Saturday, October 22, 2016

තායි රජු සහ පණ්ඩුකාභය රජු පිළිබඳ නෙත් FM ලිපියට නොරැවටෙන්න​

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ආයතන සම්බන්ධව මගේ බ්ලොග් අඩවිය හරහා කිසිවක් ලිවීම සාමාන්‍යයෙන් මා කරන දෙයක් නොවේ. නමුත් මෙම පුවත දුටු විට මෙහි අසත්‍යතාව පිළිබඳ පාඨකයා දැනුවත් නොකිරීම මගේ වරදක් ලෙස සිතුවෙමි.

නෙත් FM ගොසිප් අඩවිය සාමාන්‍යයෙන් අසත්‍ය කරුණුවලින් ගහන වෙබ් අඩවියක් බව තතු දත්තෝ පවසති. කෙසේ නමුත් එය මනාව පසක් වූ පුවතක් මෑතදී දකින්නට ලැබුණි. එහි මාතෘකාව වූයේ "ශ්‍රී ලංකාවට පැරදී මිය ගිය භූමිබෝල් රජු" යන්නයි.

එම පුවත ඒ ආකාරයෙන් ම පහතින් දැක්වේ.

මෙම පුවතට අනුව ලෝකයේ වැඩිම කළක් රජකම් කර ඇත්තේ ලංකාවේ පණ්ඩුකාභය රජු ය​. භූමිබෝල් අදුල් යාදෙජ් තායි රජු ද එපමණ කළක් රජ කළේය​. මේ අනුව පණ්ඩුකාභය රජු තවමත් ලෝකයේ වැඩිම කළක් රජකම් කළ රජතුමා වේ.

මෙම ලිපිය ලියූ තැනැත්තා කවරකු හෝ වේවා ඔහු අවම වශයෙන් අන්තර්ජාලයෙන් කරුණු සෙවීමටවත් නොදන්නා අයෙකි.

විකිපීඩියා යනු අවිශ්වසනීය මූලාශ්‍රයකි. නමුත් එහි අඩංගු කරුණුවත් පරික්ෂා කළ බලා වෙනත් මූලාශ්‍රවලින් සනාථ කරගත්තේ නම් පහසුවෙන්ම මෙම කරුණෙහි සත්‍යාසත්‍යතාව සොයාගත හැක​.

ලෝකයේ එදා මෙදාතුර ප්‍රකටම රජෙකු වූ ද "රාජ්‍යය නම් මම ය​" යන සුප්‍රකට කියමන හේතුවෙන් ඉතිහාසයට එක්වූ ද ප්‍රංශයේ දහ හතරවන ලුවී රජු 1643 සිට 1715 තෙක් වසර 72 ක් රාජ්‍යයේ කිරුළ දැරීය​. ලෝක ඉතිහාසය පිළිබඳ යම් හෝ දැනුමක් ඇත්තකු මෙය නොදන්නේ නැත​.

ලොව වාර්තාගත දිගුම රාජ්‍ය කාළයක් සහිත රජු ලෙස ඉතිහාසගත වන්නේ ස්වාසිලන්තයේ දෙවන​ සොබූසා රජු ය​. ඔහු 1899 දෙසැම්බර් 10 සිට 1982 අගෝස්තු 21 තෙක් කිරුළ දැරීය​. එමෙන්ම වසර 70 ට වඩා රජකම් කළ, එමෙන්ම රාජ්‍යත්වයට පත්වූ සහ රාජ්‍යත්වය අවසන් වූ දින නිවැරදිව දන්නා 'රජවරුන්' 15 ක් පමණ ඉතිහාසයේ සඳහන් ය​.

පණ්ඩුකාභය රජතුමාගේ නම මේ ලැයිස්තුවේ ඇත්තේවත් නැත​. මක් නිසාද යත් ඔහු රජකමට පත්වූ සහ රාජ්‍යත්වය අවසන් වූ වසර මිස නිවැරදිම දින පිළිබඳ සඳහනක් නොවන බැවිනි.

ලිපිය ලියූ පුද්ගලයා වරද්දාගත් තැන පැහැදිලිය​. භූමිබෝල් රජු මිය ගිය අවස්ථාවේ ලොව වැඩිම කළක් රජකම් කරමින් සිටි රජු මියගිය බව ජනමාධ්‍ය වාර්තා කළේය​. එම පුවත අදාළ වූයේ වර්තමානයේ ලොව සිටින රජවරුන්ට මිස ඉතිහාසයේ එදා මෙදා තුර සිටි සියල්ලන්ටම නොවේ.

කරුණු සොයා බැලීමට දක්වන නොකැමැත්ත හේතුවෙන් සිංහලෙන් කියවන පාඨකයා නොමඟ යැවීමෙන් වළකින මෙන් අදාළ ආයතනයෙන් කරුණාපූර්වකව ඉල්ලා සිටිමි.

6 comments:

  1. බ්‍රිතාන්‍ය ‍රැජින දැන් කොච්චර කල් වෙනවද සිහසුනට ඇවිත් ?

    ReplyDelete
  2. මටත් ඕක පැටලිලා තිබ්බේ. ලොව වැඩිම කළක් "රජකම් කරමින් සිටි " කියන එක පැහැදිලි උනේ දැන්. නැත්නම් උභාතොකොටියකට පත්වෙලා හිටියේ.

    ReplyDelete
  3. යුද්ධෙ නැති එකේ විපාක. දැං නිවුස් හිඟයි. ඔයවගේ නිවුස් සහ සී.සී.ටීවී කැමරා වලිං තමයි දැං ඔය ආයතන පන රැකගන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම නැතිව කරන්න පුලුවන්. ඕනකමක් නෑ

      Delete