Monday, May 28, 2018

ලියන්නෙ කොහොමද? - පළමු සටහන

අපි සමහරක් දෙනා ලියන්න ආසයි. විශේෂයෙන් ම කියවන්න ආස අය ලියන්නත් ආසයි. වෙන කෙනෙක් ලියපු පොතක්, ලිපියක් ආදිය කියවද්දි අපට ඒ අදහස එනවා.

මම කතා කරන්න යන්නෙ ප්‍රබන්ධ ගැන නෙවේ. ලිපි ලියන එක ගැන. මේක ම දියුණු කරලා ප්‍රබන්ධ නොවන පොත් ලියන තැනට අපට යන්න බැරි නැහැ.

මේ සටහන් පරම සත්‍යය නෙවේ. මට හිතෙන දේ පමණයි.

ලියද්දි වැදගත් කාරණා ගණනාවක් තියෙනව. නමුත් මම හිතන්නෙ වැදගත් ම කාරණේ තමයි අධ්‍යයනය කිරීම. තමුන් වඩා හුරු පුරුදු විෂයන් ඇති. (ඒ ගැනත් අපි පස්සෙ කතා කරමු). නමුත් ගොඩක් ම ටෙක්නිකල් විෂයක් නෙවේ නම්, තමුන් ලියන දේ ගැන හොඳ අදහසක් වගේ ම ඒ අවට පරිවාර දේ ගැනත් සාමාන්‍ය අදහසක් තිබීම වැදගත්.

මම කැමති විෂයන් සලකමු. මම ඉතිහාසය සහ ලෝක දේශපාලනය ගැන උනන්දුයි. එතකොට මම ඒ සබ්ජෙක්ට් අතුරිනුත් සමහර දේවල් ගැන ගොඩක් උනන්දුයි. මට දෙවනි ලෝක යුද්ධය ගැන ගොඩක් දේවල් මතකෙන් කියන්න පුලුවන්. මට පේන විදියට උතුරු කොරියාව ගැන ලංකාවෙ කියවන, ලියන අය අතරින් උඩින් ම ඉන්න කෙනෙක් මම. හැබැයි මට ආර්ජන්ටිනාව, බ්‍රසීලය වගෙ රටවල්වල ඉතිහාසය ගැන තියෙන්නෙ සාමාන්‍ය දැනුමක් විතරයි.

හැබැයි මම ඒ හැම දේ ගැනම ඉගෙන ගන්නව. උතුරු කොරියාව ගැන (එක උදාහරණයක් විතරයි) ගොඩක් කියවනව. අනික් රටවල් ගැන සාමාන්‍ය තරමට කියෝනව.

එහෙම ලොකු වපසරියක් අල්ලල තියෙන එක වැදගත් වෙන්නෙ අවශ්‍ය වුනොත් ඒ වගේ දෙයක් ගැන වුනත් ලියන්න පුළුවන් නිසා.

උදාහරණයක් විදියට මගෙ අත් දැකීමක් කිව්වොත්, 2017 නොවැම්බර්වල සිම්බාබ්වේ කුමන්ත්‍රණය වෙද්දි මම සිම්බාබ්වේ ගැන සැලකිය යුතු මට්ටමකට කියවලා තිබ්බෙ. එතකොට එහෙ වෙන්නෙ මොනවද කියන එක තේරුම් ගන්න ඒක ගොඩක් පහසු වුණා.

(කියවනවා/අධ්‍යයනය කරනවා කියන්නෙ ඉන්ටර්නෙට් එකෙන් කියවන එක විතරද? එහෙම විතරක් කලා ම ඇති ද? මදි ද? ඒ ගැනත් අපි පස්සෙ කතා කරමු)

ඕකෙ තව පැත්තක් තමයි අනික් දේවල් ගැන කියවන්නෙ නැතුව එක දෙයක් ගැන විතරක් කියවලා ඒ ගැන විතරක් ලියන එක. උදාහරණයක් කීවොත් චීනය ගැන දන්න කෙනෙක්ට චීනය ගැන විතරක් ම ලියන්න පුළුවන්.

හැබැයි අර ලොකු වපසරියක් අධ්‍යයනය කරන එකේ ම අනික් කතාවක් තියෙනව. ඒ කතාව මේ වගේ එක මාතෘකාවක් ගැන ලියන කෙනෙක්ටත් වැදගත්.

