යුරෝපා සිතියමේ චෙකොස්ලොවාකියාවේ පිහිටීම පවා එය නැගනහිර යුරෝපා රටකට වඩා බටහිර යුරෝපා රටකට සමානකම් පෙන්වන බවට සංකේතයක් මෙන් විය. මන්ද, එරට නැගෙනහිර යුරෝපයේ සිට බටහිර යුරෝපයට නැඹුරු වී මෙන් පිහිටි හෙයිනි. නමුත් 1945 වසරේ එරට ජර්මන් පාලනයෙන් ගලවා ගත්තේ සෝවියට් රතු හමුදාවයි. රතු හමුදා ප්‍රාග් අගනුවරට ඇතුළු වූයේ මැයි 9 වනදා, එනම් ජර්මනිය යටත් වී දින දෙකකිනි. ඊට පෙර ඇමරිකානු හමුදාවලට ප්‍රාග් වෙත පැමිණීමේ හැකියාව තිබුණද, සෝවියට් දේශය සමඟ ඇති කරගෙන තිබූ එකඟතාවය අනුව ඔව්හු එසේ නොකළහ. කෙසේ වුවද, මින් සිදු වූයේ, චෙකොස්ලොවාකියාව නිදහස් කරගැනීමේ ගෞරවය හිමි වියයුතු වන්නේ තමන්ට බව සෝවියට් දේශයට ප්‍රකාශ කළහැකි වීමයි.
දෙවන ලෝක යුද්ධයට පෙර සහ පසු චෙකොස්ලොවාකියාව, Wikimedia Commons.
ලෝක යුද්ධ අතරමැදි සමය (1918-1939) මුළුල්ලේම පාහේ (1939 මාර්තුවේ ජර්මනිය විසින් අල්ලා ගන්නා තුරු) ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ආරක්ෂා කරගත් එකම නැගෙනහිර හෝ මධ්‍යම හෝ යුරෝපා රාජ්‍යය වූයේ චෙකොස්ලොවාකියාව ය. 1921 බිහිවූ චෙකොස්ලොවාකියාවේ කොමියුනිස්ට් පක්ෂය (Komunistická strana Československa, KSČ) එරටෙහි වැදගත් දේශපාලන බලවේගයක් විය. 1925 මහ මැතිවරණයේදී සියයට 13.2 ක් ඡන්ද ලැබූ පක්ෂය 1929 සහ 1935 මැතිවරණවලදී සියයට 10 යාන්තමින් ඉක්මවා ගියේය. 1938 දී පක්ෂය තහනම් කරන ලදී.
දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු කොමියුනිස්ට් පක්ෂය කෙදිනකටත් වඩා ජනප්‍රිය වූයේය. යුධ සමයෙහි දිගටම නාසි විරෝධී සටනට දායක වීම, චෙකොස්ලොවාකියාවේ විමුක්ති දායකයන් වූ සෝවියට් දේශය කෙරෙහි වූ ජනතා ප්‍රසාදය, අනෙක් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි කරුණු මීට හේතු විය. කොමියුනිස්ට් නායක ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් වරෙක ප්‍රකාශ කලේ "වාසිදායක තත්ත්වයක් පැවතුනද අපේ ඊළඟ අරමුණ සෝවියට් ක්‍රමය හෝ සමාජවාදය හෝ නොව පූර්ණ ජාතික විප්ලවයක් ක්‍රියාත්මක කිරීමයි" යනුවෙනි.
