Monday, December 17, 2012

දේශපාලනයට පැමිණි අවුරුදු 94ක නවකයා


ජපන් මහ මැතිවරණය ඊයේ දිනයේ පැවැත්වුනා. මෙහිදී ලිබරල් ප්‍රජාතාන්ත්‍රික පක්ෂය (Liberal Democratic Party-LDP) විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. 2009 වසරේ සිට ජපානය පාලනය කල ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙහිදී පරාජයට පත් වූ අතර ඔවුනට ලැබුනේ ආසන 57ක් පමණයි. නමුත් මම අද කියන්නට බලාපොරොත්තු වන්නේ මෙම මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු පිළිබඳවයි.

රියුකිචි කවෂිමා ජීවත් වන්නේ ජපානයේ ටෝකියෝ නගරයට උතුරින් පිහිටි සයිටමා ප්‍රාන්තයේ, හන්යු කියන නගරයේ. ඔහු 1930-40 දශකවල ජපන් හමුදාවේ සේවය කල පැරණි සෙබලෙක්. මෙවර මැතිවරණයට ඔහු සයිටමා ප්‍රාන්තයේ (Saitama Prefecture) 12 වන මැතිවරණ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුනා. මීට පෙර දේශපාලනයට සම්බන්ධව නැති ඔහු මෙම මැතිවරණයට ඉදිරිපත් වන විට වයස අවුරුදු 94ක් වනවා. මැතිවරණය සඳහා ඔහු වියදම් කලේ තමන් මියගිය පසු මළගම සඳහා යොදාගැනීමට ඉතිරි කල මුදලයි. (පින්තූරය සහ විස්තර මෙතනින් බලන්න).

ජපානයේ සයිටාමා ප්‍රාන්තය. Saitama Prefecture, Wikimedia Commons



කවෂිමා ප්‍රකාශ කලේ තම රටේ අනාගතය පිලිබඳ ඇති වූ භය ඔහු මෙම පියවර ගැනීමට පෙළඹවූ බවයි. දෙවන ලෝක යුධ සමයෙහි සිය සගයින් සටන් බිමෙහි මැරී වැටෙනු සියසින් දැක ඇති හෙතෙම පවසා සිටියේ ජපානය එම යුද්ධයෙන් පරාජය වූ බවත් යලිත් යුද්ධයක් තම රටට අවශ්‍ය නැති බවත්. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායක ෂින්සෝ ආබේ සහ ජාතිකවාදී නායක ෂින්තාරෝ ඉෂිහාරා වැන්නවුන් හමුදා පිලිබඳ බොහෝ පහසුවෙන් කතා කල බවයි කවෂිමා ප්‍රකාශ කලේ.

1918 වසරේ උපත ලැබූ කවෂිමා 1945 දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු විවිධ රැකියාවල නිරත වී තිබෙනවා. වයස 94ක් වුනද තමන්ගේ ඇස් පෙනීම මෙන්ම මානසික ක්‍රියාකාරීත්වයද ඉතා යහපත් තත්ත්වයක පවතින බව ඔහු ප්‍රකාශ කරනවා. මැතිවරණය පිළිබඳව ඔහු ප්‍රකාශ කලේ තමන්ට ජයග්‍රහණය කිරීමට හැකියාවක් ඇතැයි නොසිතන නමුත් තමන්ගේ මතවාදය ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීම (යුධමය කටයුතුවලට සම්බන්ධ නොවීම පිලිබඳ වගන්තිය), න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කිරීම නැවැත්වීම සහ අධිරාජයාට දැනට වඩා දේශපාලනික වගකීමක් ලබා දීම වැනි කරුණු පිලිබඳ ඔහු මැතිවරණය සමයේදී ප්‍රකාශ කර සිටියා. නමුත් මැතිවරණ ප්‍රතිපලවලින් පෙනෙන්නේ ජපන් ජාතිකයින් වැඩි දෙනෙක් ඔහු වැන්නවුන්ගේ මතවාදයන් පිලි නොගත් බවයි.

යුද්ධයේදී මිය ගිය තම සගයින් වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කල බව විශ්වාස කරන කවෂිමා, ඒ පිලිබඳ බෙහෙවින් සතුටට පත් වෙනවා.



(එකතු කිරීම 2012 දෙසැම්බර් 21: කවෂිමා ඡන්ද 2,169ක් පමණක් ලැබූ අතර සිය මැතිවරණ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් 6 දෙනාගෙන අන්තිමයා බවට පත් විය. (The Asahi Shimbun) ජපානයේ දක්ෂිනාංශික ආණ්ඩුවක් බලයට පත් වූ අතර එරට ව්‍යවස්ථාව වෙනස් කිරීම බලයට පත් වූ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික පක්ෂයේ මූලික පොරොන්දුවක් විය. එම පක්ෂයට සිය සගයින්ද සමඟ පහල මන්ත්‍රී මණ්ඩලයේ ආසන 2/3ක් ඉක්මවූ බලයක් ලැබී තිබේ. එහෙත් කවෂිමා ප්‍රකාශ කරන්නේ ජපානයේ මෙම දක්ෂිනාංශික නැඹුරුව බොහෝ කල් නොපවතිනු ඇති බවය.)

