Friday, March 24, 2017

සෝවියට් දේශයේ මිනිසත්කම

ඊයේ දින මහවැලි කේන්ද්‍ර්‍රයේ පැවති රවී සිරිවර්ධනගේ "ඉවුරු දෑලට එන්න" ගේය සරණිය එළි දැක්වීමේ උළෙලේ දී ප්‍රවීණ කිවි රත්න ශ්‍රී විජේසිංහයෝ වටිනා කතාවක් ගෙන හැර දැක්වූ හ. ඒ පැරණි සෝවියට් දේශයට අද අත්ව ඇති ඉරණම පිළිබඳව ය.

ඔහු ගෙනහැර දැක්වූ කතා නායිකාව 2015 මාර්තු 2 වන දා මොස්කව් නුවර සුවිසල් සුපිරි වෙළෙඳ සංකීර්ණයකින් භාණ්ඩ කිහිපයක් මිලට ගත් අවුරුදු 83 ක මාතාවකි. ඇය එම භාණ්ඩ අතර බටර් කෑලි තුනක් සොරෙන් ගෙන යාමට තැත් කිරීමේදී හසු වීමෙන් පසු පොලිසියට භාර දෙනු ලබන අතර එහිදී හෘදයාබාදයකින් මරුමුවට පත් වූවාය.

ඉනික්බිති විජේසිංහයන් අප ගෙන ගියේ 1940 දශකයේ මුල් කාළයේ ලෙනින්ග්‍රාඩය වෙතය. නට්සි හමුදා ලෙනින්ග්‍රාඩය වටලද්දී සිවිල් ජනතාව බේරා ගනු පිණිස පසු බැස යා යුතු බව එවක නගරය​ ආරක්ෂා කිරීම භාරව හුන් මාර්ෂල් සුකොව් නිර්දේශ කළ බව විජේසිංහයන් කියා සිටියේය.

ලොව සියලු යහපත් දේ උපදින්නේ හිරු එළියෙන් හා මවගේ කිරිවලින් බව අපට ඉගැන්වූ ඒ මහා දේශය, මිනිස් ජීවිතවල වටිනාකමට එතරම් තැනක් දුන් ඒ දේශය, අද බටර් කැබලි තුනක් නිසා මවක මිය යන තත්ත්වයට පත්ව ඇති බව විජේසිංහයෝ පැහැදිලි කළෝය.

ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. සුකොව් ලෙනින්ග්‍රාඩය අතැර ගොස් සිවිල් වැසියන් බේරාගත යුතු යයි කියා සිටියේදැයි මම නොදනිමි. නමුත් සිවිල් වැසියන් බේරා ගැනීම පමා වීමට එවක සෝවියට් නායක ස්ටාලින්ගේ ප්‍රතිපත්ති හේතු වූ බව ප්‍රකටය. ලෙනින්ග්‍රාඩය සෝවියට් විප්ලවයේ තිඹිරිගෙය විය. එනුවර අල්ලා ගැනීමට සතුරන්ට ඉඩ දීමේ කිසිදු අදහසක් සෝවියට් නායකත්වයට නොතිබූ බව ප්‍රකට කරුණකි. එහෙයින් සුකොව් අර වැනි නිර්දේශයක් කළේ වුවද එය ක්‍රියාවට නම් නොනැගෙන්නේ ය. එය ඔහු වුවද දැන සිටි බව පැහැදිලිය.

අනෙක් අතට, තම බල ලෝභය හේතුවෙන් ස්ටාලින් විසින් ඔක්තෝබර විප්ලවයට නායකත්වය දුන් පක්ෂ සාමාජිකයන්ගෙන් පටන් ගෙන දස ලක්ෂ ගණනක් පක්ෂ සාමාජිකයන් ඇතුලු මිනිසුන් මරා දැමූ අයුරු ප්‍රකට කරුණකි. මිනිස් ජීවිතවලට ස්ටාලින් වටිනාකම දුන්නේ ඒ අයුරිනි. ස්ටාලින්වාදී සෝවියට් දේශයේ වටිනාකමක් තිබුණා නම් ඒ එක් ජීවිතයකට පමණි. ඒ ස්ටාලින්ගේ ය.



