Tuesday, December 4, 2012

නාලක ගුණවර්ධනගේ "සිවුමංසල කොලුගැටයා"



නාලක ගුණවර්ධන විසින් රචිත "සිවුමංසල කොලුගැටයා" පොත මට ලඟදි කියවන්නට ලැබුන වැදගත්ම සිංහල පොතක් කියල කියන්න පුළුවනි. නාලක 2011 පෙබරවාරියෙ ඉඳන් 2012 පෙබරවාරිය වෙනකල් "රාවය" පුවත්පතට ලියපු තීරු ලිපි 52කින් 44ක් මේ පොතේ අඩංගු වෙනවා. රාවය ප්‍රකාශනයක් විදියට එළිදක්වපු මේ පොත කියවපු මම නොදැන සිටි, ඒත් අනිවාර්යයෙන්ම දැනගත යුතු බොහෝ දේ දැනගත් බව කියන්න ඕන. මේ පොත කියවද්දී මට හිතුන දෙයක් තමයි "සිවුමංසල කොලුගැටයා" ලිපි පෙළ මීට වඩා සමාජය තුලට යා යුතුයි කියන එක.

නාලක ගුණවර්ධන, Nalaka Gunawardene, photo by Sasha Kralje-Dec. 2007.



නමුත් සිංහල පුවත්පත් බොහොමයක, විශේෂයෙන්ම ටිකක් පරණ, ප්‍රසිද්ධ පුවත්පත්වල, තියෙන්නේ දැඩි අධිපතිවාදයක්. එව්වට අරක් ගෙන ඉන්න ටික දෙනෙක් විසින් එම පුවත්පත් පාලනය කරනවා. අද එව්වයේ ලියන 'ලේඛකයෝ' ලියන ලිපි දිහා බැලුවම ඇති වෙන්නේ දුකක්. අද ඒ සමහර පත්තරවල වෙළෙඳ දැන්වීම් ඇරුනම ගත යුත්තක් නෑ. මීට අවුරුදු කීපයකට කලින් තිබුන 'කොලිටියවත්' දැන් ඒ පුවත්පත්වල නෑ. නිකන් කඩදාසි ගොන්නක් විතරයි. පහුගිය අවුරුදු පහ හය තුල පටන් ගත්තු ඇතැම් පුවත්පත් මීට වැඩිය ටිකක් හොඳ බවත් ඒ එක්කම මතක් කරන්න ඕන.

ඒ වගේ තත්ත්වයක් යටතේ මේ වගේ ලිපි පෙළක් සිංහල පාඨකයාට ලබා දෙන්නට "රාවය" ඔස්සේ නාලකට අවස්ථාව ලැබීම ලොකු භාග්‍යයක්. එසේම නාලක අදටත් ඒ ලිපි පෙළ ලියනවා. ඉන්ටර්නෙට් පාවිච්චි කරන අයට ඔහුගේ වෙබ් අඩවියෙන් එය කියවන්නත් පුළුවනි. නාලක එක මාධ්‍යයකට පමණක් සීමා නොවීම වාසනාවක් කියන්න පුළුවනි.

තීරු ලිපි එකතුව "සිවුමංසල කොලුගැටයා" යයි නම් කිරීම ගැන නාලක කියන්නේ මෙහෙම දෙයක්. "මට හිතෙන්නේ සංකල්පමය වශයෙන් මා ප්‍රවාහයන් හෝ මහාමාර්ග හතරක් එකිනෙක ගැටෙන මංසලක අබියස සිට ඒ දෙස බලා සිටින්නෙකු බවයි. මේ ප්‍රවාහයන් හතර නම්, විද්‍යාව, තිරසාර සංවර්ධනය, තොරතුරු තාක්ෂනය හා මාධ්‍ය සන්නිවේදනයයි." මේ ප්‍රවාහ හතරම ගැන ලොකු උනන්දුවක් ඇති, එහෙත් ඒ එකක්වත් ඔස්සේ ඕනාවට වැඩිය ගමන් කරන්න අකමැති කෙනෙක් විදියට ඔහු තමන්ව හඳුන්වා දෙනවා. ඒ වගේම, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ "අධිරාජයාගේ ඇඳුම" කතාව සිහි ගන්වන ඔහු කියන්නේ තමා ඒ කතාවේ තමන්ට පෙනුන ඇත්ත හඬගා කියූ කටහැකර කොලුගැටයා මෙන් තමා විශ්වාස කරන දේ නොපැකිලව ප්‍රකාශ කරන බවයි. එහිදී කෙනෙකුගේ සිත රිදවීම ඔහුගේ අපේක්ෂාව නොවුනත් "තොප්පිය හරි නම් දාගත්තාට" ඔහු අමනාප වන බවක් පෙනෙන්නේ නෑ.

