Thursday, August 27, 2020

ත්සාර් අලෙක්සන්දර්ගේ උපදේශිකාව

රාජ්‍ය නායකයින්ට හෝ දේශපාලන නායකයින්ට සිටිය යුත්තේ වන්දිභට්ට උපදේශකයින් නොව සත්‍යය පවසන උපදේශකයින්. ඒ අතින් රුසියාවේ ත්සාර් පළමුවන අලෙක්සන්දර් වාසනාවන්තයෙක්. ඔහු සිය බාල සහෝදරිය වූ එකැතරීනා පව්ලොව්නා හෙවත් කැතීෂේ වෙත බොහොම සමීප වූ බව ප්‍රකට කරුණක්. ඇය දේශපාලන කටයුතුවලදී ඔහුගේ ප්‍රමුඛතම උපදේශිකාවක් වුණා. ඒ වගේම ත්සාර්ට තමන්ට පෙනෙන දේ නොපැකිළව කියන්නට ඇයට හැකියාව තිබුණා.



නැපෝලියන්ගේ හමුදා 1812 දී රුසියාව ආක්‍රමණය කරද්දී රුසියන් ජෙනරල්වරු දෙපැත්තකට බෙදුණා. යුධ ඇමති මෙන්ම හමුදා ප්‍රධානියා වූ මිහායිල් බාර්ක්ලේ ඩි ටොලී කුමාරයා විශාල ප්‍රංශ හමුදාව හමුවේ පසුබසින්න වුණා. එහෙත් ජෙනරාල් බග්‍රතියෝන් හිටියේ සටන් කළ යුතුයි කියන තැන. ස්මොලෙන්ස්ක් සටනින් පස්සෙ රුසියන් හමුදා පසුබසිද්දී හමුදා නිල ඇඳුම අඳින්නට පවා ලජ්ජා බව බග්‍රතියෝන් කියා සිටියා.

මේ දෙපාර්ශවයේ ජෙනරල්වරු වඩා සුදුසු යුධ උපක්‍රමය ගැන තීරණයක් ගන්න බැරුව පැටලෙද්දී කැතීෂේ දොස් කිව්වේ ත්සාර්ටයි. අලෙක්සන්දර් සිය ජෙනරාල්වරුන් පාලනය කරගන්නේ නැති නිසා සහ තීරණයක් ගන්නේ නැති නිසා තත්ත්වය අවුල් වූ බව ඇය පැවසුවා. මේ අවස්ථාවේ අලෙක්සන්දර් කියා සිටියේ තමන් හමුදාව පුද්ගලිකව මෙහෙයවන බවයි.

"හමුදාවට අවශ්‍ය වන්නේ එහි චිත්ත ධෛර්යය නැංවිය හැකි අයෙක්. ඔබට එය කිසිසේත් ම කළ නොහැකියි" කැතීෂේ පැවසුවා.

මේ අනුව තමයි කුමක් කළ යුතුද කියන සාකච්ඡාව ඇතිවුණේ. අලෙක්සන්දර් ජෙනරාල්වරුන් හා කරපු කතාබහේදි හැම කෙනෙක්ම පාහේ කියුවේ මිහායිල් කුතූසොෆ්ට හමුදාව භාර දිය යුතු බවයි. අලෙක්සන්දර් කුතූසොෆ්ට අකමැති හෙයින් ඔහුව කොන් කර දමලායි තිබුණේ. එහෙත් මේ අවස්ථාවේ ඔහුට හමුදාව භාර ගන්නැයි කියන්නට අලෙක්සන්දර්ට සිදුවුණා.

කැතීෂේ තම සහෝදරයාව වර්ණනා කරන වන්දිභට්ට සොයුරියක් වුණා නම් ඒ වතාවේ රුසියාව නැපෝලියන් හමුවේ පරාද වෙනවා නිසැකයි.

කැතීෂේ නැපෝලියන් පිළිබඳ කතාවට තවත් අයුරකින් ද සම්බන්ධ වෙනවා. නැපෝලියන් සිය අධිරාජිණිය වූ ජොසෆින් ව දික්කසාද කර අලුත් විවාහයක් කරගැනීමට රජ කුමරියක් සොයද්දී ඔහුගේ අවධානය කැතීෂේ වෙත යොමු වුණා. මේ කාලෙ, 1807 ටිල්සිට් ගිවිසුමෙන් පසු රුසියාව සහ ප්‍රංශය මිත්‍රයින් වී සිටි සමයයි. කෙසේ වෙතත් නැපෝලියන්ට ඇයව විවාහ කර දෙන්න රොමානොෆ් පවුලට අවශ්‍ය වුණේ නෑ. ඇගේ මව හෙවත් මාතෘ අධිරාජිණිය වහ වහා තමන්ගෙ බෑණනුවන් කෙනෙකු වූ ඔල්ඩන්බර්ග් හි ජෝර්ජ් ආධිපාදවරයාට ඇයව විවාහ කර දුන්නා. ඔවුන් ජීවත් වුණේ ත්වේර් නගරයේ. කැතීෂේගේ දෙවනි දරුවා උපන්නේ නැපෝලියන්ගේ ආක්‍රමණය දිනවලයි.

ඔල්ඩන්බර්ග් හි ආධිපදවරයා ඉන් මාස කිහිපයකට පසු 1812 දෙසැම්බරයේ මියගියා. ඉන්පසු ගතවූ වසර කිහිපයෙදි කැතීෂේ සිය සොහොයුරු පිරිසට තවත් සමීප වුණා. වියානා සංගමය පැවැත්වෙන දිනවල ත්සාර් අලෙක්සන්දර් සමග ඇය එහිද ගියා. 1816 මුලදී වුටෙම්බර්ග් හි විලියම් කුමාරයා හා විවාහ වීමෙන් පසු ඇය එරටෙහි ජීවත් වෙන්නට ගියා. විලියම් කුමාරයා ඒ වසරේම රජ බවට පත්වුණා. ඇය රෝගී තත්ත්වයක් හේතුවෙන් 1819 දී මියගියා.

Tuesday, August 25, 2020

රුසියාවේ පළමු ත්සාර්

වර්තමානයේ අප දකින රුසියාව එනමින් ස්ථාපිත කරන ලද්දේ 1547 දී, සමස්ථ රුසියාවේ ත්සාර් ලෙස තමන්ව ප්‍රකාශයට පත් කරගත් හතරවන ඉවාන් විසින්. විදේශීය රටවල ඔහු වඩා ප්‍රසිද්ධ වන්නේ අයිවන් ද ටෙරිබල් (Ivan the Terrible) හෙවත් "බිහිසුණු අයිවන්" යන නමින්. නමුත් රුසියානුවන් ඔහුව හඳුන්වන්නේ "ඉවාන් ග්‍රෝස්නි" (Ива́н Гро́зный) යන නමින්. ඔහු බිහිසුණු අයිවන් වී අත්තේ මේ රුසියන් නම වැරදි ලෙස පරිවර්තනය වීමෙන් බවයි රුසියානුවන් ඔබට පවසනු ඇත්තේ.

