Monday, August 24, 2020

කළු, සුදු, අළු සහ බෙලරූස්

ලෝකෙ දේශපාලන පළහිලව් ගැන ගොඩක් දෙනාට තියෙන්නෙ හරි සරල දැක්මක්. ඒ අය ලෝකෙ දකින්නෙ කළු සහ සුදු විදියට. මැද තියෙන අළු පාට පෙනෙන්නෙ නැහැ. මං මේකට කියන්නෙ "සීත යුද්ධ මානසිකත්වය" කියලා. ඒ අයගෙ විශ්ලේෂණ සුදුසු වෙන්නෙ 1991 ට පෙර ලෝකෙට. සෝවියට් දේශය තිබ්බ කාලෙට.

හැබැයි දැන් ලෝකෙ ඊට වඩා වෙනස්. දැන් සිද්ධ වෙන සමහර ජාත්‍යන්තර සිද්ධි සහ ගේම් තේරුම් ගන්න ඔය වගේ සරල කළු සහ සුදු තියරි හරියන්නෙ නෑ.


බෙලරූස් සම්බන්ධව මම නිව්ස් එකක් ලිව්වා නම් ම්සක කිසිම ඔපීනියන් එකක් කිව්වෙ නැත්තෙ සහ කියන්නෙ නැත්තෙ ඒකයි. අපිට පේන කළු සුදු දේශපාලනේට වැඩි දෙයක් එතන තියෙනව කියලයි අගෝස්තු මාසෙ 9 සහ ඊට පසුව වෙච්ච දේවල්වලින් මට හිතෙන්නෙ. ඒ ප්‍රශ්නය ගැන රුසියාව හැසිරිච්ච විදිය නිරීක්ෂණය කරද්දි මට ඒක හිතුණෙ. රුසියාව මුල් දිනවල එක පැත්තකින් මේ පිළිබඳ යුරෝපා නායකයින් සමග සාකච්ඡා කරන ගමන් ලුකාශෙන්කෝ වෙත ප්‍රබල ලෙස සහය දැක්වීමෙන් වැළකුණා. රුසියාවෙ ස්ථාවරය ලුකශෙන්කෝගෙ පැත්තට පැහැදිලි නැඹුරුවක් පෙන්නුම් කළේ සති දෙකක් පමණ ගතවුණාට පස්සෙයි. මේක හරි වැදගත් සංසිද්ධියක් බවයි පෙනෙන්නෙ.

මොනවත්ම කියන්න කල් වැඩියි. සමහර වෙලාවට, කවදාවත්ම මොනවත් කියන්න තරම් කරුණු අපි දැනගන්න එකක් නෑ.

කියවන්න​: බෙලරූස් උද්ඝෝෂකයන් භාවිතා කරන සුදු-රතු-සුදු ධජය

Sunday, August 23, 2020

රාජස්ථානයේ ජයිසල්මේර් බලකොටුව

ජයිසල්මේර් නගරය පිහිටා ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බටහිරට වන්නටයි. ථාර් කාන්තාරය මැද පිහිටි මෙම නගරය 78,000 කට ආසන්න ජනගහනයකින් යුතුයි. මෙහි ගොඩනැගිලි ඉදිකිරීමට යොදාගන්නා කහ පැහැති වැලිගල් වර්ගය හේතුවෙන් ඊට "රන්වන් නගරය" යන නම ලැබී තිබෙනවා.


ජයිසල්මේර් නගරයේ පිහිටි බලකොටුවේ ඉතිහාසය අවුරුදු 900 කට ආසන්නයි. මහාරවාල් ජයිසාල් නම් රාජ්පුත් නායකයා මෙම බලකොටුව ඉදි කිරීම ඇරඹූ බව කියනු ලබන්නේ 1156 වසරේදී යි. මෙය ඉදිකිරීමට වසර හතක් ගතවී තිබෙනවා. පසුකාලීනව විවිධ කොටස් ඊට එකතු වුණා.


ජයිසල්මේර් යන නමෙහි තේරුමත් ජයිසාල්ගේ පර්වතය යන්නයි. මෙම බලකොටුව "රාජස්ථානයේ පර්වත බලකොටු" නම් යුනෙස්කෝ ලෝක උරුමයට අයත් එක බලකොටුවක් වනවා. මෙයටත් "සෝනාර් කිලා" (රන්වන් බලකොටුව) යන යෙදුම භාවිතා වෙනවා. ජයිසල්මේර්වල සෑම ගොඩනැගිල්ලක්ම පාහේ ඉදිකර තිබෙන වැලිගල්වලින්ම මෙය ද ඉදිකර තිබෙනවා.


මෙම බලකොටුවේ සමස්ථ වටප්‍රමාණය කිලෝමීටර් 5ක් වනවා. එහි පවුරේ පළල මීටර් 2 - 3 ක් අතර වනවා. එමෙන්ම බලකොටුවේ ප්‍රධාන කොටසේ පවුරෙහි බිත්ති දෙකක් වන අතර ඒ මැද මීටර් 2-4ක් අතර පළල ඉඩක් තිබෙනවා. එම ඉඩ ප්‍රමාණය සෙබළුන් එහා මෙහා යාමට භාවිතා කළ හැකියි.


