Saturday, October 1, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (හත් වෙනි කොටස​) - සෝවියට් රූකඩය බබ්රක් කර්මාල්

සයවන කොටස​: පන්ජ්ශීර් හි සිංහයා

1979 දෙසැම්බරයේදී හෆිසුල්ලා ආමීන් බලයෙන් පහ කළ සෝවියට්වරුන් බබ්රක් කර්මාල් බලයේ පිහිටවූ බව කළින් සඳහන් කරන ලදී. කර්මාල්ගේ පියා හිටපු හමුදා ජෙනරාල්වරයකු සහ පළාත් ආණ්ඩුකාරවරයකු වූ අතර දුරානි පරපුරට අයත් වූවකු විය​. එහෙයින් රටෙහි සාම්ප්‍රදායික ඇෆ්ඝන් ජාතිකයන්ට අනුව ඔහු පාලක පැලැන්තියක අයකු විය​.

එහෙත් බොහෝ ඇෆ්ඝන්වරුන් ඔහුව සළකන ලද්දේ සෝවියට් රූකඩයක් ලෙසිනි.

1929 දී උපන් කර්මාල් තරුණ වියේදී සමාජවාදී දේශපාලනය කෙරෙහි නැඹුරු විය​. ඇෆ්ඝනිස්ථාන මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (PDPA) ආරම්භක සාමාජිකයකු වූ ඔහු 1965 දී ඇෆ්ඝන් පාර්ලිමේන්තුවට තේරී පත්විය​. 1973 දී එය විසිරුවා හරින තුරු හෙතෙම එහි නියෝජිතයකු විය​.

මේ අතර PDPA පක්ෂය දෙකඩ වූ විට එහි වඩා මධ්‍යස්ථ පර්චම් (ධජය​) පිළෙහි නායකයා වූ කර්මාල් 1978 සවුර් විප්ලවයෙන් පසු කෙටි කළක් ඇෆ්ඝනිස්ථාන උප ජනාධිපති ධූරය ද දැරීය​. නමුත් පසුව ඛල්ක් පිළ පක්ෂයේ බලය තහවුරු කරගත් විට ඔහුව චෙකොස්ලොවැකියාවේ ඇෆ්ඝන් තානාපති ලෙස පිටත් කරන ලදී.

ඇතැම් වාර්තා අනුව ඔහු සෝවියට් කේ.ජී.බී. ඔත්තු සේවය වෙනුවෙන් සේවය කළ අතර කේ.ජී.බී ඒජන්තයකු ලෙස ඔහු කටයුතු කිරීම ඇරඹූයේ චෙකොස්ලොවැකියාවේ සිටි සමයේදී ය​.

1979 දෙසැම්බරයේ සෝවියට් ආක්‍රමණයෙන් පසු කර්මාල් ජනාධිපති ධූරයට පත් කරන ලදී. වඩා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සුක වූ හෙතෙම කොමියුනිස්ට්වාදීන් නොවන්නන් ද සිය රජය තුළට එක් කරගැනීමේ උත්සාහයක් දැරීය​. දේශපාලන සිර කරුවන් නිදහස් කිරීම​, මූලික අයිතිවාසිකම් මාලාවක් හඳුන්වා දීම සහ ජාතික ධජය වෙනස් කිරීම ඔහු දුන් මුල් පොරොන්දු අතර විය​. 1978 සවුර් විප්ලවයෙන් පසු ඇෆ්ඝනිස්ථානයට සෝවියට් ධජය සිහි ගැන්වෙන ආකාරයේ රක්ත වර්ණ ධජයක් හඳුන්වා දී තිබුණි. කර්මාල් යළිත් සාම්ප්‍රදායික කලු, රතු සහ කොළ වර්ණයන් සහිත ධජයක් හඳුන්වා දුන්නේය​.

කර්මාල්ගේ මුල් කාළයේදී ආගමික නිදහස ද යම් තරමකට ස්ථාපිත කරන ලද අතර මූලික අයිතිවාසිකම් මාලාව ද හඳුන්වා දෙන ලදී. එහෙත් ඒවා කෙතරම් හොඳින් ක්‍රියාවට නැගුණි ද යන්න වෙනමම ප්‍රශ්නයකි.

සවුර් විප්ලවයෙන් පසු ක්‍රියාවට නැගුණ දැඩි ප්‍රතිපත්ති ලිහිල් කළ කර්මාල් ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ද වඩා මධ්‍යස්ථ වන ලෙස 'ප්‍රතිසංස්කරණය' කළේ ය​. තවද තරාකි සහ ආමීන් යටතේ පන්ති සතුරන් ලෙස හැඳින්වූ පිරිස් සමහරක් සමඟ සංහිඳියාවක් ගොඩ නැගීම කෙරෙහි කර්මාල් අවධානය යොමු කළේය​. ඔහු මේ සඳහා ජාතික පීතෘභූමි පෙරමුණ නමින් බහුජන සංවිධානයක් ද ගොඩ නැගීය​.

කෙසේ නමුත් මෙය පක්ෂය විසින් පාලනය කෙරුණ පෙරමුණකට වඩා වැඩි යමක් නොවූ අතර බලාපොරොත්තු වූ පරිදි වෙනත් කණ් ඩායම් ඒ වටා ඒකරාශී නොවීය​. සෝවියට් හමුදා ආගමනය සහ කොමියුනිස්ට් පාලනය තම සාම්ප්‍රදායික දිවි පෙවෙතට තර්ජනයක් බවත්, සෝවියට් හමුදාවල ආගමනය ආක්‍රමණයක් බවත්, කර්මාල් රූකඩයක් පමණක් බවත් ඇෆ්ඝන්වරුන් වැඩිදෙනා විශ්වාස කිරීම ඊට හේතු විය​.

මේ අතර 1981 වසරේ මුල සිට ඇමරිකා එක්සත් ජනපදයෙන් මුජහිදීන්වරුන්ට ලැබෙන ආධාර තවත් වැඩි කරන ලදී. ඒ 1980 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් ජයගත් රොනල්ඩ් රේගන් ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස 1981 ජනවාරියේදී දිවුරුම් දීමත් සමඟය​. මෙම වසරේදීම ඇෆ්ඝන් පාලනය ද සිය යුධ ව්‍යාපාරය තීව්‍ර කළේය​. කේ.ජී.බී. සේවය මත පදනම් වූ රාජ්‍ය බුද්ධි ඒජන්සිය (KHAD) නම් ඔත්තු සේවය මෙහිදී 'අභ්‍යන්තර සතුරන්ට' එරෙහිව ක්‍රියාවට නැගුණ ප්‍රබල ආයතනයක් බවට පත් විය​. රටවැසියන් පිළිබඳ ඔත්තු බැලූ KHAD සංවිධානය පල්ලිවල යාඥා සඳහා සහභාගී වන්නන් පිළිබඳව පවා උනන්දු වූයේය​. විරුද්ධවාදීන් යයි සැළකුණ අය අත් අඩංගුවට ගැනීම​, සිරගත කිරීම​, වද දීම වැනි මර්ධනකාරී පියවර පිළිබඳ එම සංවිධානය ප්‍රකට වූ නමුත් එහි බලපෑම ප්‍රධාන නගරවලින් ඔබ්බට කෙතරම් ව්‍යාප්ත වීද යන්න ගැටලුවකි. KHAD රජයට එල්ල වූ තර්ජන මැඩීමේදී කෙතරම් සාර්ථක වී දැයි කිව නොහැකි නමුත් එහි ප්‍රධානියා වූ මොහොමඩ් නජිබුල්ලාගේ බලය නම් මේ හරහා කෙමෙන් කෙමෙන් වර්ධනය වූ බව පැහැදිලි විය​.

1986 දී සෝවියට් ආධාරයද සහිතව කර්මාල් බලයෙන් පහ කරන්නේ ද නජිබුල්ලා විසිනි. කර්මාල්ගේ බලය අඩු කරමින් සිය බලය ව්‍යාප්ත කිරීමට නජිබුල්ලාට තමන් දැරූ තනතුර වැදගත් වූයේය​.

1985 දී බලයට පැමිණි සෝවියට් නායක මිහායිල් ගොර්බචොව්ට ඇෆ්ඝන් ගැටලුව විසඳාගැනීමට අවශ්‍ය විය​. කර්මාල් ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ මින් පෙරද සළකා බැලෙමින් තිබූ නමුත් ගොර්බචොව්ගේ ආගමනය නව දේශපාලනික වෙනසකට හේතු විය​. 1986 නොවැම්බරයේදී කර්මාල් බලයෙන් ඉවත් කරන ලදී.

බලයෙන් පහ කෙරුණ පසු කර්මාල් ඉතිරි ජීවිත කාළය ගත කළේ රුසියාවේ ය​. 1991 දී කෙටි කළකට ඔහු යළිදු ඇෆ්ගනිස්ථානය වෙත පැමිණියේය​. ඉන්පසු යළි රුසියාවට ගිය හෙතෙම 1996 දෙසැම්බර් 3 වනදා අක්මාවේ පිළිකාවකින් මළේය​.