අවුරුද්දක් තිස්සේ ලියාපු තීරු ලිපි පෙලම එකට කියවනවිට පෙනෙන දේ තමයි නාලක බොහෝ වෙලාවට ලියලා තියෙන්නේ අර කලින් කියාපු ප්‍රවාහයන් හතර ගැන බවයි. අපේ රට පිළිබඳව ලියන අතරේම පිටරටවල ඔහු දැකපු දේවල්වලින් අපිට වැඩක් ගන්න පුළුවන් කියලා ඔහු හිතන දේ ගැන ඔහු ලියා තියෙනවා. ඒ වගේම අපි කතා නොකරන නමුත් කතා කලයුතු පුද්ගලයින් ගැනත්, මාතෘකා ගැනත් නාලක කතා කරනවා.

ආතර් සී. ක්ලාක්, රේ විජේවර්ධන වැනි විද්‍යාඥයන් පිලිබඳ නාලක බොහොම ගෞරවයෙන් කතා කරනවා. ආතර් සී. ක්ලාක් මහතා නම් අපේ බොහෝ දෙනාට අමුත්තෙක් නොවෙයි. නමුත් නාලක අපි එතරම් කතා නොකරන අංශයක් ගැනත් මතක් කරනවා. එනම් ක්ලාක් මහතාගේ ලේඛන කලාවයි. විද්‍යා ලේඛකයකු ලෙස ආතර් සී. ක්ලාක් ප්‍රසිද්ධ වී ඇතත් ඔහුගේ කෘතීන්ගෙන් සිංහලට හෝ දෙමළට හෝ පරිවර්තනය වී ඇත්තේ අඩක් පමණ බව නාලක මතක් කර දෙනවා. නාලක මෙහිදී මතු කරන කරුණ සත්‍යයක් වුවද මා පෞද්ගලිකව සිතන්නේ එවැනි පොත් නිවැරදිව පරිවර්තනය කරන්නට පුළුවන් පුද්ගලයන් අඩු වීම ඊට හේතුවක් විය හැකි බවයි. කාට හෝ දී, කෙසේ හෝ පරිවර්තනය කරනවාට වඩා ඒ පොත් හරියට පරිවර්තනය කරන්නට සුදුස්සෙකුට දෙනවා නම් වටිනවා කියා මා හිතනවා.

රේ විජේවර්ධන මහතා පිළිබඳව නම් ලංකාවේ සාමාන්‍ය ජනයා අතර එතරම් කතාබහට ලක් වන බවක් පෙනෙන්නට නෑ. පොතේ පතේ දැනුමට සීමා නොවී, නිලධාරීවාදයට යට නොවී කටයුතු කරපු කෘෂි විද්‍යාඥයෙක් ලෙස ඔහු සලකන්න පුළුවනි. ඔහුගේ ජීවිත කතාව පිලිබඳ විස්තර කියවන මට නැගුන ප්‍රශ්නය තමයි අපේ විද්‍යාඥයන් කී දෙනෙක් එවැනි විශිෂ්ටයින් ආදර්ශයට ගන්නේද? කියන එක. (ආචාර්ය රේ විජේවර්ධන පිලිබඳ කියවන්න මේ වෙබ් අඩවියෙන්)