ඉවාන් ග්‍රොස්නි දරුණු පාලකයකු මෙන්ම හොඳ සංවිධායකයකු ලෙස ද සැලකෙනවා. එමෙන්ම ඔහු රුසියාවේ භූමි ප්‍රදේශය ව්‍යාප්ත කිරීමට බෙහෙවින් දායක වුණා. එහෙත්, ඔහුගේ දරුණු ක්‍රියා සහ ක්ෂණික කෝපය හේතුවෙන් විශාල හානියක් ද රුසියාවට සිදුවුණා. ඔහු අතින් සිදුවූ මරණයක් නිසා රුසියාව දශකයකට වැඩි කලක් අරාජික සමයකට තල්ලු වී ගියේ යයි සැලකෙනවා.

ඉවාන් ග්‍රොස්නි සහ අයිවන් ද ටෙරිබල්

ඉංග්‍රීසි භාෂාවෙන් Terrible යන්න රුසියන් භාෂාවේ ග්‍රෝස්නි (Гро́зный​) යන්නෙහි නිවැරදි පරිවර්තනයක් නොවේ. ග්‍රෝස්නි යන්න උපදින්නේ ග්‍රසා යන යෙදුමෙන්. එයින් විදුලි කෙටීම​, අහස ගිගිරුම් දීම වැනි දේ හැඟවෙනවා. මේ අනුව ග්‍රෝස්නි යන යෙදුමට විදුලිය මෙන් ඉක්මන් යන අර්ථයක් ලැබෙනවා. එමෙන්ම ශක්තිමත්, වීරෝධාර​, සතුරා බිය වද්දනසුලු යනාදී අර්ථ ද ඒ සඳහා ලබා දී තිබෙනවා. රුසියානුවන් ඉවාන් ග්‍රෝස්නි ලෙස හතරවන ඉවාන් හඳුන්වා දෙන්නේ මෙම විවිධ අර්ථයන්ගෙන්.


කෙසේ නමුත් ඉංග්‍රීසියෙන් ග්‍රෝස්නි යන්න යනුවෙන් හැඳින්වීමත් සමග විදේශයන් හි හතරවන ඉවාන් ප්‍රකටව ඇත්තේ "බිහිසුණු" අයිවන් යන නමින්. ඉවාන් බිහිසුණු දේ කළ බව ඇත්ත යි. නමුත් ඊටත් වඩා බිහිසුණු දේ සිදුකළ පාලකයින් සිටිය දී ඉවාන් බිහිසුණු යයි පැවසීම තරමක් අසාධරණ බව යි රුසියානුවන් අදහස් කරන්නේ.

ත්සාර් බවට පත් වීම

පැරණි කියේවන් රුස් රාජ්‍යය මොංගොල් ආක්‍රමණවලින් පසු කැඩී බිඳී ගියා. ඊට අයත් වූ භූමි ප්‍රදේශ විවිධ රාජධානි යටතේ පැවති අතර, 16 වන සියවස වන විට මොස්කව් මහාධිපාද ප්‍රදේශය එයින් ප්‍රමුඛතම රාජ්‍යය බවට පත්ව තිබුණා. මෙම රාජ්‍යයේ තුන්වන වසීලිගේ පුත්‍රයා ලෙස 1530 අගෝස්තු 25 වනදා ඉවාන් වසීල්යෙවිච් උපත ලැබුවා. 1533 දී, එවකට තුන් හැවිරිදි වූ ඉවාන් කුමාරයා මෙහි පාලකයා බවට පත් වුණා. එකල එහි පාලකයා සාමාන්‍යයෙන් හඳුන්වන ලද්දේ ශ්‍රේෂ්ඨ කුමාරයා (Grand Prince) හෝ මහධිපාදයා හෝ යනුවෙන්. ඒ අනුව​, ඔහු මොස්කව් හි හතරවන ඉවාන් ලෙස ශ්‍රේෂ්ඨ කුමාරයා තනතුරට පත් වුණා.


ළාබාල කාලයේ දී ඉවාන් වෙනුවෙන් රාජ්‍යත්වයෙහි වැඩ බලන ලද්දේ වෙනත් අය යි. 1547 දී ඔහු රාජ්‍ය පාලනය ඍජුව තමා විසින් ම සිදුකිරීමට පටන් ගත්තා. මෙහිදී ඔහු තමන් රුසියාවේ ත්සාර් ලෙස ප්‍රකාශයට පත් කළා. ත්සාර් යන යෙදුම ලතින් භාෂාවේ සීසර් යන්නෙන් බිඳී එන්නක් වන අතර අධිරාජයා යන අර්ථය දෙනවා. එමෙන්ම වෙනත් සාමාන්‍ය මට්ටමට වඩා උසස් බලයක​, එනම් ප්‍රබල අධිරාජයකුගේ හෝ ක්‍රිස්තියානි ආගමික නායකයාගේ අවසර ඇතිව​, රාජ්‍ය පාලනය කරන්නා යන අර්ථය ද දෙනවා. මෙම තනතුර ස්ලැවික් රටවල් කිහිපයකම භාවිතා වී ඇති අතර මුලින්ම සාර්වරයෙකු බිහිවුණේ පළමු බාල්ගේරියානු අධිරාජ්‍යයේ යි.

ත්සාර් යන නම පවරා ගැනීමෙන් ඉවාන් තමා සිටි ස්ථාවරයට වඩා උසස් වූ තනතුරක් පවරාගත්තා පමණක් නොව සමස්ථ රුසියාවේ පාලකයා තමන් බවට ඇඟවූවා. එමෙන්ම තමන්ට ආගමික සංස්ථාවේ සහය හිමි බව ද පෙන්වා සිටියා.

ප්‍රතිසංස්කරණ සහ භූමි ව්‍යාප්තිය

ඉවාන් ග්‍රෝස්නිගේ ළමා කාලය එතරම් යහපත් වූයේ නැහැ. එයම ඇතැම් විට පසුකලෙක ඔහුගේ ඇතැම් ක්‍රියාවන්ට හේතු වූයේදැ යි සැක කළ හැකියි. ඔහුගේ පියාගේ මරණින් පසු මොස්කව් හි පාලකයා බවට පත් වූ ඔහුගේ රාජ්‍යත්වයේ වැඩ බැලීම ඔහුගේ මව වූ එලේනා ග්ලින්ස්කායා විසින් සිදුකරනු ලැබුණා. ඉවාන්ට වයස අවුරුදු අටක් වෙද්දී එලේනා ග්ලින්ස්කායා මියගිය අතර ඇයට යමෙකු විසින් විෂ දෙන්නට ඇතැ යි සැක කෙරෙනවා. ඉන්පසු ඉවාන්ව පාලනය කිරීම සඳහා බෝයාර්වරුන් නම් වූ රදල පවුල් කිහිපයක් උත්සාහ කළා. එකළ රුසියාවේ සැලකිය යුතු බලයක් මේ බෝයාර්වරුන්ට තිබුණා. තමන්ව පාලනය කරන්නට බෝයාර්වරුන් උත්සාහ කළ හෙයින් ඉවාන් තුළ ඔවුන් පිළිබඳ විශාල කැමැත්තක් වූයේ නැහැ.

