Monday, September 7, 2020

පළමු ලෝක යුද්ධය​: ජර්මන් යටත්විජිතවල සටන් 1914 - 18

ජර්මනිය යටත් විජිත සටනට එක් වූයේ 1884 දී ය​. එරට බොහෝ යුරෝපා රටවලට වඩා ප්‍රමාද වී එම පොරයට එක් වූ බැවින් ජර්මනියට යටත් ප්‍රදේශ ලබාගැනීම උදෙසා බලාපොරොත්තු තැබිය හැකි වූයේ අප්‍රිකාවේ සහ පැසිෆික් සාගරයේ ඇතැම් පෙදෙස් කෙරෙහි පමණකි.

ආරම්භයේදීම ජර්මනිය වැඩි කරදරයකින් තොරවම විශාල ප්‍රදේශ කිහිපයක අයිතිය ලබාගත්තේය​. නිරිතදිග අප්‍රිකාව (වර්තමාන නැමීබියාව​), ටෝගෝලන්තය සහ කැමරූනය 1884 දී ලබාගත් ජර්මන්නු 1885 දී ටැංගනීකාව අල්ලා ගත් හ​. මේ අනුව වසරකට මදක් වැඩි කළක් තුළ එරටට වර්ග සැතැපුම් මිලියනයක පමණ ප්‍රදේශයක් අල්ලාගත හැකි විය​. ඒ වෙනත් බටහිර රටක් සමඟ යුධ වැදීමකින් තොරව ය​.

මීළඟ වසර කිහිපයේදී ජර්මනියේ අවධානය පැසිෆික් සාගර දූපත් සහ චීනය දෙස යොමු වූයේය​. 1914 වන විට නිව් ගිනියා දූපතෙන් කොටසක් සහ අසළ පිහිටි බිස්මාර්ක් දූපත් ද​, පැසිෆික් සාගරයේ සැමෝවා දූපත්වලින් කොටසක් (වර්තමාන සැමෝවා රාජ්‍යය​), මාර්ෂල් දූපත්, මරියානා දූපත්, පලාවු සහ කැරොලිනා දූපත් ද​, චීනයේ ෂැංටුං අර්ධද්වීපයේ ට්සිංටාඕ බලකොටුව ද ජර්මනිය අත පැවතිණ​.

පැසිෆික් සාගරයේ ජර්මන් විජිත - 1914

1914 අගෝස්තුවේදී ම, එනම් පළමු ලෝක යුද්ධය ඇරඹි වහාම​, ජර්මන් පැසිෆික් විජිතවලට තර්ජනය කරන ලදී. බොහෝකොටම කුඩා දූපත් වූ මේවායේ ආරක්ෂාව සැලසීමට ප්‍රබල නාවුක හමුදාවක් නොවීම ජර්මනියට වූ විශාලම පාඩුව විය​. මිත්‍ර පාක්ෂිකයෝ ඉන් උපරිම ප්‍රතිඵල නෙළා ගත් හ​.

අගෝස්තුවේ දී නවසීලන්ත භටයින් විසින් ජර්මානු සැමෝවාව අල්ලා ගනු ලැබුණි. සැප්තැම්බරයේදී නිව් ගිනියා දූපත්වල සහ බිස්මාර්ක් දූපත්වල ජර්මානු ප්‍රදේශ ඔස්ට්‍රේලියානුවන්ට යටත් විය​.

ජපානය පළමු ලෝක යුද්ධයේදී චීනයේ සහ පැසිෆික් සාගර ප්‍රදේශවල ජර්මානු යටත් ප්‍රදේශවලට පහර දීමේ විශාල වැඩ ප්‍රමාණයක් කළේය​. 1914 අගෝස්තු - නොවැම්බර් සමයේදී මාර්ෂල් දූපත්, මරියානා දූපත්, පලාවු දූපත් සහ කැරොලිනා දූපත් යන දූපත් කාණ්ඩ සියල්ල ජපන් හමුදා යටතට ගනු ලැබීය​.

මේ අතර අගෝස්තු මාසයේ සිට ජපන් නාවික හමුදාව විසින් ට්සිංටාඕ බලකොටුව නාවුක වටලෑමකට යටත් කළ අතර ඔක්තෝබර 31 වනදා සිට එය අල්ලාගැනීමේ මෙහෙයුම් අරඹන ලද අතර නොවැම්බර් 7 වනදා බලකොටුව යටත් විය​.

අප්‍රිකාවේ ජර්මන් යටත් විජිත 1914 - 18

ඉංග්‍රීසි - ප්‍රංශ සේනාංකයක් විසින් 1914 අගෝස්තුවේදීම ටෝගෝලන්තය යටත් කරගන්නා ලදී. සැප්තැම්බරයේදී නයිජීරියාවේ සිට බ්‍රිතාන්‍යයෝ කැමරූනයේ බටහිර ප්‍රදේශය ආක්‍රමණය කළ හ​. මේ අතර ප්‍රංශ සමකාසන්න අප්‍රිකාවේ සිට ප්‍රංශ සේනාංක දකුණු සහ නැගැනහිර කැමරූනයට කඩා වැදුණෝය​.

කැමරූනයට කඩා වැදුණ බ්‍රිතාන්‍යය හමුදා සේනාංක තුනක් විය​. ඉන් උතුරුදිගින් ම වූ සේනාංකය මොරා බලකොටුව අල්ලා ගැනීමට කළ උත්සාහය අසාර්ථක වූ මුත් ජර්මානු සෙබලු එම කොටුව අතැර අසළ වූ කන්ද වෙත පසු බැස්සෝය​. එහි සිට ඔවුහු බ්‍රිතාන්‍ය ප්‍රහාරවලට මුහුණ දුන්නෝය​. කැමරූනය සම්පූර්ණයෙන්ම යටත් කරගන්නා තුරුම මෙහි සටන් පැවතුණි.




මේ අතර, දෙවැනියෙන් වූ සේනාංකය ද සාර්ථකව ඉදිරියට පැමිණි නමුත් ගරුවා බලකොටුව අල්ලාගැනීමට කළ උත්සාහය අසාර්ථක වීමෙන් එම ඉදිරි ගමන නැවතුණි. දකුණින්ම වූ සේනාංකය අන්ත පරාජයට පත් විය​.

1915 ජූනි මාසයේදී ගරුවා කොටුව බ්‍රිතාන්‍යයන් අතට පත් විය​. මීළඟ මාස කිහිපය තුළදී බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ හමුදා කැමරූනය කෙමෙන් යටත් කරගත් හ​. ජර්මානුන් යවුන්ඩේ අගනුවර අවට රට මැද කඳුකරයේ ආරක්ෂාව පතා පසු බැස්සෝය​.

කෙසේ නමුත් 1916 පෙබරවාරි වනවිට කැමරූනය මුලුමනින් මිත්‍ර පාක්ෂිකයන් අත විය​.




මේ අතර 1914 සැප්තැම්බරයේදී ජර්මන් නිරිතදිග අප්‍රිකාව, දකුණු අප්‍රිකානු හමුදා විසින් ආක්‍රමණය කරන ලදී. බ්‍රිතාන්‍යය පාර්ශවය ගෙන දකුණු අප්‍රිකාව යුද්ධයට අවතීර්ණ වීමට ගත් තීරණය එරට තුළ සැළකිය යුතු බෙදීමක් ඇති කළ අතර එරට බෝයර්වරුන් සුලු පිරිසක් රජයට එරෙහිව කැරලි ගැසීය​. එම කැරැල්ල වැඩි කලක් නොගොස් මර්ධනය කරන ලදී. මේ අතර ජර්මන් නිරිතදිග අප්‍රිකාව ද 1915 ජූලි මාසය වනවිට මුලුමනින් ම අල්ලාගන්නා ලදී.

