Monday, December 10, 2012

හමාස් නායකයාගේ ගාසා ගමන


හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නායක කාලෙඩ් මෙෂාල් පසුගියදා පලස්තීනයේ ගාසා තීරයට පැමිණියේය. වයස අවුරුදු එකොළහේදී පලස්තීනයෙන් පිටව ගිය පසු මෙෂාල් මෙසේ යලි පැමිණියේ වසර 45ක දීර්ඝ කාලයකට පසුවය. මෙම ගමනේ මූලික අරමුණ වූයේ, හමාස් සංවිධානයේ 25 වන සංවත්සරය උළෙලට සහභාගී වීමය.

Khaled Meshaal in a meeting with Spanish journalists. (January 20, 2009) Photo by: Trango, Wikimedia Commons

බටහිර ඉවුරේ රමල්ලා නගරයට උතුරින් පිහිටි සිල්වාඩ් නම් නගරය 6,000ක පමණ ජනගහනයෙන් යුතු කුඩා නගරයකි. මෙම නගරයේදී 1956 මැයි 28 වනදා කාලෙඩ් මෙෂාඩ් උපත ලැබීය. 1967 වසරේ සය දින යුද්ධයෙන් පසු ඔහුගේ පියා සිය පවුල සමඟ කුවේටයට සංක්‍රමණය විය. මෙසේ කුඩා අවධියේම උපන් බිම හැරගිය මෙෂාල් කුවේටයේදී ද්වීතීයික අධ්‍යාපනය හදාරා කුවේට් සරසවියට ඇතුළුව, විද්‍යාවේදී උපාධියක් ලැබීය. තරුණ කාලයේම දේශපාලනය සම්බන්ධ වූ මෙෂාල් 1987 දී හමාස් සංවිධානය පිහිටවනු ලැබූ දින සිට එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. 1991 ගල්ෆ් යුද්ධය වෙනතුරු කුවේටයේ රැඳී සිටි මෙෂාල්, ඉනික්බිති ජෝර්දානයට ගියේය. 1997 වසරේදී ඔහු ඝාතනය කිරීමට ඊශ්‍රායලයේ මොසාඩ් රහස් ඔත්තු සේවය විසින් කරන ලද උත්සාහයකින් ඔහු ගැලවුනේ ජෝර්දානයේ හුසේන් රජුගේ මැදිහත් වීමෙනි. 1999 වසරේදී, හුසේන් රජුගේ අභාවයෙන් පසු සිහසුනට පත් දෙවන අබ්දුල්ලා රජු හමාස් සංවිධානය තහනම් කල අතර, මෙෂාල් එරටින් පිටව කටාරයට පැමිණියේය. 2001 සිට දශකයක කාලයක් මෙෂාල් ජීවත් වූයේ සිරියාවේය. මේ අතර 2004 වසරේදී අබ්දුල් අසීස් අල්-රන්තිසි ඝාතනය වූ පසු හමාස් සංවිධානයේ ප්‍රධානතම නායකයා බවට මෙෂාල් පත් විය. 2011 වසරේදී සිරියානු රජය විවේචනය කරමින් ඔහු එරටින් පිටව ආවේය. දැනට ඔහු කටාර් සහ ඊජිප්තුව යන රටවල දිවි ගෙවයි.
Silwad from Ofra, ඔෆ්‍රා (බටහිර ඉවුරේ යුදෙව් ජනාවාසයකි) සිට සිල්වාඩ් පෙනෙන අයුරු, March 4, 2011, Jacob, Wikimedia Commons

හමාස් සංවිධානයේ 25 වන සංවත්සරය යෙදී තිබුනේ දෙසැම්බර් 14 වනදාට වුවද, පලස්තීන පළමු ඉන්ටිෆාඩාව සිහි කිරීමක් ලෙස සංවත්සර ජන රැලිය ඊට දින හයකට පෙර 2012 දෙසැම්බර් 8 වනදා පවත්වන ලදී. පලස්තීන පළමු ඉන්ටිෆාඩාව (ජනතා නැගිටීම) ආරම්භ වූයේ හමාස් සංවිධානය බිහිවීමට දින කිහිපයකට පෙරය.