1946 මැයි 28 වනදා පවතී මහ මැතිවරණයෙන් කොමියුනිස්ට් පක්ෂය සියයට 30 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ආසන 300 න් 93 ක් දිනාගත්තේය. මෙය නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් පක්ෂයක් නිදහස් මැතිවරණයකදී ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයය. එමෙන්ම, මෙම මැතිවරණයේදී දෙවන තැන ලබාගත් චෙකොස්ලෝවැක් ජාතික සමාජවාදී පක්ෂය ලැබුවේ ආසන 55 ක් පමණි. මේ අනුව කොමියුනිස්ට් පක්ෂය නැතිව ආණ්ඩුවක් පිහිටුවීම කල නොහැක්කක් බවට පත් වී තිබිණ. එහෙයින් මැතිවරණයෙන් පසු ජනාධිපති එඩ්වාර්ඩ් බෙනෙෂ් විසින් ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් අගමැති ධූරයට පත් කරන ලදී. කැබිනට් අමාත්‍යවරුන්ගෙන් බහුතරය, එනම් 26 දෙනෙකුගෙන් 17 දෙනකුම කොමියුනිස්ට්වාදීන් නොවීය. නමුත් 1933 දී හිට්ලර් කල පරිද්දෙන් අගමැති ධූරය සහ වැදගත් ඇමති ධූර කිහිපයක්ම කොමියුනිස්ට්වාදීන් විසින් තම පාක්ෂිකයන් වෙත ලබා ගන්නා ලදී. මේ අනුව යුධ හමුදාව සහ පොලිසියද, ජනමාධ්‍යද, අධ්‍යාපනය සහ සමාජ සේවා කටයුතුද, කෘෂිකර්මාන්තයද පැවතියේ කොමියුනිස්ට් ඇමතිවරුන් යටතේය. එහෙයින් රාජ්‍ය ආරක්ෂාව සහ සිවිල් සේවය සම්පූර්ණයෙන්ම පාහේ කොමියුනිස්ට්වාදීන්ගේ පාලනයට යටත් විය.
චෙකොස්ලොවාකියාවේ හිටපු ජනාධිපති එඩ්වාර්ඩ් බෙනෙෂ්, Wikimedia Commons.
කෙසේ නමුත් පොලිසිය යොදා ගනිමින් විරුද්ධවාදීන්ට පීඩා කිරීමත්, වැටුප් වැඩි නොකර වැඩිපුර වැඩ කිරීමට ජනතාවට බල කිරීමත්, සමූහ ගොවිපල ක්‍රමය හඳුන්වා දීමට අදහස් පල වීමත් යනාදී කරුණු හේතුවෙන් කෙටි කලක් තුලදී කොමියුනිස්ට් පක්ෂය ජනප්‍රියත්වයෙන් පහල ගියේය. 1948 මැයි මාසයේ පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය ඔවුනට අන්ත පරාජයක් අත්කර දෙනු ඇතැයි යන්න සාමාන්‍ය විශ්වාසය විය. නමුත් ඊට ප්‍රථම රාජ්‍ය බලය අල්ලා ගැනීම කොමියුනිස්ට්වාදීන්ගේ අපේක්ෂාව විය.
1947 අවසානය වනවිට ආණ්ඩුව තුල ගැටුම් මතු වෙමින් තිබුනද, එය උත්සන්න වූයේ 1948 පෙබරවාරි මුලය. කොමියුනිස්ට්වාදියකු වූ අභ්‍යන්තර කටයුතු ඇමති වක්ලාව් නෝසෙක් කොමියුනිස්ට්වාදීන් නොවූ ඉහල පෙලේ පොලිස් නිලධාරීන් පිරිසක් සේවයෙන් ඉවත් කළ අතර එමගින් ඔහු සිය බලය අතික්‍රමණය කල බවට කොමියුනිස්ට් නොවන කැබිනට් ඇමතිවරු චෝදනා එල්ල කළහ. මෙහිදී ඇතිවූ මත ගැටුම අතරවාරයේ කැබිනට් මණ්ඩලයේ බහුතරයක් විසින් එම නිලධාරීන් නැවත සේවයේ පිහිටුවිය යුතු බවට නිර්දේශ කල අතර නෝසෙක් එම නිර්දේශය ක්‍රියාත්මක කිරීම පැහැර හැරියේය. මේ අවස්ථාවේ කොමියුනිස්ට් නොවන ඇමතිවරුන් ජනාධිපති බෙනේෂ් වෙත ආයාචනය කලේ සිය නිර්දේශ ක්‍රියාත්මක නොකරන කොමියුනිස්ට් ඇමැතිවරුනට දඬුවම් කරන ලෙසය. පෙබරවාරි 21 වනදා කොමියුනිස්ට් නොවන ඇමතිවරු 12 දෙනෙක් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාර දුන්හ.