ජනාධිපති ධූරයට පත් වූ පසු ජනතාව හමුවේ කර්මාල් මුල් වරට පෙනී සිටියේ 1980 ජනවාරි 2 වනදා ය​. "සතුරන් ගෙන් එල්ලවන අභියෝග ඇෆ්ඝන් දේශප්‍රේමීන් විසින් පරාජය කරනු ඇත​" යනුවෙන් කාබුල් නුවරදී එදින ඔහු ජනතාව හමුවේ කියා සිටියේය​. ගැටලුව වූයේ රටවැසියන් බොහෝ දෙනා ඔහුව සැළකූයේ ඇෆ්ඝනිස්ථානයේ සතුරකු ලෙස වීමය​.

Friday, September 30, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (සය වන කොටස​) - පන්ජ්ශීර් හි සිංහයා (Lion of Panjshir)

ඇෆ්ඝනිස්ථානයට පැමිණි සෝවියට් හමුදාවලට​ මුහුණ දීමට සිදු වූයේ පහසු අභියෝගයකට නොවේ. තමන් නොදන්නා රටක කඳුකර​, දුෂ්කර, ඈත පිටිසර ප්‍රදේශවල සටන් කිරීම කිසිසේත්ම පහසු නොවේ. තමන් ඇෆ්ඝනිස්ථානයෙහි රැඳී සිටි සමස්ථ කාළය තුළම සෝවියට් හමුදාවලට ප්‍රධාන මාර්ග සහ නගරවලින් එපිට සිය අණසක වැඩිකල් පවත්වාගත හැකි වූයේ නැත​.

සෝවියට් හමුදා මුජහිදීන්වරුන් පරාජය කිරීමට උත්සාහ කළේ සිය අවි බලයෙනි. බොහෝවිට​, ප්‍රබල සෝවියට් ප්‍රහාර හමුවේ මුජහිදීන්වරු තමන් රැඳී සිටි ප්‍රදේශවලින් පසු බැස්සෝය​. සත්‍ය වශයෙන්ම සෝවියට් හමුදා තමන් සහභාගී වූ සටන් බොහොමයක් ජය ගත්තේය​. එහෙත් ඔවුන් අල්ලාගත් ප්‍රදේශ ආරක්ෂා කිරීම අපහසු වූ අතර ඔවුන් එම ප්‍රදේශවලින් ඉවත් වූ විගස මුජහිදීන්වරු යළි එම ප්‍රදේශවලට පැමිණියෝ ය​. අවසන් ප්‍රතිඵලය වූයේ සටන ඇරඹීමට පෙර පැවති තත්ත්වයට නැවත ළඟා වීමය​.

මුජහිදීන්වරුන් සෝවියට් හමුදාවලට තර්ජනය කළ ප්‍රධාන ක්‍රමයක් වූයේ ඔවුනගේ සැපයුම් මාර්ගවලට පහර දීමෙනි. සෝවියට් උස්බෙකිස්ථානයේ සිට ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවරට වැටී තිබුණ මාර්ගය මෙහි ප්‍රධාන ඉලක්කයක් විය​. මෙම මාර්ගයට පහර දීමේදී සටන්කාමීන් ගේ ප්‍රධාන මූලස්ථානයක් වූයේ පන්ජ්ශීර් නිම්නය යි.

කාබුල් නගරයෙන් කිලෝමීටර් 70 ක් පමණ උතුරු දෙසින් පිහිටි සශ්‍රීක පන්ජ්ශීර් නිම්නය අහමඩ් ශා මසූඩ්ගේ මූලස්ථානය විය​. එම නිම්නය කාබුල් සිට උතුරට වැටී තිබුණ මාර්ගයේ පිහිටි සලාංග් දුර්ගයට (Salang Pass) ආසන්න වූයේය​. මසූඩ් පන්ජ්ශීර් හි සිට එම මාර්ගයට තර්ජනය කළේය​. සෝවියට් සැපයුම් මාර්ග ආරක්ෂා කරන අටියෙන් එම හමුදා මසූඩ්ගේ පිරිස පන්ජ්ශීර්වලින් එලවා දැමීමට මාන බැලුවෝය​.

සෝවියට් හමුදා ප්‍රහාර ගණනාවක් හමුවේ සිදුකළ වික්‍රමයන් හේතුවෙන් අහමඩ් ශා මසූඩ් ප්‍රබල මුජහිදීන් යුධ නායකයකු ලෙස නමක් දිනාගත් අතර 'පන්ජ්ශීර් හි සිංහයා' ලෙස ද ඔහු ප්‍රකට විය​.

පන්ජ්ශීර් නිම්නයේ බසරක් නගරයේදී 1953 සැප්තැම්බර් 2 වනදා උපන් බව කියන අහමඩ් ශා මසූඩ්ගේ පවුල යමක් කමක් තිබුණ​, තජික් ජාතික​, සුන්නි මුස්ලිම් පවුලක් විය​. 1970 දශකයේදී ඉංජිනේරු සිසුවකු ලෙස කාබුල් පොලිටෙක්නිකල් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ හෙතෙම පසුව බුරනුද්දින් රබ්බානිගේ ජමියත් - ඊ - ඉස්ලාමි සංවිධානය සමඟ සම්බන්ධ වූයේය​. සෝවියට් ආක්‍රමණයෙන් පසු හෙතෙම පන්ජ්ශීර් හි සිට එම ආක්‍රමණයට එරෙහිව සටනට බැස්සේය​.

පන්ජ්ශීර් වෙත මුලින්ම එල්ල වූ ප්‍රහාරයන් එතරම් විශාල ඒවා නොවීය​. 1980 සැප්තැම්බර්, 1980 ඔක්තෝබර්, 1981 මාර්තු සහ 1981 සැප්තැම්බර් මාසවල මෙම ප්‍රහාර එල්ල විය​. මුලදී අහමඩ් ශා මසූඩ්ගේ හමුදා ද කෙළින්ම සෝවියට් හමුදා හා ගැටීමට තරම් ශක්තිමත් නොවීය​. කෙමෙන් කෙමෙන් ඔහු සිය හමුදා ශක්තිය තර කරගත්තේය​.

පන්ජ්ශීර් නිම්නයට එල්ල වූ පස් වන සෝවියට් ප්‍රහාරය එතෙක් ඇෆ්ඝනිස්ථානය තුළ සිදුවූ දැවැන්තම සෝවියට් ප්‍රහාරය විය​. මෙම ප්‍රහාරය එල්ල වූයේ සෝවියට් හමුදාවලට ජයග්‍රහණයක් අවැසි සමයක ය​. 1982 අප්‍රේල් 25 වනදා බග්‍රම් ගුවන් කඳවුරට එල්ල වූ දරුණු මුජහිදීන් ප්‍රහාරයකින් සෝවියට් ගුවන් යානා සහ හෙලිකොප්ටර් 20 ක් පමණ විනාශ විය​. එහෙයින් සෝවියට් හමුදාවලට මුජහිදීන්වරුන්ට පහර දී ජයග්‍රහණයක් වාර්තා කිරීමේ අවශ්‍යතාව ඉතා දැඩි ලෙස දැනුණි.

දින කිහිපයක් තිස්සේ එල්ල වූ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරවලින් පසු, 1982 මැයි 17 වනදා, හින්දු කූශ් කඳු පන්තියට ඉහළින් මතුවූ සෝවියට් හෙලිකොප්ටර් පහළ සිටි කැරලිකරුවන් කරා ළඟා විය​. මුජහිදීන් වරුන් විසින් එල්ල කෙරෙන වෙඩි ප්‍රහාරවලින් ගැලවෙනු පිණිස අහසේ ඉහළින් සැරිසරමින් සිටි එම යානා සතුරු ඉලක්කයක් හඳුනාගත් කළ වහා පහළට පැමිණ ප්‍රහාරයන් එල්ල කළේය​. මිග්-23 සහ සූ-34 යානාවලින් ද හෙලිකොප්ටර් වෙත සහය ලැබුණි. ඔවුනගේ උත්සාහය වූයේ කඳු ශිඛර අතර වූ මුජහිදීන් සටන්කාමීන් රැඳී සිටි ස්ථාන සොයා ඒවාට පහරදීමය​. මේ අතර සෝවියට් සහ ඇෆ්ඝන් හමුදා යුධ ටැංකි, සන්නද්ධ රථ සහ ට්‍රක් රථ පහළ නිම්නය ඔස්සේ ඉදිරියට ආවෝය​. හෙලිකොප්ටර්වලින් ද හමුදා සේනාංක තන්හි තන්හි ගොඩ බස්වන ලදී.

කෙසේ නමුත් අහමඩ් ශා මසූඩ්ට මෙම ප්‍රහාරය පිළිබඳ කල් ඇතිව අනතුරු ඇඟවීම් ලැබී තිබුණ බව සඳහන් වේ. ඔහුට ඇෆ්ඝන් හමුදාව තුළින් තොරතුරු ගලා ආවේය​. එහෙයින් ප්‍රහාරය එල්ල වීමට පෙර ඔහු එවන් ප්‍රහාරයක් එන බව දැන සිටියේය​. එමෙන්ම නිම්නයට එපිටින් සෝවියට් හමුදා ඒකරාශී වන අයුරු ද ඔහු නිරීක්ෂණය කරන්නට ඇත​. මුජහිදීන්වරු සෝවියට් හමුදාවලට සෘජුවම මුහුණ නොදෙමින් අවට කඳු ශිඛර වෙත පසු බැස්සෝය​.