මම සාමාන්‍යයෙන් ඉතිහාසය කිව්වම වැඩි අවධානය යොමු කරන්නෙ දේශපාලන ඉතිහාසයට. හැබැයි ඒක ආර්ථික ඉතිහාසයෙන් වියුක්ත නැහැ. ඒ නිසා ආර්ථික කරුණු ගැන පොඩි හරි දැනුවත්කමක් වැදගත්. (වැඩි විස්තර පසුවට) ඒ විතරක් නෙවේ. අපි හිතමු අපි නැපෝලියන් ගැන ලියනව කියල. එතකොට ඒ කාලෙ තිබ්බ යුධ ආයුධ, උපක්‍රම වගේ දේවල් ගැනත් දැනගන්න එක වැදගත්.

මේවා ගැන මහ ලොකු දැනුමක් ඕන නෑ. කලින් කියවල තියෙන්න ඕනත් නෑ. සරලව ම කිව්වොත් මෙච්චරයි. ඔයා නැපෝලියන් ගැන ලියනවා නම් ඒ කාලෙ යුධ ආයුධ, උපක්‍රම වගේ දේවල් ගැන අධ්‍යයනයක් නැතුව ලියන්න පටන් ගන්න එපා. ඒ ගැන පොඩි හරි අධ්‍යයනයක් කරන්න.

ලෝක නිව්ස් ලියන්න ගිහින් ලංකාවෙ ගොඩක් අය අනාගන්නෙ ඊට සම්බන්ධ පසුබිම් කතා නොදන්නා නිසා. ඊටත් වඩා, ඒවා දැනගන්න ඕනකමක් නැති නිසා. ඒ අය හිතනවා නිව්ස් ලියනව කියන්නෙ මොකක් හරි පුවත් සේවයක ගිය රිපෝර්ට් එකක් පරිවර්තනය කරන එක කියලා.

ඒ අයට අමතක වෙනවා, ඒ පුවත් සේවයෙ ලිපිය ලියන කෙනා ඒක ලියන්නෙ පසුබිම් කතාව දැනගෙන කියලා.

තව ප්‍රශ්නයක් තියෙනව. ඉංග්‍රීසි දැනුම අඩු වීම සමහර අයට සමහර විෂයන් ගැන අධ්‍යයනය කරන්න බාධාවක්. ඒ ගැන අපි පස්සෙ කතා කරමු.

පසුවට කතා කරන්න දේවල් ගොඩයි. කමක් නෑ. ඒවා පසුවට. මේක අපි පියවරෙන් පියවර යමු. මේ ලිව්ව දේ ගැන ඔයාලගෙ අදහස් ලියන්න.

Tuesday, April 17, 2018

1945 අප්‍රේල් 16 - බර්ලින් සංග්‍රාමය ඇරඹෙයි

1945 අප්‍රේල් මස 16 වනදා සෝවියට් හමුදා විසින් නට්සි ජර්මනියේ අගනුවර වූ බර්ලින් නගරය අල්ලා ගැනීම සඳහා දියත් කළ බර්ලින් සංග්‍රාමය ආරම්භ වුණා. ඒ ඕඩර් සහ නෙයිෂ් නදී තීරයන් හි වූ ජර්මන් ආරක්ෂක ස්ථාන වෙත එල්ල වූ දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයකින්.

Pic: German Federal Archive (Bundesarchiv, Bild 183-E0406-0022-012 / CC-BY-SA 3.0)


මේ අවස්ථාව වනවිට ජර්මන් හමුදාවලට ගුවනේ බලය අහිමි ව තිබූ අතර පිරිස් ශක්තිය අතින් ද ඔවුන් සෝවියට් හමුදාවලට සාපේක්ෂව ඉතා දුර්වල අඩියක පසු වුණා. දැවැන්ත කාලතුවක්කු ප්‍රහාර මධ්‍යයේ දින කිහිපයක් සිය පෙරමුණ ආරක්ෂා කර ගැනීමට ජර්මානුන් සමත් වූ නමුත් අප්‍රේල් 19 වනදා වනවිට සටන් පෙරමුණ බිඳ වැටුණා. එයින් පසු සෝවියට් හමුදා සහ බර්ලින් නගරය අතර කිසිදු වැදගත් බාධකයක් වූයේ නැහැ.
සටන් පෙරමුණ බිඳ වැටී දින එකොළහකට පසු, 1945 අප්‍රේල් 30 වනදා, ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් සියදිවි නසාගත් බව සැළකෙනවා.

