Tuesday, February 12, 2013

ස්ටාලින්ග්‍රාඩ් සංග්‍රාමයේ 70 වන සංවත්සරය (දෙවන කොටස)


පලවෙනි කොටස කියවලාම එන්න.

ජර්මන් හමුදාවෝ දිගින් දිගටම ස්ටාලින්ග්‍රාඩ් නගරයට පහර දෙනවිට ඊට මුහුණ දීම සඳහා සෝවියට් භටයන්ද විවිධ ක්‍රම සොයා ගත්හ. ඉන් එකක් වූයේ "වැළඳ ගැනීම" නම් උපක්‍රමයයි. සතුරාගේ වෙඩි බලයට එරෙහි උපායක් ලෙස ඔවුහු මේ ක්‍රමය භාවිතා කළහ. මෙයින් බලාපොරොත්තු වූයේ හැකි තරම් ප්‍රතිවාදියාට ළං වී සටන් කිරීමයි. එවිට ප්‍රතිවාදී කාලතුවක්කු සහ ගුවන් සේනාංකවල ප්‍රහාරවලින් බේරීමට සෝවියට් භටයන්ට හැකිවිය. මන්ද යත්, තමන්ගේ සෙබළුන්ට හානි වේ යන බියෙන් ජර්මන් සේනාංක එම ප්‍රදේශවලට බෝම්බ නොදැමූ බැවිනි.

ස්ටාලින්ග්‍රාඩ් සටනේ තවත් එක පැතිකඩක් වූයේ ස්නයිපර්කරුවන්ගේ ක්‍රියාකාරීත්වයයි. ගොඩනැගිලිවල සුන් බුන් අතර සැඟවුණු සෝවියට් සහ ජර්මන් ස්නයිපර්කරුවන්ගේ ගොදුරු බවට දෙපක්ෂයේම සිය ගණනක් සෙබළු පත් වූහ. ඇතැම් අවස්ථාවල, ස්නයිපර්කරුවන් දෙදෙනෙකු අතර ද්වන්දව සටන් පවා ඇති විය. සෝවියට් දේශයේ සුප්‍රසිද්ධම ස්නයිපර්කරුවා වූ වසීලී සයිට්සෙව් අතින් පමණක් මිය ගිය සතුරු සෙබළුන් ගණන 225 කට වැඩි මිසක් අඩු නොවේ. (විලියම් ක්‍රේග් විසින් ලියූ Enemy at the Gates: The Battle for Stalingrad නම් පොත සහ ඒ ඇසුරින් 2001 දී නිර්මාණය වූ Enemy at the Gates චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සයිට්සෙව් වෙයි).

ලිපියේ පළමු කොටසේ දැක්වූ පරිදි ජර්මන් හමුදා (6 වන ජර්මන් හමුදාව සහ 4 වන පැන්සර් හමුදාව) සිය සම්පූර්ණ අවධානය යොමු කලේ ස්ටාලින්ග්‍රාඩ් නගරයටය. එහෙයින් නගරයේ සිටි සෝවියට් භටයෝ දැඩි පීඩනයකට ලක් වූහ. නොවැම්බර් මැද වනවිට ඔවුන් අත වූයේ වොල්ගා නදී බඩ කුඩා බිම් ප්‍රදේශ දෙකක් පමණි. කෙසේ වුවත්, නගරයට පිටින් හමුදා පෙරමුණු දුර්වල තත්ත්වයක පැවති අතර ගඟෙන් එහා ඉවුරෙහි සෝවියට් හමුදා එක් රැස් වෙමින් පැවතිණ.