නව නිපැයුම්කරුවන් පිළිබඳව නාලක බොහොම උනන්දුවෙන් කතා කරනවා. අලුත් දෙයක් කරපු අය සම්ප්‍රදායට පිටින් ගියපු අය බව ඔහු මතක් කර දෙනවා. වැදගත් කාරණය නම් මෙය අපේ රටට පමණක් පොදු සංසිද්ධියක් නොවීමයි. මුනිදාස කුමාරතුංගයන් "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී" යයි ප්‍රකාශ කල දේ කොතරම් සත්‍යයක්ද කියලා නාලකගේ ඇතැම් ලිපි කියවන විට මට සිතුනා. අපේ රටේ කිසිදු දෙයක් නිපදවන්න බැරි බවත් අල්පෙනෙත්ත පවා පිටින් ගෙනෙන බවත් අපේම අය බොහොම "උජාරුවෙන්" කියනවා ඔබත් අහලා ඇති. නමුත් නාලක අපට මතක් කර දෙනවා අලුත් විදියට හිතන අය අපි අතරත් ඉන්නා බව. වැදගත් වෙන්නේ ඔවුන් හඳුනාගෙන ඔවුනගේ දක්ෂතාවයට අත දෙන එකයි. මේ ඇතැම් අයගේ නිර්මාණයන් මහා සංකීර්ණ දේවල් නොවෙයි. ඇතැම් නිර්මාණ සාමාන්‍ය ජනයා එදිනෙදා අත්දකින ගැටලුවලට ඉදිරිපත් කරපු බොහොම සරල විසඳුම්. මේ පිළිබඳව සඳහන් කරන්නට නාලක පාදක කරගන්නේ ඉන්දියානු විද්වතෙකු වන ආචාර්ය අනිල් කුමාර් ගුප්ත විසින් කරන ලද දේශනයක්. ඔහු ඉන්දියාවෙන් මෙන්ම ලංකාවෙන්ද මේ සඳහා උදාහරණ ගෙනහැර දක්වනවා. ලංකාවෙන් ඔහු දක්වන ප්‍රසිද්ධම උදාහරණය තමයි විජය ගොඩකුඹුර මහතාගේ ආරක්‍ෂිත කුප්පි ලාම්පුව.

අපි ස්ටීව් ජොබ්ස් වගේ ලොව හොල්ලපු නිමවුම්කරුවන් ගැන කතා කරනවා. 3 Idiots වගේ චිත්‍රපට බලලා විනෝද වෙනවා. එත් අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ අපි අතර ඉන්න ජොබ්ස් කෙනෙක් හරි රංචෝ කෙනෙක් හරි නැති කරන්නත් අපි දායක වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන අවධානයෙන් ඉඳීම වැදගත් බව නාලකගේ නව නිපැයුම්කරුවන් ගැන විස්තරය කියවපු මට හිතුනා.

පරිසරය ගැන කතා කරන නාලක පවසන්නේ අපි හැමෝම මගමරුවන් බවයි. මක් නිසාද යත්, අපි බොහෝ දෙනා වාහනවලින් ගමන් කිරීමත් ඒවායේ දුම යම් පමණකට හෝ පරිසර දූෂණයට දායක වීමත්. අනෙකුත් කාරනා සමඟ සංසන්දනය කරනවිට එක වාහනයක බලපෑම සුළු යයි හිතන්න පුළුවනි. ඒ වුනත් හැම පුංචි දෙයක්ම පරිසර දූෂණයට බලපාන බවත්, අපෙන් වෙන බලපෑම පුළුවන් තරම් අඩු කරගන්නේ නම් බොහොම වටිනා බවත් මා පෞද්ගලිකව විශ්වාස කරනවා. එයින් අදහස් වෙන්නේ නෑ වාහන පාවිච්චි නොකළ යුතුයි කියලා. නමුත් පරිසරය රැක ගැනීමට අපට කරන්නට පුළුවන් පුංචි පුංචි දේ බොහොමයි. ඒ වගේ තමන්ට පුළුවන් පුංචි පුංචි දේ කරපු තැනැත්තෙක් තමයි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා. නාලක ඔහු ගැන ලිපියකින් විස්තර බොහොමයක් ලියා තිබෙනවා.

පරිසරය ආරක්ෂා කිරීම වැනි හොඳ පුරුදු නිවසෙන්ම පටන් ගන්නට අවශ්‍ය බව මගේ විශ්වාසයයි. දෙමව්පියන් විසින් ළමයින්ට ඒ සඳහා ආදර්ශය ලබා දිය යුතුයි. නමුත් අද ඇතැම් දෙමව්පියන් අතින් වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. ළමයින් ඉදිරිපිටම මහ පාරට ටොපි කොළ, කිරි පැකට් වගේ කැලි කසල විසි කරන දෙමව්පියන් මා ඕනා තරම් දැක තිබෙනවා. තමන්ගේ ළමයින් එහෙම කරනකොට මුකුත් නොකියන අයත් ඕනා තරම්. ඒ වගේ පුංචි වැරදිවත් හදා නොගෙන කොහොමද අපේ අය ලොකු වැරදි හදා ගන්නේ කියන එක නම් ප්‍රශ්නයක්.