මිත්‍ර රටවලට විශාලම ප්‍රතිරෝධයක් පෑ ජර්මන් යටත් විජිතය වූයේ නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි ටැන්ගනීකාව ය​. මෙම ප්‍රතිරෝධයට නායකත්වය දුන්නේ ජෙනරල් පෝල් ෆොන් ලෙට්ටොව්-වෝර්බෙක් ය​. ඔහුගේ ජර්මන් සෙබලු 1914 නොවැම්බරයේදී එල්ල වූ ප්‍රබල ඉංග්‍රීසි - ඉන්දියානු හමුදා ප්‍රහාරයක් මැඩ පැවැත්වූහ​. මින් පසු කළක් මුලුල්ලේ දෙපිරිස අතර සුලු සටන් සිදු විය​. ටැංගනීකා විලේ පාලනය පිළිබඳව ද නාවික සටන් ඇතිවූ අතර 1915 නොවැම්බර් වනවිට මිත්‍ර පාක්ෂිකයෝ එහි බලය පැතිරවූහ​.

1916 දී දකුණු අප්‍රිකානු ජෙනරල් ජෑන් ක්‍රිස්ටියන් ස්මට්ස් යටතේ වූ දකුණු අප්‍රිකානු, බ්‍රිතාන්‍ය සහ පෘතුගීසි හමුදා සේනාංක ටැංගනීකාවට කඩා වැදුණහ​. මෙම විශාල හමුදා ශක්‍තිය හමුවේ ලෙට්ටොව්-වෝර්බෙක් ටැංගනීකාවේ ගිණිකොණ දිග ප්‍රදේශයට පසු බැස්සේය​. ඉන් පසු ඔහු දිගටම මිත්‍ර හමුදාවලට හසු නොවෙමින් සටන ගෙන ගියේය​.

1917 වසර අවසාන සමයේ ඔහු පෘතුගීසි නැගෙනහිර අප්‍රිකාව (වර්තමාන මොසැම්බික්) ආක්‍රමණය කළ අතර ඉන් පසු තව දුරටත් මිත්‍ර හමුදා මගහරිමින් සිටියේය​. ඔහු සටන ගෙනගියේ දැඩි අපහසුතා සහ හීනවන පිරිස් බලය ද මධ්‍යයේය​. 1918 නොවැම්බරයේදී ලෙට්ටොව්-වෝර්බෙක් සිය හමුදා නැවතත් ආක්‍රමණයක යෙදවූයේ රොඩේෂියාව වෙත කඩා පනිමිනි.

1918 නොවැම්බර් 11 වනදා ජර්මන් සේනාංක යුරෝපයේදී අවි බිම තබද්දී ලෙට්ටොව්-වෝර්බෙක් සිටියේ රොඩේෂියාවේ ය​. ඉන් දින තුනකට පසු ඔහු මිත්‍ර පාක්ෂිකයන්ට යටත් වූයේය​.

Saturday, September 5, 2020

උතුරු කොරියාවේ කිම් ජොංග්-උන්ගේ සහෝදරිය කිම් යෝ-ජොංග්

උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන්ගේ අනුප්‍රාප්තිකයා වියහැකි යයි විශේෂයෙන්ම බටහිර ඇතැම් මාධ්‍ය විසින් මතු කර පෙන්වන කිම් යෝ-ජොංග් තවමත් 32 වන හෝ 33 වන වියෙහි පසුවන කාන්‍තාවක්. කිම් ජොංග්-උන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ විවිධ සැක සංකා මතුවන හෙයින් කිම් යෝ-ජොංග් ඊළඟ උතුරු කොරියානු නායකයා වනු ඇතැයි ඇතැමුන් අනුමාන කරනවා.

1987 හෝ 1988 දී උපන් බව විශ්වාස කෙරෙන කිම් යෝ-ජොංග් උතුරු කොරියාවේ දෙවැනි නායකයා වූ කිම් ජොංග්-ඉල්ගේ බාලම දරුවා යි. ඇය සහ ඇගේ සහෝදර කිම් ජොංග්-උන් යන දෙදෙනාම ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලද බවයි කියවෙන්නේ.

Pic: AP

කිම් යෝ-ජොංග් බාහිර ලෝකයේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වන අයකු වුණේ 2018 පෙබරවාරි මාසයේදී දකුණු කොරියාවේ පැවති සිසිර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා පැමිණීමත් සමගයි. එහිදී ඇය දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් හමුවී අතට අත දෙන අවස්ථාවෙහි ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍යවල පළවුණා.

එයින් පසුව ගතවූ මාස කිහිපය උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල අලුත් නැඹුරුවක් පෙන්නුම් කළා. 2018 අප්‍රේල් 27 වනදා උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ නායකයින් හමුවීම, කිම් ජොංග්-උන් හා චීන ජනාධිපති ෂී ජින්පිං හමුවීම මෙන්ම කිම් ජොංග්-උන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර 2018 ජූනි 12 සිදුවූ ඓතිහාසික හමුව මේ මාස කිහිපය තුළ සිදුවුණා. මේ සියල්ලේදී ම කිම් යෝ-ජොංග් සිය සහෝදරයා සමග ඊට සහභාගී වුණා. එමෙන්ම ඊටත් වඩා වැදගත් වැඩකොටසක් ඇය සිදුකළ බවයි වාර්තා වුණේ. විශේෂයෙන්ම දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් සමග සම්බන්ධය පවත්වාගෙන ගියේ ඇය බව විශ්වාස කෙරෙනවා. එය කිම්-මූන් හමුවට මෙන්ම කිම්-ට්‍රම්ප් හමුවට ද වැදගත් වුණා.

නමුත් කිම් යෝ-ජොංග් මේ ආකාරයෙන් බාහිර ලෝකය හමුවේ පෙනී සිටීම හේතුවෙන් බාහිර ලෝකයේ බොහෝ දෙනෙක් ඇයට සත්‍ය වශයෙන්ම නැති වැදගත්කමක් ආරෝපණය කර තිබෙන බවක් පෙනී යනවා. ඇය සිය සහෝදරයාගේ අනුප්‍රාප්තිකයා යයි සඳහන් කළත් ඇයට නිල වශයෙන් විශාල බලයක් හිමිව නැහැ. ඇය 2014 සිට උතුරු කොරියානු ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානියා වූ අතර 2017 දී කොරියානු කම්කරු පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අර්ධකාලීන සාමාජිකාවක ලෙස පත් කෙරුණා. මෙය එහි පූර්ණ සාමාජිකත්වය ලබාදීමට පෙර ලැබෙන පරිවාස කාලයක් වැන්නක්. කෙසේ වෙතත් 2019 දී හැනෝයි නගරයේ සිදුවූ කිම්-ට්‍රම්ප් හමුව අසාර්ථක වීමෙන් පසු ඇයව එයින් ඉවත් කෙරුණා. නායකයාගේ අනුප්‍රාප්තිකයාට එසේ කරනු ඇතැයි සිතිය නොහැකියි. ඇයව ආපසු දේශපාලන මණ්ඩලයේ අර්ධකාලීන සාමාජිකයකු ලෙස පත් කළේ 2020 අප්‍රේල් මාසයේ යි.