නිම්නය තුළට සෝවියට් හමුදාවලට ඇතුලු වීමට ඉඩ දුන් මසූඩ් ඉන් පසුව ඔවුනට පහර දෙමින් ගරිල්ලා ආකාරයේ සටනක් දියත් කළේය​. සෝවියට් හෙලිකොප්ටර් සහ ගුවන් යානා ද ප්‍රහාරයට ලක් විය​. මේ අනුව හෙලිකොප්ටර් සහ මිග් යානා 35 ක් පමණ ප්‍රහාරයේ පළමු දින දහයේදී විනාශ වී යයි අනුමාන කළ හැකි බව ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර් සඟරාව පැවසීය​.
ඇෆ්ඝනිස්ථානයේ දුර්ග​. සලාංග් දුර්ගයද (Kotal - e - Salang) මෙහි දැක්වේ

මේ අතර සලාංග් දුර්ගය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් සෝවියට් රථ පෙළකට පහර දුන් මසූඩ්ගේ සෙබලු වාහන ගණනාවකට හානි සිදු කළෝය​. එහෙයින් මාර්ගය දින කිහිපයකට වසා දැමීමට ද සිදු විය​.

සමස්ථ නිම්නයේම බලය තමන් සතු කරගන්නට සෝවියට් සහ ඇෆ්ඝන් හමුදාවලට අපහසූ නොවූ නමුත් මුජහිදීන්වරුන් නිරුපද්‍රිතව කඳුකරයට පසු බැසීම වැළැක්වීමට ඔවුනට හැකි වූයේ නැත​.

මේ හේතුවෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී නැවත වරක් සෝවියට් ප්‍රහාර මසූඩ්ගේ මුජහිදීන්වරුන් කරා එල්ල කෙරිණ​. මෙහිදී සෝවියට් බෝම්බ හෙලන යානා විසින් මුජහිදීන්වරුනට රැකවරණය දෙන්නේ යයි සැක කෙරුණ ගම්මානවලට දරුණු ලෙස පහර දුන්නේය​. තවද සෝවියට් ස්පෙට්නාස් විශේෂ බලකා මසූඩ්ගේ සෙබලුන් ලුහුබැඳ පහර දුන් හ​.

සිවිල් වැසියන් වෙත එල්ල කෙරුණ දරුණු ප්‍රහාර හමුවේ ගම්මාන සහමුලින් විනාශ වූ අතර ඒවායේ දිවි ගලවාගත්තවුන් සිය ගම් බිම් හැර දා පළා ගියෝය​. ඇතැම් ප්‍රදේශ සෝවියට් හමුදා අතට පත් වුවද මුජහිදීන්වරුන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට ඔවුනට නොහැකි විය​.

සෝවියට් හමුදා විසින් අල්ලාගන්නා ලද බොහෝ ප්‍රදේශවල පසුව ඇෆ්ඝන් රජයේ හමුදා රඳවන ලදී. මෙම හමුදා වෙත මසූඩ්ගේ හමුදා නිතර පහර දුන් අතර ඇෆ්ඝන් සෙබලු සමහරක් සටන අතහැර පළා ගියෝය​.

1983 ආරම්භ වෙද්දී දෙපාර්ශවයම සටනින් හෙම්බත්ව සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස තාවකාලික සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කරගන්නා ලදී.

කෙසේ නමුත් 1984 මුල දී එම තාවකාලික සාමය නිම වීය. එම වසරේ අප්‍රේල් මාසයේදී දැවැන්ත සෝවියට් - ඇෆ්ඝන් ප්‍රහාරයකට පන් ජ්ශීර් නිම්නය ලක් කරන ලදී. කෙසේ නමුත්, මෙවරද​, ඇෆ්ඝන් හමුදාවල අධ්‍යන්තරයේ සිටි ආධාරකරුවන් මාර්ගයෙන් මෙම ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් මසූඩ් වෙත ලැබී තිබුණි. සිවිල් වැසියන් බොහෝ දෙනෙක් ආරක්ෂිත ස්ථාන කරා ගෙනයන ලද අතර සෝවියට් හමුදා ගුවනින් ගොඩ බස්වනු ඇතැයි සැක කෙරුණ ස්ථාන සහ වෙනත් වැදගත් යයි සැළකුණ ස්ථාන ගණනාවක් වටා බිම් බෝම් බ අතුරන ලදී. කෙසේ නමුත් සෝවියට් - ඇෆ්ඝන් ප්‍රහාරය ඉතාමත් ම ප්‍රබල වූ හෙයින් මසූඩ්ගේ සේනාංකවලට පසු බෑමට බල කරන ලදී.

මුජහිදීන්වරුන් පසු බැසගිය පසු සෝවියට් සහ ඇෆ්ඝන් සෙබලු ප්‍රධාන නිම්නයෙහි බලකොටු ඉදිකරගනිමින් එහි ආරක්ෂාව තර කළෝය​. මෙමගින් මුජහිදීන්වරුන්ට ඔවුනගේ මූලස්ථානය වූ නිම්නයේ බලය අහිමි වූ නමුත් අනෙක් අතට සෝවියට් සහ ඇෆ්ඝන් හමුදා ඉලක්ක කරගැනීම ඔවුනට පහසු කරවන ලදී. කල් ගතවන විට දිගින් දිගටම එල්ල වූ මුජහිදීන් තර්ජන හමුවේ සැප්තැම් බරයේදී සෝවියට් - ඇෆ්ඝන් හමුදා පසු බැස ගියෝය​.

පන් ජ්ශීර් නිම්නයට 1984 සහ 1985 දී තවත් ප්‍රහාරයන් දෙකක් එල්ල කෙරුණ නමුත් එයින් ද මසූඩ්ගේ හමුදා පරාජය කිරීමට සෝවියට් - ඇෆ්ඝන් සේනාංකවලට නොහැකි විය​.

1986 වනවිට නව නායක මිහායිල් ගොර්බචොව් යටතේ සිය ඇෆ්ඝන් ප්‍රතිපත්ති වෙනස් කිරීම කෙරෙහි සෝවියට් දේශයේ අවධානය යොමු විය​. එවක ඇෆ්ඝන් ජනාධිපති බබ්රක් කර්මාල් ඉවත් කළ ඔවුහු මොහොමඩ් නජිබුල්ලා එම තනතුරෙහි තැබූහ​. මින් පසු සෝවියට් දේශයේ අවධානය යොමුව තිබුණේ ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත්වන ක්‍රමයන් කෙරෙහි බැවින් මසූඩ් සමඟ අනවශ්‍ය ගැටුම් ඇති නොකරගැනීමට සෝවියට් හමුදා වග බලාගත්තෝය​. මෙය මසූඩ්ට ද වාසි සහගත තත්ත්වයක් විය​. ඔහු තව තවත් ප්‍රදේශ තම අණසක යටතට ගනිමින් මුජහිදීන් නායකයකු ලෙස විශේෂිත ස්ථානයකට ළඟා විය​.

සෝවියට් හමුදා සමඟ කළ සටන් හේතුවෙන් චිර ප්‍රසිද්ධියට පත් වූ අහමඩ් ශා මසූඩ් 2001 දී වූ සිය ඝාතනය වනතුරුම ඇෆ්ඝන් දේශපාලනයේ වැදගත් චරිතයක් විය​. ඔහුගේ අනුගාමිකයන් අදටද ඔහු හඳුන්වා දෙන්නේ පන්ජ්ශීර් හි සිංහයා යන නමිනි.

කාශ්මීර අර්බුදය පිළිබඳ කෙටි හැඳින්වීමක්

කාශ්මීරය යනු අතිශයින්ම රමණීය බිම් පෙදෙසකි. නමුත් 1947 වසරේ පටන්ම එය වඩාත්ම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ස්වභාව සෞන්දර්යය සඳහා නොව දිගින් දිගටම පවතින අවි ගැටුම් සඳහාය​.

මෙම අවි ගැටුම්වල ඇරඹුම ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම කරා දිවේ.

බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට පැමිණෙද්දී එහි බොහෝ රාජ්‍යයන් වූහ​. බොහෝ විටම බ්‍රිතාන්‍යයන් මෙම රාජ්‍යයන්හි පාලකයන් සමඟ ගිවිසුම් මගින් එකඟත්වනට පැමිණි අතර මේ අනුව ඒවායේ අභ්‍යන්තර කටයුතු එම පාලකයන් අතේම තිබෙනු දක් නට ලැබුණි. බ්‍රිතාන්‍ය ඉන්දියාව බිහිවූයේ එලෙසිනි.

1947 වනවිට මෙවන් රාජ්‍යයන්, එනම් "කුමාරවර රාජ්‍යයන්" (Princely States) 562 ක් පමණ ඉන්දියාවේ විය​. මින් සමහරක් වර්ග කිලෝමීටර කිහිපයකට සීමා වූ නමුත් තවත් සමහරක් අද ලෝකයේ පවතින රටවල් ගණනාවකට වඩා විශාල විය​. මෙම විශාලම රාජ්‍යයන් අතර හයිද්‍රබාදය සහ කාශ්මීරය ද වූහ​.
කාශ්මීර කුමාරවර රාජ්‍යයට අයත් වූ ප්‍රදේශය තද රතු පැහැ රේඛාවෙන් දිස් වේ. කහ පැහැයෙන් වත්මන් ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීර ප්‍රාන්ත ය කොළ පැහැයෙන් පාකිස්ථාන පාලන ප්‍රදේශය ද තද දුඹුරු - ලා දුඹුරු ඇල ඉරි සහිත ප්‍රදේශයෙන් අක්සායි චින් ද දැක්වේ.