ජනපති බෙනෙෂ් මෙම ඉල්ලා අස්වීම් භාර නොගෙන හදිසි මැතිවරණයකට ගියේ නම් කොමියුනිස්ට් පක්ෂය පරාජය වන්නට ඉඩ තිබුණි. නමුත් මේ වනවිට රට පුරා කොමියුනිස්ට්වාදී උද්ඝෝෂණ උත්සන්න වෙමින් පැවතුන අතර රටේ දේශසීමාවට එහා පැත්තේ රතු හමුදාව ඕනෑම තත්ත්වයක් සඳහා සැදී පැහැදී සිටියේය. ප්‍රාග් නගරය කොමියුනිස්ට් මිලීෂියා භටයන්ගේ සහ පොලිසියේ පාලනයට යටත් වූ අතර කොමියුනිස්ට් විරෝධී ඇමැතිවරුනට ඔවුනගේ අමාත්‍යාංශවලට යාමට පවා නොහැකි විය. කොමියුනිස්ට් විරෝධී පෙළපාලි මර්ධනය කරන ලදී. මේ අතර ලක්ෂයක පමණ ජනකායක් අමතමින් ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් කියා සිටියේ කොමියුනිස්ට්වාදීන්ගේ බහුතරයකින් යුතු කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් නොකරන්නේ නම් මහා වැඩවර්ජනයක් අරඹන බවය. එම අවදානම භාර ගැනීමට අකමැති වූ බෙනෙෂ් පෙබරවාරි 25 වනදා කොමියුනිස්ට් විරෝධී ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීම් භාරගෙන නව ආණ්ඩුවක් පිහිටුවීමට ගොට්වාල්ඩ්ට ඇරයුම් කළේය.
අන්තර්ජාතික ශිෂ්‍ය උළෙල (බුඩාපෙස්ට්, හංගේරියාව, 1949 අගෝස්තු) අවසන් ආචාර පෙළපාලියේදී චෙකොස්ලෝවැක් නියෝජිත පිරිස ස්ටාලින්ගේ (දකුණේ) සහ ගොට්වාල්ඩ්ගේ රුව සහිත පුවරු රැගෙන යති. (German Federal Archive) Bundesarchiv, Bild 183-R90009 / CC-BY-SA. Wikimedia Commons.
නව කැබිනට් මණ්ඩලයේ කොමියුනිස්ට් නොවන ඇමතිවරුන්ද කිහිප දෙනෙක් දක්නට ලැබුණහ. ඉන් ප්‍රධාන වූයේ විදෙස් ඇමතිවරයා සහ චෙකොස්ලොවාකියාවේ පළමු ජනාධිපතිවරයාගේ පුත්‍රයා වූ යාන් මසාරික් ය. නමුත් 1948 මාර්තු 10 වනදා ඔහු සැකසහිත මරණයකට ගොදුරු විය.