බලකොටුවේ ඉහළ කොටසෙහි තුවක්කු රඳවන ස්ථාන සහ සඳළුතල ආදිය වනවා. එමෙන්ම එහි ගල් බෝල සහ සිලින්ඩරාකාර ගල් තබා ඇත්තේ සතුරු හමුදා වෙත පෙරළීමටයි. බලකොටුවෙහි මුර අට්ටාල 99ක් වනවා.


අකායි සිංගේ පාලන සමයේදී (1722-62) ජනතාව බලකොටුව අසළ බෑවුම් ආශ්‍රිතව ජීවත් වීමට පැමිණියා. බලකොටුව තුළ ද දේවාල සහ වෙනත් ගොඩනැගිලි ඉදිවුණා. අදටත් එහි ප්‍රධාන දේවාල මෙන්ම ජෛන පන්සල් ද පිහිටා තිබෙනවා.


අතීතයේදී ජයිසල්මේර් හි ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ කාන්තාරය හරහා යන වෙළෙඳුන්ට පහසුකම් සැලසීම සහ ඔවුන්ගෙන් ලැබුණ බදු ආදායමයි. එහෙත් මුහුදු මගින් වෙළෙඳාම ප්‍රචලිත වීමත් සමග ජයිසල්මේර් හි වැදගත්කම පහළ ගියා. එහෙයින් අතීතයේ ධනවත් නගරයක් වූ එහි මූල්‍යමය තත්ත්වය පහළ වැටුණා. වර්තමානයේදී එහි වැදගත්ම ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තය යි.

සැන්ඩර්ස් අනුගාමිකයන්ගේ අලුත් පක්ෂය

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ මධ්‍ය වාමාංශික කොටසක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ කටයුතු අරඹා තිබෙන බව වාර්තා වනවා.

මෙම පිරිස ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් ජාතික සම්මේලනවලින් අනතුරුව රැස්වීමට සැරසෙන බවයි ප්‍රකාශ කෙරුණේ.

මෙම කණ්ඩායමේ මූලිකත්වය ගෙන ඇත්තේ ලේඛිකා මාරියාන් විලියම්සන්, ආර්කන්සා ප්‍රාන්තය නියෝජනය කළ හිටපු ඩිමොක්‍රටික් සෙනට් සභික මයික් ග්‍රැවල්, 2020 බයිඩන් ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ නීනා ටර්නර් සහ ආචාර්ය කෝර්නෙල් වෙස්ට් යන පිරිසයි.

ජනතාවාදී පක්ෂයක් සඳහා වන ව්‍යාපාරය නමින් තමන්ව හඳුන්වා දෙන මෙම පිරිස කියා සිටින්නේ සමාගම්වලට යට නොවූ, ජනතා අභිලාෂයන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කිරීම තම ඉලක්කය බවයි.

ඩිමොක්‍රටික් පක්ෂය සිය වාමවාදී කඳවුර කොන් කිරීමට ලක් කරන බවයි මෙම කණ්ඩායම ඇතුළු ඇතැම් කොටස්වල මතය වී තිබෙන්නේ.

තමා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදියකු ලෙස හඳුන්වාගන්නා සෙනට් සභික බර්නි සැන්ඩර්ස් වටා සැලකිය යුතු අනුගාමිකයන් පිරිසක් පහුගිය කාලයේ එක් වුණා. ඉන් වැඩි පිරිසක් තරුණ වයසේ අයයි. 2016 ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂ නාමයෝජනා වෙනුවෙන් කළ සටනේදී ඔහු හිලරි ක්ලින්ටන්ට පරාජය වුණා. පක්ෂය තුළින්ම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කෙරුණ බවටත් තොරතුරු පසුව අනාවරණය වුණා.


සැන්ඩර්ස් විසින් ඇති කළ ප්‍රබෝධය සමග ඩිමොක්‍රටික් සෝෂලිස්ට්ස් ඔෆ් ඇමරිකා (ඇමරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්) නම් ප්‍රබල සංවිධානයක් පවා නිර්මාණය වී තිබෙනවා. මෙය බොහෝ කලකින් ඇමරිකාවේ නිර්මාණය වුණු ප්‍රබල වාමවාදී සංවිධානය ලෙස අවිවාදයෙන් නම්කළ හැකියි.

මෙවර ජනාධිපතිවරණ නාමයෝජනා සටනේදී ද ජෝ බයිඩන්ට සැන්ඩර්ස් පරාය වීම සමග ඩිමොක්‍රටික් පක්ෂය තුලින්ම ඔහුගේ ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කළේ යන සැකයක් මතු වුණා.