නාලක ඔහුගේ ලිපි පෙලට අවුරුද්දක් පිරීම නිමිත්තෙන් ලියූ ලිපියෙන් කියන්නේ අද පරම්පරාව 'ඩිජිටල් ස්වදේශිකයින්' (digital natives) බවයි. එනම් ඔවුන් ඩිජිටල් යුගයේ උපන්නවුන් බවයි. නමුත් මෙහි ගැටළු කීපයක් තියෙනවා. එකක් තමයි ඩිජිටල් යුගය හැම දරුවෙකුටම උදා වී නැති වීම. නිදහසින් අවුරුදු 65 කට ආසන්න කාලයක් ගෙවී තිබියදීත් අපේ බොහෝ දරුවන් අදටත් ඉංග්‍රීසි දැනුම්වත් හරියට නැති අය බව කියන්න ඕන. ඉතින් ඒ අයට ඩිජිටල් යුගයක් ගැන කවර කතාද? අනෙක් අතට, හරියට දැනුමක් හෝ සාරධර්ම හෝ නැතිව ළමුන් අතරට ජංගම දුරකථන සහ කම්පියුටර් පත්වීම ඉතා භයානකයි. මේ ගැන නම් නාලක කතා කරලා තියෙනවා මම දැක්කේ නෑ.

නමුත් මෙහි අනික් පැත්ත ගැන නම් ඔහු කතා කරලා තියෙනවා. එනම්, හරියට දැනුම නැති වැඩිහිටියන් විසින් ඉන්ටර්නෙට් වැනි වටිනා දේ සඳහා සීමා පැනවීම. ඇත්තෙන්ම එවැනි සම්පත්වලින් උපරිම පල නෙලා ගන්නට සාමාන්‍ය ජනයාටත්, ළමයින්ටත් අවස්ථාව තිබිය යුතුයි. නමුත් ළමයින්ට නම් ඒ සඳහා වැඩිහිටියන්ගේ මග පෙන්වීම අවශ්‍යයි. ඒ මග පෙන්වීම දෙන්නට සමත් වැඩිහිටියන් ප්‍රමාණවත් තරම් ඉන්නවාද කියන එක වෙනම ගැටලුවක්. නාලක කියන පරිද්දෙන්ම "දැන ගියොත් ඉන්ටර්නෙට්, නොදැන ගියොත් අතරමග."

නාලකගේ භාෂා ශෛලිය පිළිබඳවත් යමක් කියන්නට අවශ්‍යයි. ඔහු ලියා තිබෙන්නේ සරල කථන බසින්. කියන දේ තේරෙන්නේ නැත්නම්, පණ්ඩිතයින් සතු වදන් කොස්සෙන් සාමාන්‍ය ජනයාට පලක් නෑ. ඔවුනට තේරෙන්න යමක් කිව යුතුයි. මෙහිදී නාලක ඇතැම් වචනවලට ඉංග්‍රීසි වචනම භාවිතා කරනවා. ටෙලිවිෂන්, රේඩියෝ වැනි වචන භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට වෙනමම හේතුවක් තිබෙනවා. "ඉන්ටර්නෙට්" යන වචනය ඔහු භාවිතා කරන්නේ, එයට සිංහලෙන් කියන "අන්තර්ජාලය" යන වචනය වැරදි නිසයි. ඉන්ටර්නෙට් යනු ජාල රැසක සුපිරි ජාලයක් විනා ජාල අතර (අන්තර්) අවකාශයක් නොවන බව ඔහු මතක් කර දෙනවා. මෙවැනි වැරදි වචන භාවිතයට පැමිණීමට වග කිව යුත්තේ ඒවා නිර්මාණය කල අයයි. යම් විෂයයක් සම්බන්ධ කරුණක් ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන්නෙකුට සිංහල, ඉංග්‍රීසි භාෂා පිලිබඳ හසල දැනුමක්ද, අදාළ විෂයය පිලිබඳ තරමක හෝ දැනුමක්ද තිබීම අනිවාර්යයි.

