Thursday, August 16, 2012

ලංකාවේ මම ආසම තැන... රුවන්වැලි සෑය.


ශ්‍රී ලංකාව රමණීය දිවයිනකි. එමෙන්ම එහි ඉතිහාසයද විචිත්‍ර කතාන්දරයකි. ලංකා ඉතිහාසය ඉගෙන ගැනීමෙහි මා තුල ඇති නොනිම් ආශාව නිසාදෝ, ලංකාවේ මා යාමට කැමතිම ස්ථානය වන්නේ පැරණි අනුරාධපුරයයි. එයින්ද, මා වඩාත් කැමැත්තක් දක්වන්නේ වෙසෙසින්ම රාත්‍රී කාලයට රුවන්වැලිසෑය අසලට වී සිටීමටය. ශ්‍රී මහා බෝධියට සහ රුවන්වලිසයට මා එක ලෙස ගෞරව කරන නමුත් මට සිතෙන පරිදි මහා බෝධිය අසල කලබලකාරීත්වය මදක් වැඩිය. එහෙයින් මම රුවන්වැලිසෑයට වඩා ඇලුම් කරමි.

සුදෝවන්ව බබලන රත්නමාලී චෛත්‍ය රාජයාගේ ගාම්භීරත්වය අත් දැකීමට එය අසලටම යා යුතු නොවේ. බසවක්කුලම දෙස සිට වේවා, ථූපාරාමය දෙස සිට වේවා, නුවර වැව දෙස සිට වේවා, වෙනෙකක් තබා සැතපුම් ගණනක් ඈත පිහිටි මිහින්තලයේ සිට වේවා රත්නමාලී චෛත්‍යය දකින අයෙක් එම දර්ශනයට වශීකෘත නොවේ යයි කිව නොහැක. වෙසෙසින්ම සුදු හුණු ආලේප කල අලුත මහා සෑය පිවිතුරු දසුනක් මවා පායි. රුවන්වැලිසෑය ලංකාවේ බොහෝ ස්ථූප අතුරින් මහා ථූපය වනුයේ එහි වන ගාම්භීරත්වය හේතුවෙනි.

රාත්‍රී කාලයට විදුලි ආලෝකය ඇති විට රුවන්වැලි සෑය ඊටත් වඩා සුන්දරය. වියලි දිනවල දහවල් කාලය පුරාම අනුරාධපුරයට වැටෙන කටුක අව් රශ්මිය හේතුවෙන් පීඩාවට පත්වන වන්දනාකරුවන්ට මෙන්ම සංචාරකයන්ටද රාත්‍රී කාලයේ රුවන්වැලිසෑය ගෙන දෙන්නේ මහත් ප්‍රමෝදයකි. රාත්‍රියට සලපතල මළුව හරහා හමන සීත සුළඟ අත් දකින්නෙකුට තමා සිටින්නේ ලංකාවේ උෂ්නාධිකතම ප්‍රදේශයක බව අමතක වීම අරුමයක් නොවේ. සලපතල මළුවේ සුදුසු තැනකට වී භාවනා කිරීමට රාත්‍රී කාලය ඉතා යෝග්‍ය බැව් අමුතුවෙන් නොකිවමනාය.

රුවන්වැලිසෑය ආදී ලාංකික වාස්තුවිද්‍යාවේ මෙන්ම ඉංජිනේරු විදයාවේද විශිෂ්ටත්වය පිලිබඳ ජීවමාන සාක්ෂියකි. රුවන්වැලිසෑය පැරණි විද්‍යාවේ හාස්කමක් වනුයේ අහි සුවිශාලත්වය හේතුවෙන් පමණක් නොවේ. එහි ඇති සමමිතියද ඒ සඳහා කදිම සාධකයකි. මහා ථූපය අසලට ගොස් තම අතේ දුරින් සිටගෙන ඉහල බැලූ කල ඕනෑම කෙනෙකුට ථූපයේ ගර්භයට ඉහලින් ඇති හතරැස් කොටුව (දේවතා කොටුව) හෝ කොත් කැරැල්ල නොපෙනෙන අතර ඉහලින්ම ඇති කොත පමණක් දිස් වෙයි. චෛත්‍යයෙහි වටා ගොස් කොතනකින් බැලුවද පෙනෙනුයේ එකම දසුනකි. එතරම් විශාල මහා ථූපයේ සමමිතිය එසේය.

රුවන්වැලිසෑය ඉදිකිරීම පිලිබඳ ජනප්‍රවාද බොහෝ වන්නට ඇත. සෑය ඉදිකොට සියවස් සයකට පමණ පසු ඒ පිලිබඳ ලියවුනු මහත් වූ වර්ණනාවක් මහානාම හිමියන් විසින් රචිත මහාවංශයෙහි වෙයි. නමුත් මහා සෑය පිලිබඳ තවත් බොහෝ ඉතිහාස කරුණු සැඟව ඇති බවට සිතිය හැක. එක උදාහරණයක් සඳහන් කළහොත්, භාතිකාභය රජතුමා විසින් මීට වසර දෙදහසකට පෙර කරන ලද ජල පූජාව පිලිබඳ අපේ දැනුම අල්පය. අභය වැව හෙවත් බසවක්කුලමෙන් යන්ත්‍රයක් මගින් ජලය ඔසවා අසල වූ මහා ථූපයට ජල පූජාවක් කල බව එවැන්නක් සඳහා යොදා ගත තාක්ෂනය පිලිබඳ අපි තවමත් හරි හැටි නොදනිමු. එමෙන්ම එම රජතුමා මහා ථූපයේ ආරක්ෂාවට අකුණු සන්නායකයක් පවා සවි කල බව කියවේ. එවැනි තාක්ෂනයන් දියුණු කරන ලද්දේ කෙසේද යන්න අදටත් අපි නොදනිමු. කොපමණ අටුවා ටීකා ලියුවද, තවමත් අපි ඉතිහාසය නොදැන අඳුරේ ඇත පත ගාන බව රුවන්වැලිසෑය දකින සැම විටෙකම පාහේ මා හට සිහි වෙයි.

4 comments:

  1. අයියා කියපු රුවන්මැලි සෑයේ සමමිතික බව සම්බන්ධව නම් ගෞරවය වර්තමානයේ හිමිවෙන්න ඕනේ ඒකේ නූතන ඉදිකිරීම් කරපු නිර්මාණ ශිල්පීන්ට. පස් කන්දක් බවට පත්වෙලා තිබුණු රුවන්මැලි සෑයේ පැරණි තත්වයට අනුමාන කිරීම් මඟින් පත් කලේ ඔවුන්.... මම ඒ ගැන ලිපියකුත් ලිව්වා....

    ReplyDelete
    Replies
    1. ඔයා හරි.. නමුත් මම දන්නා විදියට අලුතෙන් ප්‍රතිසංස්කරණය කරන්න උදව් කරගත්තේ පරණ අත්තිවාරම නේද?

      Delete
    2. මේක කියවලා බලන්නකෝ

      http://aagiyakatha.blogspot.com/2012/08/blog-post.html

      Delete
    3. ඔව්. ඔව්... මේක මම කියෙව්වා. බොහොම පින්. :-D

      Delete