තමන්ම රාජ්‍ය පාලනය කිරීමට පටන් ගත් විට​, ඉවාන් ප්‍රතිසංස්කරණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඔහු නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කළා. නිත්‍ය හමුදාවක් (ස්ත්‍රෙල්ත්සි) ස්ථාපිත කළා. සෙම්ස්කි සොබෝර් නම් පාර්ලිමේන්තුව පිහිටවූවා. රදලයින් මෙන්ම පූජකයින් සහ නගර වැසියන් ද එහි නියෝජිතයන් ලෙස පත් වුණා. මේ සියල්ලෙන්ම ඔහු කළේ බෝයාර්වරුන් සතු වූ බලය කෙමෙන් සීමා කිරීමට උත්සාහ කිරීම යි. මේ අතර ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි සමුළුවක් පවත්වා රට පුරා ක්‍රිස්තියානි පල්ලියෙහි රීතීන් සහ වතාවත් එක් ක්‍රමයකට ගෙන එනු ලැබුණා. එයින් පල්ලිය වඩා ක්‍රමවත් ආයතනයක් කර, එමගින් ද බෝයාර්වරුන්ගේ බලය සීමා කරන්න ඔහු උත්සාහ කළා.

කසාන් වටලෑම (Peter Korovin, 1890)


මේ අතර ඉවාන්, ත්සාර් ලෙස කටයුතු කළ මුල් දශකය තුළ රුසියාවේ බලය වොල්ගා නිම්නය ඔස්සේ පතුරවනු ලැබුණා. කසාන් රාජ්‍යය 1552 දී අත්පත් කරගැනීම මෙහිදී අතිශය වැදගත් වූ සිදුවීමක් වුණා. එය සැමරීම සඳහා මොස්කව් හි විචිත්‍රවත්ම ගොඩනැගිල්ලක් වූ සාන්ත බැසිල් ආසන දෙව් මැදුර ඉදිකෙරුණා.

කසාන් අල්ලාගෙන වසර හතරකට පසු 1556 දී අස්ත්‍රහාන් හි බලය ද රුසියානුවන් විසින් අල්ලාගනු ලැබුණා. මින් දශක කිහිපයකට පසු 1582 දී, එර්මාක් තිමොෆෙයෙවිච් විසින් සිබීර් රාජ්‍යය අල්ලාගනු ලැබීම රුසියානුවන් සයිබීරියාවට ව්‍යාප්ත වීමේ ඇරඹුම ද සනිටුහන් කළා.

අප්‍රීට්ස්නිනා (Oпри́чнина)

1558 සිට රුසියාව දිගු කාලීන යුද්ධයකට පැටලුණා. එය හඳුන්වනු ලබන්නේ ලිවෝනියානු යුද්ධය යනුවෙන්. ඩෙන්මාර්ක්-නෝර්වේ, ස්වීඩනය​, ලිතුවේනියාව​, පෝලන්තය ආදී විවිධ රටවල් සමග මෙහිදී රුසියාව යුධ වැදුණා. මෙහිදී රුසියාවට භූමිය අහිමි වුණ අතර විශේෂයෙන්ම බෝල්ටික් ප්‍රදේශ සමග වෙළඳාම් කටයුතුවලට ද බාධා පැමිණුනා.

මේ අතර 1560 දී ඉවාන්ගේ බිරිඳ වූ අනස්තාසියා රොමනෝවා මරණයට පත් වුණා. ඇය ද විෂ ශරීරගත වීමෙන් මියගිය බව සැක කෙරුණා. මෙය ඉවාන්ට දෙවිධියකට බලපෑවා. එක් අතකින් රදලයින් කෙරෙහි වූ සැකය සහ කෝපය මින් තවත් වර්ධනය වුණා. එමෙන්ම ඔහුට ආත්ම සාහායිකාවක මෙන් සිටි විශ්වාසවන්ත කන්තාව ද ඔහුට අහිමි වුණා. ඉවාන් විශේෂයෙන් "බිහිසුණු" වන්නට පටන් ගත්තේ අනස්තාසියා මියගිය පසු බව සාමාන්‍යයෙන් පිළිගන්නා කරුණක්.

ඉවාන්ගේ රදල විරෝධී කටයුතු උත්සන්න වූයේ 1565 දී යි. ඔහු රුසියාවේ කොටසක් තම ඍජු පාලනය යටතට ගත්තා. එහි අප්‍රීට්ස්නිකි නම් වූ රහස් පොලිසියක් පිහිටවූවා. මෙය රුසියානු ඉතිහාසයේ පළමු රහස් පොලිසිය ලෙස සැලකෙනවා. ඉන් අනතුරුව ඉවාන් සිය බලය එහි තහවුරු කරගනිමින් තමන්ට එරෙහි වූ පිරිස් මර්දනය කළා.

1569 දී ඔහුගේ දෙවන බිරිඳ වූ මාරියා තෙව්රුකෝව්නාගේ මරණින් පසුව ඉවාන්ගේ සැක සංකා තවත් ඉහළ ගියා. එයින් ස්වල්ප දිනකට පසු ඔහුගේ ඥාති සහෝදරයා වූ ව්ලදිමීර් කුමාරයාට දිවි නසා ගැනීමට ඉවාන් බල කළා. ඒ, වසර ගණනක් තිස්සේ ව්ලදිමීර් පිළිබඳ තමන් තුළ වූ සැක සංකාවන් හි ප්‍රතිඵලයක් ලෙස යි.

ව්ලදිමීර් කුමාරයා එකල රුසියාවේ දෙවන විශාලම නගරය වූ නෝව්ගරද් හි ඉතා ජනප්‍රිය අයෙකු වුණා. ඉවාන් නෝව්ගරද් වැසියන් ද සැක කරන්නට වුණා. එහි ප්‍රතිඵලය වූයේ අප්‍රීට්ස්නික්වරුන් විසින් නගර වැසියන් සමූල ඝාතනය කිරීම යි. නෝව්ගරද් නගරය එහි පැරණි ශ්‍රී විභූතිය කරා යළි කෙදිනක හෝ ළඟා වූයේ නැහැ.

