Monday, September 4, 2017

මුගාබේ මැන්ඩෙලා විවේචනය කරයි

පසුගියදා පැවති පාලක සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රස්-දේශප්‍රේමී පෙරමුණ (ZANU-PF) පක්ෂයේ රැළියක් ඇමතූ සිම්බාබ්වේ ජනාධිපති රොබර්ට් මුගාබේ, හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා නිර්දය ලෙස විවේචනය කළේය​.

මැන්ඩෙලා තම ජනතාවගේ ආර්ථික නිදහස වෙනුවට තම පුද්ගලික නිදහස අගය කළ බවත් එහෙයින් අදටත් දකුණු අප්‍රිකාවේ ආර්ථිකය සුදු ජාතිකයන් අත පවතින බවත් මුගාබේ කියා සිටියේය​.

ග්වේරු නගරයේ පසුගිය සිකුරාදා (සැප්. 1) පැවති ZANU-PF පක්ෂ රැළියක් අමතා ෂෝනා බසින් කළ කතාවකදී මෙම අදහස් පළ කළ මුගාබේ තවදුරටත් කියා සිටියේ නිදහස ලද පසු මැන්ඩෙලාට ඔහු සිරගත වූ හේතුව අමතක වූ බවයි.



ඔහු එල්ල කරන බරපතලම චෝදනාව නම් දකුණු අප්‍රිකානු රජයේ ඇතැම් අමාත්‍යවරුන් ද ඔහු හා එකඟ වන බවයි.

මෑතකදී ඔහු දකුණු අප්‍රිකාවට සංචාරය කළ අවස්ථාවකදී එරට අමාත්‍යවරයකු හා සාකච්ඡා කළ බවත් එරට ආර්ථිකය සුදු ජාතිකයන් අත පැවතීම පිළිබඳ ප්‍රශ්න කළ විට "එය ඇසිය යුත්තේ ඔබේ මිත්‍ර මැන්ඩෙලාගෙන්" යයි එම අමාත්‍යවරයා පැවසූ බවත් මුගාබේ කියා සිටියේය​.

අද වනවිටත් දකුණු අප්‍රිකාවේ ඉඩම්, කර්මාන්ත සහ සමාගම් පාලනය කරන්නේ සිදු ජාතිකයන් බවත් කලු ජාතිකයන් සිය ආර්ථික විමුක්තිය සොයාගෙන නොමැති බවත් මුගාබේ ප්‍රකාශ කළේය​.

1980 සිට සිම්බාබ්වේ රට පාලනය කරන මුගාබේ 93 වන වියේ පසුවෙයි. ඔහුගේ පාලනය යටතේ ද විශේෂයෙන්ම විශාල ගොවිපලවල් සහ ආර්ථිකයේ වැදගත් අංශ සුදු ජාතිකයන් අත පැවති අතර 2001 දී ඔහු සිය පාක්ෂිකයන්ට (විශේෂයෙන්ම නිදහස් සටනේ සටන් වැදුණ සෙබලුන්ට​) සුදු ජාතිකයන් සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගැනීමට ඉඩ දුන්නේ ය​.

සිම්බාබ්වේ රාජ්‍යය අද වනවිට අහස උසට නැගි උද්ධමනයෙන් පීඩා විඳින රටකි.

Pic: Mugabe on his 90th Birthday Celebrations (AP)

1 comment:

  1. ව්‍යාජ දේශප්‍රේමිත්වයෙන් අන්ධ වුවෝ...!

    ReplyDelete