Thursday, September 28, 2017

ප්‍රජාතන්ත්‍රවාදය එපා වීම​

1920 දශකයේදී, විවිධ හේතූන් මත ජර්මනියේ ජනතාවට සාම්ප්‍රදායික පක්ෂ එපා විය​. කෙතරම් වැරදි තිබුණද සාම්ප්‍රදායික පක්ෂ විසින් එක්තරා ආකාරයක "ප්‍රජාතන්ත්‍රවාදයක්" ආරක්ෂා කළේය​. එයට පිටින් යන පක්ෂ ගණනාවක් වූ අතර ඉන් වඩාත් කැපී පෙනුණේ එකිනෙක ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක වූ නට්සි පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයයි.

කෙසේ නමුත් ජනතාවට මැද මාවත එපා වෙද්දී ඔවුහු එක්කෝ දකුණට හැරී නට්සි පක්ෂය වෙත ගියෝය​; නැත්නම් වමට හැරී කොමියුනිස්ට් පක්ෂය වෙත ගියෝය​.

එක්තරා අවස්ථාවකදී, රටේ මධ්‍යස්ථ මතවාදීන්ට වඩා ප්‍රමුඛව අන්තවාදී දෙපාර්ශවය ලබාගත් ඡන්ද එකතුව වැඩි විය​. (1932 ජූලි රයිෂ්ටාග් මැතිවරණය - නට්සි පක්ෂය ඡන්ද 37.27%, කොමියුනිස්ට් පක්ෂය 14.32%).



සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සියයට 22 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබුවද ඔවුන් සමඟ එක් වීමට කොමියුනිස්ට්වාදීහු අකමැති වූහ​. ඒ ස්ටාලින් සහෝදරයාගේ මොළේ තරමය​. ඔහු සිතුවේ ජර්මන් සමාජ ක්‍රමය බිඳ දමා බලය පැහැර ගන්නට ය​. නට්සින් බලයට ආවත් ඔවුන් වැඩිකල් බලයේ සිටිනු නැතැයි ඔහු සිතන්නට ඇත​. අනෙක් අතට ව්‍යාපාරිකයෝ වමේ රජයක් බලාපොරොත්තු නොවූහ​. ඔවුනට අවශ්‍ය වූයේ යක්ෂයා සමඟ හෝ ගනුදෙනුවක් කොට වමේ පාලනයක් ඇති නොවන සේ වග බලා ගැනීමය​.

1932 ජූලි වනවිට ජර්මන් ඡන්ද දායකයින් බහුතරය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කොට අවසන් ය​.

1933 ජනවාරියේ හිට්ලර් චාන්සලර් බවට පත් විය​. එතැන් සිට ඉතිහාසය ඔබ දනී.

Monday, September 4, 2017

මුගාබේ මැන්ඩෙලා විවේචනය කරයි

පසුගියදා පැවති පාලක සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රස්-දේශප්‍රේමී පෙරමුණ (ZANU-PF) පක්ෂයේ රැළියක් ඇමතූ සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ, හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා නිර්දය ලෙස විවේචනය කළේය​.

මැන්ඩෙලා තම ජනතාවගේ ආර්ථික නිදහස වෙනුවට තම පුද්ගලික නිදහස අගය කළ බවත් එහෙයින් අදටත් දකුණු අප්‍රිකාවේ ආර්ථිකය සුදු ජාතිකයන් අත පවතින බවත් මුගාබේ කියා සිටියේය​.

ග්වේරු නගරයේ පසුගිය සිකුරාදා (සැප්. 1) පැවති ZANU-PF පක්ෂ රැළියක් අමතා ෂෝනා බසින් කළ කතාවකදී මෙම අදහස් පළ කළ මුගාබේ තවදුරටත් කියා සිටියේ නිදහස ලද පසු මැන්ඩෙලාට ඔහු සිරගත වූ හේතුව අමතක වූ බවයි.