ඉවාන් තම සතුරන් යයි සිතූ අයට එරෙහිව දැඩි අමානුෂික වධ බන්ධනයන් ක්‍රියාවට නැගුවා. ඇතැම් විචාරකයින් විග්‍රහ කරන පරිදි ඉවාන් තමන්ව සැලකූයේ දෙවියන්ගේ නියෝජිතයා ලෙස යි. එවිට තමන්ට එරෙහිව යන අයට අපායේ දී හිමිවන දඬුවම් හිමි වියයුතු බව ඔහු විශ්වාස කළා.

පුත්‍රයා මරණයට පත් වීම

1581 නොවැම්බර් මාසයේ දිනෙක ත්සාර් ඉවාන් ග්‍රෝස්නි සිය පුත්‍රයා වූ ඉවාන් ඉවානොවිච්ගේ බිරිඳ වූ එලේනා ශෙරෙමෙතේවාට පහර දුන්නේ නුසුදුසු ඇඳුමක් හැඳ සිටියේ යයි චෝදනා කරමින්. ඇය එම අවස්ථාවේ ගැබිණියක ව සිටි අතර පහර දීමෙන් පසු ඇයට ගබ්සාවක් සිදුව තිබෙනවා. මේ පිළිබඳ සාර් ඉවාන් සහ සාර්යෙවිච් (කිරුළ හිමි කුමරු) ඉවාන් ඉවානවිච් අතර බහින්බස් වීමක් වුණා. එහි දී සාර් විසින් උල් අගිස්සක් සහිත බස්තමකින් එල්ල කළ පහරකින් සාර්යෙවිච් මරණාත්මක තුවාල ලැබුවා. ඉවාන් ග්‍රෝස්නි ප්‍රාතිහාර්යයක් ප්‍රාර්ථනා කරමින් යාඥා කළ ද දින කිහිපයකින් ඉවන් ඉවානවිච් මියගියා.

(මේ සිදුවීම මේ ආකාරයෙන්ම සිදුවූයේ යයි සම්පූර්ණයෙන් තහවුරු වී නැහැ. නමුත් සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන කතා පුවත මෙයයි).

මරණය සහ “කරදරකාරී සමය”​

ඉවාන් ග්‍රෝස්නි මියගියේ 1584 මාර්තු 28 වනදා සිය සමීපතමයෙකු වූ බොග්දාන් බෙල්ස්කි සමග චෙස් ක්‍රීඩා කරමින් සිටිය දී රෝගී වීමෙන්. ඔහුගේ මරණය සමග රුසියාව අවිනිශ්චිත කාලයක් කරා ගමන් ගත්තා. ඉවාන් ඉවානොවිච් මරණයට පත් වීමෙන් පසු, සිහසුන හිමි ශක්තිමත් අයෙකු නොවීම මෙයට හේතුව වුණා.

ඉවාන් ඉවානොවිච්ගේ මරණය හේතුවෙන් ඔහුගේ බාල සහෝදරයා ත්සාර්යෙවිච් බවට පත් වුණා. රෝගී තැනැත්තෙකු වූ ෆියදෝර් ඉවානොවිච් ආගම දහමට ලැදි, දේශපාලනය පිළිබඳ තැකීමක් නොකළ අයෙක්. 1584 දී සාර් ඉවාන් ග්‍රෝස්නි මියගිය පසු ෆියදෝර් ත්සාර් ලෙස පත් වූ අතර, සත්‍ය වශයෙන්ම බලය තිබුණේ ඔහුගේ බිරිඳගේ සොයුරා වූ බරිස් ගදුනෝෆ් අත යි.

ඉවාන් ග්‍රෝස්නිගේ අවසන් බිරිඳ වූ මාරියා නගායා 1581 දී දිමිත්‍රි ඉවානොවිච් නම් පුත්‍රයකු බිහි කළා. ඔහු 1591 දී මියගිය අතර බරිස් ගදුනෝෆ් විසින් එම මරණය සිදුකරවූ බවට ද සැකයක් පවතිනවා.

(දිමිත්‍රි මියගියේ නැති බවට ප්‍රබල විශ්වාසයක් වූ අතර එහෙයින්ම අරාජික සමයේදී තමුන් දිමිත්‍රි බවට කියා සිටි කිහිප දෙනෙක්ම රුසියන් සිහසුන සඳහා සටන් වැදුණා).

ෆියදෝර් 1598 දී මියගියේ දරුවන් නොමැතිව යි. ඒ අනුව එතෙක් රුසියාව පාලනය කළ රුරික් රජවංශය ඉන් නිම වුණා. බරිස් ගදුනෝෆ් තමා සාර් ලෙස ප්‍රකාශ කළ ද ඔහුටත් විරුද්ධවාදීන් මතු වුණා. 1605 දී ගදුනෝෆ් මියගිය පසු රට අරාජික තත්ත්වයකට පත් වුණා.

මේ ආකාරයෙන් මතු වූ සමය "කරදරකාරී සමය​" ලෙස හඳුන්වනවා. එය අවසන් වූයේ රොමානොෆ් රාජවංශය බලයට පැමිණීමෙනුයි.


Monday, August 24, 2020

කළු, සුදු, අළු සහ බෙලරූස්

ලෝකෙ දේශපාලන පළහිලව් ගැන ගොඩක් දෙනාට තියෙන්නෙ හරි සරල දැක්මක්. ඒ අය ලෝකෙ දකින්නෙ කළු සහ සුදු විදියට. මැද තියෙන අළු පාට පෙනෙන්නෙ නැහැ. මං මේකට කියන්නෙ "සීත යුද්ධ මානසිකත්වය" කියලා. ඒ අයගෙ විශ්ලේෂණ සුදුසු වෙන්නෙ 1991 ට පෙර ලෝකෙට. සෝවියට් දේශය තිබ්බ කාලෙට.

හැබැයි දැන් ලෝකෙ ඊට වඩා වෙනස්. දැන් සිද්ධ වෙන සමහර ජාත්‍යන්තර සිද්ධි සහ ගේම් තේරුම් ගන්න ඔය වගේ සරල කළු සහ සුදු තියරි හරියන්නෙ නෑ.


බෙලරූස් සම්බන්ධව මම නිව්ස් එකක් ලිව්වා නම් ම්සක කිසිම ඔපීනියන් එකක් කිව්වෙ නැත්තෙ සහ කියන්නෙ නැත්තෙ ඒකයි. අපිට පේන කළු සුදු දේශපාලනේට වැඩි දෙයක් එතන තියෙනව කියලයි අගෝස්තු මාසෙ 9 සහ ඊට පසුව වෙච්ච දේවල්වලින් මට හිතෙන්නෙ. ඒ ප්‍රශ්නය ගැන රුසියාව හැසිරිච්ච විදිය නිරීක්ෂණය කරද්දි මට ඒක හිතුණෙ. රුසියාව මුල් දිනවල එක පැත්තකින් මේ පිළිබඳ යුරෝපා නායකයින් සමග සාකච්ඡා කරන ගමන් ලුකාශෙන්කෝ වෙත ප්‍රබල ලෙස සහය දැක්වීමෙන් වැළකුණා. රුසියාවෙ ස්ථාවරය ලුකශෙන්කෝගෙ පැත්තට පැහැදිලි නැඹුරුවක් පෙන්නුම් කළේ සති දෙකක් පමණ ගතවුණාට පස්සෙයි. මේක හරි වැදගත් සංසිද්ධියක් බවයි පෙනෙන්නෙ.