කිම් යෝ-ජොංග් විවාහ වී සිටින්නේ කොරියානු කම්කරු පක්ෂ ලේකම් චෝයි රියොංග්-හේ ගේ පුත්‍රයකු සමග බව කියවෙනවා. එය මගින් ඇයට අමතර බලයක් ලැබෙනු නොඅනුමානයි. කෙසේ වෙතත් තමුන්ගේ තනි හැකියාව මත හෝ කිම් පවුලේ සාමාජිකාවක වීම මත උතුරු කොරියාවේ බලය ඇයට ලැබේද යන්න සැක සහිතයි. උතුරු කොරියාවේ රජය මෙහෙයවන ජුචේ දර්ශනය වඩාත් ආසන්න වන්නේ මාක්ස්වාදයට වඩා සම්ප්‍රදායික කොරියානු හර පද්ධතීන්ට යි. එහෙයින් කාන්තාවක රාජ්‍ය නායකත්වයට පත්වීම සිදුවීමේ ඉඩකඩ ඉතා අඩුයි.

මේ තත්ත්වය වෙනස් කරන්නට හැකියාව ඇති ප්‍රධානම තැනැත්තා ඇගේ සහෝදරයායි. මෑත කාලයේදී කිම් යෝ-ජොංග් වෙත අමතර රාජ්‍ය වගකීම් පැවරුණ බව වාර්තා වුණත් එය තහවුරු වූයේ නැහැ. තවමත් කිම් ජොංග්-උන් සිය සහෝදරිය තම අනුප්‍රාප්තිකයා ලෙස පත් කිරීමට අවශ්‍ය පසුබිම ප්‍රමාණවත් ලෙස සකසා නැති බවයි පෙනී යන්නේ. එය දිගු කාලීන සැලසුමක් සහිතව සෙමින් සිදුවන්නක් වීමට ඉඩ තිබෙනවා. එහෙත් කිසියම් අයුරකින් කිම් ජොංග්-උන්ගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේ අයහපත් වුවහොත් කිම් යෝ-ජොංග් බලයට පැමිණේ යයි හෝ එසේ බලයට ආවත් එය දිගු කාලීනව රැකගනී යයි හෝ ස්ථිරව කිව නොහැකියි.

Friday, September 4, 2020

සිසිලියානු මාෆියාවේ උපත

මාරියෝ පූට්සෝ විසින් ලියන ලද සුප්‍රකට නවකතාව, "ද ගෝඩ්ෆාදර්" ඔබ කියවා ඇති. එහෙමත් නැත්නම් එය පාදක කරගත් ලෝක ප්‍රසිද්ධ වූ චිත්‍රපට මාලාව නරඹලා ඇති.

ඉංග්‍රීසි භාෂාව කතා කරන ලෝකය, එනම් ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ පරණ බ්‍රිතාන්‍ය යටත් විජිත ප්‍රදේශවල ජනතාවගෙන් වැඩි දෙනා සිසිලියානු මාෆියාව පිළිබඳ දැනගත්තේ ගෝඩ්ෆාදර් පොතෙන් හෝ ගෝඩ්ෆාදර් චිත්‍රපටිවලින් හෝ යයි කිවහොත් වරදක් නැහැ.

The Godfather චිත්‍රපටයෙන්

නමුත් සිසිලියානු මාෆියා සංවිධානවල උපත සිද්ධ වෙන්නෙ ගෝඩ්ෆාදර් පොත ලියවෙන්නට සියවසකට පමණ පෙරයි. එහි ආරම්භය 1860 ගණන්වල සිදුවූ දේශපාලන, ආර්ථික හා සාමාජීය විපර්යාස සමග බැඳී තිබෙනවා.

මෙහි පසුබිම තමයි ඉතාලිය එක්සත් කිරීම. ඉතාලිය එක්සත් කිරීමේ සම්පූර්ණ කතාව මේ අවස්ථාවේ විස්තර කිරීමට අපහසුයි. නමුත් කෙටියෙන් හෝ ඒ පිළිබඳ සලකා බැලීම වැදගත් වනු ඇති.

19 වෙනි සියවස මැද භාගය වෙද්දිත් ඉතාලිය අද වගේ එක රටක් ලෙස පැවතියේ නැහැ. එකල එහි විවිධ රාජ්‍යයන් තිබුණා. එයින් විශාලම රාජ්‍යය වුණේ සිසිලි ද්වයයේ රාජ්‍යය යි. බුර්බන් රාජවංශික පවුලක් විසින් පාලනය කළ එයට සිසිලිය සහ නේප්ල්ස් ප්‍රදේශය අයත් වුණා.

1843 දී ඉතාලිය​


ඉතාලිය එක්සත් කිරීමේ පෙරමුණ ගත්තේ සාර්ඩිනියා රාජධානිය යි.

1860 දි ගුසෙප් ගැරිබාල්ඩි යටතේ ගරිල්ලා හමුදාවක් සිසිලියට ගොඩබැස එය අල්ලාගත්තා. එයින් පසු එය සාර්ඩිනියා රාජධානියේ කොටසක් බවට පත් වුණා.

1861 දි, එතෙක් සාර්ඩිනියා පාලනයට නතු වූ ප්‍රදේශ ඉතාලි රාජධානිය ලෙස ප්‍රකාශ කෙරුණා. ඉතාලිය එක්සත් කිරීම සම්පූර්ණ වුණේ 1870 දි රෝමයට මේ ඉතාලි හමුදා ඇතුල් වීමෙන් පසුයි. කෙටියෙන් කිවහොත් ඉතාලිය එක්සත් කිරීම ඒ අයුරින් සිද්ධ වුණා.

අපේ අවධානය යොමු වන්නේ මේ පසුබිමෙහි සිසිලිය මුහුණදුන් විපර්යාසයන් වෙතයි. 1860 දි සිසිලියෙ බලය සාර්ඩිනියාවට ලැබුණා. කෙටි කලකින් ම සිසිලිය එක්සත් ඉතාලියෙ කොටසක් බවට පත් වුණා.

සිසිලියෙ ඊට කලින් ඉඩම් කඩම් අයිති කරගෙන හිටියෙ රදළ පවුල්. එහෙත් අලුත් වෙනසත් සමග රදළයින්ගේ බලය අඩු වෙන්නට වුණා.

එක අතකින් අලුත් පාලකයින්ට පැරණි රදළ බලය කප්පාදු කිරීමට අවශ්‍ය වුණා. එහෙයින් ඉඩම් ප්‍රතිසංස්කරණ ස්වල්පයක් සිද්ධ වුණා.

එමෙන්ම වෙළෙඳ ආර්ථිකය නිසා අලුත් මධ්‍යම පන්තියක් බිහි වෙන්න ගත්තා. ඇතැම් රදළ පවුල් විවිධ හේතූන් මත බංකොලොත් වුණා.

මේ වගේ සිදුවීම් සමග අලුත් ඉඩම් හිමියන් කොටසකුත් මතු වන්නට වුණා.

කෙසේ වෙතත් මීට සමගාමීව නව රජයට සිසිලිය පුරා සිවිල් බලය පිහිටුවන්න අපහසු වුණා. එයට ප්‍රධාන හේතුවක් වුණේ සිසිලි ජනතාවගෙ නිදහස්ව සිටීමේ කැමැත්ත යි. බාහිර බලයන් තම කටයුතුවලට අනවශ්‍ය ලෙස බලපෑම් කරනවට ඔවුන් අකමැති වුණා.

කෙසේ වෙතත් රටේ සිවිල් පාලනය බිඳ වැටෙද්දී සිදුවුණේ ජනතාවට සිය දේපළ ආරක්ෂා කරගැනීම ප්‍රශ්නයක් බවට පත් වීමයි. එවිට ඔවුන් ඒ සඳහා විවිධ පුද්ගලයින් බඳවා ගැනීමට පටන් ගත්තා.