Friday, August 21, 2020

නම් තුනක් ඇති ඝාතකයකුට ගොදුරු වූ ලියොන් ට්‍රොට්ස්කි

1940 අගෝස්තු 21 වන දා, මාරයා ලියොන් ට්‍රොට්ස්කි කරා පැමිණියේ සෝවියට් දේශයෙන් බොහෝ ඈත මෙක්සිකෝවේදී. එහෙත් මාරයාගේ කාර්යයභාරය සිදුකළේ සෝවියට් ඒජන්තයකු විසින්. යාක්ස් මොනාර්ඩ් නමින් පෙනී සිටි ඔහුගේ ඝාතකයා ඊට පෙර දින ඔහුගේ නිවසේ දී ම ට්‍රොට්ස්කිගේ හිසට, හිම කඳු නැගීමේ දී භාවිතා කරන පොරවකින් පහර දීමෙන්, මොළයට සිදු වූ හානිය ඔහුගේ මරණයට හේතු වුණා​​. ඔහුගේ මරණය එකල NKVD නමින් හඳුන්වන ලද, පසුව KGB බවට පත් වූ සෝවියට් රහස් ඔත්තු සේවය​ විසින් සිදුකරන ලද බව පසු කලෙක​ හෙළි වූ අතර සෝවියට් දේශය 1989 දී ඒ බව පිළිගත්තා​.

ට්‍රොට්ස්කි ඝාතනය ඉතා ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද්දක් බව බොහොම පැහැදිලියි​. මෙම සැලසුම කෙතරම් ප්‍රවේශමෙන් පිළියෙල කෙරුණේද යත්, එය ක්‍රියාවට නැගූ යාක්ස් මොනාර්ඩ් යනු කවරෙක් ද යන වග පවා හෙළි වූයේ බොහෝ කල් ගත වූ පසුව යි​.

ස්ටාලින් vs ට්‍රොට්ස්කි

සෝවියට් විප්ලවයට නායකත්වය දුන් පිරිස අතුරින් රතු හමුදාව නිර්මාණය කිරීම සහ රුසියාවේ සිවිල් යුද්ධයේ දී එය ජයග්‍රහණය කරා ගෙන යාමට වැඩියෙන්ම දායක වූ තැනැත්තා ලියොන් ට්‍රොට්ස්කි බව පැහැදිලියි. විප්ලවයෙන් පසු විදේශ කටයුතු පිළිබඳ කොමිසාර්වරයා වූ ඔහු 1918 මාර්තුවේ දී යුධ සහ නාවික කටයුතු පිළිබඳ කොමිසාර්වරයා ලෙස පත්ව රතු හමුදාව ප්‍රබල සටන්කාමී ඒකකයක් බවට පත්කොට​, එය ජයග්‍රහණය කරා මෙහෙයවූවා​.


කෙසේ නමුත් පසුකාලීනව සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුළ ජෝසප් ස්ටාලින් සිය බලය තහවුරු කරගත්තා​. ස්ටාලින් සහ ට්‍රොට්ස්කි අතර පෞද්ගලික ආරවුල් මෙන්ම සෛද්ධාන්තික ආරවුලක් ද තිබුණා​. මින් කවරක් දෙදෙනාගේ ආරවුලට වඩා වැදගත් වුණා ද යන්න විවාදාත්මකයි. නමුත් බොහෝවිට වාමාංශික ව්‍යාපාරවල සිදුවන්නේ පුද්ගලික තරහ මරහ වසාගැනීමට සෛද්ධාන්තික කවර එළීම බවත් ප්‍රකට කරුණක්. 1924 ජනවාරියේ සිදු වූ ලෙනින්ගේ මරණින් පසු ස්ටාලින් කෙමෙන් පක්ෂයේ බලය තහවුරු කරගත්තේ ට්‍රොට්ස්කි සහ ඔහුගේ සහචරයින් පසෙකට තල්ලු කරමින්.

1928 දී සෝවියට් කසාක්ස්ථානයට පිටුවහල් කරන ලද ට්‍රොට්ස්කි 1929 දී සෝවියට් දේශයෙන් ම පිටමං කරනු ලැබුණා. ඔහු සිව් වසරක් තුර්කියේ ඉස්තාන්බුල් නගරාසන්නයේ බ්‍යුකාඩා දූපතේ ජීවත් වුණා​. 1933 දී ඔහුට ප්‍රංශයේ දේශපාලන රැකවරණ හිමි වුණ නමුත් 1935 දී ට්‍රොට්ස්කිට ප්‍රංශයෙන් පිට වීමට සිද්ධ වුණා. මීළඟ දෙවසර ඔහු ජීවත් වුණේ නෝර්වේ රාජ්‍යයේ යි. 1937 දී සෝවියට් දේශයෙන් එල්ල වූ පීඩනය මත නෝර්වේ රාජ්‍යයට ඔහුව පිටමං කිරීමට සිදු වුණා.

ට්‍රොට්ස්කි මීළඟට ළඟා වුණේ මෙක්සිකෝවට යි. එරට ජනාධිපතිවරයා විසින් ඔහුව සාදරයෙන් පිළිගනු ලැබුණා. චිත්‍ර ශිල්පිය‍ෙකු වූ දියේගෝ රිවේරාගේ නිවසේ ජීවත් වූ ඔහු පසුව දැඩි රැකවල් සහිත නිවෙසක පදිංචියට ගියා.