1948 පෙබරවාරි චෙකොස්ලෝවැක් කුමන්ත්‍රණය ලෙස කොමියුනිස්ට් විරෝධීන් විසින් හඳුන්වනු ලබව මෙම සිදුවීම් මාලාව කොමියුනිස්ට්වාදීන් විසින් හඳුන්වා දෙන ලද්දේ "විජයග්‍රාහී පෙබරවාරිය" ලෙසය. මෙම සිදුවීම් මාලාව විසින් යුරෝපා ඉතිහාසය උඩු යටිකුරු කරන ලදී. යුරෝපය තුල කොමියුනිස්ට්වාදීන්ට යම් ප්‍රසාදයක් වී නම් එය මේ සිද්ධිය මඟින් බොහෝ දුරට යටපත් විය. මෙතෙක් කලක් එක්සත් ජර්මනියක් කෙරේ බිය වූ ප්‍රංශය සිය භීතිය පසෙක ලා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සමඟ එකතු වී රටවල් තුන විසින් පාලනය කල ජර්මන් ප්‍රදේශ එකම කලාපයක් බවට පත් කළාය. 1949 මැයි මාසයේ බටහිර ජර්මනිය බිහි වූයේ එම එකමුතුව තුලිනි. මේ අතර බටහිර යුරෝපයේ කොමියුනිස්ට් පක්ෂවල ක්‍රියාකාරකම් පාලනය කිරීමට විවිධ පියවර ගන්නා ලදී. යුද්ධයෙන් බැට කෑ යුරෝපා රටවලට ආධාර කිරීමට ඇමරිකාවෙන් ක්‍රියාත්මක කළ 'මාර්ෂල් සැලැස්ම' ඉක්මන් කරන ලදී. මේ අතර 1949 දී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය බිහි විය. නිරවි යුද්ධය වෙනමම මානයකට රැගෙන යාමට 1948 පෙබරවාරියේ චෙකොස්ලොවාකියාවේ සිදු වූ සිද්ධීන් හේතු විය.
මහත් සිත් තැවුලට සහ හුදෙකලාවට පත් එඩ්වාර්ඩ් බෙනෙෂ් 1948 ජුනි මාසයේ ජනාධිපති ධූරයෙන් ඉවත් වූ අතර සැප්තැම්බර් 3 වනදා මිය ගියේය. ඔහුගේ වයස ඒ වනවිට අවුරුදු 64 ක් පමණක් විය. ක්ලෙමන්ට් ගොට්වාල්ඩ් ජනාධිපති ධූරයට පත්ව 1953 මාර්තු 14 වනදා ඔහුගේ මරණය තෙක් එම ධූරය දැරීය. ස්ටාලින්ගේ අවමංගල්‍යය උත්සවයෙන් දින පහකට පසු ඔහු මියයන විට 57 වන විය සපුරා තිබුනේ නැත. කෙසේ වුවද 1968 දක්වාම චෙකොස්ලොවාකියාව පාලනය කලේ දැඩි කොමියුනිස්ට් නායකයන්ය. 1968 දී "ප්‍රාග් වසන්තය" නමින් හැඳින්වෙන ක්‍රියාවලිය මගින් එම පාලනයේ යම් ලිහිල් වීමක් සිදු වුවද එහි ප්‍රතිපලය වූයේ එම වසරේ අගෝස්තුවේදී සෝවියට් හමුදා එරට ආක්‍රමණය කිරීමයි. 1989 "වෙල්වට් විප්ලවය" වනතුරු යලිත් එරට දැඩි කොමියුනිස්ට් පාලනයකට යටත් විය.
නොදන්නා කරුණු රාශියක් දැනගත්තා.. ස්තුතියි..
ReplyDeleteතැනක් යූ වේවා!!!
Deleteඒක නම් ගොඩක් වටිනවා... දිගටම කරන්න ජය වේවා..!!
ReplyDeleteතැනක් යූ වේවා!!! :)
Deleteපෝස්ට් කීපයක් කියවන්න බැරි වුනා චාමර. ආයේ කියවන්නම් හවසට ඇවිත්..
ReplyDeleteපුළුවන් වෙලාවක කියවන්නකෝ!
Deleteනොදැන සිටි කරුණු ගොඩක් චාමර බොහොම ස්තූතියි..
ReplyDeleteමම අහලා තියනවා චෙකොස්ලෝවැකියාව, චෙක් සහ ස්ලෝවැක් කියන රටවල් දෙක වශයෙන් 1993 දී වෙන් වුනේ බොහොම සුහදව කියලා.. වෙන එකක් තියා එතෙක් පැවති ජාතික ගීයත් දෙකට බෙදා ගත්තලු.. එහෙම නේද ?