එයින් සමහරුන් ඊට පසුව තමුන්ව බඳවා ගත්තු අයටම බලපෑම් කරන්න ගත්තා.

මේ ආකාරයෙන් මෙම කණ්ඩායම් ඉතා ලෙහෙසියෙන්ම සිසිලියේ ඉඩකඩම් තමුන්ගෙ ග්‍රහණයට ගත්තා.

එකල සිසිලියේ වැදගත්ම භෝගය වුණේ ලෙමන්. ඉතින් ලෙමන් වතු මේ පිරිස්වල ප්‍රකට ඉලක්කයක් බවට පත් වුණා.

මෙම පිරිස් තමයි සංවිධානය වෙලා මාෆියා කල්ලි බවට වර්ධනය වුණේ.

එමෙන්ම​, අප​ මේ කල්ලිවලට මාෆියා යයි නම් කළ ද​ සිසිලියානු මාෆියා සංවිධාන තමුන්ව හඳුන්වා ගන්නෙ ලා කෝසා නොස්ත්‍රා කියලයි. එහි අර්ථය "අපේ දේ" යන්නයි.

සිසිලියේ වූ ආර්ථික තත්ත්වය නිසා සැලකිය යුතු පිරිසක් වාසනාව හොයාගෙන ඇමරිකාවට සංක්‍රමණය වුණා. මේ අතරෙ කෝසා නොස්ත්‍රා සාමාජිකයින් ද සිටියා. ඔවුන් තමයි ඇමරිකාවේ සිසිලියානු මාෆියාව හදන්න මුල් වුණේ.

ඔබ ගෝඩ්ෆාදර් පොත කියෙව්වොත්, එහෙම නැත්නම් ඒ චිත්‍රපටි නැරඹුවොත්, විශේෂයෙන්ම දෙවනි චිත්‍රපටියෙදි ඔබට ඇමරිකාවෙ කෝසා නොස්ත්‍රා පැළපදියම් වූ ආකාරය පිළිබඳ අදහසක් ගැනීමට හැකිවනු ඇති.

Wednesday, September 2, 2020

වියට්නාමය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම​

දෙවන ලෝක යුද්ධය අවසන් කරමින් ජපානය යටත් වීමේ ලේඛනයට නිල වශයෙන් අත්සන් කළ 1945 සැප්තැම්බර් 2 වනදා සිදුවූ තවත් සිද්ධියක් වූයේ වියට්නාමය සිය නිදහස ප්‍රකාශ කිරීමයි.

වියට්නාමය නිල වශයෙන් ප්‍රංශ පාලනයට සම්පූර්ණයෙන් නතු වූයේ 1883 අගෝස්තු 25 වනදායි. එදින, වියට්නාම් රජය විසින් ටොන්කිං හා අන්නාම් ප්‍රංශ ආරක්ෂාව යටතේ වන ප්‍රදේශ ලෙස පිළිගත්තා. දකුණුදිග වියට්නාමයේ කොචින් චීනය ඒ වනවිට ද ප්‍රංශ ආරක්ෂාව යටතට පත්ව තිබුණා.

ප්‍රංශ පාලනය විසින් වියට්නාමයට සැලකිය යුතු විපර්යාසයන් ගෙන ආවා. පොදු ගොඩනැගිලි සහ මංමාවත් ඉදි කෙරුණා. කෙසේ වෙතත් සාමාන්‍ය ජනයාගෙන් අති බහුතරයකට මෙහි වාසිය ළඟාවූයේ නැහැ. ඉහළ බදු සහ පොළී අනුපාත විසින් ඔවුන්ව දිගටම ණයකරුවන් ලෙස පවත්වා ගැනුණා. 1940 වනවිට ද රටේ ජනගහනයෙන් සියයට 85 ක් ගොවීන් වුණා.

සම්ප්‍රදායික ගම් නායකයින් වෙනුවට ප්‍රංශ පුහුණුව ලද වියට්නාම් නිලධාරීන් පත් කෙරුණා. සාමූහික ජීවන රටාව වෙනුවට පුද්ගලවාදය ඉස්මතු වුණා. ප්‍රංශ නෛතික ක්‍රමය හඳුන්වා දුන් අතර යුක්තිය පසිඳලන ලද්දේ ප්‍රංශ විනිසුරුවන් විසින්. ඔවුන්ට දේශීය සිරිත් විරිත් පිළිබඳ දැනුමක් හෝ ඒ ගැන දැනගැනීමේ අවශ්‍යතාවක් තිබුණු බවක් පෙනුණේ නැහැ. සාමාන්‍ය ජනජීවිතය අවුල් වීමට මෙය ද බලපෑමක් වුණා.

ජාතික සටන්

වියට්නාම් ජනතාව 1883 න් පසු එකාවන්ව ප්‍රංශයට යටත් වීමට සූදානම් වූයේ නැහැ. විසිවන සියවස මුල් කාලය වනතුරු ද විටින් විට ප්‍රංශ විරෝධී ජනතා නැගිටීම් සිදුවුණා. මේ අතර ජාතිකවාදී ව්‍යාපාර බිහිවනු දක්නට ලැබුණා. මේ අතර ඇතැම් සංවිධානවලට මාක්ස්වාදයේ බලපෑම තිබුණා. කෙසේ වෙතත් මෙම සංවිධාන අතරින් විශාලම සංවිධානය වූ වියට්නාම් ජාතිකවාදී පක්ෂය (Viet Nam Quoc Dan Dang - VNQDD) මාක්ස්වාදී සංවිධානයක් වූයේ නැහැ. 1930 දී ඔවුන් විසින් දියත් කළ නිදහස් අරගලයක් මර්ධනය කෙරුණා. ඒ සමගම ජාතිකවාදී කඳවුර දුර්වල වූයෙන් මාක්ස්වාදී නැඹුරුවක් සහිත ජාතික ව්‍යාපාර කරලියට පැමිණියා.

මෙම අරගලයෙන් දශකයකට පසු, කොමියුනිස්ට්වාදීන් මූලිකත්වය ගෙන වියට්නාමයේ ස්වාධීනත්වය සඳහා වන ලීගය (Viet Nam Doc Lap Dong Minh) පිහිටුවා ගත්තා. වියෙට් මින් ලෙස කෙටියෙන් හැඳින්වූ මෙයට කොමියුනිස්ට්වාදීන් මෙන්ම සමාජවාදීන් සහ වෙනත් පිරිස් ද එක් වුණා.

මේ අතර දෙවන ලෝක යුද්ධය ඇරඹී තිබුණා. 1940 දී ජර්මනිය විසින් ප්‍රංශය පරාජය කළ පසු අභිනවයෙන් පිහිටවූ ප්‍රංශ රජය යටතට වියට්නාමය ඇතුළු ඉන්දු චීනය පත් වුණා. එයින් ස්වල්ප කලකට පසු ජපානය උතුරු වියට්නාමයේ හමුදා කඳවුරු ස්ථාපිත කළා. 1944 දී ප්‍රංශය මිත්‍ර හමුදා විසින් මුදවාගත්තා. 1945 මාර්තු 9 වනදා ජපානය විසින් ඉන්දු චීනය තම පාලනයට ගත්තා. වියට් මින් සංවිධානය විසින් ජපනුන්ව ද සැලකූයේ තවත් ආක්‍රමණිකයකු ලෙසයි.

ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම

1945 අගෝස්තු මස 15 වනදා ජපානය යටත් වන බවට නිවේදනය කෙරුණා. ඒ සමගම වියට්නාමයේ නොසන්සුන්තා ඇතිවුණා. ජපන් පාලනය බිඳ වැටෙද්දී වියට් මින් සංවිධානය යටතට රටේ බොහෝ ප්‍රදේශ පත් වුණා. බාඕ දායි රූකඩ අධිරාජයා ඉල්ලා අස්වීමට තීරණය කළා.

1945 සැප්තැම්බර් 2 වනදා වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ස්ථාපිත කෙරුණා. එහි ප්‍රධානියා වූයේ හෝ චි මින්. ස්වාධීනතා ප්‍රකාශනය මගින් වියට්නාම් ජනතාවගේ නිදහස අහිමිකරමින්, අමානුෂික නීති ඔවුන් මත පැනවීම පිළිබඳ ප්‍රංශයට චෝදනා කරුණා. වියට්නාමයට නිදහස් සහ ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතීමේ අයිතිය එමගින් පෙන්වා දුන්නා.



කෙසේ වෙතත් ජයග්‍රාහී මිත්‍ර පාක්ෂික රටවල් තමන්ට අහිමි වූ යටත් විජිත යළි ලබාගන්නා සටනට එළඹ සිටියා. මේ වෙද්දී ආසියාවේ ප්‍රංශයින්ට විශාල සේනාංක වූයේ නැහැ. එහෙයින් ඔවුන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය හමුදා කොචින් චීනයට ගොඩබැස්සා. වියට්නාමය සිය අණසකට යට කරගැනීම සඳහා එරටෙහි ඒ වනවිට රැඳී සිටි ජපන් හමුදාවල සහය ද බ්‍රිතාන්‍යයන් ලබාගත්තා. වියට් මින් සේනාංක නගර අතැර පසුබැස්සා. 1945 වසර නිම වෙද්දී ප්‍රංශ හමුදා පැමිණ ඉන්දු චීනය තම අණසකට ගත්තා. ඔවුන් බාඕ දායි අධිරාජයා ද ආපසු කැඳවා වියට්නාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට එරෙහි රජයක් පිහිටුවීමට ඔහුව යොදාගත්තා. මේ සමග ප්‍රංශයට එරෙහි වියට්නාම් ජාතික සටන යළි ඇරඹුණා. එය නිම වූයේ 1954 දී ඩියෙන් බියෙන් පූ සංග්‍රාමයෙන් ප්‍රංශය අන්ත පරාජයක් ලබාගැනීමත් සමගයි.

"හොටෙල් රුවන්ඩා" චිත්‍රපටයේ වීරයා ත්‍රස්ත චෝදනා මත අත් අඩංගුවට

1994 රුවන්ඩා ජන සංහාරය අවස්ථාවේ ජීවිත දහසක් පමණ බේරාගත් පෝල් රුසෙසබගීනා ත්‍රස්ත චෝදනා මත අත් අඩංගුවට ගෙන තිබෙනවා. රුවන්ඩාව විසින් මේ බව නිවේදනය කළේ අගෝස්තු 31 වනදා යි.

රුවන්ඩා රහස් පරීක්ෂක කාර්යංශය පවසන්නේ ජාත්‍යන්තර සහයෝගීතාවයකින් ඔහුව අත් අඩංගුවට ගත් බවයි. රුසෙසබගීනා කාලයක් තිස්සේ බෙල්ජියමේ සහ ඇමරිකාවේ ජීවත් වුණා. ඔහු අත් අඩංගුවට ගත් ආකාරය පැහැදිලි වූයේ නැහැ. ඔහුගේ පවුලේ අය පවසන්නේ අත් අඩංගුවට ගැනීමට පෙර ඔහු ඩුබායි වෙත සංචාරය කළ බවයි. ඔහුව පැහැරගෙන ඇති බවයි පවුලේ අය චෝදනා කරන්නේ.



රුසෙසබගීනා කලක පටන්ම පෝල් කගාමේ ජනාධිපතිවරයාගේ රජයෙහි ප්‍රබල විවේචකයකු වුණා. ඔහු පවසන්නේ කගාමේ ඒකාධිපති පාලනයක් ගෙනයන බවයි. එමෙන්ම කගාමේ රුවන්ඩාවේ ටුට්සි සුළුතරයට හිතවත් පාලනයක් ගෙනයන බවට රුසෙසබගීනා චෝදනා කරනවා.

රුවන්ඩා රජය පවසන්නේ රුසෙසබගීනා රජයට එරෙහි ත්‍රස්ත කණ්ඩායම්වලට ආධාර ලබාදෙන බවයි. 2018 දී එල්ල වූ ප්‍රහාරයන් දෙකක් සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

රුසෙසබගීනා 1994 රුවන්ඩා ජන සංහාරය අවස්ථාවේ හෝටල් කළමණාකරුවකු ව සිටියා. ඔහු විසින් ජීවිත දහසක් පමණ බේරාගත් කතා පුවත 2004 දී නිකුත් වූ "හොටෙල් රුවන්ඩා" චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරෙනවා.

Thursday, August 27, 2020

ත්සාර් අලෙක්සන්දර්ගේ උපදේශිකාව

රාජ්‍ය නායකයින්ට හෝ දේශපාලන නායකයින්ට සිටිය යුත්තේ වන්දිභට්ට උපදේශකයින් නොව සත්‍යය පවසන උපදේශකයින්. ඒ අතින් රුසියාවේ ත්සාර් පළමුවන අලෙක්සන්දර් වාසනාවන්තයෙක්. ඔහු සිය බාල සහෝදරිය වූ එකැතරීනා පව්ලොව්නා හෙවත් කැතීෂේ වෙත බොහොම සමීප වූ බව ප්‍රකට කරුණක්. ඇය දේශපාලන කටයුතුවලදී ඔහුගේ ප්‍රමුඛතම උපදේශිකාවක් වුණා. ඒ වගේම ත්සාර්ට තමන්ට පෙනෙන දේ නොපැකිළව කියන්නට ඇයට හැකියාව තිබුණා.



නැපෝලියන්ගේ හමුදා 1812 දී රුසියාව ආක්‍රමණය කරද්දී රුසියන් ජෙනරල්වරු දෙපැත්තකට බෙදුණා. යුධ ඇමති මෙන්ම හමුදා ප්‍රධානියා වූ මිහායිල් බාර්ක්ලේ ඩි ටොලී කුමාරයා විශාල ප්‍රංශ හමුදාව හමුවේ පසුබසින්න වුණා. එහෙත් ජෙනරාල් බග්‍රතියෝන් හිටියේ සටන් කළ යුතුයි කියන තැන. ස්මොලෙන්ස්ක් සටනින් පස්සෙ රුසියන් හමුදා පසුබසිද්දී හමුදා නිල ඇඳුම අඳින්නට පවා ලජ්ජා බව බග්‍රතියෝන් කියා සිටියා.

මේ දෙපාර්ශවයේ ජෙනරල්වරු වඩා සුදුසු යුධ උපක්‍රමය ගැන තීරණයක් ගන්න බැරුව පැටලෙද්දී කැතීෂේ දොස් කිව්වේ ත්සාර්ටයි. අලෙක්සන්දර් සිය ජෙනරාල්වරුන් පාලනය කරගන්නේ නැති නිසා සහ තීරණයක් ගන්නේ නැති නිසා තත්ත්වය අවුල් වූ බව ඇය පැවසුවා. මේ අවස්ථාවේ අලෙක්සන්දර් කියා සිටියේ තමන් හමුදාව පුද්ගලිකව මෙහෙයවන බවයි.