මෙම සෝවියට් හමුදා 1942 නොවැම්බර් 19 වනදා දියත් කළ "යුරේනස් මෙහෙයුමේ" ඉලක්කය වූයේ ස්ටාලින්ග්‍රාඩ් නගරයට පිටතින් ප්‍රදේශවල සිටි හමුදාය. නොවැම්බර් 19 වනදා, නගරයට උතුරින් සිටි 3 වන රුමේනියානු හමුදාව වෙත ජෙනරාල් නිකොලායි වටුටින් විසින් මෙහෙයවන ලද සෝවියට් හමුදා තුනක් (1 වන මුරභට හමුදාව, 5 වන යුධ ටැංකි හමුදාව සහ 21 වන හමුදාව) කඩා වැදුනහ. ඊළඟ දිනයේ ස්ටාලින්ග්‍රාඩ් නගරයට දකුණින් යුධ පෙරමුණ ආරක්ෂා කළ 4 වන රුමේනියානු හමුදාව වෙත 57 වන සහ 64 වන සෝවියට් හමුදා විසින් ප්‍රහාරයක් එල්ල කෙරිණ. මෙම රුමේනියානු හමුදා දෙකත්, අනෙක් අවශේෂ හමුදා කණ්ඩායමුත් ඔවුන් සිටි ප්‍රදේශවලින් වේගයෙන් පළවා හරින ලදී. නොවැම්බර් 23 වනදා වනවිට ස්ටාලින්ග්‍රාඩ් නගරයට නිරිතදිගින් පිහිටි කලාච් නම් නගරයේදී සෝවියට් හමුදා කණ්ඩායම් දෙක හමු වූහ. ස්ටාලින්ග්‍රාඩ් නගරයේ සිටි 6 වන ජර්මානු හමුදාව දින 4 ක් වැනි සුළු කාලයකදී වටලනු ලැබීය.

මේ වනවිට ජර්මන් ගුවන් බලය අභිබවමින් සෝවියට් ගුවන් බලය නැගී සිටීම ජර්මානුන්ගේ තත්ත්වය තවත් අපහසු කළේය. මුල් කාලයේ ස්ටාලින්ග්‍රාඩ් සටන් බිමට ඉහල අහස පාලනය කළෝ ජර්මන් ගුවන් යානා වූහ. එහෙත්, සෝවියට් ගුවන් යානා වැඩි වැඩියෙන් සටනට එක්වීමත් සමඟ ජර්මානුන්ට ඔවුන් හා තරඟ කිරීම අපහසු වන්නට විය.

මෙය කෙලින්ම බලපෑවේ වටලනු ලැබූ 6 වන හමුදාවටය. ජර්මන් ගුවන් හමුදා ප්‍රධානියා වූ හර්මන් ගෝරිං කියා සිටියේ ගුවන් මගින් එම හමුදාවට අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම කල හැකි බවය. නමුත් සතුරු ප්‍රහාර කිසිවක් නොවූවද අවශ්‍ය තරම් ආහාර පාන, අවි ආයුධ ආදිය ගුවනින් සැපයීම ප්‍රායෝගිකව කළහැක්කක් නොවීය. සෝවියට් ප්‍රහාර නිසා තත්ත්වය තවත් බැරෑරුම් වූයේය.

මේ අවස්ථාවේ හිට්ලර් නැවතත් යුධ ව්‍යාපාරය සමඟ 'පිස්සු නටන්නට' පටන් ගත්තේය. ඔහුගේ අදහස වූයේ 6 වන හමුදාව එක බිම් අඟලක්වත් පසුපසට පැමිණිය යුතු නොවන බවයි. ස්ටාලින්ග්‍රාඩ් අත හැරීමේ අදහසක් හිට්ලර්ට නොවීය. මේ අනුව ඔහුගේ අදහස වූයේ වෙනත් ජර්මන් හමුදාවක් ස්ටාලින්ග්‍රාඩ් දෙසට යවා 6 වන හමුදාව වටලෑමෙන් ගලවා ගැනීමයි. මේ අවස්ථාවේ ස්ටාලින්ග්‍රාඩ් ගලවා ගැනීමට එන හමුදාව නගරය කිට්ටුවටම පැමිණි අතර ඒ සමඟම නගරයේ සිටි හමුදාවද පහර දෙමින් පිටතට එන්නට උත්සාහ කලේ නම් එය සාර්ථක වන්නටද ඉඩ තිබිණ. නමුත් 6 වන හමුදාවට පසු බැසීමට අවසරයක් නොවූ බැවින් ඔවුනට සිදු වූයේ සහයක ජර්මානු හමුදා පැමිණෙන තෙක් බලා සිටීමටය. ජනරාල් එරික් ෆොන් මැන්ස්ටයින් විසින් නායකත්වය දුන් 'සිසිර කුණාටුව' නම් වූ මෙම ගලවාගැනීමේ මෙහෙයුමට සහභාගී වූ ඇතැම් ජර්මන් හමුදා කණ්ඩායම් නගරයට කිලෝ මීටර 50 කටත් වඩා ආසන්නයට පැමිණියහ. කෙසේ හෝ වේවා, සෝවියට් හමුදා විසින් එම උත්සාහයද වලකන ලදී.