පිටුවහල් ව සිටිය දී ඔහු ස්ටාලින් සමග සටන දිගටම ගෙන ගියා. 1930 දී පළ වූ රුසියානු විප්ලවයේ ඉතිහාසය ග්‍රන්ථය එම විප්ලවය පිළිබඳ විශිෂ්ට විස්තරයක් ලෙස සැලකෙනවා. එයින් පසු ඔහු පොත පත සහ ලිපි මඟින් ස්ටාලින් විවේචනය කළා. 1938 දී තුන්වන ජාත්‍යන්තරයට එරෙහිව ඔහු හතරවන ජාත්‍යන්තරය පිහිටවූවා.


කොමියුනිස්ට් ව්‍යාපාරය පැත්තෙන් ගත් කළ හතරවන ජාත්‍යන්තරයට විශාල බලපෑමක් තිබුණේ නැතත් ට්‍රොට්ස්කිගේ විවේචන ස්ටාලින්ට දරුණු පහරක් වුණා. කෘතහස්ට්ත ලේඛකයකු හා න්‍යායාචාර්යවරයකු වූ ට්‍රොට්ස්කිගේ සෛද්ධාන්තික ප්‍රහාර හමුවේ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ශක්තියක් ස්ටාලින්ට වූයේ නැහැ. 1930 දශකයේ මැද කාලයේ සිට ස්ටාලින් තමන්ට එරෙහි වේයැ යි සිතූ සියල්ලන් මරා දැමීමට පටන් ගෙන තිබුණ අතර සැතපුම් දහස් ගණනක් ඈත ජීවත් වූ ට්‍රොට්ස්කි ද එම ලැයිස්තුවේ ඉහළින් ම සිටියා.

නම් තුනකින් යුතු ඝාතකයා

ට්‍රොට්ස්කිට මාරාන්තික පහර එල්ල කළ පුද්ගලයා ට්‍රොට්ස්කිගේ නිවසේ අය දැන සිටියේ ෆ්‍රෑන්ක් ජැක්සන් යන නමින්. කෙසේ වෙතත් තමා යාක්ස් මොනාර්ඩ් නම් ප්‍රංශ ජාතිකය‍ෙකු බව ඔහු අත්අඩංගුවට ගත් පසු ප්‍රකාශ කළා. තමා බලාපොරොත්තු කඩ වූ ට්‍රොට්ස්කිවාදියකු බව ඔහු ප්‍රකාශ කළ නමුත් ප්‍රශ්න කිරීමේ දී ඔහුට දැඩි ස්ටාලින්වාදී අදහස් තිබෙන බව පෙනෙන්නට තිබුණා. තව ද ඔහුගේ ප්‍රංශ භාෂා භාවිතය ව්‍යක්ත ලෙස පෙනී ගියද, ඒ තුළ යාන්තමින් සැඟවුණ ස්පාඤ්ඤ ඌරුවක් ගෑවී තිබුණා. මේ අනුව යාක්ස් මොනාර්ඩ් යනු සැබැවින් ම වෙනත් පුද්ගලයකු බවට සැකයක් නිර්මාණය වුණා.

යාක්ස් මොනාර්ඩ් සැබැවින්ම කවරෙක් ද යන්න සොයා ගන්නා ලද්දේ මෙක්සිකෝ ජාතික විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අල්ෆොන්සෝ ක්විරෝස් කුඅරොන් විසින්. ඒ ස්පාඤ්ඤ ජාතික පොලිස් ලේඛනාගාරය පරික්ෂා කිරීමේ දී. ඝාතකයා රමෝන් මර්කඩෝර් නම් ස්පාඤ්ඤ කොමියුනිස්ට්වාදියකු බව යි මේ අනුව හෙළි වූයේ.

ඝාතන සැලසුම

රමෝන් මර්කඩෝර් මෙහෙයුම සඳහා බඳවාගෙන තිබුණේ ස්පාඤ්ඤ සිවිල් යුධ සමයේ දී ඔහුගේ මව හා අනියම් සබඳතාවක් ගොඩනගාගත් NKVD නියෝජිත ලියොනිඩ් එයිටින්ගන් විසින්. රමෝන්ගේ මව දැඩි මතධාරී කොමියුනිස්ට්වාදිණියක වුණා. එමෙන්ම ස්පාඤ්ඤ බස මෙක්සිකෝවේ ද ව්‍යවහාර භාෂාව වීම ද රමෝන් මර්කඩෝර් මේ සඳහා බඳවා ගැනීමට අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබුණා.