ඔහු එල්ල කරන බරපතලම චෝදනාව නම් දකුණු අප්‍රිකානු රජයේ ඇතැම් අමාත්‍යවරුන් ද ඔහු හා එකඟ වන බවයි.

මෑතකදී ඔහු දකුණු අප්‍රිකාවට සංචාරය කළ අවස්ථාවකදී එරට අමාත්‍යවරයකු හා සාකච්ඡා කළ බවත් එරට ආර්ථිකය සුදු ජාතිකයන් අත පැවතීම පිළිබඳ ප්‍රශ්න කළ විට "එය ඇසිය යුත්තේ ඔබේ මිත්‍ර මැන්ඩෙලාගෙන්" යයි එම අමාත්‍යවරයා පැවසූ බවත් මුගාබේ කියා සිටියේය​.

අද වනවිටත් දකුණු අප්‍රිකාවේ ඉඩම්, කර්මාන්ත සහ සමාගම් පාලනය කරන්නේ සිදු ජාතිකයන් බවත් කලු ජාතිකයන් සිය ආර්ථික විමුක්තිය සොයාගෙන නොමැති බවත් මුගාබේ ප්‍රකාශ කළේය​.

1980 සිට සිම්බාබ්වේ රට පාලනය කරන මුගාබේ 93 වන වියේ පසුවෙයි. ඔහුගේ පාලනය යටතේ ද විශේෂයෙන්ම විශාල ගොවිපලවල් සහ ආර්ථිකයේ වැදගත් අංශ සුදු ජාතිකයන් අත පැවති අතර 2001 දී ඔහු සිය පාක්ෂිකයන්ට (විශේෂයෙන්ම නිදහස් සටනේ සටන් වැදුණ සෙබලුන්ට​) සුදු ජාතිකයන් සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගැනීමට ඉඩ දුන්නේ ය​.

සිම්බාබ්වේ රාජ්‍යය අද වනවිට අහස උසට නැගි උද්ධමනයෙන් පීඩා විඳින රටකි.

Pic: Mugabe on his 90th Birthday Celebrations (AP)

Friday, August 4, 2017

මට නෛතික​ බලය තිබ්බා නම් කල් ගියපු ආයතනවල ඡන්දෙ තියලා සමහරක ඊළඟ ධූර කාළයත් ඉවරයි - මහින්ද දේශප්‍රිය

ප්‍රවීණ මාධ්‍යවේදී කේ.ඩබ්. ජනරංජන මෙහෙයවූ 2017 අගෝස්තු 4 උදෑසන ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ සුභාරතී වැඩසටහනේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැක්වූ අදහස් සමහරක්



* ඡන්ද කල් යන්නෙ 2013 සිට​ (මඩකලපු දිස්ත්‍රික්කයෙ ආයතන 9 ක​)
2012 අංක 22 දරන පනත සම්මත වූ පසු සීමා නිර්ණය කරනකල් ඡන්ද තියන්න විදියක් නෑ
පනතෙ තාක්ෂණික ගැටලුත් තිබ්බා

* 2016 අංක 1 දරන පනත අනුව කාන්තා නියෝජනය වැඩි කළා
ඒකෙන් සභික සංඛ්‍යාවල් ආයෙ වෙනස් කළා. දැන් සභික සංඛ්‍යාව නිශ්චිත කිරීම තාම වෙලා නෑ.
ඒක ගැසට් නිවේදනයකින් ඔක්. 1 වනදා වනතෙක් කල් දමා තිබෙනවා
සභික සංඛ්‍යාව නොදැන ඡන්දය තියන්න බැරි තත්ත්වයක ඉන්නව​. මේ අතරෙ නඩුත් තිබෙනවා මේ පිළිබඳව​.
නීති හදන්න මැතිවරණ කොමිසමට බැහැ

* මට බලය තිබ්බා නම් 2013 කල් ගියපු පළාත් පාලන ආයතනවල (මඩකලපු දිස්ත්‍රික්කයෙ) ඡන්දෙ තියල දැන් ඒවයෙ ඊළඟ නිල කාළයත් ඉවරයි.
මට ඒකට නෛතික​ බලය නැහැ.