1943 ජනවාරිය වනවිට ස්ටාලින්ග්‍රාඩ් නගරයේ ජර්මානුන්ගේ තත්ත්වය බරපතල විය. දැඩි ශීතල නිසා වූ අපහසුව ආහාර හිඟය විසින් දෙගුණ තෙගුණ කරන ලදී. ගුවනින් සැපයුම් කටයුතු කිරීම නරක කාලගුණය සහ සෝවියට් ගුවන් ප්‍රහාර හේතුවෙන් අතිශය අපහසු ව්‍යායාමයක් බවට පත්ව තිබිණ. දිනෙන් දින සෝවියට් හමුදාවෝ නගරයේ ප්‍රදේශ එකිනෙක නැවත අල්ලා ගත්හ.

සෝවියට් සොල්දාදුවෙක් ස්ටාලින්ග්‍රාඩ් නගර මධ්‍යයේ රතු ධජය ලෙළවයි, (1943 ජනවාරි) ජෝර්ජි සෙල්මාගේ ඡායාරූපයක් (ජර්මන් ෆෙඩරල් ලේඛනාගාරය), Bundesarchiv, Bild 183-W0506-316 / Georgii Zelma / CC-BY-SA. Wikimedia Commons



හිට්ලර් මේ අවස්ථාවේ කළේ තවත් එක්තරා 'නාඩගමකි'. එනම් 6 වන හමුදාවේ අණදෙන නිලධාරී ජනරාල් ෆොන් පවුලුස් ෆීල්ඩ්මාර්ෂල් තනතුරට උසස් කිරීමයි. ජර්මන් සහ ප්‍රෂියානු ඉතිහාසයේ කිසිදු ෆීල්ඩ්මාර්ෂල්වරයකු ප්‍රතිවාදී හමුදාවකට යටත් වී තිබුනේ නැත. එහෙයින් හිට්ලර් බලාපොරොත්තු වූයේ ෆොන් පවුලුස් යටත් නොවී සියදිවි නසාගනු ඇතැයි යන්නය. කෙසේ වුවද, පසු බැසීම සඳහා තමාගේ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප වීම නිසා තම හමුදා සෙබළුන් පත්ව ඇති තත්ත්වය දුටු පවුලුස් සිටියේ දැඩි අප්‍රසාදයෙනි. එහෙයින්, තමා ෆීල්ඩ්මාර්ෂල් තනතුරට උසස් කල දිනට පසුදා, එනම් 1943 පෙබරවාරි 1 වනදා, සෝවියට් හමුදා තමාගේ මූලස්ථානය ආසන්නයටම පැමිණෙන තෙක් සිටි ඔහු ඔවුනට යටත් විය. ඊළඟ දිනයේ ස්ටාලින්ග්‍රාඩ් නගරයේ වූ අවශේෂ ජර්මන් හමුදා සේනාංකද යටත් වූහ. දෙවන ලෝක යුද්ධයේ පළමු වතාවට සමස්ථ ජර්මන් හමුදාවක් සතුරාට යටත් වී තිබිණ. ස්ටාලින්ග්‍රාඩ් නගරය සඳහා වූ මරාගැනීම මෙසේ නිමා විය.