1938 දී රමෝන් මර්කඩෝර් පැරිසියේ දී ඇමරිකානු ට්‍රොට්ස්කිවාදිණියක වූ සිල්වියා අගෙලොෆ් සමග සබඳතාවක් ඇතිකරගත්තා. 1939 දී ඔහු ෆ්‍රෑන්ක් ජැක්සන් යන ආරූඪ නාමයකින් යුත් ගමන් බලපතක් රැගෙන ඇය සමග ඇමරිකාවට පැමිණි අතර පසුව මෙක්සිකෝවට ළඟා වුණා. සිල්වියා මාර්ගයෙන් ඔහු ට්‍රොට්ස්කි නිවසට ඇතුළු වීමට අවස්ථාව උදා කරගත්තා.

1940 මැයි මාසයේ දී මෙක්සිකානු පොලිස් නිල ඇඳුමින් සැරසුණ විසි දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් ට්‍රොට්ස්කිගේ නිවසේ මිදුලට කඩා වැදී ඔහුගේ නිදන කාමරය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. මෙම අවස්ථාවේ ඔහුත් ඔහුගේ බිරිඳත් ප්‍රාතිහාර්යයකින් මෙන් දිවි ගලවාගැනීමට සමත් වුණා. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් පිළිබඳ සොයාගන්නා ලද නමුත් මර්කඩෝර් පිළිබඳ හෙළි වූයේ නැහැ.

මේ අනුව මර්කඩෝර් දිගටම ට්‍රොට්ස්කි නිවසට යන්නට එන්නට වූ අතර ට්‍රොට්ස්කි සමග ද මිත්‍රත්වයක් ගොඩ නගාගැනීමට සමත් වුණා.

අගෝස්තු 17 වන දා මර්කඩෝර් ට්‍රොට්ස්කි හමු වුණේ ඔහු ලියමින් සිටි ලිපියක් පිළිබඳ සාකච්ඡා කිරීමට යි. මර්කඩෝර් එදින ට්‍රොට්ස්කිගේ කන්තෝරු කාමරයේ විනාඩි 11ක් රැඳී සිටියා.

නැවත ට්‍රොට්ස්කි හමුවීමට මර්කඩෝර් පැමිණියේ අගෝස්තු 20 වන දා යි. එදින පැහැපත් දිනයක් වූ නමුත් මර්කඩෝර් පැමිණියේ වැහි කබායක් හැඳගෙන යි. ඒ පිළිබඳ ට්‍රොට්ස්කිගේ බිරිඳ නතාලියා සෙඩෝවා විමසූ විට මර්කඩෝර් කියා සිටියේ "කොයි වෙලේ වුව වැසි වැටීමට ඉඩ ඇති ය​" යනුවෙන්.

නමුත් සත්‍ය කාරණය වූයේ එම කබායේ ඇතුල් සාක්කුවක මර්කඩෝර් හිම කඳු නගින්නන් භාවිතා කරන කුඩා අත් පොරවක් හෙවත් අයිස් පොරවක් රඳවාගෙන සිටීම යි. මර්කඩෝර් ට්‍රොට්ස්කිගේ කන්තෝරු කාමරයට ගොස් සිය ලිපිය ඔහුට පෙන්වා සිටියා. ට්‍රොට්ස්කි එය කියවන විට ඔහුට නොපෙනෙන ලෙස අයිස් පොරව සියතට ගත් මර්කඩෝර් එයින් ට්‍රොට්ස්කිගේ හිසට පහර දුන්නා.


ට්‍රොට්ස්කිගේ වේදනාත්මක කෑ ගැසීම ඇසී කාමරයට කඩා වැදුණ ආරක්ෂකයින් මර්කඩෝර් මරා දැමීමට සූදානම් වෙද්දී ට්‍රොට්ස්කි එය වළක්වාලූවා. ඔහුව ප්‍රශ්න කළ යුතු යි යනුවෙන් ට්‍රොට්ස්කි ප්‍රකාශ කළා. ඒ අනුව මර්කඩෝර් රඳවා ගනු ලැබුණා.

රෝහල්ගත කළ ට්‍රොට්ස්කි පසුදින මරණයට පත් වුණා. මර්කඩෝර් වසර 20ක් බන්ධනාගාරයේ කල් ගත කළ අතර පසුව නිදහස ලබා කියුබාවට සංක්‍රමණය වුණා. ඔහු මිය ගියේ 1978 දී යි.

Thursday, August 20, 2020

බෙලරූස් උද්ඝෝෂකයන් භාවිතා කරන සුදු-රතු-සුදු ධජය

මේ දිනවල බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති අලෙක්සන්දර් ලුකාශෙන්කෝට එරෙහිව දැවැන්ත විරෝධතා පවතිනවා. මේ විරෝධතාවල දර්ශන නරඹද්දි ජනතාව භාවිතා කරන සුදු-රතු-සුදු ධජයක් දකින්න ලැබෙනවා. මෙය දැනට භාවිතා වන බෙලරූස් ජාතික ධජය නොවෙයි. අපි බලමු මේ ධජය කුමක්ද කියලා.