මොනවත්ම කියන්න කල් වැඩියි. සමහර වෙලාවට, කවදාවත්ම මොනවත් කියන්න තරම් කරුණු අපි දැනගන්න එකක් නෑ.

කියවන්න​: බෙලරූස් උද්ඝෝෂකයන් භාවිතා කරන සුදු-රතු-සුදු ධජය

Sunday, August 23, 2020

රාජස්ථානයේ ජයිසල්මේර් බලකොටුව

ජයිසල්මේර් නගරය පිහිටා ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බටහිරට වන්නටයි. ථාර් කාන්තාරය මැද පිහිටි මෙම නගරය 78,000 කට ආසන්න ජනගහනයකින් යුතුයි. මෙහි ගොඩනැගිලි ඉදිකිරීමට යොදාගන්නා කහ පැහැති වැලිගල් වර්ගය හේතුවෙන් ඊට "රන්වන් නගරය" යන නම ලැබී තිබෙනවා.


ජයිසල්මේර් නගරයේ පිහිටි බලකොටුවේ ඉතිහාසය අවුරුදු 900 කට ආසන්නයි. මහාරවාල් ජයිසාල් නම් රාජ්පුත් නායකයා මෙම බලකොටුව ඉදි කිරීම ඇරඹූ බව කියනු ලබන්නේ 1156 වසරේදී යි. මෙය ඉදිකිරීමට වසර හතක් ගතවී තිබෙනවා. පසුකාලීනව විවිධ කොටස් ඊට එකතු වුණා.


ජයිසල්මේර් යන නමෙහි තේරුමත් ජයිසාල්ගේ පර්වතය යන්නයි. මෙම බලකොටුව "රාජස්ථානයේ පර්වත බලකොටු" නම් යුනෙස්කෝ ලෝක උරුමයට අයත් එක බලකොටුවක් වනවා. මෙයටත් "සෝනාර් කිලා" (රන්වන් බලකොටුව) යන යෙදුම භාවිතා වෙනවා. ජයිසල්මේර්වල සෑම ගොඩනැගිල්ලක්ම පාහේ ඉදිකර තිබෙන වැලිගල්වලින්ම මෙය ද ඉදිකර තිබෙනවා.


මෙම බලකොටුවේ සමස්ථ වටප්‍රමාණය කිලෝමීටර් 5ක් වනවා. එහි පවුරේ පළල මීටර් 2 - 3 ක් අතර වනවා. එමෙන්ම බලකොටුවේ ප්‍රධාන කොටසේ පවුරෙහි බිත්ති දෙකක් වන අතර ඒ මැද මීටර් 2-4ක් අතර පළල ඉඩක් තිබෙනවා. එම ඉඩ ප්‍රමාණය සෙබළුන් එහා මෙහා යාමට භාවිතා කළ හැකියි.


බලකොටුවේ ඉහළ කොටසෙහි තුවක්කු රඳවන ස්ථාන සහ සඳළුතල ආදිය වනවා. එමෙන්ම එහි ගල් බෝල සහ සිලින්ඩරාකාර ගල් තබා ඇත්තේ සතුරු හමුදා වෙත පෙරළීමටයි. බලකොටුවෙහි මුර අට්ටාල 99ක් වනවා.


අකායි සිංගේ පාලන සමයේදී (1722-62) ජනතාව බලකොටුව අසළ බෑවුම් ආශ්‍රිතව ජීවත් වීමට පැමිණියා. බලකොටුව තුළ ද දේවාල සහ වෙනත් ගොඩනැගිලි ඉදිවුණා. අදටත් එහි ප්‍රධාන දේවාල මෙන්ම ජෛන පන්සල් ද පිහිටා තිබෙනවා.


අතීතයේදී ජයිසල්මේර් හි ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ කාන්තාරය හරහා යන වෙළෙඳුන්ට පහසුකම් සැලසීම සහ ඔවුන්ගෙන් ලැබුණ බදු ආදායමයි. එහෙත් මුහුදු මගින් වෙළෙඳාම ප්‍රචලිත වීමත් සමග ජයිසල්මේර් හි වැදගත්කම පහළ ගියා. එහෙයින් අතීතයේ ධනවත් නගරයක් වූ එහි මූල්‍යමය තත්ත්වය පහළ වැටුණා. වර්තමානයේදී එහි වැදගත්ම ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තය යි.

සැන්ඩර්ස් අනුගාමිකයන්ගේ අලුත් පක්ෂය

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ මධ්‍ය වාමාංශික කොටසක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු අරඹා තිබෙන බව වාර්තා වනවා.

මෙම පිරිස ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් ජාතික සම්මේලනවලින් අනතුරුව රැස්වීමට සැරසෙන බවයි ප්‍රකාශ කෙරුණේ.

මෙම කණ්ඩායමේ මූලිකත්වය ගෙන ඇත්තේ ලේඛිකා මාරියාන් විලියම්සන්, ආර්කන්සා ප්‍රාන්තය නියෝජනය කළ හිටපු ඩිමොක්‍රටික් සෙනට් සභික මයික් ග්‍රැවල්, 2020 බයිඩන් ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ නීනා ටර්නර් සහ ආචාර්ය කෝර්නෙල් වෙස්ට් යන පිරිසයි.

ජනතාවාදී පක්ෂයක් සඳහා වන ව්‍යාපාරය නමින් තමන්ව හඳුන්වා දෙන මෙම පිරිස කියා සිටින්නේ සමාගම්වලට යට නොවූ, ජනතා අභිලාෂයන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම තම ඉලක්කය බවයි.

ඩිමොක්‍රටික් පක්ෂය සිය වාමවාදී කඳවුර කොන් කිරීමට ලක් කරන බවයි මෙම කණ්ඩායම ඇතුළු ඇතැම් කොටස්වල මතය වී තිබෙන්නේ.

තමා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියකු ලෙස හඳුන්වාගන්නා සෙනට් සභික බර්නි සැන්ඩර්ස් වටා සැලකිය යුතු අනුගාමිකයන් පිරිසක් පහුගිය කාලයේ එක් වුණා. ඉන් වැඩි පිරිසක් තරුණ වයසේ අයයි. 2016 ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂ නාමයෝජනා වෙනුවෙන් කළ සටනේදී ඔහු හිලරි ක්ලින්ටන්ට පරාජය වුණා. පක්ෂය තුළින්ම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කෙරුණ බවටත් තොරතුරු පසුව අනාවරණය වුණා.