නාසි ආණ්ඩුවට මෙම පරාජය දිරවාගැනීම ඉතා අපහසු විය. කෙසේ නමුත් මේ සා දැවැන්ත පරාජයක් ජනතාවගෙන් වසන් කිරීමේ හැකියාවක් නොවීය. මෙය නාසි ආණ්ඩුව යුධ පරාජයක් ප්‍රසිද්ධියේ පිළිගත් පළමු වතාව වූයේය. මෙම පරාජයෙන් දින කිහිපයකට පසු 1943 පෙබරවාරි 18 වනදා බර්ලින් නගරයේදී කළ සුප්‍රසිද්ධ කතාවකින් ප්‍රචාරක ඇමති ජෝසෆ් ගොබෙල්ස් "සීමාරහිත යුද්ධයක්" (Total War) දියත් කිරීම පිළිබඳ ජනතාවට කියා සිටියේය.

ෆීල්ඩ්මාර්ෂල් ෆොන් පවුලුස් (වමේ) , මේජර් ජනරාල් ආතර් ෂ්මිට් (මැද) සහ සහායක නිලධාරී විල්හෙම් ඇඩම් සෝවියට් හමුදාවනට යටත් වූ පසු. (German Federal Archive) Bundesarchiv, Bild 183-F0316-0204-005 / CC-BY-SA, Wikimedia Commons



ස්ටාලින්ග්‍රාඩ් සටනින් වැඩිම ජීවිත හානි සිදු වූයේ සෝවියට් දේශයටයි. සටනේදී මියගිය සහ තුවාල ලද සියලු සෝවියට් වැසියන් ගණන මිලියන 1.15 ක් හෙවත් ලක්ෂ එකොළහමාරක් පමණ විය. ජර්මන් හමුදාවල මියගිය, අතුරුදන් වූ, තුවාල ලද සහ අල්ලා ගන්නා ලද පිරිස ලක්ෂ අටහමාරක් පමණ විය. මේ අතර යටත් වූ ලක්ෂයකට අධික නිලධාරීන් සහ සෙබළුන්ගෙන් යළි සියරට බලා යාමට වරම් ලද්දේ 6000 ක් පමණි. මේ අතර ෆෙඩ්රිෂ් ෆොන් පවුලුස් ද විය. සෝවියට් හමුදාවලට යටත් වූ පසු හිට්ලර්ව තවත් කෝපයට පත් කරමින් සෝවියට් ගුවන්විදුලිය ඔස්සේ ප්‍රබල නාසි විරෝධී ප්‍රකාශයන් පවා ඔහු විසින් නිකුත් කෙරිණ. 1946 නියුරම්බර්ග් නඩු විභාගයේදී සාක්කි දුන් ඔහුට 1953 දී නැගෙනහිර ජර්මනියේ පදිංචි වීමට අවසර ලැබිණ. සෝවියට් හමුදාවලට යටත් වීමෙන් හරියටම වසර දාහතරකට පසු ඔහු මියගියේය.

12 comments:

  1. දෙවන ලෝක යුද්ධය කාලෙ වෙච්චි මේ වගේ වටින කතන්දර සෙට් එකක් ඉස්සරහටත් දාමු. මේ මහන්සියට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.
      එහෙමනම් තව කතා කීපයක් දාන්නම්කො... :) ඉඩ ලැබුන වෙලාවක.

      Delete
  2. දෙයියනේ මිලියන ගානක් මිය යන්න කී ලක්ෂයක් සටනට එක් වෙන්න ඇත්ද ?

    මේක කියවපුවම මට හිතුනෙ හිට්ලර් විහින්ම දෙවන ලෝක යුද්ධයේ පරාජය වැළඳගත්තු බවකුයි..

    ගුවන් බලය ගැන කියෙව්වම මතක් වුනේ, දෙවන ලෝක යුද්දෙදි ගුවන් යානාවලිනුත් මූණට මුහුණ සටන් කරපු බවක් "සැබෑ මිනිසෙකුගේ කතාවක්" පොතේදි කියෙව්වා මතකයි. හැබෑටම එහෙමද වෙලා තියෙන්නෙ.. ?