* ඡන්ද කල් යෑම පිළිබඳ​, නිලධාරියෙක් විදියට නෙවෙයි, සාමාන්‍ය පුරවැසියෙකු විදියට පවා මට කළකිරීම තියෙනව​

* ඡන්දෙ කල් යෑම පිළිබඳ ජනතාව චෝදනා කළ යුතු අයට චෝදනා කරන්නෙ නැහැ.
කාළයක තිස්සේ මේ පිළිබඳ වග කිව යුතුව තිබූ සියලු දේශපාලකයන් මීට වගකිව යුතුයි
නමුත් ජනතාව කරන්නෙ ෆේස්බුක් එකේ මටයි කොමිසමටයි බනින එක​
නියම වැරැදිකරුවන්ට නෙවෙයි ඔවුන් බනින්නෙ.
මේ පිළිබඳ ජනතාව දැනුවත් විය යුතුයි

* ඡන්දය කල් දාන්න හේතු ඕන තරම් හොයන්න පුලුවන්
සීමා නීර්ණය​, සභික සංඛ්‍යාව​, කාන්තා නියෝජනය ආදිය ගැන දේ...
නමුත් මේක ජනතා පරමාධිපත්‍යයට බාධාවක් කියන එක මැතිවරණ දෙපාර්තමේන්තුවත් කිව්වා, කොමිසමත් කියනවා, මහින්ද දේශප්‍රියත් කියනවා

* ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුලත් වීමේ සීඝ්‍රතාව අඩු වෙලා තියෙනව​
තරුණයො අතර දේශපාලනය ගැන උනන්දුව අඩු වෙලා තියෙනව​

පළාත් සභා ඡන්ද විමසීම කල් දැමීම

පළාත් සභා ඡන්ද විමසීම කල් දැමීමට සූදානමක් තියෙනව කියල චෝදනාවක් අපට අසන්න ලැබී තිබෙනව​.
නමුත් අපට පෙනෙන විදියට, ආණ්ඩුක්‍රම​ ව්‍යවස්ථාවෙ හැටියට පළාත් සභාවක කාලය දිගු කරන්න බෑ. එහෙම කරනවා නම්, ජනමත විචාරණයක් අවශ්‍යයි. ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවලදි තීරණය කර තිබෙනව එය ජනතා පරමාධිපත්‍යයේ කොටසක් කියල​.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද​?

සරලව කිව්වොත් කතා කරල තීරණය කිරීම​

බලන්න​, ළමයි කණ්ඩායමක් ක්‍රීඩා කරනව නම් කතා කරල නෙ තීරණය කරන්නෙ අද සෙල්ලම් කරන ක්‍රීඩාව මොකක්ද කියල​.
ළමයි ටික දෙනෙක් ක්‍රිකට් ගහනවා නම් කතා වෙලා නෙ කැප්ටන් තෝරගන්නෙ

ජනතා නියෝජනය පත් කරන්නෙ ඒකට​. ඒක වෙන්නෙ නැත්නම් කෝ ප්‍රජාතන්ත්‍රවාදය​?
නිලධාරීන් විසින් පාලනය කරනව කියන්නෙ විධායකය විසින් පාලනය කරන එක​.

ඒක හරියට පන්තියෙ මොනිටර් විදියට ටීචර්ගෙ පුතා පත් කරනවා වගේ

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් එන්න ඕන නීති

අතුරු මැතිවරණ ඇතුලත් කළ යුතුයි
අපි කොට්ඨාස ක්‍රමයක් ඇති කරනව​. ඒත් කෝ අතුරු මැතිවරණ​? මොන විහිලුවක් ද​?
ඡන්ද පෙස්සම් ක්‍රමය එන්න ඕන​. අතුරු මැතිවරණ එන්න ඕන​.

ඡන්දයේදී අපේක්ෂකයො වියදම් වාර්තා දෙන්න අවශ්‍යයි.
ඒක ව්‍යවස්ථාවට එන්න ඕන​

මේවා නැත්නම් මොන කොමිසන් සභාව තිබ්බත් වැඩක් නැහැ

ඡන්ද කල් දානවා නම් ජනමත විචාරණයක් තියන්න​ ඕන කියන එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එන්න ඕන​

Friday, March 24, 2017

සෝවියට් දේශයේ මිනිසත්කම

ඊයේ දින මහවැලි කේන්ද්‍ර්‍රයේ පැවති රවී සිරිවර්ධනගේ "ඉවුරු දෑලට එන්න" ගේය සරණිය එළි දැක්වීමේ උළෙලේ දී ප්‍රවීණ කිවි රත්න ශ්‍රී විජේසිංහයෝ වටිනා කතාවක් ගෙන හැර දැක්වූ හ. ඒ පැරණි සෝවියට් දේශයට අද අත්ව ඇති ඉරණම පිළිබඳව ය.