සැන්ඩර්ස් විසින් ඇති කළ ප්‍රබෝධය සමග ඩිමොක්‍රටික් සෝෂලිස්ට්ස් ඔෆ් ඇමරිකා (ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්) නම් ප්‍රබල සංවිධානයක් පවා නිර්මාණය වී තිබෙනවා. මෙය බොහෝ කලකින් ඇමරිකාවේ නිර්මාණය වුණු ප්‍රබල වාමවාදී සංවිධානය ලෙස අවිවාදයෙන් නම්කළ හැකියි.

මෙවර ජනාධිපතිවරණ නාමයෝජනා සටනේදී ද ජෝ බයිඩන්ට සැන්ඩර්ස් පරාය වීම සමග ඩිමොක්‍රටික් පක්ෂය තුලින්ම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කළේ යන සැකයක් මතු වුණා.

Friday, August 21, 2020

නම් තුනක් ඇති ඝාතකයකුට ගොදුරු වූ ලියොන් ට්‍රොට්ස්කි

1940 අගෝස්තු 21 වන දා, මාරයා ලියොන් ට්‍රොට්ස්කි කරා පැමිණියේ සෝවියට් දේශයෙන් බොහෝ ඈත මෙක්සිකෝවේදී. එහෙත් මාරයාගේ කාර්යයභාරය සිදුකළේ සෝවියට් ඒජන්තයකු විසින්. යාක්ස් මොනාර්ඩ් නමින් පෙනී සිටි ඔහුගේ ඝාතකයා ඊට පෙර දින ඔහුගේ නිවසේ දී ම ට්‍රොට්ස්කිගේ හිසට, හිම කඳු නැගීමේ දී භාවිතා කරන පොරවකින් පහර දීමෙන්, මොළයට සිදු වූ හානිය ඔහුගේ මරණයට හේතු වුණා​​. ඔහුගේ මරණය එකල NKVD නමින් හඳුන්වන ලද, පසුව KGB බවට පත් වූ සෝවියට් රහස් ඔත්තු සේවය​ විසින් සිදුකරන ලද බව පසු කලෙක​ හෙළි වූ අතර සෝවියට් දේශය 1989 දී ඒ බව පිළිගත්තා​.

ට්‍රොට්ස්කි ඝාතනය ඉතා ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද්දක් බව බොහොම පැහැදිලියි​. මෙම සැලසුම කෙතරම් ප්‍රවේශමෙන් පිළියෙල කෙරුණේද යත්, එය ක්‍රියාවට නැගූ යාක්ස් මොනාර්ඩ් යනු කවරෙක් ද යන වග පවා හෙළි වූයේ බොහෝ කල් ගත වූ පසුව යි​.

ස්ටාලින් vs ට්‍රොට්ස්කි

සෝවියට් විප්ලවයට නායකත්වය දුන් පිරිස අතුරින් රතු හමුදාව නිර්මාණය කිරීම සහ රුසියාවේ සිවිල් යුද්ධයේ දී එය ජයග්‍රහණය කරා ගෙන යාමට වැඩියෙන්ම දායක වූ තැනැත්තා ලියොන් ට්‍රොට්ස්කි බව පැහැදිලියි. විප්ලවයෙන් පසු විදේශ කටයුතු පිළිබඳ කොමිසාර්වරයා වූ ඔහු 1918 මාර්තුවේ දී යුධ සහ නාවික කටයුතු පිළිබඳ කොමිසාර්වරයා ලෙස පත්ව රතු හමුදාව ප්‍රබල සටන්කාමී ඒකකයක් බවට පත්කොට​, එය ජයග්‍රහණය කරා මෙහෙයවූවා​.


කෙසේ නමුත් පසුකාලීනව සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුළ ජෝසප් ස්ටාලින් සිය බලය තහවුරු කරගත්තා​. ස්ටාලින් සහ ට්‍රොට්ස්කි අතර පෞද්ගලික ආරවුල් මෙන්ම සෛද්ධාන්තික ආරවුලක් ද තිබුණා​. මින් කවරක් දෙදෙනාගේ ආරවුලට වඩා වැදගත් වුණා ද යන්න විවාදාත්මකයි. නමුත් බොහෝවිට වාමාංශික ව්‍යාපාරවල සිදුවන්නේ පුද්ගලික තරහ මරහ වසාගැනීමට සෛද්ධාන්තික කවර එළීම බවත් ප්‍රකට කරුණක්. 1924 ජනවාරියේ සිදු වූ ලෙනින්ගේ මරණින් පසු ස්ටාලින් කෙමෙන් පක්ෂයේ බලය තහවුරු කරගත්තේ ට්‍රොට්ස්කි සහ ඔහුගේ සහචරයින් පසෙකට තල්ලු කරමින්.

1928 දී සෝවියට් කසාක්ස්ථානයට පිටුවහල් කරන ලද ට්‍රොට්ස්කි 1929 දී සෝවියට් දේශයෙන් ම පිටමං කරනු ලැබුණා. ඔහු සිව් වසරක් තුර්කියේ ඉස්තාන්බුල් නගරාසන්නයේ බ්‍යුකාඩා දූපතේ ජීවත් වුණා​. 1933 දී ඔහුට ප්‍රංශයේ දේශපාලන රැකවරණ හිමි වුණ නමුත් 1935 දී ට්‍රොට්ස්කිට ප්‍රංශයෙන් පිට වීමට සිද්ධ වුණා. මීළඟ දෙවසර ඔහු ජීවත් වුණේ නෝර්වේ රාජ්‍යයේ යි. 1937 දී සෝවියට් දේශයෙන් එල්ල වූ පීඩනය මත නෝර්වේ රාජ්‍යයට ඔහුව පිටමං කිරීමට සිදු වුණා.

ට්‍රොට්ස්කි මීළඟට ළඟා වුණේ මෙක්සිකෝවට යි. එරට ජනාධිපතිවරයා විසින් ඔහුව සාදරයෙන් පිළිගනු ලැබුණා. චිත්‍ර ශිල්පිය‍ෙකු වූ දියේගෝ රිවේරාගේ නිවසේ ජීවත් වූ ඔහු පසුව දැඩි රැකවල් සහිත නිවෙසක පදිංචියට ගියා.

පිටුවහල් ව සිටිය දී ඔහු ස්ටාලින් සමග සටන දිගටම ගෙන ගියා. 1930 දී පළ වූ රුසියානු විප්ලවයේ ඉතිහාසය ග්‍රන්ථය එම විප්ලවය පිළිබඳ විශිෂ්ට විස්තරයක් ලෙස සැලකෙනවා. එයින් පසු ඔහු පොත පත සහ ලිපි මඟින් ස්ටාලින් විවේචනය කළා. 1938 දී තුන්වන ජාත්‍යන්තරයට එරෙහිව ඔහු හතරවන ජාත්‍යන්තරය පිහිටවූවා.