ඉන්ටර්නෙට් වැනි ඉංග්‍රීසි වචන ඒ විදියටම යොදා ගැනීමට මා එතරම් කැමති නෑ. මොකද, අපට ඊට හරියන සිංහල වචනයක් සොයා ගැනීමට බැරි කමක් නැති නිසා. සිංහල කියන්නේ බොහොම නම්‍යශීලී භාෂාවක්. උදාහරණයක් විදියට, අපිට කාලයක් "එෆ්" ශබ්දය ප්‍රශ්නයක් වෙලා තිබුනා. මොකද එහෙම අකුරක් අපට තිබුනේ නෑ. අපි මොකද කලේ? 'ෆ' අකුරක් හෝඩියට එකතු කරගත්තා. නාලක වුනත් සමහර ඉංග්‍රීසි වචනවලට ඉතාම ගැලපෙන, ලස්සන සිංහල වචන පාවිච්චි කරනවා. ඔහු සොයා බැලුවොත් ඉන්ටර්නෙට් වෙනුවට භාවිතා කල හැකි ලස්සන සිංහල වචනයක් හම්බ වෙයි.

නමුත් මේවා පුංචි පුංචි දේවල් පමණයි. වඩා වැදගත් වෙන්නේ නාලක ඉදිරිපත් කරන කරුණුයි. ඒ යම් යම් දේ පිලිබඳ මීට වැඩිය කරුණු දක්වන්නට තිබුනාදෝ කියලා මට හිතෙනවා. නමුත් ඔහු ලියා ඇති බොහෝ දේ ගැන මම ඉගෙන ගත්තේ ඔහුගේ "සිවුමංසල කොලුගැටයා" පොතෙන්. අදටත් ඔහු ඒ තීරු ලිපි ලියන අතර ඒවා ඉන්ටර්නෙට් එකෙත් තියෙනවා. 2011 අගෝස්තු අන්තිම ඉඳන් ඔහු ලියාපු ලිපි මෙතනින් බලන්න පුළුවනි. මේ අතර ඔහු Ceylon Today පුවත්පතට ලියන ඉංග්‍රීසි ලිපි මෙතනින් බලන්න පුළුවනි. කියවා බලන්න. බලලා හොඳ නරක තීරණය කරන්න.

13 comments:

  1. මාත් ටික කලෙක ඉඳන් කියවනවා . ඉස්සර විදුසර පත්තරේ පටන් ගත්තුකාලේ ඔහු අපමණ දායකත්වයක් දුන්නා .

    ReplyDelete
    Replies
    1. ආ! එතකොට මම නාලකගේ බ්ලොග් එකේ දැකපු බින්දියි මේ බින්දියි එකම කෙනා තමයි... ඒ බින්දිත්, මේ බින්දිත් හැර වෙනත් බින්දිලා සිටිත්ද?? :-D

      Delete
  2. මමත් මේ පොත ගත්තා. ඉතාම වටිනා තීරු ලිපි එකතුවක්.. ගොඩාක් නොදන්නා දේ දැන ගත්තා..

    මගේ වඩාත් ම සිත් ගත්තු ලිපිය තමයි අර ලංකාවේ රූපවාහිනි කාටූන් කලාව (සිංහල හඬ කැවීම්) ගැන තියෙන ලිපිය.. එහි ඔහු ටයිටස් තොටවත්තයන් ගැන කියා ඇති කරුණු ඉතාම වටිනවා
    නාලක කියනවා "ඔහු (ටයි මාමා) වැන්නන් නොසිටින්නට සැලළිහිණියා පැස්බරෙකු වීමෙ අවදානමක් පැවතුනා" යනුවෙන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එකතු කිරීමට. ඇත්තෙන්ම ඔබ ඒ ගැන කියපු එක හොඳයි... තව බොහෝ දේ ඒ ලිපිවල තිබුනා. හේතුවාදී සංගමය ගැන, ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය ගැන මයිකල් ක්‍රිච්ටන්ගේ අනාවැකිය වගේ දේවල්... නමුත් මගේ ලිපිය දිග වැඩි වෙන නිසා ලිව්වේ නෑ.

      Delete
  3. මේ පැත්තට ආවම හැමදාම අලුත් දෙයක් කියවන්න ලැබෙනවා නේ. ලින්ක් ටික නම් බැලුවේ නෑ. පස්සේ බලන්නම් නිදහසේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. බොහොම ස්තූතියි.. "අලුත් අලුත් දෑ නොලියන ජාතිය නොව නොනගී" කියලත් කියන්න පුළුවන් වෙයි.