ඇත්තෙන්ම. 1993 ජනවාරි 1 වනදා අලුත් රටවල් දෙකක් චෙක් ජනරජය සහ ස්ලොවාකියාව කියලා බිහි වුනා. ජාතික ගීය බෙදීමේ ප්‍රශ්නයක් තිබුනේ නැහැ. මොකද ඒකෙ එක කොටසක් චෙක් භාෂාවෙනුත් අනික් කොටස ස්ලොවැක් භාෂාවෙනුත් ලියවී තිබුන නිසා.
Deleteඔබගේ චෙකොස්ලොවාකියාවට මාත් ආවා. වැදගත් තොරතුරු තිබෙනවා. එහි වර්තමානය ගැනත් පුළුවන්නම් ලියන්න.
ReplyDeleteතැනක් යූ වේවා!
Deleteඇත්තෙන්ම හොඳ අදහසක්. මෑතකදී චෙක් ජනරජයේ ජනාධිපතිවරණයත් තිබුණා.
හීන් සීරුවේ ලියන්නම්කො ඒ රටවල් ගැන. මම කවදා හරි යන්න කැමතිම රටවල් දෙකක් තමයි චෙක් ජනරජය සහ ස්ලෝවැකියාව...... ලියනවා නම් කොච්චර දේවල් තියෙනවාද ලියන්න... වෙලාව තමයි නැත්තේ. :-(
වෙල්වට් විප්ලවය පිළිබඳව ඔබ දරන මතය කුමක් ද?
Deleteමම හිතන්නේ නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රටවල් සේරම කෘත්‍රිම නිර්මාණ. ඒ බොහෝ රටවල අයට ස්ටාලින් හෝ සෝවියට් දේශය හෝ ගැන ඇල්මක් තිබුනේ නැහැ. බටහිර රටවල්වල යම් දායකත්වයක් තිබුනා තමයි. නමුත් ජනතා කැමැත්තට විරුද්ධව පැවතුන ආණ්ඩුවක් කවදා හරි වැටෙනවා නේ. ඒක තමයි එතැනදී වුනේ.
Deleteමම කාලෙකට කලින් ඉංග්‍රීසියෙන් මේ ගැන ලිව්වා. මේක බලන්න.
http://thehistoryclub-chamara.blogspot.com/2010/01/velvet-revolution.html
බර්ලින් තාප්පය ගැනත් මම ලිව්වා මේ බ්ලොග් එකේම.
http://asidisimaanaya.blogspot.com/2012/09/1989-09.html
ඒ ආටිකල් එක ඇත්තෙන්ම ඉංග්‍රීසි එකක පරිවර්තනයක්. ඉංග්‍රීසි ආටිකල් එක ජර්මන් ජාතිකයෝ කීප දෙනෙකුත් කියෙව්වා. එයාලා නැගෙනහිර ජර්මනියේ ජීවත් වෙච්ච හෝ තමන්ගේ නෑයෝ, මිත්‍රයෝ එහෙ හිටිය අය. එයාලා මට කිව්වා ඒ කාලේ ජීවිතේ ගෙවුන හැටි ගැන.
මම වෙල්වට් විප්ලවේ ආටිකල් එක සිංහලට හරවන්නම්කො. හොඳයි ඔයා මතක් කල එක.