හමාස් නායකයා දැක ගැනීමේ අටියෙන් එක්රැස්වුණු, හරිත වර්ණ හමාස් ධජ රැගත් ආධාරකරුවන්ගෙන් ගාසා නගරයේ කටිබා චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව පිරී ගියේ රැලිය පටන් ගැනීමටත් පෙරය. ජන රැලිය සඳහා වේදිකාවේ යෙරුසලමේ ඉපැරණි පවුරෙහි ආකෘතියක්ද, M-75 රොකටයක ආකෘතියක්ද විය. පලස්තීන අගමැති සහ හමාස් සාමාජික ඉස්මයිල් හනියේ සමඟ හමාස් නායක කාලෙඩ් මෙෂාල් වේදිකාවට ආයේ එම රොකටය තුල සිටය. රොකටයෙහි ඉංග්‍රීසියෙන් "Made in Gaza" යනුවෙන් ලියා තිබෙනු දැකිය හැකි විය.

මෙෂාල් සිය ආධාරකරුවන් අමතමින් ඉතාමත් ආවේගශීලී කතාවක් පැවැත්වීය. මෙහිදී හමාස් සංවිධානය වසර 25ක ඉතිහාසය මුළුල්ලේ දැරූ මතවාදයෙහි වෙනසක් පල නොවීය. හමාස් සංවිධානය ඊශ්‍රායලය විනාශ කිරීම සඳහා සන්නද්ධ අරගලයට දිගටම කැප වී සිටින බව ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. වේදිකාව මත වූ රොකටයෙන්ද සංකේතවත් කරන්නට ඇත්තේ එම සන්නද්ධ අරගලයය. "ගංගාවේ සිට සයුරටද, උතුරේ සිට දකුණටද, සමස්ථ පලස්තීනයම අපගේ භූමියය. ඉන් එකදු බිම් අඟලක්වත් අහිමි වනු දැකීමට අප සූදානම් නැත," යනුවෙන් මෙෂාල් ගාසා වැසියන් හමුවේ ප්‍රකාශ කළේය. (මෙහිදී ඔහු ගංගාව ලෙස හඳුන්වන ලද්දේ ජෝර්දාන් ගඟයි).

"ඊශ්‍රායලය විසින් පලස්තීනය අල්ලාගෙන සිටීම අපට පිළිගැනීමට නොහැක. ඊශ්‍රායලයේ එම ක්‍රියාව නීති විරෝධීය. එහෙයින් ඊශ්‍රායලයද, කොපමණ කලක් පැවතුනද, නීති විරෝධී ලෙස පවතින රටකි," යනුවෙන් මෙෂාල් වැඩිදුරටත් අදහස් දැක්වීය. (ඊශ්‍රායලය පිහිටුවා තිබෙන්නේ මෙෂාල් විසින් හඳුන්වා දෙන පලස්තීන භූමිය තුලය). "පලස්තීනයට, එනම් සම්පූර්ණ පලස්තීනයට, විමුක්තිය දිනා ගැනීම අපේ වගකීමකි, අයිතියකි, බලාපොරොත්තුවකි" යයි ඔහු පැවසීය.