1947 දී එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරුණ ඉන්දියානු නිදහස පිළිබඳ පනත අනුව මෙම කුමාරවර රාජ්‍යයන් කෙරෙහි බ්‍රිතාන්‍යයෙහි වූ පාලනය අත හරින ලදී. මෙම රාජ්‍යයන්ට අභිනවයෙන් බිහිවන ඉන්දියාව​, පකිස්ථානය යන දෙරටින් එකකට එක් වීමට හෝ ස්වාධීන වීමට අවස්ථාව ලැබුණි. ඉන්දියාව තුළ පිහිටි කුමාරවර රාජ්‍යයන් එරට හා එක් වීමට ද පකිස්ථානය තුළ පිහිටි රාජ්‍යයන් එරට හා එක් වීමට ද තීරණය කරගන්නා ලද අතර මෙහිදී පාලකයින් සහ වැසියන් ගේ ආගම ද වැදගත් සාධකයක් බවට පත් විය​.

මෙහිදී ගැටලු ඇතිවූ ස්ථාන තුනක් විය​. එකක් වර්තමාන ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තය තුළ පිහිටි ජුනාගාද් ය​. අනෙක හයිද්‍රබාදය යි. තෙවැන්න කාශ්මීරයයි.

ජුනාගාද් හි වූයේ මුස්ලිම් පාලකයෙකි. ඔහුගේ වැසියෝ බොහෝ දෙනකු හින්දු ආගමිකයෝ වූහ​. හයිද්‍රබාදයේද තත්ත්වය එයම විය​. ජුනාගාදයට පකිස්ථානය හා එක්වීමට අවශ්‍ය වූ අතර හයිද්‍රබාදයට ස්වාධීන වීමට අවශ්‍ය විය​.

තම රට මැද පසමිතුරු ප්‍රදේශ දැකීමට අකැමැති වූ ඉන්දියාව හමුදා ක්‍රියාන්විත මගින් ජුනාගාදය සහ හයිද්‍රබාදය අල්ලාගත්තෝ ය​.

කාශ්මීරයේ පැවති තත්ත්වය මීට වඩා මඳක් වෙනස් විය​. එහි පාලකයා වූ මහාරාජා හරී සිං හින්දු භක්තිකයකු විය​. ඉන් දියාවේ පැවති කුමාරවර රාජ්‍යයන් අතුරින් හින් දු පාලකයකු යටතේ මුස්ලිම් බහුතරයක් විසූ එකම රාජ්‍යය වූයේ ද කාශ්මීරයයි. පාකිස්ථානය බලාපොරොත්තු වූයේ කාශ්මීරය එරට හා එක්වනු ඇතිය යන්නයි. එහෙත් හරී සිං මුලින්ම බලාපොරොත්තු වූයේ ස්වාධීනව සිටීමටය​.
මහාරාජා හරී සිං

1947 අගෝස්තු 14 වනදා පාකිස්ථානය ද ඉන් පසු දා ඉන්දියාව ද නිදහස ලැබූ අතර හින්දු සහ මුස්ලිම් ජනයා අතර ගැටුම් හේතුවෙන් දස දහස් ගණන් ඝාතනය විය​. මෙම මුල් කලබල මඳක් සමහන් වූ විට පාකිස්ථානය මුස්ලිම්වරුන් බහුතරයක් විසූ කාශ්මීරය හොඳින් හෝ නරකින් හෝ අල්ලාගැනීමට මුල පිරීය​.

පකිස්ථාන වයඹ දිග දේශසීමා ප්‍රාන්තයේ සිටි පතාන් ගෝත්‍රිකයන් කාශ්මීරයට කඩා වැදුණේ එම ප්‍රදේශය අල්ලාගන්නා අදහසිනි. මෙම ගෝත්‍රික සේනාංකවලට පකිස්ථාන රජයේ අනුබලය ලැබුණි. කාශ්මීරය මෙවන් ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම් ව නොසිටියේය​.

මෙම අවස්ථාවේ හරී සිං ඉන්දියාවේ ආධාර ඉල්ලා සිටියේය​. ඉන්දියාව කියා සිටියේ ආධාර දීමට නම් කාශ්මීරය ඉන්දියාවට එක් වීමට කැමැත්ත පළ කළ යුතු බවය​. මේ අනුව 1947 ඔක්තෝබර 26 වනදා කාශ්මීරය ඉන්දියාවට එක්වීම සඳහා වන ලියවිල්ලට (Instrument of Accession) මහාරාජාවරයා අත්සන් කළේය​. ඉන්දියානු හමුදා කාශ්මීරයට කඩා වැදී ගෝත්‍රික හමුදාවලට පහර දුන්නේය​.

කෙසේ නමුත් කාශ්මීරයේ දැඩි සීතල ද පකිස්ථාන රජයේ ආධාර යටතේ අවි බලයෙන් සවිමත් වූ පතාන් ගෝත්‍රිකයන් ගේ ප්‍රහාර ද හේතුවෙන් ඉන්දියානු හමුදා ද අපහසුතාවනට මුහුණ දුන්නෝ ය​. 1948 මැද වනවිට සාමාන්‍ය පකිස්ථාන සෙබලුන් ද සටනට අවතීර්ණ විය​.
ඉන්දියානු සෙබලුන් - 1947

ඉන්දියාව එක්සත් ජාතීන් ගේ මැදහත්වීම ඉල්ලූ අතර ඔවුන් මැදිහත්වීමෙන් 1949 ජනවාරි 1 වනදා පටන් සටන් විරාමයක් ඇති කරගනු ලැබුණි. මේ අනුව කාශ්මීරයේ ඉන්දියානු සහ පකිස්ථාන පාලන ප්‍රදේශ වෙන් කෙරෙන මායිමක් ප්‍රකාශයට පත්විය​. මුලින්ම සටන් විරාම සීමාව ලෙස හැඳින්වූ මෙය පසුව පාලන ප්‍රදේශ සීමාව (Line of Control) ලෙස හඳුන්වා දෙනු ලැබුණි.

එක්සත් ජාතීන් විසින් ඇති කරගන්නා ලද සටන් විරාමයට අනුව පාකිස්ථානය කාශ්මීරයෙන් ගෝත්‍රික හමුදා ඉවත් කරගැනීමට කටයුතු කළ යුතු වූ අතර ඉන් දියාව ද ප්‍රදේශයේ සිය හමුදා ශක්තිය අවම කළ යුතු විය​. පසුව කාශ්මීරය කිනම් රටට අයත් විය යුතුද යන්න ජනමත විමසුමකින් තීරණය කළ යුතු විය​.

කෙසේ නමුත් දෙපාර්ශවයම ඇතැම් කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් විය​. දෙරටම ප්‍රදේශයෙන් හමුදාව ඉවත් කරගැනීමට සූදානම් නොවූ අතරම ඉන්දියාව කාශ්මීර ජනමත විචාරණය පැවැත්වීම කෙරේ ද අවධානය යොමු නොකළේය​.

1962 දී චීනය විසින් ඉන් දියාව ආක්‍රමණය කළ අවස්ථාවේ කාශ්මීරයේ නැගෙනහිර දෙස වූ අක්සායි චින් (Aksai Chin) ප්‍රදේශය එරට විසින් අල්ලාගන්නා ලදී. අදටත් එම ප්‍රදේශය පාලනය කරනුයේ චීනය ය​. එමෙන්ම චීනය සහ පාකිස්ථානය අතර එවක පටන් ප්‍රබල මිත්‍රත්වයක් ගොඩ නැගී ඇත​.

1965 දී පාකිස්ථානය ඉන් දියාවට පහර දුන්නේ චීනය විසින් 1962 යුද්ධයේදී ඉන්දියාව ලජ්ජාවට පත් කිරීමේ මතකය ද ඇතිවය​. දෙරට අතර ප්‍රධානම අර්බුදයට තුඩු දුන් කාශ්මීරයේදී ද සටන් මතුවූ නමුත් තීරණාත්මක වූ සටන් සිදු වූයේ පන්ජාබයේ ය​. ඉන්දීය හමුදා පාකිස්ථානුවන්ට දරුණු ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ලාහෝර් නගරය අසළටම හමුදා මෙහෙයවූ අතර ඉන්පසු දෙරට අතර සාම ගිවිසුමක් ඇති වූයේය​.

1971 දී නැවතත් දෙරට අතර යුද්ධයක් ඇති වූ නමුත් එය හාත්පසින් ම වෙනස් අර්බුදයක්, එනම් බංගලාදේශ අර්බුදය​, හේතුවෙන් ඇති වූවක් විය​.

මේ අතර ඇෆ්ඝනිස්ථානයේ දී 1979 සිට සෝවියට් විරෝධී ඉස්ලාමීය කණ්ඩායම් ගෙනගිය අරගලයට පාකිස්ථානයේ සෘජු ආධාර හිමි වූ බව නොරහසකි. එකළ පාකිස්ථානය තුළ ද ඉස්ලාමීය පාසැල් හෙවත් මද්‍රසා සීඝ්‍රයෙන් බිහි වූයේය​. 1980 දශකය අවසන් වෙද්දී සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් පිටවීමත් සමඟ රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායම් කාශ්මීරය දෙස වැඩිපුර අවධානය යොමු කරන්නට විය​. කාශ්මීරයේ නිදහස උදෙසා සටන් කරන ඉස්ලාමීය කණ්ඩායම් වර්ධනය විය​. මේවාට පාකිස්ථාන රජයේ ආධාර ලැබෙන බව සාමාන්‍ය පිළිගැනීම වේ.