15 comments:

  1. කවුරු දිනුවත් පැරදුනත් ජපානෙ මිනිස්සු නම් හැමදාම දිනුම්. උන්ගෙ කුහක කම නෑ. එකමුතුකම තියෙනව..

    අපෙත් ඔහොම උනා නම්................

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. ජපන් මිනිස්සු නම් බොහොම හොඳයි... පහුගිය දවස්වල ජපානය ගැන වැඩිපුර කියවපු නිසා ඒ ගැන ගොඩක් කියවන්න ලැබුනා. ඒ වුනාට අපේ අයගේ ළඟ එයාලටත් එක්කම කුහකකම් තියෙනවා නේ....

      Delete
  2. උත්සාහය වුනත් වටිනවා ඔය වයසේදී

    ReplyDelete
    Replies
    1. සිරාවට.. මොන තරම් ගටක් තියෙන්න ඕනද ඔහොම දෙයකට අත ගහන්න.

      Delete
  3. වාර්තාවක් වෙන්නත් ඇති. අවුරුදු 94 දි දේශපාලනයට පිවිසීම..! ජපානේද වැඩිම වැඩිහිටි ජනගහන ප්‍රතිශතය තියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔවු.. ජපානයේ වැඩිහිටි ජනගහනය බොහොම ඉහල ප්‍රතිශතයක් ගන්නවා. දේශපාලනයේ යෙදෙන අයත් ගොඩක් දෙනා වයසින් මුහුකුරා ගිය අය. කොහොම වුනත් මේක නම් වාර්තාවක් වෙන්න ඕන.

      Delete
  4. කලින් පෝස්ට් එක ඔබතුමා මකල දැම්මද??

    ReplyDelete
    Replies
    1. ඔව්. මට ඒ ගැන කෙනෙක්ගෙන් දෝෂාරෝපණයක් ආවා. එයා වැරදි කරපු යට සුදුහුණු ගාලා මමයි, අනික් අයයි වැරදිකාරයො වගේ කතා කළා. මම ඒක තාවකාලිකව මකලා දැම්මා.

      Delete
  5. වයස ප්‍රශ්නයක් නැහැ වගේ. ලංකාවේ වෙන්නේ ඕකේ අනිත් පැත්තේ වයසට යනකම්ම දේශපාලනයේ යෙදෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා. අපේ අය ජපනුන්ට වැඩිය බොහොම යහපත්.

      එයාලා ඉගෙන ගන්න ඕන කාලෙත් දේශපාලනේ කරනවා. කසාද බඳින්න ඕන කාලෙත් දේශපාලනේ කරනවා. ළමයි බලා කියාගන්න ඕන කාලෙත් දේශපාලනේ කරනවා. පින් දහම් කරන්න ඕන කාලෙත් දේශපාලනේ කරනවා. හැරමිටියෙන්, රෝද පුටුවෙන් යන කාලෙත් දේශපාලනේ කරනවා.

      බලන්න ජනතා සේවයට තියෙන කැපවීම.

      Delete
  6. ඇත්තටම වයස ප්‍රශ්නයක් නෙමෙයි.මොකද චීනයට විවෘත ආර්ථිකය හදුන්වා දුන් ඩෙං ශියා ඕ පෙං ට වයස අවුරුදු 74 දි නේ නායකයා උනේ.ඒත් ඉතා සාර්ථකව චී‍නයේ වර්ථමාන ජයග්‍රාහණයට ඔහු පදනම සැලසුවා.කවෂිමා ගැන නම් අහලා තිබුනේ නෑ.නියමයි.හොද තොරතුරක් දැනගත්තා

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම! ඒ වගේ උදාහරණ තව ඕන තරම්. ජපානය චීනය ආදී රටවල දේශපාලන නායකත්වය ගොඩක් වෙලාවට සාපේක්ෂව වයසයි. ජපානයේ අලුත් අගමැති ආබේ තවම අවුරුදු 58ක් වෙන නිසා ජපන් අගමැතිවරු ගැන හිතපුවහම "තරුණයෙක්"

      Delete
    2. ඔව් ඒක ඇත්ත.ප්‍රශ්නයක් අහන්නම්.මේ දැනට ලෝකයේ තරුණම නායකයා උතු කොරියාවේ කිම් ජෝන්ග් උං ද?

      Delete
    3. ඔව්. දැනට නම් කිම් ජොන්ග් උන් තමයි. ලෝකයෙන්ම රාජාණ්ඩුවක් නොවෙන රටක හිටපු රාජ්‍ය පාලකයා වුනේ හයිටි රාජ්‍යයේ ෂෝන් ක්ලෝඩ් ඩුවාලියර්. කිම් වගේම ඩුවාලියර් ජනාධිපති වුනෙත් තමන්ගේ පියාගේ මරණෙන් පස්සේ. එතකොට එයාට වයස අවුරුදු 19 යි.

      Delete
    4. ‍ෙබාහොම ස්තූතියි දැනුවත් කලාට

      Delete