කොමියුනිස්ට් ව්‍යාපාරය පැත්තෙන් ගත් කළ හතරවන ජාත්‍යන්තරයට විශාල බලපෑමක් තිබුණේ නැතත් ට්‍රොට්ස්කිගේ විවේචන ස්ටාලින්ට දරුණු පහරක් වුණා. කෘතහස්ට්ත ලේඛකයකු හා න්‍යායාචාර්යවරයකු වූ ට්‍රොට්ස්කිගේ සෛද්ධාන්තික ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ශක්තියක් ස්ටාලින්ට වූයේ නැහැ. 1930 දශකයේ මැද කාලයේ සිට ස්ටාලින් තමන්ට එරෙහි වේයැ යි සිතූ සියල්ලන් මරා දැමීමට පටන් ගෙන තිබුණ අතර සැතපුම් දහස් ගණනක් ඈත ජීවත් වූ ට්‍රොට්ස්කි ද එම ලැයිස්තුවේ ඉහළින් ම සිටියා.

නම් තුනකින් යුතු ඝාතකයා

ට්‍රොට්ස්කිට මාරාන්තික පහර එල්ල කළ පුද්ගලයා ට්‍රොට්ස්කිගේ නිවසේ අය දැන සිටියේ ෆ්‍රෑන්ක් ජැක්සන් යන නමින්. කෙසේ වෙතත් තමා යාක්ස් මොනාර්ඩ් නම් ප්‍රංශ ජාතිකය‍ෙකු බව ඔහු අත්අඩංගුවට ගත් පසු ප්‍රකාශ කළා. තමා බලාපොරොත්තු කඩ වූ ට්‍රොට්ස්කිවාදියකු බව ඔහු ප්‍රකාශ කළ නමුත් ප්‍රශ්න කිරීමේ දී ඔහුට දැඩි ස්ටාලින්වාදී අදහස් තිබෙන බව පෙනෙන්නට තිබුණා. තව ද ඔහුගේ ප්‍රංශ භාෂා භාවිතය ව්‍යක්ත ලෙස පෙනී ගියද, ඒ තුළ යාන්තමින් සැඟවුණ ස්පාඤ්ඤ ඌරුවක් ගෑවී තිබුණා. මේ අනුව යාක්ස් මොනාර්ඩ් යනු සැබැවින් ම වෙනත් පුද්ගලයකු බවට සැකයක් නිර්මාණය වුණා.

යාක්ස් මොනාර්ඩ් සැබැවින්ම කවරෙක් ද යන්න සොයා ගන්නා ලද්දේ මෙක්සිකෝ ජාතික විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අල්ෆොන්සෝ ක්විරෝස් කුඅරොන් විසින්. ඒ ස්පාඤ්ඤ ජාතික පොලිස් ලේඛනාගාරය පරික්ෂා කිරීමේ දී. ඝාතකයා රමෝන් මර්කඩෝර් නම් ස්පාඤ්ඤ කොමියුනිස්ට්වාදියකු බව යි මේ අනුව හෙළි වූයේ.

ඝාතන සැලසුම

රමෝන් මර්කඩෝර් මෙහෙයුම සඳහා බඳවාගෙන තිබුණේ ස්පාඤ්ඤ සිවිල් යුධ සමයේ දී ඔහුගේ මව හා අනියම් සබඳතාවක් ගොඩනගාගත් NKVD නියෝජිත ලියොනිඩ් එයිටින්ගන් විසින්. රමෝන්ගේ මව දැඩි මතධාරී කොමියුනිස්ට්වාදිණියක වුණා. එමෙන්ම ස්පාඤ්ඤ බස මෙක්සිකෝවේ ද ව්‍යවහාර භාෂාව වීම ද රමෝන් මර්කඩෝර් මේ සඳහා බඳවා ගැනීමට අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබුණා.

1938 දී රමෝන් මර්කඩෝර් පැරිසියේ දී ඇමරිකානු ට්‍රොට්ස්කිවාදිණියක වූ සිල්වියා අගෙලොෆ් සමග සබඳතාවක් ඇතිකරගත්තා. 1939 දී ඔහු ෆ්‍රෑන්ක් ජැක්සන් යන ආරූඪ නාමයකින් යුත් ගමන් බලපතක් රැගෙන ඇය සමග ඇමරිකාවට පැමිණි අතර පසුව මෙක්සිකෝවට ළඟා වුණා. සිල්වියා මාර්ගයෙන් ඔහු ට්‍රොට්ස්කි නිවසට ඇතුළු වීමට අවස්ථාව උදා කරගත්තා.

1940 මැයි මාසයේ දී මෙක්සිකානු පොලිස් නිල ඇඳුමින් සැරසුණ විසි දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් ට්‍රොට්ස්කිගේ නිවසේ මිදුලට කඩා වැදී ඔහුගේ නිදන කාමරය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. මෙම අවස්ථාවේ ඔහුත් ඔහුගේ බිරිඳත් ප්‍රාතිහාර්යයකින් මෙන් දිවි ගලවාගැනීමට සමත් වුණා. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් පිළිබඳ සොයාගන්නා ලද නමුත් මර්කඩෝර් පිළිබඳ හෙළි වූයේ නැහැ.

මේ අනුව මර්කඩෝර් දිගටම ට්‍රොට්ස්කි නිවසට යන්නට එන්නට වූ අතර ට්‍රොට්ස්කි සමග ද මිත්‍රත්වයක් ගොඩ නගාගැනීමට සමත් වුණා.

අගෝස්තු 17 වන දා මර්කඩෝර් ට්‍රොට්ස්කි හමු වුණේ ඔහු ලියමින් සිටි ලිපියක් පිළිබඳ සාකච්ඡා කිරීමට යි. මර්කඩෝර් එදින ට්‍රොට්ස්කිගේ කන්තෝරු කාමරයේ විනාඩි 11ක් රැඳී සිටියා.

නැවත ට්‍රොට්ස්කි හමුවීමට මර්කඩෝර් පැමිණියේ අගෝස්තු 20 වන දා යි. එදින පැහැපත් දිනයක් වූ නමුත් මර්කඩෝර් පැමිණියේ වැහි කබායක් හැඳගෙන යි. ඒ පිළිබඳ ට්‍රොට්ස්කිගේ බිරිඳ නතාලියා සෙඩෝවා විමසූ විට මර්කඩෝර් කියා සිටියේ "කොයි වෙලේ වුව වැසි වැටීමට ඉඩ ඇති ය​" යනුවෙන්.

