එහෙත් ජෝර්ජ් ඩබ්. බුෂ් එම සටන බලාපොරොත්තු වූවාට වඩා පහසුවන් ජය ගත්තේය. මේ සඳහා වැදගත් සාධකයක් බවට පත් වූයේ මැතිවරණයට දින කිහිපයක් තිබියදී නිකුත් වූ ඔසාමා බින් ලාඩ්න්ගේ වීඩියෝ පටයකි. යලිත් තමන් ඉදිරියේ අල් කයිඩා නායකයා මෙසේ ප්‍රාදුර්භූත වීම, ඇතැම් ඇමරිකානුවන් තුල සිය ආරක්ෂාව පිලිබඳ චකිතයක් ඇති කළේය. ත්‍රස්ත විරෝධී සටනට වඩා හොඳින් නායකත්වය දෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වූයේ එවකට ජනාධිපති වූ බුෂ්ය. එහෙයින්, ඇතැම් ඇමරිකානුවෝ බුෂ්ට ඡන්දය දීමට තීරණය කළහ. එය ඔහුට ජනපති සටන ජය ගැනීමට අමතර රුකුලක් වූයේය.

ඔසාමා බින් ලාඩ්න් මිය ගොස් දැනට වසර එකහමාරකි. ඔහුගේ අල් කයිඩා සංවිධානයද බොහෝ දුරට අඩපණව ඇත. (නමුත් එයට සම්බන්ධ ඇතැම් ත්‍රස්ත කණ්ඩායම් තැනින් තැන තවමත් හිස ඔසවාගෙන සිටියි). කෙසේ වුවද, කලක් ඇමරිකානුවන් බිය ගැන්වූ බින් ලාඩ්න් අදටද එරට දේශපාලනය කෙරෙහි යම් බලපෑමක් කරන බව ඇතැමුන්ගේ විශ්වාසයයි. අබොටබාද් නගරයේ වූ බින් ලාඩ්න්ගේ අවසන් වාසස්ථානයට එල්ලවූ ඇමරිකානු ප්‍රහාරය පිලිබඳ වාර්තාමය චිත්‍රපටයක් එරට ජනාධිපතිවරණයට දින දෙකකට පෙර රූපවාහිනියේ තිරගත කිරීමට National Geographic චැනලය කටයුතු කලේ එම විශ්වාසය හේතුවෙන් යයි සැකයක් උපදී.

ඔසාමා බින් මොහොමඩ් බින් අවාඩ් බින් ලාඩ්න්, Wikimedia Commons



ජෝන් ස්ටොක්වෙල්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු "Seal Team Six: The Raid on Osama bin Laden" චිත්‍රපටයෙහි එක් තිර රචකයකු සහ විධායක නිෂ්පාදකයකු ලෙස වැදගත් කාර්යභාරයක් සිද්ධ කල හාර්වි වෙයින්ස්ටයින් ජනපති බරක් ඔබාමාගේ ප්‍රබලතම ආධාරකරුවෙකි. National Geographic චැනලයේ සභාපති හොවාර්ඩ් ඔවන්ස් සඳහන් විශ්වාස කරන ආකාරයට, "හාර්විගේ දැඩි කැපවීම සහ ඔහු අපගේ ආයතනය කෙරේ තැබූ විශ්වාසය නොවන්නට මෙම චිත්‍රපටය විකාශය වීම මෙතරම් සාර්ථක අවස්ථාවක් නොවන්නේය."

ඔබාමාගේ ආධාරකරුවකු අතින් නිර්මාණය වූවා පමණක් නොව මෙම චිත්‍රපටයට ඔබාමාගේ කතා කිහිපයක කොටස්වල වීඩියෝපට අඩංගු වී ඇත. ඔසාමා බින් ලාඩ්න් මරා දැමුණු පසු "සාධාරණය ඉටු කරනු ලැබුනා" යයි ඔබාමා ප්‍රකාශ කල අවස්ථාව ඉන් එකකි. චිත්‍රපටය අවසානයට යොදාගන ඇත්තේ එම කතාවයි. ඒ අනුව, විවේචකයින් විසින් මෙම චිත්‍රපටය ජනපති ඔබාමාගේ ප්‍රචාරක ව්‍යාපාරයෙහි කොටසක් බවට පැවසීමෙහි යම් සත්‍යතාවයක් නැතුවාම නොවේ.