1999 මැයි මාසයේදී පාකිස්ථාන පැරා මිලිටරි කණ්ඩායම් සහ කාශ්මීර කැරලිකරුවන් කාශ්මීරයේ කාර්ගිල් දිස්ත්‍රික්කයේ සහ වෙනත් ප්‍රදේශවලට කඩා වැදීමත් සමඟ නැවත මාස දෙකක පමණ ඉන්දු - පකිස්ථාන යුද්ධයක් ඇතිවූ අතර ඉන්දීය හමුදා අහිමි වූ ප්‍රදේශ ගණනාවක් ආපසු අල්ලා ගත් හ​. පසුව අනෙකුත් ප්‍රදේශවලින් පැරාමිලිටරි කණ්ඩායම් පසුබැස්සෝය​.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පාලන ප්‍රදේශ සීමාව අසළ නිතර ගැටුම් ඇති වන අතර ඇතැම් අවස්ථාවලදී ඒ ඒ රටවල පාලන ප්‍රදේශ අභ්‍යන්තරයට ද කඩා වැදී ප්‍රහාර එල්ල කරන අවස්ථා වාර්තා වේ. ඉන්දියාව දිගින් දිගටම චෝදනා කරනුයේ පාකිස්ථානය මූලස්ථානය කරගනිමින් කාශ්මීර කැරලිකරුවන් ඉන් දියාවට තර්ජනය කරන බවත් පාකිස්ථාන රජය කැරලිකරුවන්ට ආධාර කරන බවත් ය​.

Sunday, September 25, 2016

බර්නි සැන්ඩර්ස්ගේ සහෝදරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සටනට එක් වෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වීම සඳහා අසාර්ථක සටනක යෙදුණ බර්නි සැන්ඩර්ස්ගේ වැඩිමහලු සහෝදරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වී සිටියි. ඒ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ විට්නි (Witney) ආසනය සඳහා පැවැත්වෙන අතුරු මැතිවරණය සඳහා හරිත පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමෙනි.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී හරිත පක්ෂය විසින් සිය අපේක්ෂකයා ලෙස සැන්ඩර්ස් තෝරාගන්නා ලදී.

දැනට 88 වන වියේ පසුවන ලැරී සැන්ඩර්ස් (Larry Sanders) බ්‍රිතාන්‍යයට පදිංචිය සඳහා පැමිණියේ 1968 දී ය​. ඔහු ඇමරිකානු - බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසියෙකි. 2001 සිට හරිත පක්ෂ ක්‍රියාකාරිකයකු වන ඔහු ඉන් පෙර කළක් කම්කරු පක්ෂය සමඟ කටයුතු කළේය​. දැනට හරිත පක්ෂයේ සෞඛ්‍යය පිළිබඳ ප්‍රකාශකයා වන්නේද සැන්ඩර්ස් ය​.​

හාවර්ඩ් සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා ඇති ලැරී සැන්ඩර්ස්, සිය සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරය විසින් තමා දිරිමත් කරන ලද බව ප්‍රකාශ කරයි. තම අදහස නිරවුල්ව ඉදිරිපත් කිරීම තුළින් සිතනවාට වඩා පිරිසකගේ අවධානය දිනාගැනීමට හැකි බව සිය සහෝදරයා පෙන්වා දුන්නේ යයි ලැරී සැන්ඩර්ස් පවසයි.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ පවතින අසමානතා දුරු කිරීම සිය අපේක්ෂාව බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ්‍ෂයර් (Oxfordshire) හි පිහිටි විට්නි ආසනය සාමාන්‍යයෙන් කොන්සර්වේටිව් බල කණුවකි. එහෙයින් මධ්‍ය වාමාංශික හරිත පක්ෂය එම ආසනය ජය ගනීයයි සිතීම උගහටය​. 1983 වසරේ මෙම ආසනය නිර්මාණය වූ දින පටන් පැවති සියලු පාර්ලිමේන්තු මැතිවරණවලදී කොන්සර්වේටිව් පක්ෂය එම ආසනය ජයගෙන ඇත​. 2015 මහ මැතිවරණයේදී ඩේවිඩ් කැමරන් ඡන් ද 35,201 ක්, එනම් සියයට 60.2 ක් ලබාගත්තේය​.

මෙවර කොන්සර්වේටිව් පක්ෂයෙන් අතුරු මැතිවරණයට ඉදිරිපත් වන්නේ අධි නීතීඥයකු වන රොබර්ට් කෝර්ට්ස් ය​. කම්කරු පක්ෂයෙන් ඩන් කන් එන්රයිට් ද​, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ලිස් ලෙෆ්මන් ද​, ඉංග්‍රීසි ප්‍රජාතන්ත්‍රික (English Democrats) පක්ෂයෙන් වින්ස්ටන් මැකෙන්සි ද ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇත​.

විට්නි අතුරු මැතිවරණය ඔක්තෝබර් 20 වනදා පැවැත්වේ.

Monday, September 19, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (පස් වන කොටස) - දෙවියන්ගේ සොල්දාදුවෝ

සිව් වන කොටස​: ඇමරිකාව සහ පාකිස්ථානය

ඇෆ්ඝනිස්ථානය මුලුමණින්ම පාහේ ඉස්ලාම් භක්තිකයන් වසන රාජ්‍යයකි. එයින් පහෙන් හතරක් සුන්නි මුස්ලිම්වරුන් වන අතර ඉතිරි සියයට 20 ශියා මුස්ලිම්වරු වෙති. මධ්‍යම ඇෆ්ඝනිස්ථාන් කඳුකරයේ ජීවත්වන හසාරා ජාතික ප්‍රජාව රටේ සමස්ථ ජනගහනයෙන් සියයට 20 ක් පමණ වන අතර ඔවුන් සියල්ලෝම පාහේ ශියා මුස්ලිම් ලබ්ධිකයෝ වෙති.

සෝවියට් ආක්‍රමණය ඇෆ්ඝනි මුස්ලිම්වරුන්ට වැදුන තදබල පහරක් විය​. ඇෆ්ඝනිස්ථානයේ කොමියුනිස්ට් පාලනය සිය බලය පැතිරවීමට කළ උත්සාහයේදී ඔවුනට හරහට සිටි ප්‍රධාන කණ්ඩායමක් වූයේ ඉස්ලාමීය පූජකයින් හෙවත් මුල්ලාවරුන් බව අපි කළින් ද දුටිමු.

ඇෆ්ඝන් - පාකිස්ථාන දේශ සීමාව බොහෝ ස්ථානවලදී වැටී ඇත්තේ කඳුකර පෙදෙස් හරහා ය​. එහි දෙපසම ජීවත් වන්නෝ පශ්තුන් ජාතිකයෝ වෙති. මෙම දේශසීමාව අදටත් රැකීම අපහසු දේශසීමාවකි. මෙම දේශසීමාව හරහා 1978 න් පසු විශාල පිරිසක් පාකිස්ථානය කරා පැමිණියෝය​. මුජහිදීන් ව්‍යාපාරයට අවශ්‍ය පිරිස් බලය සැපයුණේ මූලික වශයෙන්ම මේ හරහා ය​.
මුජහිදීන්වරු හෙවත් 'දෙවියන් ගේ' සෙබලු යාඥාවක් අතරතුර - 1987. Pic Erwin Lux

ඇෆ්ඝනිස්ථානයේ මුජහිදීන් (දෙවියන්ගේ සෙබලු) ව්‍යාපාර ගණනාවක් විය​. මෙයින් සමහරෙක මූලාරම්භය වූයේ ඩාවුඩ් ඛාන්ගේ වාමාංශික රජයට එරෙහිව මතු වූ ඉස්ලාමීය ව්‍යාපාරයන් ය​. සමහරෙක නායකයෝ කොමියුනිස්ට්වාදීන් බලය ඇල්ලීමටත් පෙර සිටම පිටරටවලට ගොස් සිටියහ​. මුල් කාලීනව කොමියුනිස්ට්වාදීන්ට එරෙහි අරගල ප්‍රාදේශීයව ආගමික නායකයින් සහ ඉඩම් හිමියන් විසින් නායකත්වය දෙමින් පැන නැගුණ ද ඒවාට පසු කාලීන දේශපාලනික නායකත්වය ලැබුණේ මෙම කණ්ඩායම් වලිනි.