Pic: Reuters


බෙලරූස් උද්ඝෝෂණවල පසුබිම දැනගන්න මේ ලිපිය කියවලාම ඉන්න: බෙලරූස් රටේ සිදුවන දේ

වර්තමාන බෙලරූස් රාජ්‍යය පිහිටි ප්‍රදේශය අතීතයේදී ලිතුවේනියා මහාධිපාද ප්‍රදේශයට සහ පෝලන්ත - ලිතුවේනියා පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් වුණා. පෝලන්ත - ලිතුවේනියා පොදුරාජ්‍ය මණ්ඩල ධජය ද සුදු සහ රතු වර්ණයෙන් යුතු වුණා. බෙලරූස් සුදු-රතු-සුදු ධජය එය අනුසාරයෙන් නිර්මාණය වූයේ යයි විශ්වාස කෙරෙනවා.

බෙලරූස් රාජ්‍යයේ මෙම ධජය මුලින්ම භාවිතා වුණේ 1918 දි. එකල එම ප්‍රදේශයේ පිහිටුවපු බෙලරූස් මහජන සමූහාණ්ඩුව නම් රජය විසින් එය භාවිතා කළා. මෙම ප්‍රදේශය එකළ ජර්මන් පාලනය යටතේ තිබුණත් මෙම රජය පිහිටුවාගැනීමේ අපේක්ෂාව වුණේ බෙලරූස් රාජ්‍යයක් නිර්මාණය කරගැනීමයි. කෙසේ වෙතත් බෝල්ෂවික් බලය වර්ධනය වීම හමුවේ එම ප්‍රදේශ රතු හමුදා යටතට පත්වීමෙන් මෙම උත්සාහය ව්‍යර්ථ වුණා.

පළමු ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය අතර කාලසීමාවේ නැගෙනහිර පෝලන්තයේ ක්‍රියාත්මක වෙච්ච බෙලරූස් සංවිධාන මෙම ධජය භාවිතා කළා. මේ අතර බෙලරූස් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව තමන්ගෙ ධජය විදියට විවිධ ධජ භාවිතා කළා. ඒවා සෝවියට් ධජය මත පදනම්ව නිර්මාණය වූ ධජයන් වුණා.

1939 දි සෝවියට් හමුවා විසින් නැගෙනහිර පෝලන්තය අල්ලාගැනීමත් සමග මෙම ධජය එහි භාවිතය නැවතුණා. එහෙත් 1941 දි ජර්මනිය විසින් බෙලරූස් ප්‍රදේශය අල්ලාගත් පසු යළි මෙම ධජයට ඉඩ ලැබුණා. ඒ වගේම ජර්මන් හමුදාවට හා වෆන් SS බලකායට සම්බන්ධ වූ බෙලරූස් පිරිස් මෙම ධජය සහිත අත් පටියක් පැළඳ සිටියා.

1944 දි බෙලරූස් ප්‍රදේශය සෝවියට් සේනාංක විසින් අල්ලාගත් පසු නැවත මේ ධජය තහනම් වුණා. ඉන්පසු එය භාවිතා කළේ පිටුවහල් වී සිටි බෙලරූස් ජාතිකවාදීන් විසින් පමණයි. මේ අතර, 1951 දී බෙලරූස් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව සඳහා නව ධජයක් හඳුන්වා දෙනු ලැබුණා.

1991 දී සෝවියට් දේශය බිඳ වැටෙන සමයේ නැවත මෙම ධජය භාවිතයට පැමිණියා. ඒ අනුව 1991 සිට 1995 දක්වා එම ධජය බෙලරූස් හි ජාතික ධජය ලෙස භාවිතා කෙරුණා.

අලෙක්සන්දර් ලුකාශෙන්කෝ 1994 දී බලයට පැමිණි පසු ඔහු විසින් 1951 දී සම්මත වූ සෝවියට් බෙලරූස් ධජය අනුසාරයෙන් නිර්මාණය වූ ධජයක් හඳුන්වා දුන්නා. එය 1995 දී භාවිතයට පැමිණියා.

Pic: AP


මේ හේතුවෙන්, ලුකාශෙන්කෝ විරෝධීන් සිය උද්ඝෝෂණවලදී භාවිතා කරන්නේ බෙලරූස් සුදු-රතු-සුදු ධජයයි.

ඇතැම් අවස්ථාවල මෙම ධජයෙහි මැද, රතු පළිහක සුදු පැහැයෙන් අඳින ලද අසරුවකුගේ සංකේතයක් ද දැක්වෙනවා. එය ද 1918 බෙලරූස් රාජ්‍යයේ රාජ්‍ය ලාංඡනය වූ සලකුණයි. එය පැරණි ලිතුවේනියා මහාධිපාද ප්‍රදේශයේ රාජ්‍ය ලාංඡනය ද වුණා.

Tuesday, August 18, 2020

මාලි ජනපති, අගමැති අත් අඩංගුවට ගත් බව හමුදා කුමන්ත්‍රණකරුවෝ කියති

 මාලි රාජ්‍යයේ ජනාධිපති ඊබ්‍රහීම් බුබාකර් කීටා සහ අගමැති සුමේලු බුබේයේ මයිගා අත් අඩංගුවට ගත් බව එරට හමුදා කුමන්ත්‍රණයක් මෙහෙයවන කණ්ඩායම පවසනවා.