ඔහු ගෙනහැර දැක්වූ කතා නායිකාව 2015 මාර්තු 2 වන දා මොස්කව් නුවර සුවිසල් සුපිරි වෙළෙඳ සංකීර්ණයකින් භාණ්ඩ කිහිපයක් මිලට ගත් අවුරුදු 83 ක මාතාවකි. ඇය එම භාණ්ඩ අතර බටර් කෑලි තුනක් සොරෙන් ගෙන යාමට තැත් කිරීමේදී හසු වීමෙන් පසු පොලිසියට භාර දෙනු ලබන අතර එහිදී හෘදයාබාදයකින් මරුමුවට පත් වූවාය.

ඉනික්බිති විජේසිංහයන් අප ගෙන ගියේ 1940 දශකයේ මුල් කාළයේ ලෙනින්ග්‍රාඩය වෙතය. නට්සි හමුදා ලෙනින්ග්‍රාඩය වටලද්දී සිවිල් ජනතාව බේරා ගනු පිණිස පසු බැස යා යුතු බව එවක නගරය​ ආරක්ෂා කිරීම භාරව හුන් මාර්ෂල් සුකොව් නිර්දේශ කළ බව විජේසිංහයන් කියා සිටියේය.

ලොව සියලු යහපත් දේ උපදින්නේ හිරු එළියෙන් හා මවගේ කිරිවලින් බව අපට ඉගැන්වූ ඒ මහා දේශය, මිනිස් ජීවිතවල වටිනාකමට එතරම් තැනක් දුන් ඒ දේශය, අද බටර් කැබලි තුනක් නිසා මවක මිය යන තත්ත්වයට පත්ව ඇති බව විජේසිංහයෝ පැහැදිලි කළෝය.

ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. සුකොව් ලෙනින්ග්‍රාඩය අතැර ගොස් සිවිල් වැසියන් බේරාගත යුතු යයි කියා සිටියේදැයි මම නොදනිමි. නමුත් සිවිල් වැසියන් බේරා ගැනීම පමා වීමට එවක සෝවියට් නායක ස්ටාලින්ගේ ප්‍රතිපත්ති හේතු වූ බව ප්‍රකටය. ලෙනින්ග්‍රාඩය සෝවියට් විප්ලවයේ තිඹිරිගෙය විය. එනුවර අල්ලා ගැනීමට සතුරන්ට ඉඩ දීමේ කිසිදු අදහසක් සෝවියට් නායකත්වයට නොතිබූ බව ප්‍රකට කරුණකි. එහෙයින් සුකොව් අර වැනි නිර්දේශයක් කළේ වුවද එය ක්‍රියාවට නම් නොනැගෙන්නේ ය. එය ඔහු වුවද දැන සිටි බව පැහැදිලිය.

අනෙක් අතට, තම බල ලෝභය හේතුවෙන් ස්ටාලින් විසින් ඔක්තෝබර විප්ලවයට නායකත්වය දුන් පක්ෂ සාමාජිකයන්ගෙන් පටන් ගෙන දස ලක්ෂ ගණනක් පක්ෂ සාමාජිකයන් ඇතුලු මිනිසුන් මරා දැමූ අයුරු ප්‍රකට කරුණකි. මිනිස් ජීවිතවලට ස්ටාලින් වටිනාකම දුන්නේ ඒ අයුරිනි. ස්ටාලින්වාදී සෝවියට් දේශයේ වටිනාකමක් තිබුණා නම් ඒ එක් ජීවිතයකට පමණි. ඒ ස්ටාලින්ගේ ය.