"හමුදාවට අවශ්‍ය වන්නේ එහි චිත්ත ධෛර්යය නැංවිය හැකි අයෙක්. ඔබට එය කිසිසේත් ම කළ නොහැකියි" කැතීෂේ පැවසුවා.

මේ අනුව තමයි කුමක් කළ යුතුද කියන සාකච්ඡාව ඇතිවුණේ. අලෙක්සන්දර් ජෙනරාල්වරුන් හා කරපු කතාබහේදි හැම කෙනෙක්ම පාහේ කියුවේ මිහායිල් කුතූසොෆ්ට හමුදාව භාර දිය යුතු බවයි. අලෙක්සන්දර් කුතූසොෆ්ට අකමැති හෙයින් ඔහුව කොන් කර දමලායි තිබුණේ. එහෙත් මේ අවස්ථාවේ ඔහුට හමුදාව භාර ගන්නැයි කියන්නට අලෙක්සන්දර්ට සිදුවුණා.

කැතීෂේ තම සහෝදරයාව වර්ණනා කරන වන්දිභට්ට සොයුරියක් වුණා නම් ඒ වතාවේ රුසියාව නැපෝලියන් හමුවේ පරාද වෙනවා නිසැකයි.

කැතීෂේ නැපෝලියන් පිළිබඳ කතාවට තවත් අයුරකින් ද සම්බන්ධ වෙනවා. නැපෝලියන් සිය අධිරාජිණිය වූ ජොසෆින් ව දික්කසාද කර අලුත් විවාහයක් කරගැනීමට රජ කුමරියක් සොයද්දී ඔහුගේ අවධානය කැතීෂේ වෙත යොමු වුණා. මේ කාලෙ, 1807 ටිල්සිට් ගිවිසුමෙන් පසු රුසියාව සහ ප්‍රංශය මිත්‍රයින් වී සිටි සමයයි. කෙසේ වෙතත් නැපෝලියන්ට ඇයව විවාහ කර දෙන්න රොමානොෆ් පවුලට අවශ්‍ය වුණේ නෑ. ඇගේ මව හෙවත් මාතෘ අධිරාජිණිය වහ වහා තමන්ගෙ බෑණනුවන් කෙනෙකු වූ ඔල්ඩන්බර්ග් හි ජෝර්ජ් ආධිපාදවරයාට ඇයව විවාහ කර දුන්නා. ඔවුන් ජීවත් වුණේ ත්වේර් නගරයේ. කැතීෂේගේ දෙවනි දරුවා උපන්නේ නැපෝලියන්ගේ ආක්‍රමණය දිනවලයි.

ඔල්ඩන්බර්ග් හි ආධිපදවරයා ඉන් මාස කිහිපයකට පසු 1812 දෙසැම්බරයේ මියගියා. ඉන්පසු ගතවූ වසර කිහිපයෙදි කැතීෂේ සිය සොහොයුරු පිරිසට තවත් සමීප වුණා. වියානා සංගමය පැවැත්වෙන දිනවල ත්සාර් අලෙක්සන්දර් සමග ඇය එහිද ගියා. 1816 මුලදී වුටෙම්බර්ග් හි විලියම් කුමාරයා හා විවාහ වීමෙන් පසු ඇය එරටෙහි ජීවත් වෙන්නට ගියා. විලියම් කුමාරයා ඒ වසරේම රජ බවට පත්වුණා. ඇය රෝගී තත්ත්වයක් හේතුවෙන් 1819 දී මියගියා.

Tuesday, August 25, 2020

රුසියාවේ පළමු ත්සාර්

වර්තමානයේ අප දකින රුසියාව එනමින් ස්ථාපිත කරන ලද්දේ 1547 දී, සමස්ථ රුසියාවේ ත්සාර් ලෙස තමන්ව ප්‍රකාශයට පත් කරගත් හතරවන ඉවාන් විසින්. විදේශීය රටවල ඔහු වඩා ප්‍රසිද්ධ වන්නේ අයිවන් ද ටෙරිබල් (Ivan the Terrible) හෙවත් "බිහිසුණු අයිවන්" යන නමින්. නමුත් රුසියානුවන් ඔහුව හඳුන්වන්නේ "ඉවාන් ග්‍රෝස්නි" (Ива́н Гро́зный) යන නමින්. ඔහු බිහිසුණු අයිවන් වී අත්තේ මේ රුසියන් නම වැරදි ලෙස පරිවර්තනය වීමෙන් බවයි රුසියානුවන් ඔබට පවසනු ඇත්තේ.

ඉවාන් ග්‍රොස්නි දරුණු පාලකයකු මෙන්ම හොඳ සංවිධායකයකු ලෙස ද සැලකෙනවා. එමෙන්ම ඔහු රුසියාවේ භූමි ප්‍රදේශය ව්‍යාප්ත කිරීමට බෙහෙවින් දායක වුණා. එහෙත්, ඔහුගේ දරුණු ක්‍රියා සහ ක්ෂණික කෝපය හේතුවෙන් විශාල හානියක් ද රුසියාවට සිදුවුණා. ඔහු අතින් සිදුවූ මරණයක් නිසා රුසියාව දශකයකට වැඩි කලක් අරාජික සමයකට තල්ලු වී ගියේ යයි සැලකෙනවා.

ඉවාන් ග්‍රොස්නි සහ අයිවන් ද ටෙරිබල්

ඉංග්‍රීසි භාෂාවෙන් Terrible යන්න රුසියන් භාෂාවේ ග්‍රෝස්නි (Гро́зный​) යන්නෙහි නිවැරදි පරිවර්තනයක් නොවේ. ග්‍රෝස්නි යන්න උපදින්නේ ග්‍රසා යන යෙදුමෙන්. එයින් විදුලි කෙටීම​, අහස ගිගිරුම් දීම වැනි දේ හැඟවෙනවා. මේ අනුව ග්‍රෝස්නි යන යෙදුමට විදුලිය මෙන් ඉක්මන් යන අර්ථයක් ලැබෙනවා. එමෙන්ම ශක්තිමත්, වීරෝධාර​, සතුරා බිය වද්දනසුලු යනාදී අර්ථ ද ඒ සඳහා ලබා දී තිබෙනවා. රුසියානුවන් ඉවාන් ග්‍රෝස්නි ලෙස හතරවන ඉවාන් හඳුන්වා දෙන්නේ මෙම විවිධ අර්ථයන්ගෙන්.


කෙසේ නමුත් ඉංග්‍රීසියෙන් ග්‍රෝස්නි යන්න යනුවෙන් හැඳින්වීමත් සමග විදේශයන් හි හතරවන ඉවාන් ප්‍රකටව ඇත්තේ "බිහිසුණු" අයිවන් යන නමින්. ඉවාන් බිහිසුණු දේ කළ බව ඇත්ත යි. නමුත් ඊටත් වඩා බිහිසුණු දේ සිදුකළ පාලකයින් සිටිය දී ඉවාන් බිහිසුණු යයි පැවසීම තරමක් අසාධරණ බව යි රුසියානුවන් අදහස් කරන්නේ.

