Tuesday, November 13, 2012

කව්ද මේ යොවෙරි මුසවේනි?


උගන්ඩාවේ ජනාධිපති යොවෙරි මුසවේනි මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු අප්‍රිකාවේ දීර්ඝතම කාලයක් බලයෙහි සිටින පාලකයෙකි. 1986 ජනවාරි 29 වනදා උගන්ඩාවේ ජනාධිපති ධූරයට පත් වූ හෙතෙම වසර 27කට ආසන්න කාලයක් අඛණ්ඩව එම ධූරයෙහි කටයුතු කොට ඇත. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ උගන්ඩා ජනපති ධූරය කරා ඔහු පැමිණි ගමන පිළිබඳ කෙටියෙන් විමසා බැලීමය.

London, 11th July 2012. President Yuweri Museveni of Uganda, speaking at the London Summit on Family Planning.

Picture: Russell Watkins/Department for International Development, Wikimedia Commons



යොවෙරි මුසවේනි උපත ලැබුයේ 1944 අගෝස්තු 15 වනදා දකුණුදිග උගන්ඩාවේ න්ටුන්ගානෝ ප්‍රදේශයේ බව කියවේ. ඔහු බන්යන්කෝලේ ජාතිකයෙකි. එනම් උගන්ඩාවේ සාම්ප්‍රදායික රාජධානි 4න් එකක් වූ අන්කෝලේ රාජධානි වැසිකි. මූලික අධ්‍යාපනයෙන් අනතුරුව යාබද ටැන්සානියාවේ ඩාර්-එස්-සලාම් සරසවියට ඇතුළු වූ හෙතෙම එහිදී ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව හැදෑරීය. මෙකල ඔහු වාමාංශික දේශපාලනයට යොමු වූයේය. තවද, සමකාලීන අප්‍රිකාවේ, වෙසෙසින්ම ටැන්සානියාව ඇතුළු ඇතැම් රටවල, ජනප්‍රිය දර්ශනයක් වූ "සමස්ථ-අප්‍රිකානුවාදී දර්ශනය" (Pan-Africanism) එනම්, අප්‍රිකානු වැසියන් එක්සත් විය යුතු බවට පිළිගත් දර්ශනය වෙත ද මුසවේනි නැඹුරු විය. තවද, මොසැම්බික් රාජ්‍යයේ නිදහස් සටන්කාමීන්ගේ පාලන ප්‍රදේශයෙහි සංචාරය කල මුසවේනි එහිදී ගරිල්ලා සටන් ශිල්පය උගත්තේය. එය ඔහුගේ පසු කාලීන දේශපාලනයට ඉතා වැදගත් විය.

1970 දී උගන්ඩා රාජ්‍ය ඔත්තු සේවයට බැඳුනු මුසවේනි 1971 වසරේ ජනවාරියේදී ඉඩි අමීන් සිදු කල හමුදා කුමන්ත්‍රණයෙන් පසු යලි ටැන්සානියාවට ගියේය. එහිදී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ (Front නම් තමන්ගේම දේශපාලන සංවිධානයක් පිහිටුවාගත් මුසවේනි දිගටම ඉඩි අමීන්ට එරෙහිව දේශපාලන කටයුතුවල නිරත විය.

1978 අග භාගයේදී උගන්ඩා හමුදා විසින් ටැන්සානියාව ආක්‍රමණය කරන ලදී. මෙම අවස්ථාවේ ටැන්සානියාවේ සිටි උගන්ඩා විපක්ෂ කණ්ඩායම් එක්සත් පෙරමුණක් පිහිටුවා ගත්හ. උගන්ඩා ජාතික විමුක්ති පෙරමුණ (Uganda National Liberation Front-UNLF) නම් වූ එහි විධායක කමිටුවට මුසවේනි පත් විය. එම ව්‍යාපාරයේ සන්නද්ධ අංශය වූ උගන්ඩා ජාතික විමුක්ති හමුදාව (Ugandaa National Liberation Army-UNLA) ටැන්සානියානු හමුදාවට සහය පල කරමින් සටන් බිමට බැස්සාහ. 1979 අප්‍රේල් 10 වනදා කම්පාලා නගරය ටැන්සානියානු සහ UNLA භටයන් අතට පත් විය. ඉඩි අමීන් උගන්ඩාවෙන් පලා ගියේය.