නමුත් සත්‍ය කාරණය වූයේ එම කබායේ ඇතුල් සාක්කුවක මර්කඩෝර් හිම කඳු නගින්නන් භාවිතා කරන කුඩා අත් පොරවක් හෙවත් අයිස් පොරවක් රඳවාගෙන සිටීම යි. මර්කඩෝර් ට්‍රොට්ස්කිගේ කන්තෝරු කාමරයට ගොස් සිය ලිපිය ඔහුට පෙන්වා සිටියා. ට්‍රොට්ස්කි එය කියවන විට ඔහුට නොපෙනෙන ලෙස අයිස් පොරව සියතට ගත් මර්කඩෝර් එයින් ට්‍රොට්ස්කිගේ හිසට පහර දුන්නා.


ට්‍රොට්ස්කිගේ වේදනාත්මක කෑ ගැසීම ඇසී කාමරයට කඩා වැදුණ ආරක්ෂකයින් මර්කඩෝර් මරා දැමීමට සූදානම් වෙද්දී ට්‍රොට්ස්කි එය වළක්වාලූවා. ඔහුව ප්‍රශ්න කළ යුතු යි යනුවෙන් ට්‍රොට්ස්කි ප්‍රකාශ කළා. ඒ අනුව මර්කඩෝර් රඳවා ගනු ලැබුණා.

රෝහල්ගත කළ ට්‍රොට්ස්කි පසුදින මරණයට පත් වුණා. මර්කඩෝර් වසර 20ක් බන්ධනාගාරයේ කල් ගත කළ අතර පසුව නිදහස ලබා කියුබාවට සංක්‍රමණය වුණා. ඔහු මිය ගියේ 1978 දී යි.

Thursday, August 20, 2020

බෙලරූස් උද්ඝෝෂකයන් භාවිතා කරන සුදු-රතු-සුදු ධජය

මේ දිනවල බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝට එරෙහිව දැවැන්ත විරෝධතා පවතිනවා. මේ විරෝධතාවල දර්ශන නරඹද්දි ජනතාව භාවිතා කරන සුදු-රතු-සුදු ධජයක් දකින්න ලැබෙනවා. මෙය දැනට භාවිතා වන බෙලරූස් ජාතික ධජය නොවෙයි. අපි බලමු මේ ධජය කුමක්ද කියලා.

Pic: Reuters


බෙලරූස් උද්ඝෝෂණවල පසුබිම දැනගන්න මේ ලිපිය කියවලාම ඉන්න: බෙලරූස් රටේ සිදුවන දේ

වර්තමාන බෙලරූස් රාජ්‍යය පිහිටි ප්‍රදේශය අතීතයේදී ලිතුවේනියා මහාධිපාද ප්‍රදේශයට සහ පෝලන්ත - ලිතුවේනියා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් වුණා. පෝලන්ත - ලිතුවේනියා පොදුරාජ්‍ය මණ්ඩල ධජය ද සුදු සහ රතු වර්ණයෙන් යුතු වුණා. බෙලරූස් සුදු-රතු-සුදු ධජය එය අනුසාරයෙන් නිර්මාණය වූයේ යයි විශ්වාස කෙරෙනවා.

බෙලරූස් රාජ්‍යයේ මෙම ධජය මුලින්ම භාවිතා වුණේ 1918 දි. එකල එම ප්‍රදේශයේ පිහිටුවපු බෙලරූස් මහජන සමූහාණ්ඩුව නම් රජය විසින් එය භාවිතා කළා. මෙම ප්‍රදේශය එකළ ජර්මන් පාලනය යටතේ තිබුණත් මෙම රජය පිහිටුවාගැනීමේ අපේක්ෂාව වුණේ බෙලරූස් රාජ්‍යයක් නිර්මාණය කරගැනීමයි. කෙසේ වෙතත් බෝල්ෂවික් බලය වර්ධනය වීම හමුවේ එම ප්‍රදේශ රතු හමුදා යටතට පත්වීමෙන් මෙම උත්සාහය ව්‍යර්ථ වුණා.

පළමු ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය අතර කාලසීමාවේ නැගෙනහිර පෝලන්තයේ ක්‍රියාත්මක වෙච්ච බෙලරූස් සංවිධාන මෙම ධජය භාවිතා කළා. මේ අතර බෙලරූස් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව තමන්ගෙ ධජය විදියට විවිධ ධජ භාවිතා කළා. ඒවා සෝවියට් ධජය මත පදනම්ව නිර්මාණය වූ ධජයන් වුණා.

1939 දි සෝවියට් හමුවා විසින් නැගෙනහිර පෝලන්තය අල්ලාගැනීමත් සමග මෙම ධජය එහි භාවිතය නැවතුණා. එහෙත් 1941 දි ජර්මනිය විසින් බෙලරූස් ප්‍රදේශය අල්ලාගත් පසු යළි මෙම ධජයට ඉඩ ලැබුණා. ඒ වගේම ජර්මන් හමුදාවට හා වෆන් SS බලකායට සම්බන්ධ වූ බෙලරූස් පිරිස් මෙම ධජය සහිත අත් පටියක් පැළඳ සිටියා.

1944 දි බෙලරූස් ප්‍රදේශය සෝවියට් සේනාංක විසින් අල්ලාගත් පසු නැවත මේ ධජය තහනම් වුණා. ඉන්පසු එය භාවිතා කළේ පිටුවහල් වී සිටි බෙලරූස් ජාතිකවාදීන් විසින් පමණයි. මේ අතර, 1951 දී බෙලරූස් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව සඳහා නව ධජයක් හඳුන්වා දෙනු ලැබුණා.

1991 දී සෝවියට් දේශය බිඳ වැටෙන සමයේ නැවත මෙම ධජය භාවිතයට පැමිණියා. ඒ අනුව 1991 සිට 1995 දක්වා එම ධජය බෙලරූස් හි ජාතික ධජය ලෙස භාවිතා කෙරුණා.

අලෙක්සන්දර් ලුකාශෙන්කෝ 1994 දී බලයට පැමිණි පසු ඔහු විසින් 1951 දී සම්මත වූ සෝවියට් බෙලරූස් ධජය අනුසාරයෙන් නිර්මාණය වූ ධජයක් හඳුන්වා දුන්නා. එය 1995 දී භාවිතයට පැමිණියා.

Pic: AP


මේ හේතුවෙන්, ලුකාශෙන්කෝ විරෝධීන් සිය උද්ඝෝෂණවලදී භාවිතා කරන්නේ බෙලරූස් සුදු-රතු-සුදු ධජයයි.

ඇතැම් අවස්ථාවල මෙම ධජයෙහි මැද, රතු පළිහක සුදු පැහැයෙන් අඳින ලද අසරුවකුගේ සංකේතයක් ද දැක්වෙනවා. එය ද 1918 බෙලරූස් රාජ්‍යයේ රාජ්‍ය ලාංඡනය වූ සලකුණයි. එය පැරණි ලිතුවේනියා මහාධිපාද ප්‍රදේශයේ රාජ්‍ය ලාංඡනය ද වුණා.