    ReplyDelete
    Replies
    1. මිලියනයකට තරමක් වැඩි ජර්මන් සහ ඔවුන්ගේ මිත්‍ර රටවල හමුදා සමඟ මිලියන දෙකහමාරක විතර සෝවියට් හමුදා. ඇත්තෙන්ම ලක්ෂ අටහමාරක් කිව්වම ඊට ජර්මන් වගේම ඔවුන්ගේ මිත්‍ර රටවල (ඒ කියන්නේ ඔක්කොම අක්ෂ බලවතුන්) හමුදාත් අයත්.

      මුහුණට මුහුණ කරන ගුවන් සටන් පලවෙනි ලෝක සංග්‍රාමයෙදිත් වුනා. නමුත් ඒක ගුවන් සටන්වල එක අංගයක් පමණයි. ප්‍රහාරක ගුවන් යානා අතර තමයි එහෙම දේවල් වුනේ. ගුවනින් බෝම්බ දැමීම කලේ බෝබ්ම දමන ගුවන්යානා විසින්. ඒවාට ලොකු වෙඩි බලයක් හෝ වේගයක් හෝ තිබුනේ නැහැ. ඒ නිසා බෝම්බ හෙලන යානාවලට ආරක්ෂාව සැපයීමත් ප්‍රහාරක යානාවල වගකීමක් වුනා.

      හිට්ලර්ම තමයි ඉල්ලාගෙන කෑවේ. ඒකට හේතුවක් තිබුනා. 1940 ප්‍රංශ ආක්‍රමණය දක්වාම, සාමාන්‍ය හමුදා නිලධාරීන්ගේ අදහස්වලට පිටින් ගියපු හිට්ලර් ඒ හැම විටකම සාර්ථක වුනා. මේ නිසා ඔහුට තමන්ගේ සාර්ථකත්වය ගැන අධිතක්සේරුවක් ඇති වුනා. නමුත් ඔහුට හැමදාම හරි ගියේ නැහැ. ඒත් ඔහු විශ්වාස කලේ තමන්ගේ නියෝග නිවැරදි බවත් හමුදා නිලධාරීන් ඒවා හරියට ක්‍රියාත්මක නොකළ බවත්...

      Delete
  3. මෙම යුද්ධ ලොව කොපමණ ආපස්සට තල්ලු කරන්න සමත් වෙන්න ඇති ද?
    මේ ලෝක යුද්ධවලින් පීඩා ලැබුවේ අදාල රටවල් පමණක් නොවේයි. කොහොම උනත් අපිට නිදහස (නාමික) ලබා ගන්නත් පුළුවන් උනා.

    ReplyDelete
    Replies
    1. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අපි වගේ රටවල්වලට නාමිකව හරි නිදහස ලබා ගන්න පුළුවන් වුනා කියන සංකල්පය මම හිතන්නේ බටහිරින්, විශේෂයෙන්ම ඇමරිකාවෙන් ආපු අදහසක්. කතන්දරේ සත්‍යතාවයක් තියෙනවා තමයි. නමුත් ඒ කියන නිදහස ඇත්තම නිදහසක්ද කියන එක ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට අපි ගියේ අපට යන්න දුන්න දුර විතරයි. ඒ විදියට බලද්දී යටත් විජිතවාදය සිය මුහුණුවර වෙනස් කළා පමණයි.

      ඇමරිකාව ගොඩක් අවස්ථාවල යටත් විජිතවාදයට එරෙහිව අදහස් දක්වාපු රටක්. මොකද ඔවුනට අවශ්‍ය වුනා ලෝකයේ බලය පතුරවන්න. එහිදී පරණ යටත් විජිතවල හාම්පුතුන්ගෙන් එයාලට ප්‍රශ්නයක් ආවා. මොකද එයාලගේ පාලනය තියෙනකල් ඇමරිකන් සමාගම්වලට ඕන ඕන විදියට මේ රටවලට එන්න බැහැ නේ. ඒ නිසා ඔවුනට ඕන වුනා පරණ යටත්විජිතවාදය දුර්වල කරන්න. ඒ එක්කම එයාලට ඕන වුනා සෝවියට් බලපෑම අඩු කරන්නත්. ඒකයි 1945 න් පස්සේ දශකයක පමණ විවිධ රටවල එයාලා විවිධ විදියේ ප්‍රතිපත්ති ගෙනගියේ.