මින් ප්‍රධාන ව්‍යාපාර හතක් සුන්නි මුස්ලිම් ආගමිකයන් ගෙන් සැදුම් ලත් අතර එම හත පසු කළෙක ඒකාබද්ධව ඇෆ්ඝනිස්ථාන මුජහිදීන්වරුන්ගේ ඉස්ලාමීය එකමුතුව (Islamic Unity of Afghanistan Mujahideen) නමින් සංවිධානය විය​. මෙම සංවිධානයට 'පෙශාවර් හත' (Peshawar Seven) සහ මුජහිදීන් හත් හවුල් සන්ධානය (Seven Party Mujahideen Alliance) යයි ද කියන ලදී. මින් හයක් මූලිකවම පශ්තුන් ජාතිකයන් ගෙන් සැදුම්ලත් අතර එකක් තජික් ජාතිකයන් ගෙන් සැදුම් ලද්දේය​. මෙම සංවිධානවලට අවි ආයුධ ඇමරිකානුවන් විසින් පාකිස්ථානය හරහා ලබා දෙන ලදී. මූල්‍යමය ආධාර ද ඇමරිකාව සහ විශේෂයෙන්ම ඇතැම් අරාබි රටවල්වලින් ගලා ආවේය​.

සුන්නි මුස්ලිම් කණ්ඩායම් හෙවත් 'පෙශාවර් හත​'

පෙශාවර් හත ලෙස ප්‍රසිද්ධ වූ සුන්නි මුස්ලිම් සංවිධානයන් පහත පරිදි වේ.

​01. ජමියත් - ඊ - ඉස්ලාමි (ඉස්ලාමීය සමාජය​) ඇෆ්ඝනිස්ථානයේ මුලින්ම ඇරඹි ඉස්ලාමීය දේශපාලන පක්ෂය ලෙස ද සළකනු ලබයි. 1968 සිට 2011 දී සිදුවූ සිය මරණය තෙක්ම මෙම පක්ෂයට නායකත්වය දෙන ලද්දේ ඉස්ලාම් දර්ශනය පිළිබඳ වියතකු වූ, කළක් ඇෆ්ඝනිස්ථාන ජනාධිපති ධූරයට ද පත් බුරනුද්දීන් රබ්බානි විසිනි. මෙම සංවිධානය තුළින්ම පැන නැගුණ ශූරා - ඊ - නසාර් (උතුරු දිග ශූරා කවුන්සිලය​) සඳහා නායකත්වය දුන්නේ 1980 ගණන්වල සිට 2001 සිදුවූ සිය මරණය තෙක්ම ඇෆ්ඝන් යුද්ධවල ප්‍රධාන චරිතයක් වූ අහමඩ් ශා මසූඩ් විසිනි.

02. හෙස්බ් - ඊ - ඉස්ලාමි (ඉස්ලාමීය පක්ෂය​) ඇෆ්ඝන් යුද්ධවල ප්‍රකට එමෙන්ම අන්තවාදී චරිතයක් වූ ගුල්බුද්දීන් හෙමටියාර් විසින් 1970 දශකයේ මැද භාගයේදී ආරම්භ කළ සංවිධානයකි. මෙයට ගිල්සායි පශ්තුන්වරුන් ගේ සහය ලැබුණ අතර පාකිස්ථානය ද හෙක්මටියාර් වෙත බොහෝ සෙයින් ආධාර​ කළේය​. වෙනත් මුජහිදීන්වරුන් සමඟ ද ගැටුම් ඇතිකරගත් සංවිධානයක් වූයේය​. 1992 න් පසු රට අරාජක වීමට හෙක්මටියාර් කෙළින්ම බලපෑවේය​.

03. හෙස්බ් - ඊ - ඉස්ලාමි (කාලිස්) යනු හෙක්මටියාර්ගේ පක්ෂයෙන් බිඳුනකි. එහි නායකයා මවුලවී යුනුස් කාලිස් විය​. මෙහි ප්‍රධාන නායකයන් අතර අබ්දුල් හක්, අමීන් වර්දක් සහ පසු කළෙක කුප්‍රකට වූ ජලාලුද්දීන් හක්කානි ද වූහ​.

04. ඇෆ්ඝනිස්ථානයේ විමුක්තිය සඳහා වන ඉස්ලාමීය එකමුතුව සාම්ප්‍රදායික ඉස්ලාමීය සංවිධානයක් විය​. මෙය ඉටිහාඩ් - ඊ - ඉස්ලාමි නමින් ද ප්‍රසිද්ධ විය. මෙහි නායකයා වූයේ අබ්දුල් රසූල් සයාෆ් ය​. පසු කළෙක පිලිපීනයේ මතුවූ අබු සයාෆ් නම් ත්‍රස්ත කල්ලිය සිය සංවිධානයට නම ලබා දුන්නේ මෙම ඇෆ්ඝන් සටන්කාමියාගේ නම ඇසුරෙනැයි ද මතයක් පවතී. සවුදි අරාබියේ ආධාර අබ්දුල් රසූල් සයාෆ් වෙත ලැබුණ අතර වහාබිවාදය පැතිරවීමට ඔහුගේ කටයුතු ඉවහල් වී යයි කියනු ලැබේ. තවද ඇෆ්ඝනිස්ථානයේ සටන් කරනු පිණිස අරාබියෙන් ස්වේච්ඡා සටන්කාමීන් ගෙන ඒමේදීද සයාෆ් වැදගත් කාර් යය භාරයක් කළේ ය​. මෙම සටන්කාමීන් 'ඇෆ්ඝන් අරාබීන්' ලෙස ප්‍රකට වූ අතර, ඒ අතුරින් පසු කළෙක වැඩියෙන්ම ලෝක ප්‍රසිද්ධියට පත් වූ තැනැත්තා ඔසාමා බින් ලාඩන් නම් වූවෙකි.
අබ්දුල් රසූල් සයාෆ් (වමේ) 1984 දී. Pic: Erwin Franzen

05. ඇෆ්ඝනිස්ථාන ජාතික ඉස්ලාමීය පෙරමුණ, සූෆිවරයකු වන අහමඩ් ගයිලානි ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය​. පෙර කී සංවිධානවලට වඩා මධ්‍යස්ථ මතධාරී සංවිධානයකි.

06. ඇෆ්ඝන් ජාතික විමුක්ති පෙරමුණ, සිබ්ගටුල්ලා මොජාඩෙඩි විසින් මෙහෙයවන ලද මධ්‍යස්ථ මතධාරී සංවිධානයක් විය​. 1992 දී ඔහු ඇෆ්ඝනිස්ථානයේ තාවකාලික ජනාධිපතිවරයා ලෙස කෙටි කළක් කටයුතු කළේ ය​.

07. ඉස්ලාමීය විප්ලවකාරී ව්‍යාපාරය හෙවත් හරාකට් - ඊ - ඉන්කිලාබ් - ඊ - ඉස්ලාමි සංවිධානය මොහොමඩ් නබි මොහොමදි විසින් මෙහෙයවන ලදී.

ශියා කණ්ඩායම්

මේ අතර ශියා මුස්ලිම්වරුන්ගෙන් සමන්විත වූ මුජහිදීන් කණ්ඩායම් ගණනාවක් විය​. මුල් කාළයේදී මෙවන් සංවිධාන 37 ක් පමණ වූ බව හෙන්රි S. බ්‍රැඩ්‍ෂර් විසින් ගණන් බලා තිබේ (Afghan Communism and Soviet Intervention, Oxford and New York, 2000​). 1979 සැප්තැම් බරයේදී පිහිටුවාගත් ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලාමීය එකමුතුව පිළිබඳ විප්ලවකාරී කවුන්සිලය (ශූරා - ඊ- එන්ගෙලාබ් - ඊ - එටෙෆාක් - ඊ - ඉස්ලාමි ඇෆ්ඝනිස්ථාන්) හෙවත් ශූරා පක්ෂය ශියා කණ්ඩායම් ඒකාබද්ධතාවක් ගොඩ නැගීමට උපකාර කළේ ය​. පසු කළෙක ඉරානයේ ආභාෂය සහ ආධාර මත වර්ධනය වූ ශියා ඉස්ලාමීය සංවිධාන විසින් ශූරා පක්ෂය අඩපණ කරන ලදී. 1987 දී මෙම සංවිධාන අටක එකතුවක්  'ටෙහෙරාන් අට දෙනා' (Tehran Eight) නමින් ඒකාබද්ධ විය​. එහෙත් එම එකමුතුව වසර දෙකක් පමණ ඇතුලත වෙනම සංවිධානයක් බවට පත් වූයේය​.​ ඒ හෙස්බ් - ඊ - වහ්ඩට් - ඊ - ඉස්ලාමි හෙවත් ඇෆ්ඝනිස්ථාන ඉස්ලාමීය එක්සත් පක්ෂයයි (Afghanistan Islamic Unity Party).​

බටහිර රටවල සහය ලැබීම හේතුකොටගෙන 'පෙශාවර් හත​' කෙරෙහි ජාත්‍යන්තරයෙහි වැඩි අවධානයක් යොමු විය​. මේ අනුව ශියා කණ්ඩායම් කෙරෙහි ජාත්‍යන්තරයේ අවධානය යොමු වූයේ සාපේක්ෂව අඩුවෙනි. ශියා මුස්ලිම් ජනයා ප්‍රතිශතයක් ලෙස අඩු වීම ද මෙම ව්‍යාපාරවල බලපෑම සාපේක්ෂව අඩු වීමට හේතු විය​.

මේ අතරම හසාරා ජනයා විසූ මධ්‍යම කඳුකර ප්‍රදේශවල කොමියුනිස්ට් රජයේ බලපෑම එතරම් තදින් පැතිරුණේ නැත​. එම ප්‍රදේශ සමහරක් පැවතියේ ප්‍රාදේශීය පාලකයින් යටතේ පැවති ස්වාධීන ප්‍රදේශ මෙනි.