වේදිකාව මත යෙරුසලමේ ඉපැරණි පවුරෙහි ආකෘතියක් ගොඩ නගා තිබුනේ පලස්තීනුවන් යෙරුසලම පූජනීයත්වයෙන් සලකන බැවිනි. මෙෂාල් යෙරුසලම නිදහස් කරගැනීම පිළිබඳව වෙනමම අදහස් දැක්වීය. "අපි අඟලෙන් අඟල, ගලෙන් ගල බැගින් ඉස්ලාමීය සහ ක්‍රිස්තියානි පූජනීය ස්ථාන නිදහස් කර ගන්නවා" යන්න ඔහුගේ අදහස විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පලස්තීනයට නිරීක්ෂක රාජ්‍යය තත්ත්වය ලබා දීම පිලිබඳ සිය අදහස් දක්වමින් මෙෂාල් ප්‍රකාශ කලේ එය ඉතා කුඩා නමුත් වැදගත් පියවරක් බවය. නමුත් නියම පලස්තීන රාජ්‍යයක් බිහිවනු ඇත්තේ විමුක්තිය දිනාගැනීම තුලින් මිස සාකච්ඡා මාර්ගයෙන් නොවන බව ඔහුගේ අදහස විය. රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රමයන්ගෙන් විමුක්ති අරගලයට උපකාරයක් ලැබුනද, එයට නියම වටිනාකමක් ලැබෙන්නේ සන්නද්ධ අරගලය තුලින් බව හමාස් නායකයාගේ මතය විය.

කාලෙඩ් මෙෂාල් මෙම ප්‍රකාශයෙන් විවේචනය කලේ පලස්තීන පාලන අධිකාරියේ ජනපති මහමුද් අබ්බාස්ය. අබ්බාස් රාජ්‍යතාන්ත්‍රික ක්‍රම තුලින් පලස්තීනයට නිදහස ලබා ගැනීමට වෙහෙසෙන්නෙකි. හමාස් සංවිධානය මෙන් නොව අබ්බාස්ගේ ෆටා සංවිධානය "රාජ්‍ය දෙකේ විසඳුමට" සහය පල කරයි. එනම්, බටහිර ඉවුර (නැගෙනහිර යෙරුසලම ඇතුළුව) සහ ගාසා තීරය ඇතුලත් පලස්තීනය සහ ඊශ්‍රායලය යනුවෙන් රාජ්‍ය දෙකක් පැවතීමයි. හමාස් සංවිධානය ඊශ්‍රායලය නීති විරෝධී රාජ්‍යයක් ලෙස සලකයි.

කෙසේ වුවද, විමුක්ති අරගලයේ අතරමැදි සන්ධිස්ථානයක් වශයෙන් එම ප්‍රදේශ දෙක ඇතුලත් පලස්තීනයට අන්තර්ජාතික පිළිගැනීම ලබා ගැනීම පිළිබඳව හමාස් සංවිධානය විරුද්ධත්වයක් පල කරන බවක් නොපෙනේ. පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල පලස්තීන රාජ්‍යය පිලි ගැනීම සඳහා මහමුද් අබ්බාස් කල රාජ්‍යතාන්ත්‍රික අරගලය හමාස් සංවිධානයේ විවේචනයට බඳුන් වුවද, මෙවර එම සංවිධානය අබ්බාස්ගේ වැඩ පිළිවෙල විවේචනය කලේ නැත. හමාස් සංවත්සර රැලියේදී මෙෂාල් විසින් පලස්තීන රාජ්‍යය නිරීක්ෂක රාජ්‍යයක් ලෙස පිලි ගැනීම "කුඩා වුවත් වැදගත් පියවරක්" ලෙස හැඳින්වීමෙන්ද එය පැහැදිලි වේ.



මූලාශ්‍ර

1. Joel Greenberg, Hamas leader Khaled Meshal says group will never recognize Israel, Washington Post, Dec. 09, 2012.

2. Steven Erlanger, Leader Celebrates Founding of Hamas with Defiant Speech, New York Times, Dec. 08, 2012.

3. Al Jazeera English, Meshaal Speech Marks 25 Years of Hamas, Dec 08, 2012.

10 comments:

  1. මේ දේවල් ගැන මේතරම් උනන්දු වෙන්න ඔබතුමා මොනව කරන කෙනෙක්ද?? :)

    ReplyDelete
  2. හී හී! :-) දීපන්කො උත්තර! :-)

    මම ගුරු වෘත්තීය තමයි කරන්නේ. රසායන විද්‍යාව උගන්නනවා.