ත්සාර් බවට පත් වීම

පැරණි කියේවන් රුස් රාජ්‍යය මොංගොල් ආක්‍රමණවලින් පසු කැඩී බිඳී ගියා. ඊට අයත් වූ භූමි ප්‍රදේශ විවිධ රාජධානි යටතේ පැවති අතර, 16 වන සියවස වන විට මොස්කව් මහාධිපාද ප්‍රදේශය එයින් ප්‍රමුඛතම රාජ්‍යය බවට පත්ව තිබුණා. මෙම රාජ්‍යයේ තුන්වන වසීලිගේ පුත්‍රයා ලෙස 1530 අගෝස්තු 25 වනදා ඉවාන් වසීල්යෙවිච් උපත ලැබුවා. 1533 දී, එවකට තුන් හැවිරිදි වූ ඉවාන් කුමාරයා මෙහි පාලකයා බවට පත් වුණා. එකල එහි පාලකයා සාමාන්‍යයෙන් හඳුන්වන ලද්දේ ශ්‍රේෂ්ඨ කුමාරයා (Grand Prince) හෝ මහධිපාදයා හෝ යනුවෙන්. ඒ අනුව​, ඔහු මොස්කව් හි හතරවන ඉවාන් ලෙස ශ්‍රේෂ්ඨ කුමාරයා තනතුරට පත් වුණා.


ළාබාල කාලයේ දී ඉවාන් වෙනුවෙන් රාජ්‍යත්වයෙහි වැඩ බලන ලද්දේ වෙනත් අය යි. 1547 දී ඔහු රාජ්‍ය පාලනය ඍජුව තමා විසින් ම සිදුකිරීමට පටන් ගත්තා. මෙහිදී ඔහු තමන් රුසියාවේ ත්සාර් ලෙස ප්‍රකාශයට පත් කළා. ත්සාර් යන යෙදුම ලතින් භාෂාවේ සීසර් යන්නෙන් බිඳී එන්නක් වන අතර අධිරාජයා යන අර්ථය දෙනවා. එමෙන්ම වෙනත් සාමාන්‍ය මට්ටමට වඩා උසස් බලයක​, එනම් ප්‍රබල අධිරාජයකුගේ හෝ ක්‍රිස්තියානි ආගමික නායකයාගේ අවසර ඇතිව​, රාජ්‍ය පාලනය කරන්නා යන අර්ථය ද දෙනවා. මෙම තනතුර ස්ලැවික් රටවල් කිහිපයකම භාවිතා වී ඇති අතර මුලින්ම සාර්වරයෙකු බිහිවුණේ පළමු බාල්ගේරියානු අධිරාජ්‍යයේ යි.

ත්සාර් යන නම පවරා ගැනීමෙන් ඉවාන් තමා සිටි ස්ථාවරයට වඩා උසස් වූ තනතුරක් පවරාගත්තා පමණක් නොව සමස්ථ රුසියාවේ පාලකයා තමන් බවට ඇඟවූවා. එමෙන්ම තමන්ට ආගමික සංස්ථාවේ සහය හිමි බව ද පෙන්වා සිටියා.

ප්‍රතිසංස්කරණ සහ භූමි ව්‍යාප්තිය

ඉවාන් ග්‍රෝස්නිගේ ළමා කාලය එතරම් යහපත් වූයේ නැහැ. එයම ඇතැම් විට පසුකලෙක ඔහුගේ ඇතැම් ක්‍රියාවන්ට හේතු වූයේදැ යි සැක කළ හැකියි. ඔහුගේ පියාගේ මරණින් පසු මොස්කව් හි පාලකයා බවට පත් වූ ඔහුගේ රාජ්‍යත්වයේ වැඩ බැලීම ඔහුගේ මව වූ එලේනා ග්ලින්ස්කායා විසින් සිදුකරනු ලැබුණා. ඉවාන්ට වයස අවුරුදු අටක් වෙද්දී එලේනා ග්ලින්ස්කායා මියගිය අතර ඇයට යමෙකු විසින් විෂ දෙන්නට ඇතැ යි සැක කෙරෙනවා. ඉන්පසු ඉවාන්ව පාලනය කිරීම සඳහා බෝයාර්වරුන් නම් වූ රදල පවුල් කිහිපයක් උත්සාහ කළා. එකළ රුසියාවේ සැලකිය යුතු බලයක් මේ බෝයාර්වරුන්ට තිබුණා. තමන්ව පාලනය කරන්නට බෝයාර්වරුන් උත්සාහ කළ හෙයින් ඉවාන් තුළ ඔවුන් පිළිබඳ විශාල කැමැත්තක් වූයේ නැහැ.

තමන්ම රාජ්‍ය පාලනය කිරීමට පටන් ගත් විට​, ඉවාන් ප්‍රතිසංස්කරණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඔහු නීති පද්ධතිය ප්‍රතිසංස්කරණය කළා. නිත්‍ය හමුදාවක් (ස්ත්‍රෙල්ත්සි) ස්ථාපිත කළා. සෙම්ස්කි සොබෝර් නම් පාර්ලිමේන්තුව පිහිටවූවා. රදලයින් මෙන්ම පූජකයින් සහ නගර වැසියන් ද එහි නියෝජිතයන් ලෙස පත් වුණා. මේ සියල්ලෙන්ම ඔහු කළේ බෝයාර්වරුන් සතු වූ බලය කෙමෙන් සීමා කිරීමට උත්සාහ කිරීම යි. මේ අතර ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි සමුළුවක් පවත්වා රට පුරා ක්‍රිස්තියානි පල්ලියෙහි රීතීන් සහ වතාවත් එක් ක්‍රමයකට ගෙන එනු ලැබුණා. එයින් පල්ලිය වඩා ක්‍රමවත් ආයතනයක් කර, එමගින් ද බෝයාර්වරුන්ගේ බලය සීමා කරන්න ඔහු උත්සාහ කළා.

කසාන් වටලෑම (Peter Korovin, 1890)


මේ අතර ඉවාන්, ත්සාර් ලෙස කටයුතු කළ මුල් දශකය තුළ රුසියාවේ බලය වොල්ගා නිම්නය ඔස්සේ පතුරවනු ලැබුණා. කසාන් රාජ්‍යය 1552 දී අත්පත් කරගැනීම මෙහිදී අතිශය වැදගත් වූ සිදුවීමක් වුණා. එය සැමරීම සඳහා මොස්කව් හි විචිත්‍රවත්ම ගොඩනැගිල්ලක් වූ සාන්ත බැසිල් ආසන දෙව් මැදුර ඉදිකෙරුණා.

කසාන් අල්ලාගෙන වසර හතරකට පසු 1556 දී අස්ත්‍රහාන් හි බලය ද රුසියානුවන් විසින් අල්ලාගනු ලැබුණා. මින් දශක කිහිපයකට පසු 1582 දී, එර්මාක් තිමොෆෙයෙවිච් විසින් සිබීර් රාජ්‍යය අල්ලාගනු ලැබීම රුසියානුවන් සයිබීරියාවට ව්‍යාප්ත වීමේ ඇරඹුම ද සනිටුහන් කළා.

අප්‍රීට්ස්නිනා (Oпри́чнина)

1558 සිට රුසියාව දිගු කාලීන යුද්ධයකට පැටලුණා. එය හඳුන්වනු ලබන්නේ ලිවෝනියානු යුද්ධය යනුවෙන්. ඩෙන්මාර්ක්-නෝර්වේ, ස්වීඩනය​, ලිතුවේනියාව​, පෝලන්තය ආදී විවිධ රටවල් සමග මෙහිදී රුසියාව යුධ වැදුණා. මෙහිදී රුසියාවට භූමිය අහිමි වුණ අතර විශේෂයෙන්ම බෝල්ටික් ප්‍රදේශ සමග වෙළඳාම් කටයුතුවලට ද බාධා පැමිණුනා.