පුටින්ගේ එක්සත් රුසියාව පක්ෂය රුසියානු මහමැතිවරණය ජයගනී

ඊයේ පැවති රුසියානු පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එරට පාලක එක්සත් රුසියාව පක්ෂය ජයග්‍රහණය කර ඇති බව මූලික ප්‍රතිඵලවලින් සනාථ වී තිබේ. මෙය ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගේ ජයග්‍රහණයක් ලෙස සැළකිය හැකි නමුත් මැතිවරණය කෙරෙහි ජනතාව දැක්වූ අඩු උනන් දුව එතරම් සුබදායී ප්‍රවණතාවයක් නොවන බව පැවසිය යුතු ය​.

2011 දී පැවති රුසියානු මහ මැතිවරණයේදී පුටින්ගේ එක්සත් රුසියාව (United Russia) පක්ෂයට සියයට 50 ක් ඡන් ද ලබාගත නොහැකි වූ අතර පැවති මැතිවරණ ක්‍රමය යටතේ ආසන 450 න් 238 ක් ලබාගත්තේ ය​. කෙසේ නමුත් එම ප්‍රතිඵල නිකුත් වූ පසු ඊට එරෙහිව දැවැන්ත ජනතා විරෝධතාවයක් මතු විය​. විරෝධතාකරුවන් පැවසූයේ මැතිවරණ දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් එක්සත් රුසියාව පක්ෂයට වාසි සැලසුන බවය​.

තවද​, පැවති මැතිවරණ ක්‍රමය යටතේ කුඩා දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනයක් දිනා ගැනීම නොකළ හැක්කක් විය​. මැතිවරණයේදී සමස්ථ රටම එකම ඡන්ද කොට්ඨාශයක් මෙන් සැලකුණ අතර එක් එක් පක්ෂ ලබාගන්නා ඡන් ද ප්‍රතිශතය අනුව ආසන හිමි විය​. කෙසේ නමුත් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සඳහා ඒ ඒ පක්ෂ ජාතික ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 7 ක අවමයක් ලබාගත යුතු විය​.

මෙවර මැතිවරණයේදී එම ක්‍රමය වෙනුවට මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. මේ අනුව මන්ත්‍රීවරුන් ගෙන් අඩක්, එනම් 225 ක් පමණක් සමානුපාත ක්‍රමයෙන් තෝරාපත් කෙරෙන අතර ඉතිරි 225 දෙනා කේවල ක්‍රමයට පත් කරනු ලැබේ.

තවද එරට මැතිවරණ කොමිසමේ ප්‍රධානියා ලෙස මානව හිමිකම් ක්‍රියාකාරිණියක වන එල්ලා පැම්ෆිලෝවා පත් කරන ලදී.

එක්සත් රුසියාව පක්ෂය සමානුපාතික ආසන 140 ක් සහ කේවල ආසන 203 ක් ද සමඟ සමස්ථ ආසන 243 ම දිනාගත්තේය​. මෙය කළින් ඔවුන් සතු වූ ආසන සංඛ්‍යාවට වඩා 105 ක වැඩි වීමකි. එමෙන්ම මිශ්‍ර ක්‍රමය යටතේ කේවල ආසන වැඩි ප්‍රමාණයක් දිනාගැනීම ඔවුන් ලද වාසියකි. එක්සත් රුසියාව පක්ෂය ලද ඡන්ද ප්‍රතිශතය සියයට 54.18 කි.

රුසියානු ෆෙඩරේශනයේ කොමියුනිස්ට් පක්ෂය සියයට 13.35 ක් ඡන්ද ලබාගනිමින් සමානුපාත ආසන 35 ක් සහ කේවල ආසන 7 ක් දිනාගෙන තිබේ. රුසියානු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සියයට 13.16 ක් ඡන්ද ලබාගනිමින් සමානුපාත ආසන 34 ක් සහ කේවල ආසන 5 ක් ද​, සාධාරණ රුසියාව පක්ෂය ඡන්ද සියයට 6.21 ක් ලබාගනිමින් ආසන සමානුපාත 16 ක් සහ කේවල ආසන 7 ක් ලබාගත්තේය​. මෙ අතර ප්‍රජා වේදිකාව (Civic Platform) නම් පක්ෂය කේවල ආසනයක් දිනාගත්තේය​.

ඡන්දය භාවිතා කළ ප්‍රතිශතය සියයට 40 ක් තරම් අඩු අගයක වෙයි. මෙය පසුගිය මැතිවරණයේදී වාර්තා වූ සියයට 60 ක ප්‍රකාශිත ඡන් ද ප්‍රතිශතය සමඟ සසඳද්දී සීඝ්‍ර අඩු වීමකි.

මැතිවරණය අවසන් වූ පසු සිය පාක්ෂිකයන් ඇමතූ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රටේ වර්තමානයේ පවතින​ ආර්ථික පසුබෑම පිළිබඳව​ අදහස් පළ කළේය​. "ජනතාව ජීවත්වන්නේ අපහසුවෙන් බව අපි දන්නවා. බොහෝ ප්‍රශ්න තිබෙනවා. බොහෝ නොවිසඳුන ප්‍රශ්න තිබෙනවා. ඒ තිබියදීත් අපට මෙම ප්‍රතිඵලය ලැබුණා" ඔහු සඳහන් කළේය​.

මේ අතර සයිබීරියාවේ අල්තායි ප්‍රදේශයේ මැතිවරණ අක්‍රමිකතා සිදු වූ බවට වාර්තා පළ වූ අතර ඒ පිළිබඳව නිලධාරීන් පරීක්ෂණයක් අරඹා තිබේ.

Friday, September 16, 2016

ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (සිව් වන කොටස​) - ඇමරිකාව සහ පාකිස්ථානය​

තෙවන කොටස: ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය (තෙවන කොටස​) - සෝවියට් ආක්‍රමණය

කළින් අප දුටු පරිදි, සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයට පැමිණීමට වසර එකසිය හතලිහකට පෙර බ්‍රිතාන්‍යය හමුදාවක් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කළේය​. එම හමුදාවේ අභිප්‍රාය වූයේ සඩොසායි රජ පෙළපතේ ශා ෂුජා යළි ඇෆ්ඝනිස්ථානයේ රජ බවට පත් කරවීමයි. මෙම ව්‍යායාමය ආරම්භයේදී එම හමුදා කන්දහාර් වෙත ගමන් කරන අතරතුර​, කලාත් ප්‍රදේශයේ පාලකයාගේ සහය අපේක්ෂාවෙන්, බ්‍රිතාන්‍ය නිලධාරියකු සහ ඔත්තුකරුවකු ද වූ සර් ඇලෙක්සැන්ඩර් බර්න්ස් ඔහු හමුවීමට ගියේය​. කලාත් හි පාලක මෙහ්රාබ් ඛාන් එම ඉල්ලීම ප්‍රතික්ශේප කළේය​.

බර්න්ස් යළි පිටත්වීමට සැරසෙද්දී මෙහ්රාබ් ඛාන් ඔහුගෙන් විමසූයේ ඇෆ්ඝන් ඉතිහාසය මනාව පැහැදිලි කරන ඓතිහාසික පැනයකි.

"ඔබ මෙරටට හමුදාවක් ගෙනවිත් තිබේ. දැන් එය ආපසු රැගෙන යන්නට හිතාගෙන ඉන්නේ කෙසේද​?"

අභියෝගයේ තරම​

සෝවියට් දේශය විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම ජාත්‍යන්තරයේ දැඩි දෝෂදර්ශනයට ලක් විය​. ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් මෙන්ම ඉස්ලාමීය රටවල් ද එය දැඩි ලෙස විවේචනය කළෝ ය​. ඇමරිකානු ජනාධිපති ජිමී කාටර් සෝවියට් දේශයට ධාන්‍ය අපනයනය අත් හිටවූ අතර 1980 මොස්කව් ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට ද මුල් විය​.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ද සෝවියට් ආක්‍රමණය දැඩි විවේචනයට ලක් විය​.

මෙම ප්‍රතිචාර සෝවියට් දේශය බලාපොරොත්තු වූවාට වඩා දැඩි වන්නට ඇති නමුත් එය ඔවුන් සම්පූර්ණයෙන් බලාපොරොත්තු නොවූවක් ද නොවීය​. මීට පෙර ද අවස්ථා කිහිපයකදීම ඔවුන් හමුදාමය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ ජාත්‍යන්තර විරෝධය පිළිබඳ නොදැන නොවේ. එහෙත් 1956 දී හන්ගේරියාව ආක්‍රමණය සහ 1968 චෙකොස්ලොවැකියාව ආක්‍රමණය ද ඔවුන් විසින් සිදු කරන ලද්දේ එම ජාත්‍යන්තර විරෝධයට වඩා සිය දේශසීමාවන් හි ආරක්ෂාව පිළිබඳ ඔවුන් සැළකිලිමත් වූ හෙයිනි. ඇෆ්ඝනිස්ථානය ද සතුරු රටක අණසකට යටත් වනු ඇතැයි යන බිය සෝවියට් ක්‍රියාමාර්ගයට හේතු වූ බව අපි දුටිමු.