ස්ටාලින් මිය ගියා වුවද සෝවියට් ක්‍රමයේ ප්‍රජා පීඩකත්වය සාපේක්ෂව අඩු වුණා මිස මුලිනුපුටා දැමුණේ නැත. සෝවියට් ජනතාවට වූයේ මිරිස් දී ඉඟුරු ගත්තා වැනි දෙයකි. සෝවියට් කේ.ජී.බී ඔත්තු සේවය හැකි සැම විටම තමන්ගේම ජනතාව පිළිබඳව ඔත්තු බැලීය. විරුද්ධවාදීන් සැම දෙනටම එකම අයුරින් නොසැලකූ බව සැබවි. ඇතැම් අයගෙන් පළි ගත්තේ වෘත්තියක යෙදෙන්නට අවකාශ නොදීම වැනි "අහිංසක" ක්‍රමවලිනි. සියල්ල රජයෙන් පාලනය කෙරෙන සමයක මනුස්ස ජීවිත පාලනය කිරීම කිසිදු අපහසුවකින් තොර කරුණක් විය. සෝවියට් දේශය මිනිස් ජීවිතයට දුන් වටිනාකම ඒ ආකාර විය.

නමුත් විජේසිංහයන් ගෙන හැර දැක්වූ කතාව සත්‍යයකි. සෝවියට් දේශයේ මහලු මාතාවක් කිසි දිනෙක බටර් කෑලි සුපර් මාර්කට් එකකින් පන්නා හසු වීමට ඉඩක් නොවීය. මක් නිසාද යත් සාමාන්‍ය නාගරික ජනතාව පැය ගණන් පෝලිමේ සිට භාණ්ඩ මිලට ගත් සාප්පුවල සොරකම් කිරීමට තබා මිලට ගැනීමටවත් බටර් තිබුණේ එහෙමත් වෙලාවකය.

5 comments:

  1. දැන් ඉතින් බ්ලොග් එකෙන් හමු වන්නේ ඉඳහිටනේ...:)

    සෝවියට් ක්‍රමය නුතන ලෝකයට ගැලපෙන්නේ නැති බව දැනගෙනත් සමහරු තවම සෝවියට් ක්‍රමය වන්දනා කරන එක එක විදියක විහිළුවක්.කොහොම වුනත් ස්ටාලින් ප්‍රජා පීඩකයෙක් නෙමේයිනේද දැන් රුසියාවේ සුක්කානම පදවන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්ටාලින් වගෙ එකෙක් ආයෙ එන්නෙ නෑ :P

      Delete
  2. කියපු දෙයක් හා කරපු දෙයක් නේ සංසන්දනය කරලා තියෙන්නේ...

    ReplyDelete
  3. දුර්වල සන්සන්දනයක්..............

    අදටත් ඵම රටේ ජනගහනයෙන් අති බහුතරයක් සෝවියට් දේශයේ බිදවැටීම ගැන පසුතැවිලි වෙති...............
    මෑතක පැවති සමීක්ශනයෙනුත් ඵය තහවුරු වුනා............
    ප්‍රතිපල තියනවා අන්තර්ජාලයේ........සර්ච් කරලා හොයාගන්න පුලුවන්.............

    ඔය බටර් කතා ඇමරිකන් ජෝක්ස් පමනයි............
    ඇමරිකාවේ පසුගිය ආර්තික අර්බුද සමය තුල සියදිවි නසාගත් සන්ඛයාව කොපමනද?

    කිසිම ක්‍රමයක් සර්ව සම්පූර්ණ නැත................
    නමුත් මිනී මස් විකුනන වෙලදපල දනවාදයට වඩා සෝවියට් ක්‍රමය වඩා මානුශවාදී බව මාගේ හැගීමය..............

    රුසියාවේ බහුතරයක් දැන් සෝවියට් දේශය බිදවැටීම ගැන දුක්වන්නේ ඵ් නිසාය..........තියනකොට අගේ නැත........අගය වැටහෙන්නේ කෙලවුනාට පසුය.........

    ReplyDelete
  4. Anonymous, yaluwa soviet union 1 binda watima nisa minissu kanagatu wenwa kiyna 1ta hethu monawada thiyenne?

    ReplyDelete