මේ අතර 1560 දී ඉවාන්ගේ බිරිඳ වූ අනස්තාසියා රොමනෝවා මරණයට පත් වුණා. ඇය ද විෂ ශරීරගත වීමෙන් මියගිය බව සැක කෙරුණා. මෙය ඉවාන්ට දෙවිධියකට බලපෑවා. එක් අතකින් රදලයින් කෙරෙහි වූ සැකය සහ කෝපය මින් තවත් වර්ධනය වුණා. එමෙන්ම ඔහුට ආත්ම සාහායිකාවක මෙන් සිටි විශ්වාසවන්ත කන්තාව ද ඔහුට අහිමි වුණා. ඉවාන් විශේෂයෙන් "බිහිසුණු" වන්නට පටන් ගත්තේ අනස්තාසියා මියගිය පසු බව සාමාන්‍යයෙන් පිළිගන්නා කරුණක්.

ඉවාන්ගේ රදල විරෝධී කටයුතු උත්සන්න වූයේ 1565 දී යි. ඔහු රුසියාවේ කොටසක් තම ඍජු පාලනය යටතට ගත්තා. එහි අප්‍රීට්ස්නිකි නම් වූ රහස් පොලිසියක් පිහිටවූවා. මෙය රුසියානු ඉතිහාසයේ පළමු රහස් පොලිසිය ලෙස සැලකෙනවා. ඉන් අනතුරුව ඉවාන් සිය බලය එහි තහවුරු කරගනිමින් තමන්ට එරෙහි වූ පිරිස් මර්දනය කළා.

1569 දී ඔහුගේ දෙවන බිරිඳ වූ මාරියා තෙව්රුකෝව්නාගේ මරණින් පසුව ඉවාන්ගේ සැක සංකා තවත් ඉහළ ගියා. එයින් ස්වල්ප දිනකට පසු ඔහුගේ ඥාති සහෝදරයා වූ ව්ලදිමීර් කුමාරයාට දිවි නසා ගැනීමට ඉවාන් බල කළා. ඒ, වසර ගණනක් තිස්සේ ව්ලදිමීර් පිළිබඳ තමන් තුළ වූ සැක සංකාවන් හි ප්‍රතිඵලයක් ලෙස යි.

ව්ලදිමීර් කුමාරයා එකල රුසියාවේ දෙවන විශාලම නගරය වූ නෝව්ගරද් හි ඉතා ජනප්‍රිය අයෙකු වුණා. ඉවාන් නෝව්ගරද් වැසියන් ද සැක කරන්නට වුණා. එහි ප්‍රතිඵලය වූයේ අප්‍රීට්ස්නික්වරුන් විසින් නගර වැසියන් සමූල ඝාතනය කිරීම යි. නෝව්ගරද් නගරය එහි පැරණි ශ්‍රී විභූතිය කරා යළි කෙදිනක හෝ ළඟා වූයේ නැහැ.

ඉවාන් තම සතුරන් යයි සිතූ අයට එරෙහිව දැඩි අමානුෂික වධ බන්ධනයන් ක්‍රියාවට නැගුවා. ඇතැම් විචාරකයින් විග්‍රහ කරන පරිදි ඉවාන් තමන්ව සැලකූයේ දෙවියන්ගේ නියෝජිතයා ලෙස යි. එවිට තමන්ට එරෙහිව යන අයට අපායේ දී හිමිවන දඬුවම් හිමි වියයුතු බව ඔහු විශ්වාස කළා.

පුත්‍රයා මරණයට පත් වීම

1581 නොවැම්බර් මාසයේ දිනෙක ත්සාර් ඉවාන් ග්‍රෝස්නි සිය පුත්‍රයා වූ ඉවාන් ඉවානොවිච්ගේ බිරිඳ වූ එලේනා ශෙරෙමෙතේවාට පහර දුන්නේ නුසුදුසු ඇඳුමක් හැඳ සිටියේ යයි චෝදනා කරමින්. ඇය එම අවස්ථාවේ ගැබිණියක ව සිටි අතර පහර දීමෙන් පසු ඇයට ගබ්සාවක් සිදුව තිබෙනවා. මේ පිළිබඳ සාර් ඉවාන් සහ සාර්යෙවිච් (කිරුළ හිමි කුමරු) ඉවාන් ඉවානවිච් අතර බහින්බස් වීමක් වුණා. එහි දී සාර් විසින් උල් අගිස්සක් සහිත බස්තමකින් එල්ල කළ පහරකින් සාර්යෙවිච් මරණාත්මක තුවාල ලැබුවා. ඉවාන් ග්‍රෝස්නි ප්‍රාතිහාර්යයක් ප්‍රාර්ථනා කරමින් යාඥා කළ ද දින කිහිපයකින් ඉවන් ඉවානවිච් මියගියා.

(මේ සිදුවීම මේ ආකාරයෙන්ම සිදුවූයේ යයි සම්පූර්ණයෙන් තහවුරු වී නැහැ. නමුත් සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන කතා පුවත මෙයයි).

මරණය සහ “කරදරකාරී සමය”​

ඉවාන් ග්‍රෝස්නි මියගියේ 1584 මාර්තු 28 වනදා සිය සමීපතමයෙකු වූ බොග්දාන් බෙල්ස්කි සමග චෙස් ක්‍රීඩා කරමින් සිටිය දී රෝගී වීමෙන්. ඔහුගේ මරණය සමග රුසියාව අවිනිශ්චිත කාලයක් කරා ගමන් ගත්තා. ඉවාන් ඉවානොවිච් මරණයට පත් වීමෙන් පසු, සිහසුන හිමි ශක්තිමත් අයෙකු නොවීම මෙයට හේතුව වුණා.

ඉවාන් ඉවානොවිච්ගේ මරණය හේතුවෙන් ඔහුගේ බාල සහෝදරයා ත්සාර්යෙවිච් බවට පත් වුණා. රෝගී තැනැත්තෙකු වූ ෆියදෝර් ඉවානොවිච් ආගම දහමට ලැදි, දේශපාලනය පිළිබඳ තැකීමක් නොකළ අයෙක්. 1584 දී සාර් ඉවාන් ග්‍රෝස්නි මියගිය පසු ෆියදෝර් ත්සාර් ලෙස පත් වූ අතර, සත්‍ය වශයෙන්ම බලය තිබුණේ ඔහුගේ බිරිඳගේ සොයුරා වූ බරිස් ගදුනෝෆ් අත යි.

ඉවාන් ග්‍රෝස්නිගේ අවසන් බිරිඳ වූ මාරියා නගායා 1581 දී දිමිත්‍රි ඉවානොවිච් නම් පුත්‍රයකු බිහි කළා. ඔහු 1591 දී මියගිය අතර බරිස් ගදුනෝෆ් විසින් එම මරණය සිදුකරවූ බවට ද සැකයක් පවතිනවා.

(දිමිත්‍රි මියගියේ නැති බවට ප්‍රබල විශ්වාසයක් වූ අතර එහෙයින්ම අරාජික සමයේදී තමුන් දිමිත්‍රි බවට කියා සිටි කිහිප දෙනෙක්ම රුසියන් සිහසුන සඳහා සටන් වැදුණා).

ෆියදෝර් 1598 දී මියගියේ දරුවන් නොමැතිව යි. ඒ අනුව එතෙක් රුසියාව පාලනය කළ රුරික් රජවංශය ඉන් නිම වුණා. බරිස් ගදුනෝෆ් තමා සාර් ලෙස ප්‍රකාශ කළ ද ඔහුටත් විරුද්ධවාදීන් මතු වුණා. 1605 දී ගදුනෝෆ් මියගිය පසු රට අරාජික තත්ත්වයකට පත් වුණා.

මේ ආකාරයෙන් මතු වූ සමය "කරදරකාරී සමය​" ලෙස හඳුන්වනවා. එය අවසන් වූයේ රොමානොෆ් රාජවංශය බලයට පැමිණීමෙනුයි.