නැගෙනහිර යුරෝපා රටවල් සෝවියට් සංගමයේ විදේශ ප්‍රතිපත්තිමය අවශයතා මත කෘතිමව ඇති කල බෆර් රාජ්‍යයන්.ඒ නිසා ඒවා විකෘති ස්වභාවයක් මුල සිටම ඉසිලුවා.ඒ වගේම ඒ රටවල් මත ආදේශ කලේ රුසියාවේ ඒ වනවිට පිරිහී ගොස් තිබුනු නිලධාරිවාදී රාජ්‍ය ක්‍රමවේදයමයි.මේක කොමියුනිස්ට්වාදය කියනවාට වඩා ස්ටාලින්වාදය කියා හදුන්වන්නට මම කැමතියි. මේ විදිහට ඉහල සිට පහලට නිලධාරිවාදී ක්‍රමයකින් සමාජවාදී ක්‍රමයක් හදන්න පුලුවන් කියා කොමියුනිස්ට් අදහස ඉදිරිපත් කල කිසිදු බැරෑරුම් චින්තකයෙක් කල්පනා කල දෙයක් නොවේ. කෙසේ වුවත් නිලධාරිවාදී අධිකාරීවාදී රාමුවක් තුල වුනත් මේ යුගය තුල මේ රටවල ක්‍රියාත්මක වූ සුබසාධනයට බර සමාජ රටාව නිසා යම් යම් ප්‍රතිලාභ ඒ සමාජ වලට හිමිවිය කියන කරුනත් මෙහිදී අමතක නොකල යුතුයි.විශේෂයෙන් අද - සෝවියට් සංගමය බිද වැටුනාට පස්සේ - පොදු වශයෙන් පැරනි යුගය ගැන එක්තරා ආකාරයක නොස්ටැල්ජියාවක් මේ සමාජ වල තිබෙනවා.ඒ යුගයේ පැවැති දේශපාලනයට නොවේ ආර්ථික රටාව තුල තිබුනු රැකියා සුරක්ෂිතතාවය නිවාස අධ්‍යාපනය වැනි කරුනු සම්බන්ධයෙන් අද ඒ රටවල ජනයා යම් අතීතකාමී හැගීමකින් අදහස් දක්වනවා.කෙසේ වුවත් ඒ රටවල පැවැති දේශපාලන අධිකාරිවාදය මොනම තත්වයක් යටතේ වත් සාධාරනීකරනය කල නොහැකියි වගේම ඒ තත්වය සැබැ සමාජවාදීන්ට කිසිසේත්ම අනුමත කල හැකි තත්වයක් ද නොවේ.
Deleteසාදරයෙන් මේ පැත්තට පිළිගන්නවා.
Deleteනැගෙනහිර යුරෝපා 'කොමියුනිස්ට්' රටවල් ගැන ඔබේ විචාරය හරි. ඕකම මමත් ලිව්වා මගේ "බර්ලින් තාප්පය බිඳ වැටීම" ගැන ලිපියේ. මේ බ්ලොග් එකේ කොහේ හරි ඇති :-) මම ලින්ක් එක එවන්නම්.
සමාජ සුභසාදනය සම්බන්ධව කතාව සහමුලින්ම ඇත්ත. නමුත් ඒ කාලේ ඒ මිනිස්සුන්ට නිදහස නැති වීමෙන් තිබුන පීඩනය ඊට වැඩිය වැඩියි. පුද්ගල නිදහස සීමා කිරීමෙන් ඇති වන පීඩනය රස්සාවක් නැතිවීම නිසා වන පීඩනයට වඩා වැඩියි මම හිතන්නේ. ධනපති ක්‍රමය තුල වුනත් යම් යම් හැකියාවන් ඇති අයට තමන්ගේම වෘත්තියක් සොයා ගැනීමට ඉඩකඩ ලැබෙනවා. නමුත් මෙවන් ස්ටාලින්වාදී ක්‍රමයක් යටතේ නිර්මාණශීලීත්වය සඳහා වැඩි වැදගත්කමක් නොතිබුණු බවයි මගේ අදහස.
කොමියුනිස්ට්වාදය ගැන කියපු කිසිම සීරියස් තින්කර් කෙනෙක් නිලධාරීවාදයක් ගැන කිව්වේ නැහැ තමයි. ස්ටාලින් කියන්නේ සීරියස් තින්කර් කෙනෙක් නෙවෙයි නේ. :-)