මෙම හමුදා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස පෙනී සිටින්නේ කර්නල් ඩියාවු නමැත්තෙක්.

මෙම කුමන්ත්‍රණය අද දියත් වූයේ බමාකෝ අගනුවර ආසන්නයේ කාටි හමුදා කඳවුරේ සිටයි. කැරලිකාර හමුදා කණ්ඩායම් ඉතා ඉක්මණින් ම බමාකෝ නගරයේදී රජයේ ඇමතිවරුන් පිරිසක් අල්ලාගත් බව වාර්තා පළ වුණා.

කර්නල් ඩියාවු


මේ අතර, ජනාධිපති හා අගමැති අත් අඩංගුවට ගත් පුවත සැළ වී බමාකෝ අගනුවර ඇතැම් පිරිස් ප්‍රීතිඝෝෂා කරන අයුරු දැක්වෙන වීඩියෝපට ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.


මාලි රාජ්‍යයේ ජූනි මාසයේ මුල පටන් රජයට එරෙහි උද්ඝෝෂණ පැවතියා. විරුද්ධ පක්ෂ එකමුතුවක් වන "ජූනි 5 ව්‍යාපාරය" රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් සිටියා. මාලි රාජ්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය කිහිප වරක්ම කල් දමනු ලැබ තිබෙනවා.

බෙලරූස් රටේ සිදුවන දේ

 බෙලරූස් රාජ්‍යයේ පසුගිය සමයේ සිදුවූ සිදුවීම් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් ලියන්න කල්පනා කළා. තවම මෙම සිද්ධීන් අවසානයක් කරා ඇවිත් නැතත් මෙතෙක් කාරණා ගැන විස්තර කරන්න මෙය අවස්ථාව කරගන්නම්.


බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති වන්නේ අලෙක්සන්දර් ලුකාශෙන්කෝ යි. ඔහු 1994 දි බලයට පත් වූ අතර ඒකාධිපති අයුරින් එරට පාලනය කරනවා. නාමමාත්‍රව විපක්ෂ දේශපාලන පක්ෂ රටේ ක්‍රියාත්මක වුණත් ඒවා දැඩි මර්ධනකාරී පසුබිමක තමයි ක්‍රියාත්මක වුණේ.

මේ වසරේ බෙලරූස් ජනාධිපතිවරණය අගෝස්තු 9 වෙනිදාට යෙදී තිබුණා. මෙයට අපේක්ෂකයින් කිහිප දෙනෙක් ඉදිරිපත් වුණා. මේ අතර කලක් උසස් තනතුරු දැරූ දෙදෙනෙකුත් ඉදිරිපත් වන බව වාර්තා වුණා. කලක් තිස්සේ රුසියාවේ ගෑස්ප්‍රොම් ආයතනයට අයත් සමාගමක් වන බෙල්ගෑස්ප්‍රොම්බෑන්ක් හි ප්‍රධානියා වූ වික්තර් බබාරිකෝ සහ හිටපු තානාපති නිලධාරී සහ බෙලරූස් තාක්ෂණික උද්‍යානයේ සමාරම්භකයා වන වැලේරි ත්සෙපක්ලෝ මේ දෙදෙනායි.

බබාරිකෝව මූල්‍ය අක්‍රමිකතා චෝදනා මත අත් අඩංගුවට ගත් අතර ත්සෙපක්ලෝ රුසියාවට පළා ගියා.

මේ අවස්ථාවේදී, බන්ධනාගාරගත කර සිටින දේශපාලන ක්‍රියාකාරිකයකු වන සර්ගේයි තිහනොව්ස්කි ජනාධිපති සටනට ඉදිරිපත් වීමට උත්සාහ කළ ද එම අවස්ථාව ප්‍රතික්ෂේප කෙරුණා. එයින් පසුවයි ඔහුගේ බිරිඳ ස්වෙත්ලානා තිහනොව්ස්කායා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණේ.

ලුකාශෙන්කෝ බලාපොරොත්තු නොවූ විදියට ඇය වටේ පිරිස් එකතු වෙන්න ගත්තා. වසර ගණනාවකට පසු ජනාධිපතිවරණයකදි ලුකාශෙන්කෝට සැබෑ අභියෝගයක් එල්ල වුණේ මේ වතාවේයි.


කෙසේ වෙතත් අගෝස්තු 9 වනදා පවත්වපු ජනාධිපතිවරණය අවසානයේ මූලික ප්‍රතිඵල අනුමානයන්ට අනුව ලුකාශෙන්කෝ සියයට 80ක් ඡන්ද ලබාගෙන බවත් තිහනොව්ස්කායා සියයට දහයක පමණ ඡන්ද ලබාගෙන ඇති බවත් නිවේදනය කෙරුණා. විපක්ෂය මේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළා. එදින රාත්‍රියේ පටන් ජනතාව රජයට එරෙහිව විරෝධතා දක්වන්න පටන් ගත්තා.