ස්ටාලින් මිය ගියා වුවද සෝවියට් ක්‍රමයේ ප්‍රජා පීඩකත්වය සාපේක්ෂව අඩු වුණා මිස මුලිනුපුටා දැමුණේ නැත. සෝවියට් ජනතාවට වූයේ මිරිස් දී ඉඟුරු ගත්තා වැනි දෙයකි. සෝවියට් කේ.ජී.බී ඔත්තු සේවය හැකි සැම විටම තමන්ගේම ජනතාව පිළිබඳව ඔත්තු බැලීය. විරුද්ධවාදීන් සැම දෙනටම එකම අයුරින් නොසැලකූ බව සැබවි. ඇතැම් අයගෙන් පළි ගත්තේ වෘත්තියක යෙදෙන්නට අවකාශ නොදීම වැනි "අහිංසක" ක්‍රමවලිනි. සියල්ල රජයෙන් පාලනය කෙරෙන සමයක මනුස්ස ජීවිත පාලනය කිරීම කිසිදු අපහසුවකින් තොර කරුණක් විය. සෝවියට් දේශය මිනිස් ජීවිතයට දුන් වටිනාකම ඒ ආකාර විය.

නමුත් විජේසිංහයන් ගෙන හැර දැක්වූ කතාව සත්‍යයකි. සෝවියට් දේශයේ මහලු මාතාවක් කිසි දිනෙක බටර් කෑලි සුපර් මාර්කට් එකකින් පන්නා හසු වීමට ඉඩක් නොවීය. මක් නිසාද යත් සාමාන්‍ය නාගරික ජනතාව පැය ගණන් පෝලිමේ සිට භාණ්ඩ මිලට ගත් සාප්පුවල සොරකම් කිරීමට තබා මිලට ගැනීමටවත් බටර් තිබුණේ එහෙමත් වෙලාවකය.

Saturday, January 7, 2017

කුලියාපිටියේ කර්මාන්තශාලාව ෆොක්ස්වැගන් වුනත් නොවුනත්

කුලියාපිටියේ කර්මාන්තශාලාව ගැන විවිධ අදහස් පළ වූ බව දැක්කත් මට ඒ පිළිබඳ අදහස් දක්වන්නට වෙලාවක් වූයේ නැහැ.

මේ විවාදයේදි ෆොක්ස්වැගන් එකකට හිර වූ අපි තේරුම් නොගන්නා, ඒත් තේරුම් ගතයුතු කරුණක් තියෙනවා.

(ඊට කළින් කියන්න ඕන​, ෆොක්ස්වැගන් කොම්පැණියට කෙල වී ඇති විටෙක​, මේ ආකාරයෙන් හෝ මේ කර්මාන්තශාලාව හැදෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන​. අනික් අතට රජයේ සන්නිවේදන හැකියාවන් තියෙන්නෙ ගල් යුගය ආසන්නයේ කියන එකත් කියන්න ඕන​)

දැන් මගේ අදහස කරා එමු. වාහන එකලස් කිරීමේ කර්මාන්තයක් ලංකාවේ හැදෙන එක ගැන මම සතුටුයි. කොහෙන් හරි කබල් කෑලි ටිකක් ගෙනල්ලා මොකක් හෝ අටවලා ෆැක්ටරි එකක් කියලා නම් කරාවි කියන මහින්ද රාජපක්ෂ සිදු කළ ප්‍රකාශය එක්ක මම එකඟ නැහැ. පරණ සෝවියට් දේශයේ නම් එහෙම දෙයක් කරන්න පුලුවන්. මොකද එතන වෙළඳපල ආර්ථිකයක්, තරඟකාරීත්වයක් තිබ්බේ නැහැ. පරණ සෝවියට් දේශයේ රජයේ කම්හල්වලින් එන කසි කබල් බඩු මිනිස්සු අකැමැති වුනත් ගන්න ඕන​. දැන් ලෝකෙ එහෙම නෑ. මේ කම්හලෙන් එන්නෙ කබල් වාහන නම්, වැඩි කල් නොගොස් කම්පැණිය බංකොලොත් වේවි. මේක පෞද්ගලික කම්පැණියක් නිසා එහෙම වෙන්න විදියක් නෑ. අවසාන විශ්ලේෂණයෙදි උන් කරන්නෙත් බිස්නස් එකක්.

ඒ නිසා මෙහෙම හෝ මේක පටන් ගැනීම ගැන මම සතුටුයි. රජයේ සන්නිවේදනය ගැන ඉතින් අපි කතා නොකර ඉමු. මොකද ඒක නම් අන්තිමයි.