    මම කරන රස්සාව එක්ක මෙව්වයේ කිසිම සම්බන්ධයක් නෑ. මගේ විනෝදාංශය තමයි ජාත්‍යන්තර දේශපාලනය සහ ඉතිහාසය ගැන ඉගෙන ගැනීම. අනිත් විනෝදාංශය තමයි ලියන එක. ඒ දෙක එකතු වුනාම තමයි මෙව්වා ලියවෙන්නේ...

    මම ඊශ්‍රායල්-පලස්තීන අර්බුදය ගැන නම් සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. මෑතකදී ඒ කලාපයේ වෙච්ච දේවල් නිසා ඒ රීතිය ටිකක් වෙනස් කළා

    ReplyDelete
  3. හොඳ ලිපියක් සහෝ..!

    ReplyDelete
    Replies
    1. තැනක් යූ වේවා සහෝ! :-)

      Delete
  4. I really like your articles on this. thanks. sorry for my English

    ReplyDelete
    Replies
    1. Thank you very much.

      I'm sure your English is better than mine :-)

      Delete
  5. ඇත්තටම මේක නොනවතින සටනක් වේවි.මම නම් දකින විදිහට අබ්බාස්ගේ ක්‍රියාකලාපය නිවැරදියි.හැබැයි ඉතින් අර නන්දා මාලිනි කියනවා වගේ මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙනු.නේද?

    ReplyDelete
    Replies
    1. මෙච්චර කල් මුගුරු අරගෙනත් පලක් වුනේ නැහැ නේ. මුගුරෙන් විතරක් කරන්න පුළුවන් වෙන්නේ තව අය මුගුරු අතට ගන්න පෙළඹවීමයි, නේද?

      Delete
    2. ඒක ඇත්ත.ඒකනේ අබ්බාස්ගේ සාමකාමි සටනට සාත් එකග.මොකද ඉතින් හමාස් හො ෆාටා එකතු වෙලා ඊශ්‍රායලයට ගැහුවත් මං හිතන්නේ නෑ පලස්තීනය දිනයි කියලා.හැබැයි හිස්බුල්ලාවරු ඉරානයේ හදපු ගුවන් යානයක් ඊශ්‍රායලයේ තොරතුරු හොයලා.එත් ඒක වලක්වලා තියෙන්නේ බොහෝ වෙලාවක් ගියාට පස්සේ.ඒ ප්‍රවෘතියෙන් කියනවා ඊශ්‍රායලයට ආරක්ෂක ක්‍රම තිබුනත් හදිසි ප්‍රහාරවලට මුහුණ දෙන්න බෑ කියලා.

      Delete
    3. එහෙම දේවල් වෙනවා. එහෙම නම් එක සැරයක් පයිලට් කෙනෙක් තනියම තමන්ගේ ප්ලේන් එක පැදගෙන සෝවියට් ගුවන් සීමාව උල්ලංඝනය කරලා මොස්කව් රතු චතුරශ්‍රයට ගොඩ බැස්සේ? ඒ ලෝකේ දෙවනියට බලවත්ම කියාපු රාජ්‍යයේ. මීට අවුරුදු 25 කට කලින් තමයි. ඒ වුනත් ගුවන් යානා කියන එව්වා හරියට අඳුර ගන්න බැරි වෙලාවල් තියෙනවා. ඒ වගේ වැරදීම් වෙලා තියෙනවා. පර්ල් හාබර් ප්‍රහාරයත් ඒ වගේ එකක් නේ.

      නමුත් එදා ඇමරිකාවට දිගු යුද්ධයකට මුහුණ දෙන්න පුළුවන්කම තිබුනා. එක ප්‍රහාරයකින් එයාලව වට්ටන්න පුළුවන් වුනේ නැහැ. අද බටහිර ආසියාවේ තත්ත්වයත් එහෙමයි. අපි කැමති වුනත් නැතත් යුද්ධයෙන් ඊශ්‍රායලය පරද්දන්න බැහැ. නමුත් වැඩේ තියෙන්නේ සාමයෙන් පැරද්දුවත් පලක් නැති එක.

      Delete