දිනෙන් දින විරෝධතා වර්ධනය වුණා. තිහනොව්ස්කායා අසල්වැසි ලිතුවේනුයාවට පළා ගියේ සිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව පවසමින්. කෙසේ වෙතත් උද්ඝෝෂණ පාලනය කරන්න රජයට නොහැකි වුණා.

අගෝස්තු 14 වනදා බෙලරූස් අර්බුදය පිළිබඳ සාකච්ඡා කළ යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරුන් තමන් බෙලරූස් ජනාධිපතිවරණ ප්‍රතිඵල් පිළිනොගන්නා බව කියා සිටියා. එමෙන්ම මැතිවරණ දූෂණවලට හා උද්ඝෝෂණ මර්ධනයට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පනවන්නට පියවර ගන්නා බව ද යුරෝපා සංගමය කියා සිටියා.

අගෝස්තු 16 ඉරිදා ලුකාශෙන්කෝ සිය ආධාරකරුවන් රැස් කරගෙන මින්ස්ක් අගනුවර රැළියක් පැවැත්වූවා. නැවත මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැති බවත්, විදේශයන්ගේ අවශ්‍යතා මත එවැනි පියවරක් ගැනීම රටේ අස්ථාවරත්වයට හේතු වන බවත් ඔහු පවසුවා. මේ අතර බෙලරූස් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ රටේ බටහිරදිග දේශසීමාවේ, පෝලන්ත හා ලිතුවේනියා මායිම් ආසන්නයේ අගෝස්තු 17 වනදා සිට යුධ අභ්‍යාස සිදු කරන බවයි.

කෙසේ වෙතත් අගෝස්තු 16 ඉරිදා මින්ස්ක් නගරයේ දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඊට මිලියනයක පමණ පිරිසක් එක් වූයේ යයි ඇතැමුන් අනුමාන කළා.

අගෝස්තු 17 වනදා රට පුරා වැඩවර්ජනයක් සංවිධානය කර තිබුණා. රටේ ප්‍රධාන පෙළේ කර්මාන්තශාලා පවා ඊට එක් වුණා. මින්ස්ක් නගරයේ කර්මාන්තශාලාවකට ලුකාශෙන්කෝ ළඟා වුණේ එහි සිට කතාවක් පැවැත්වීමටයි. එහි රාජ්‍ය පාක්ෂික කම්කරුවන් සිටින බව විශ්වාස කෙරුණා. එහෙත් ලුකාශෙන්කෝ එහි සිටින බව ආරංචි වූ පසු විශාල පිරිස් කම්හල වැටලුවා. ලුකාශෙන්කෝ කතාව පවත්වද්දී ද ඔහුට විරෝධතා එල්ල වුණා.

ඉන්පසු අවස්ථාවක කම්කරුවකු හා ලුකාශෙන්කෝ අතර බහින්බස් වීමක් ද වීඩියෝවක සටහන්ව තිබුණා. එහි මේ ආකාරයේ හුවමාරුවක් සිදුවුණා.

ලුකාශෙන්කෝ: මම නුඹලට පහර දෙන්නේ නැහැ.

කම්කරුවා: ඔයා නම් කියයි

ලුකාශෙන්කෝ: නෑ. එහෙම කළාට මට වාසියක් නෑ. හැබැයි උඹලා කවුරුහරි මෙතන අනවශ්‍ය දෙයක් කරන්න හැදුවොත් අපි ඒක දරුණු විදියට මර්ධනය කරනව. පිරිමියෙක් වෙයන්. මෙතන උඹලා කණ්ඩායමක්. මම තනියම. (කම්කරුවා සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීමට පටන් ගන්නවා දැක) දාපන් ඔය ෆෝන් එක අහකට!


මේ අතර උද්ඝෝෂකයන් බෙලරූස් රාජ්‍ය රූපවාහිනී ආයතනය වටලෑවේ තම විරෝධතාව සඳහා සාධාරණ ගුවන් කාලයක් ලබාදෙන ලෙස බල කරමින්. ඉරිදා දිනයේ තිබුණු දැවැන්ත උද්ඝෝෂණ පිළිබඳ ඔවුන් වාර්තා කළේ නැහැ. උද්ඝෝෂකයන් ඒ පිළිබඳ සිය අප්‍රසාදය පළකර සිටියා.

අගෝස්තු 17 වනදා දිනය පුරාම මින්ස්ක් නගරයේ උද්ඝෝෂණ සිදුවුණා. තමන් නව ජනාධිපතිවරණයක් හා මහමැතිවරණයක් පැවැත්වීමට එකඟ බව ලුකාශෙන්කෝ කියා සිටියේ ඒ අතරතුරයි. එහෙත් ඊට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු බව ඔහු පැවසුවා. ඔහු ඒ සඳහා කාල රාමුවක් ද ප්‍රකාශ කළේ නැහැ.