      අනික අමතක කරන්න එපා, 1949 වෙනකල් බටහිර ජාතීන්ගෙන් නිදහස ලබා ගත්තේ ප්‍රබල ජාතිකවාදී ව්‍යාපාර පැවති ඉන්දියාව, බුරුමය සහ ඉන්දුනීසියාවත්, ලංකාව වගේ 'වාසනාවන්ත' රටවල් සොච්චමකුත් පමණයි. උදාහරණයක් විදියට අප්‍රිකා රටවලට (ඉතියෝපියාව ඇරුනම) යටත්විජිතවාදයෙන් නිදහස ලැබෙන්න පටන් ගත්තේ 1956.

      Delete
  4. හිට්ලර් ජර්මානු යුධ පෙරමුණ තුනී නොකරන්නත් ආක්ටික් ශීතල මනාව වටහාගන ඒ අනුව යුද්ධය කරන්නත් ගියානං ඔය තත්වය ඇතිවෙන්නේ නෑ. මට හිතෙන්නෙම හිට්ලර් නෑවේ හේතු දෙකක් හින්දා. එක. ඒ හිට්ලර් නොවන වෙනත් කෙනෙක් වුනු නිසා. දෙක. හිට්ලර්ගේ උපදේශක ඒ වෙද්දී හිට්ලර් සමග හිටියේ නැති නිසා. ඒ දෙකෙන් කොයි එක නිවැරදිද කියන්න මම දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. යුධ පෙරමුණ තුනී කිරීම පිළිබඳ කතාවට එකඟයි. හැබැයි සීතල ගැන නම් මෙහෙම සිද්ධියකුත් තියෙනවා නේද? හිට්ලර් හිතුවේ නැහැ තමයි සීතල නිසා ලොකු බලපෑමක් වෙයි කියලා. නමුත් හරි කාලයට බාබරෝසා මෙහෙයුම පටන් ගත්තා නම් සීතල ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින් ජර්මන් හමුදා මොස්කව්වලට ඇතුළු වෙන්න ඉඩ තිබුනා. මොස්කව් අල්ලාගනීද? නැද්ද? කියන එක වෙනම ප්‍රශ්නයක්.

      කොහොම වුනත් මිනිහට වෙච්ච ලොකුම වරද තමයි ජර්මන් හමුදා වගේම තමන්වත් අධි තක්සේරු කරන ගමන් සතුරා අවතක්සේරු කිරීම. සෝවියට් හමුදා බලය හිට්ලර් හිතාගෙන හිටියට වැඩිය ගොඩාක් විශාල වීම ලොකු පාඩුවක් වුනා. සෝවියට් හමුදාවේ හොඳ නායකයෝ හිටියා නම් ඔයිට වැඩිය කලින් හිට්ලර්ට නවතින්න වෙනවා.

      මට හිතෙන්නේ මම ඔයාගේ බ්ලොග් එකෙත් මේ ගැන කිව්වා වෙන්න ඕන. හිට්ලර් කියන්නේ කාගෙන්වත් උපදෙස් ගන්න කෙනෙක් නෙවෙයි. එහෙම ගත්තා නම් ඒ තාවකාලිකව. ඔබ මේ කියන උපදේශකයා කව්ද කියලා මට මතක නැහැ. මතක් කරලා දෙන්න පුලුවන්ද?

      බොහොම ස්තූතියි මේ පැත්තට ආවට!

      Delete
  5. ඔබේ අඩවිය දැනුම් සාගරයක් හරිම වටිනවා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. සමකය වටේ කියන්නෙත් එහෙම තැනක් නේ... :)
      නියම තැනක්.

      Delete
  6. hama athinma danuma labena niyama blog 1k..

    ReplyDelete