සෝවියට් දේශය ඉදිරියේ වූ මීළඟ ගැටලුව වූයේ 1839 දී බ්‍රිතාන්‍යයන් මුහුණ දුන් ගැටලුවම ය​. අවි ආයුධ අතින් ඔවුන් මුජහිදීන්වරුනට වඩා ප්‍රබල තැනක සිටි බව සත්‍යයකි. නමුත් ඇෆ්ඝනිස්ථනය යනු කටුක භූ විෂමතාවයන් ගෙන් හෙබි, සටන් කිරීමට අපහසු රටකි. එමෙන්ම ඒ සමඟ එක්වූ ආගමික සාධකය ද සෝවියට් හමුදාවලට බාධකයක් ලෙස මතු විය​.

1839 දී ශා ෂුජා සිය රාජ්‍යත්වය පතාගෙන ඇෆ්ඝනිස්ථානයට පැමිණි අවස්ථාවේ ඇෆ්ඝන්වරුන් ඔහුට එරෙහි වූ එක් ප්‍රධාන හේතුවක් විය​. එනම්, ඔහු ක්‍රිස්තියානි හමුදාවක් සමඟ පැමිණීමයි. භක්තිමත් ඉස්ලාම් බැතිමතුන් වූ ඇෆ්ඝන්වරු මෙය කිසි ලෙසකින්වත් නොරිස්සුවෝය​. අදේවවාදී කොමියුනිස්ට්වාදී රටක් වූ සෝවියට් දේශය කෙරෙහි එවැනිම විරෝධාකල්පයක් පැමිණීම පුදුමයක් නොවීය​.

සෝවියට් ක්‍රියාන්විතයෙහි සාර්ථකත්වය රඳා පැවතියේ ඇෆ්ඝන් හමුදාව මත ය​. එහෙත් එය ද ඉතාමත් අවිශ්වාස සහගත එකක් විය​. හමුදාවේ බොහෝ සෙබලු කොමියුනිස්ට්වාදීහු නොවූ හ​. සෝවියට් ආක්‍රමණයට පෙර සිටම​, වෙසෙසින්ම තරාකිගේ රජය​, සෝවියට් හමුදා සේනාංක ඉල්ලා සිටියේ සිය හමුදාවල වූ මෙම අවිශ්වසනීයත්වය හේතුවෙනි.
ඇෆ්ඝනිස්ථානයෙන් ආපසු එන සෝවියට් සෙබලුන් පිරිසක් 1986 දී - යූරි සොමොව් (RIA Novosti)

තවද සෝවියට් හමුදා පැමිණීමෙන් පසුව ද ඔවුන් ඇෆ්ඝන් සෙබලුන් සැළකූයේ තමන්ට වඩා අදක්ෂ කොටසක් ලෙස ය​. එහෙයින් දෙපක්ෂය අතර නුරුස්සනා ගති වර්ධනය වීමට ද විය​.

ඇමරිකානු ආගමනය​

එමෙන්ම, සෝවියට් දේශයට අවශ්‍ය පරිදි ඇෆ්ඝනිස්ථානයෙහි සැරිසැරීමට ඉඩදීම ඇමරිකාවේ අභිලාශය නොවීය​. ඉන් දියන් සාගරය දෙසට සෝවියට් බලපෑම වර්ධනය වීම ඇමරිකාවේ සතුටට හේතු නොවීය​. එමෙන්ම වසර කිහිපයකට පෙර වියට්නාමයේදී සිදු වූ අපකීර්තිය වසා ගැනීමට අවස්ථාවක් දැන් ඇමරිකානුවන්ට ලැබිණ​.

ඇමරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක වූ සෙබිග්නියෙෆ් බ්‍රෙෂින්ස්කි පාකිස්ථානය වෙත ළඟා වූයේ ඇෆ්ඝනිස්ථානයෙන් පළා ආ පිරිස් මුණ ගැසීමට ය​. මේ අතර විශාල තරුණයින් පිරිසක් සෝවියට් පාලනයට එරෙහිව සටන් කිරීමේ අදිටනින් යුතුව සිටියෝය​.
බ්‍රෙෂින්ස්කි (වමේ) සහ ජනාධිපති ජිමී කාටර්

ඇෆ්ඝන් ජාතිකයන්ට සංවේදී කාරණයක් වන ආගමික විශ්වාසය පිළිබඳ බ්‍රෙෂින්ස්කි අවබෝධ කරගෙන සිටියේය​. අදේවවාදී කොමියුනිස්ට් රජයකට එරෙහිව ඇෆ්ඝන්වරුන් පෙළඹවීමට මෙන්ම විවිධ ගෝත්‍රවලට අයත් ඇෆ්ඝන්වරුන් එක් අරමුණකට එක් කිරීමට හොඳම ආයුධය වූයේ ආගම ය​. එහෙයින් ඇෆ්ඝන් සරණාගතයින් හමුවීමට පැමිණි බ්‍රෙෂින්ස්කි ඔවුන් ඇමතීමේදී ඉස්ලාම් ආගම සහ දෙවියන් වෙත සිය අවධානය යොමු කළේ ය​.

"අර ඈතින් පෙනෙන භූමිය ඔබේ. ඔබ අනාගතයේ දිනෙක එහි යළිත් යනු ඇති. ඔබ ඔබේ සටන ජය ගනු ඇති අතර ඔබේ නිවාස සහ ඔබේ දේවස්ථාන යළිත් ලබාගනු ඇති. මක් නිසාද යත් ඔබේ සටන සාධාරණ බැවින් සහ දෙවියන් ඔබ සමඟ වන බැවිනි"

මේ අතර ඇමරිකානු රජය මුජහිදීන්වරුන්ට අවි ආයුධ සැපයීමට විය​. බටහිරින් ආධාර ලැබෙන බව සඟවනු පිණිස ඊජිප්තුවෙන් සහ චීනයෙන් ලබාගත් සෝවියට් ආයුධ මුජහිදීන්වරුන්ට ලබා දෙන ලදී. පසුව කොමියුනිස්ට් චෙකොස්ලොවැකියාවෙන් ද ඇමරිකානුවන් ආයුධ ලබාගත් බව බ්‍රෙෂින්ස්කි CNN රූපවාහිනියට පැවසීය​.

"වෙනකක් තබා අපි ඇෆ්ඝනිස්ථානයේ වූ සෝවියට් හමුදාවලිනුත් ආයුධ මිලට ගත්තා. සෝවියට් හමුදාව ඒ තරම් ම දූෂිත වූ හමුදාවක්" ඔහු තව දුරටත් කියා සිටියේ ය​.

පාකිස්ථානය සහ මුජහිදීන්වරු

මුජහිදීන්වරුන් ගේ සටන කෙරෙහි පාකිස්ථානය ඉතා වැදගත් සාධකයක් විය​. ඉරානයේ වූයේ ඇමරිකානුවන්ට එරෙහි රජයකි. ඇෆ්ඝනිස්ථානයට උතුරින් සෝවියට් දේශය විය​. මේ නිසා ඇෆ්ඝන් දේශසීමාවේ පිහිටි රටවල්වලින් ඇමරිකානුවන්ට සම්බන්ධ විය හැකි වූයේ පකිස්ථානය සමඟ පමණි.

පකිස්ථානය මේ වනවිට පාලනය කළේ හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් ජෙනරාල් සියා උල් හක් ය​. මානව හිමිකම් පිළිබඳ බෙහෙවින් සැළකිලිමත් වූ ජිමී කාටර්ගේ ඇමරිකානු රජය ජෙනරල් සියා සමඟ එතරම් මිත්‍රත්වයක් නොපැවැත්වීය​. නමුත් මේ අවස්ථාවේ ඇමරිකාව සිය ප්‍රතිපත්ති වෙනස් කළේය​.
ජෙනරල් සියා උල් හක්

ජෙනරල් සියා උල් හක් ද ඇෆ්ඝනිස්ථානයේ අනාගතය පිළිබඳ සැළකිලිමත් වූයේය​. තම රජයට හිතවත් ඉස්ලාමීය පාලන තන්ත්‍රයක් ඇෆ්ඝනිස්ථානයේ පිහිටුවීම ඔහුගේ අභිප්‍රාය විය​. මුජහිදීන්වරුන්ට පාකිස්ථානය තුළ දී පුහුණුවීමට සැලසූ ජෙනරල් සියා විදෙස් සටන්කාමීන්ට ද ඇෆ්ඝනිස්ථානය කරා යෑමට අවස්ථාව ලබා දුන්නේය​. මේ අතර තමන්ට හිතවත් මුජහිදීන් කණ්ඩායම්වලට ඔහු විශේෂ සැළකිල්ලක් දැක්වීය​.

තවද පාකිස්ථානයේ ඉස්ලාමීය අන්තවාදී අදහස් ව්‍යාප්ත වීමට ඇෆ්ඝන් යුද්ධය සහ සියා උල් හක් කෙළින්ම දායක විය​. ජෙනරල් සියා පාකිස්ථානය තුළ මුස්ලිම් ආගමික පාසල් නොහොත් මද්‍රසා ව්‍යාප්ත වීමට දුන්නේය​.

මෙම මද්‍රසාවලින් බිහිවන ශිෂ්‍යයින් තවත් දශක එකහමාරකට පසු ඇෆ්ඝනිස්ථානයේ වැඩි කොටසක් පුරා සිය අණසක පැතිරවීමට ද සමත් වූහ​. නමුත් එය දැකීමට සියා උල් හක් ජීවතුන් අතර නොසිටියේය​.