උගන්ඩාවේ පාලනය අතට ගත් උගන්ඩා ජාතික විමුක්ති පෙරමුණ විවිධ කණ්ඩායම් එකාබද්ධව සැදුනක් නිසා එහි නායකයින් අතර ගැටුම් ඇති වීමට වැඩි කලක් නොගියේය. 1979 මැයි මාසයේ උගන්ඩාවේ ආරක්ෂක ඇමති බවට පත් වූ මුසවේනි වර්ශාවසානයට පෙර වෙනත් ඇමති ධූරයකට මාරු කෙරින. 1979 ජූනි මාසයේදී පාලන බලය සියතට ගත් ගොඩ්ෆ්‍රි බිනයිසා ආරක්ෂක ඇමති ධූරය තමන් වෙත පවරා ගැනීමත් සමඟ මෙය සිදු විය. එහෙත් 1980 මැදදී පක්ෂය තුලින් මතුවූ කැරැල්ලකින් බිනයිසා ඉවත් කරන ලදී. ඉනික්බිතිව, 1980 දෙසැම්බරයේ මහා මැතිවරණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරුණි.

1980 දෙසැම්බර් මැතිවරණයේදී ජාතික ව්‍යවස්ථාදායකය සඳහා මන්ත්‍රීවරු 126 දෙනෙක් තෝරා ගන්නා ලදහ. මෙම මැතිවරණය බෙහෙවින් දූෂිත එකක් වූ බව පැවසේ. හිටපු ජනපති මිල්ටන් ඔබොටේ නායකත්වය දුන් උගන්ඩා මහජන කොන්ග්‍රසය (Uganda People's Congress-UPC) ආසන 73ක් දිනා ගත්තේය. යොවෙරි මුසවේනිද, උගන්ඩා දේශප්‍රේමී ව්‍යාපාරය (Uganda Patriotic Movement-UPM) නමින් තමන්ගේම පක්ෂයක් පිහිටුවාගෙන තරඟ කලමුත් එම පක්ෂයට ලැබුනේ එක ආසනයක් පමණි.

මැතිවරණ ප්‍රතිපල අභියෝගයට ලක් කල යොවෙරි මුසවේනි සිය නිජ බිම වූ දකුණුදිග උගන්ඩාවට ගොස් ජනප්‍රිය විරෝධතා හමුදාව (Popular Resistance Army-PRA) නම් සංවිධානයක් පිහිටුවා ගනිමින් දෙවැනි ඔබොටේ රජයට එරෙහි සන්නද්ධ අරගලයකට මුල පිරුවේය. හිටපු ජනාධිපතිවරයකු වූ යුසුෆු ලුලේ නායකත්වය දුන් උගන්ඩා නිදහස් සටන්කාමීන් (Uganda Freedom Fighters-UFF) සමඟ එකතු වීමෙන් ජාතික විරෝධතා හමුදාව (National Resistance Army-NRA) පිහිටුවා ගැනීමට මුසවේනි කටයුතු කළේය. එහි දේශපාලන අංශය වූයේ ජාතික විරෝධතා ව්‍යාපාරයයි (National Resistance Movement-NRM). මේ අතර මුසවේනිට රුවන්ඩාවෙන් සරණාගතයින් ලෙස පැමිණ දකුණු උගන්ඩාවේ විසූ ටුට්සි ගෝත්‍රිකයින්ගේ සහයද ලැබුන අතර ඔවුහූ NRA සංවිධානය තුල විශාල කාර්යභාරයක් ඉටු කළහ. කෙසේ වුවද යුද්ධය සඳහා ළමා සොල්දාදුවන් යොදවා ගැනීම පිළිබඳව ඔහුට මෙකල චෝදනා එල්ල වූයේය.

1980-85 දෙවැනි ඔබොටේ ආණ්ඩුව දැඩි ප්‍රජා පීඩක පාලනයක් විය. 1985 දී ඔහු බලයෙන් ඉවත් කල හමුදාපති ලුතිනන් ජනරාල් ටිටෝ ඔකෙල්ලෝ සමඟ සාම සාකච්ඡා ඇරඹීය. නයිරෝබි නගරයේ පැවති මෙම සාකච්ඡා අවසානයේදී සාම ගිවිසුමකට එළඹී නමුත් එය ඉතා කෙටි කලකින් බිඳ වැටිණ. මේ අතර 1986 ජනවාරියේදී කම්පාලා දෙසට සාර්ථක මෙහෙයුමක් දියත් කිරීමට ජාතික විරෝධතා හමුදාව සමත් විය. රජයේ හමුදා පසු බැස ගිය අතර ජනවාරි 26 වනදා මුසවේනිගේ හමුදාවෝ නගරය යටත් කළහ. ඉන් තෙදිනකට පසු ඔහු උගන්ඩාවේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

13 comments:

  1. එතකොට මෙයා තාමත් ජනාධිපතිද ???