      Delete
  4. හ්ම්.. නාලක කියන චරිතය ගැන ඇත්තටම කතා කරනවා අඩුයි.ඔහු ලියපු ලිපි තියෙන ලින්ක් එකට නම් ගොඩක් ස්තූතියි.මං ඔහුගේ අදහස් ඇත්තටම අගය කරනවා.ආතර් සී ක්ලාක් මහතාගේ අදහසුත් ඔහු තුල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. හොඳ අදහස් තියෙන අයගෙන් දැනට වඩා වැඩක් ගන්නවා නම් අපේ රට කොච්චර දියුණු වෙයිද? භෞතික සම්පත් අතින් විතරක් නෙවෙයි, හැම අතින්ම.

      Delete
    2. හ්ම්... ඇත්තටම නියම දක්ෂයින්ගේ වැඩක් ගන්නේ නෑ.අපේ පාසලේ නියම සර් කෙනෙක් ඉන්නවා ආර්ලිස් සර් කියලා.අධිමානසික තත්වයක් තියෙනවා.ඒ සර් පිටරට වලින් මාර ඉල්ලුමක් තියෙන්නේ.ඒත් අපේ අය එයාව සත පහකට ගනන් ගන්නේ නෑ.ඒ සර් හදපු එක එක උපකරන තියෙනවා.රජයෙන් කිසිම නෑ අත හිත දීමක්.

      Delete
  5. මම "සිවුමංසල කොලුගැටයා" ලිපි පෙළ කියෙව්වෙ ඔහුගේ වෙබ් අඩවිය හරහා. මම පෞද්ගලිකව ඉතා ප්‍රිය කරන ලිපි පෙලක්. භාවිතා කරන භාෂා ශෛලිය සිත් ගන්නා සුළුයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. බොහොම ලස්සන ලිපි පෙළක්. වටිනාකම තියෙන්නේ එහි බොහොම බරපතල දේ සරලව ලියා තිබීමයි.

      Delete
  6. ඉතින් inter කියන පදය ඉංග්‍රීසියෙත් භාවිත වන්නේ ‘අන්තර්‘ වලට ම නේ. එහෙනම් ඔය විරුද්ධ වෙන අය, සිංහලෙනුත් ඉන්ටර්නෙට් හෝ ඉන්ටනෙට් නො කියා ඉන්න තිබුණා. ම ගේ අදහස මෙහෙම යි. පදය භාවිත වන්නේ සංකල්පයකට. ඒ සංකල්පය හිතේ ඇඳෙනවා නම් මොන පදයත් එකයි. මොක ද මේ හැම දෙයක් ම සංඥා පමණයි. තවත් එකක්. ඔය හැම තැන දි ම අන්තර්ජාලය කියනවා මිසක් වර්ල්ඩ් වයිඩ් වෙබ් (WWW) එකට විශ්ව විසිරි වියමන කියන පදය භාවිත කරන්න කවුරුත් පෙළඹෙනවා අඩුයි (ඒක හරි ලස්සන වචනයක් වුණත්). මොකද? එක වචනෙන් අදහසක් දෙන්න පුළුවන් තැනදි වචන 3ක් පාවිච්චි කරන්න කැමති කවුද...නමුත් කැමති කෙනෙක් කැමති පදයක් භාවිත කරත්වා! - Language is live...variety brings beauty!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. පෙනුමට නම් ඒ ලොකු වරදක් නෙවෙයි තමයි. මම වුනත් කැමති වචනය වන්නේ වර්ල්ඩ් වයිඩ් වෙබ් කියන එක. නමුත් එකටත් විශ්ව විසිරි වියමන කියලා කියන්න පුලුවන්ද මන්දා? ඒ කොහොම වුනත් කවුරු ඉදිරිපත් කරන අදහස ගැන මුකුත් නොකියා වචන භාවිතය ගැන තර්ක කරන අයත් ඉන්නවා නේ. ඒකට මම එකඟ නැහැ. ඔබ කියනවා වගේ අදහස තේරෙනවා නම් හරි.

      හැබැයි, මෙහෙම සිද්ධියකුත් තියෙනවා. සමහර පරිවර්තනවල ඉංග්‍රීසියෙන් සිංහලට ගනිද්දී කියන දේ නැතිව අමුතු විකාරයක් කියවෙන අවස්ථා තියෙනවා. ඕන නම් උදාහරණත් දක්වන්න පුළුවන්. ඒ තත්ත්වය නම් සුදුසු නැහැ.

      Delete