කෙසේ වුවද චිත්‍රපටය විකාශය වූ National Geographic චැනලයෙහි ප්‍රධාන හිමිකරු වන්නේ දැවැන්ත මාධ්‍ය අධිරාජ්‍යයක් හිමි එමෙන්ම දැඩි කොන්සර්වටිව් මතධාරියකු වන රූපර්ට් මර්ඩොක්ය. එවැන්නෙකුට අයත් ආයතනයක් මගින් ඔබාමා පිලිබඳ ධනාත්මක රූපයක් දක්වන චිත්‍රපටයක් විකාශය වීම එක්තරා ආකාරයක පුදුමයකි. මැතිවරණයට දින දෙකකට පෙර මෙම චිත්‍රපටය විකාශය කිරීම මගින් වැඩි ජනතා අවධානයක් දිනා ගැනීමට චැනලය සමත් විය. ඇමරිකාවේ ලක්ෂ ගණනක් නිවෙස් සැන්ඩි චණ්ඩ මාරුතයෙන් පසු විදුලිය නොමැතිව අඳුරේ තිබියදී පවා මිලියන 2.7 ක් ජනතාව චිත්‍රපටය නරඹා තිබේ. මේ අනුව මෙම වසරෙහි වැඩිම ජනතාවක් විසින් නරඹනු ලැබූ National Geographic වැඩසටන මෙය වූ අතර වසර 15 ක ඉතිහාසය තුල එම චැනලයෙන් විකාශය වූ වැඩිම ප්‍රේක්ෂකයන් පිරිසක් විසින් නරඹන ලද වැඩසටහන් අතර හයවැන්න බවට එය පත් විය.

ඔසාමා බින් ලාඩ්න්ගේ අවසානය දුටු "Neptune Spear" (නෙප්චූන් ස්පියර්-නෙප්චූන්ගේ හෙල්ල) මෙහෙයුමෙන් පසු ජනපති ඔබාමා ප්‍රකාශ කලේ එය ස්වකීය ජනාධිපති ධූර කාලයෙහි වැදගත්ම දිනය වූ බවයි. 2012 ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර කරන ලද සමීක්ෂණයකින් කියවුනේ ජනපති ඔබාමා ප්‍රතිවාදී රොම්නිට වඩා හොඳ ප්‍රධාන අණ දෙන නිලධාරියකු වනු ඇති බව බහුතරයක් ඡන්ද දායකයන් විශ්වාස කල බවයි. "Seal Team Six: The Raid on Osama bin Laden" චිත්‍රපටයෙන් එම විශ්වාසය මදක් හෝ වැඩි වන්නට ඇත. තවමත් ඔසාමා බින් ලාඩ්න් ඇමරිකානු දේශපාලනයට නැතුවම බැරි චරිතයකි.

4 comments:

  1. සහතික ඇත්ත. බොහොම අගේට විග්‍රහ කරලා තියෙනවා.
    http://chithula.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!
      කෝරලේ මහත්තයා චිත්‍රපටිය බැලුවද?

      Delete
  2. හ්ම්.... ඒ කාලේ ඉදලම බින් ලාඩන් ඇමෙරිකාවට දේශපාලනික වශයෙන් බොහොම උදව් කරලා තියෙනවා.සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් උනත් ඇමෙරිකාවට කොච්චර වාසියක් උනාද?

    ලංකාවේ ජනාධිපතිවරයටත් ප්‍රභාකරන් ගෙන් ඉදිරියට ජන්ද වාසි ලැබේවි.

    ReplyDelete
  3. බින් ලාඩ්න් කියන පුද්ගලයා ඉස්සර ඇමරිකාවේ ගජ යාලුවෙකුත් වෙලා හිටියා නේ. සදාම් හුසේනුත් එහෙමයි. දේශපාලනේ හැටි එහෙම තමයි.

    ReplyDelete