    ReplyDelete
    Replies
    1. අනිවා. ඒකනේ එයා ඊයේ ලංකාවට ආවේ...

      Delete
    2. මෙහෙම මනුස්සයෙක් ඉන්නවා කියලා වගේම ලංකාවට ආවා කියලාත් දැනගත්තේ මේ සටහනෙන් තමා. ප්‍රවෘත්ති බැලෙනවා හරිම අඩුයි

      Delete
    3. ඔව් ඉතින්, ප්‍රවෘත්තිවල බලන්න කියලා මහා ලොකු දෙයක් නෑ නේ... :-)

      Delete
    4. ඔව් අප්පා ප්‍රවෘති ගැන නම් වැඩක් නෑ කතා කරලා.අපිට ඕනි දේවල් නෙමෙයිවෙන් කියන්නේ.එයාලට ඕනි දේවල්.

      Delete
    5. අපේ මිනිස්සුත් ඔය බලන්නේ.. ඊයේ පෙරේදා සම්මානත් ලැබුන සමහර ප්‍රවෘත්ති ප්‍රකාශ ගැනත් එහෙමයි.. ඊට හොඳයි නාට්‍යයක් බලනවා.

      Delete
    6. ඒක ඇත්ත.මම නම් ටීගවී එකේ ප්‍රවෘති බලන්නේම නැති තරම්.

      Delete
  2. අනේ මන්දා ලංකාවට එන්නෙම අවුරුදු ගණන් බලයේ ඉන්න ඈයොම තමා.....
    අනේ අපොයි....
    http://snimalka.blogspot.com/
    අපේ පැත්තටත් ගොඩවෙන්න...

    ReplyDelete
    Replies
    1. කරන්න දෙයක් නෑ. දැන් ගොඩක් රටවල් අප්‍රිකාවේ රටවල් එක්ක අලුත් සම්බන්ධතා ඇති කරගනිමින් ඉන්නවා. අපිත් එහෙමයි. ඔයා හොයලා බැලුවොත් පෙනෙයි අප්‍රිකාවේ ගොඩක් රටවල ඉන්නේ දීර්ඝ කාලයක් ඒ රටවල් පාලනය කරපු අය තමයි කියලා. එහෙම වුන පලියට ඒ අය එක්ක සම්බන්ධතා ඇති නොකරගන බෑ නේ.

      අපි ජිනීවා වලදී එක සැරයක් මානව හිමිකම් යෝජනාවක් පැරදුනා. ඉන්දියාව ඇරුනම ආසියාවේ රටවල් අපිට උදව් කරද්දී අප්‍රිකාවේ රටවල් අපිට විරුද්ධව ඡන්දේ දුන්නා. එයාල අපේ රටත් එක්ක සම්බන්ධයක් නෑ නේ. වැඩිම රටවල් ගණනක් තියෙන්නේ අප්‍රිකාවේ. පොදු රාජ්‍ය මණ්ඩලයේත් ගොඩක් රටවල් තියෙනවා ඒ මහාද්වීපයේ. එත් අපේ තානාපති කාර්යාල මුළු අප්රිකාවටම තියෙන්නේ අතේ ඇඟිලි ගණන විතර රටවල් ගණනක විතරයි. අලුත් සම්බන්දතා වර්ධනය කර ගැනීම විදේශ ප්‍රතිපත්තියට වැදගත්.

      නමුත් ඉතින් මෙහෙම පැත්තක් තියෙනවා. අපි අපේ රටට දරන්න බැරි විදියට ඒ සඳහා වියදම් කරන්න හොඳ නෑ.

      ඒ කොහොම වුනත් අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව එක්ක අපේ සම්බන්දතා නම් වර්ධනය කරගන්න ඕනෑමයි...

      Delete
    2. ඒක ඇත්ත.අපේ සම්බන්ධතා අඩුම අප්‍රිකානු රටවල් එක්ක තමා.

      Delete
    3. ලතින් ඇමරිකාව ගැනත් එච්චර තමයි.

      Delete
  3. හැබෑ දක්ෂයෙක් වගෙයි. අපේ ජේවීපී යටත් මෙයාගෙන් පාඩම් ඉගන ගන්න කිව්වනම් හරි.

    ReplyDelete
    Replies
    1. බටහිර නිර්ණායක අනුව බැලුවම ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියන්න බෑ.. නමුත් දේශපාලනයට දක්ෂයෙක් වගේම ඇතැම් කරුණු සම්බන්ධව යහපත් වෙනසක් කරපු කෙනෙක්. ඉගෙන ගන්න කැමති නම් ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා තමයි.

      Delete