Friday, October 7, 2016

"උසාවිය නිහඬයි" චිත්‍රපටයට පැනවූ අතුරු තහනම ගැන කරුණු හතරක්

ප්‍රසන්න විතානගේගේ "උසාවිය නිහඬයි" චිත්‍රපටයට එරෙහිව එම චිත්‍රපටයේ නිරූපිත මහේස්ත්‍රාත් වන ලෙනින් රත්නායක කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පැනවීය​. එයින් ඔහු සඳහන් කරන්නේ එම චිත්‍රපටයේ අසත්‍ය කරුණු අඩංගු වන බවත්, ඔහුට මෙන්ම අධිකරණයට ද ඉන් අපකීර්තියක් වන බවත් ය​. මෙහිදී දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා නඩුව ඔක්තෝබර් 19 වනදාට කල් දැමීය​.

පළමුව​, මෙය අතුරු තහනම් නියෝගයක් විනා වෙන යමක් නොවේ. යම් කරුණක් අධිකරණයට ඉදිරිපත් වූ විට​, එම අවස්ථාවට ගන්නා නියෝගයක් මිස එය අවසානාත්මක එකක් නොවේ. එවන් නියෝග ඕනෑ තරම් අධිකරණය විසින් ලබා දෙයි. ඒ දෙපාර්ශවයටම ඇහුම්කන් දී අවසන් තීන්දුවක් ගැනීමට පෙර කරන සාමාන්‍ය ක්‍රියාවලියක් බව මගේ දැනීමයි.

දෙවනුව​, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් මින් පෙර "ආදරණීය කතාවක්" පිළිබඳ ලබා දුන් තීන්දුව සහ මෙම අවස්ථාව පටලා නොගත යුතුය​. එවර දුම්වැටි සහ මත්පැන් සම්බන්ධ වූ කරුණක් මත එම පැමිණිල්ල කර තිබුණි. මෙවර නඩුව විභාග වන්නේ දිසා අධිකරණයේ ය​. අනෙක​, කලින් චිත්‍රපටය ප්‍රබන්ධයකි. මෙය වාර්තා චිත්‍රපටයකි.

තෙවැන්න​, අධිකරණය දෙපාර්ශවයේම කරුණු විමසා අවසන් නිගමනය දෙන තුරු අප ඉවසීමෙන් බලා සිටිය යුතුය​.

සිව් වැන්න​, චිත්‍රපටයට නොමිලේ ප්‍රචාරයක් දුන් ලෙනින් රත්නායකට ප්‍රසන්න විතානගේ යටි හිතින් හෝ ස්තූති කරනු නොඅනුමාන ය​. ලෙනින් රත්නායක ප්‍රකාශ කළේ මෙම චිත්‍රපටයෙන් අධිකරණය අපකීර්තියට පත්වන බවයි​. අධිකරණය සත්‍ය ලෙසම අපකීර්තියට පත් කරන්නේ කලාකරුවාද​, අදාළ මහේස්ත්‍රාත් ද යන්න පිළිබඳ විවෘත අධිකරණයේදී මෙන්ම ජනතා අධිකරණයේදී ද තීන්දු වනු ඇත​.

10 comments:

  1. ඔබ හරි. කට්ටිය කරුණු හරිහැටි නොදැන වලපල් දොඩවනවා.ඒකයි වෙන්නෙ...:)

    ReplyDelete
    Replies
    1. ඔව්. මේවා පරිස්සමින් සලකන්න ඕන දේවල්

      Delete
  2. ඇත්තෙන්ම මේ අතුරු තහනම් නියෝගය සමගින් නොසිතු ප්‍රචාරයක් චිත්‍රපටියට ලැබිලා තියෙනවා.දැන් මම බැලුවේ මේ චිත්‍රපටිය නිර්මාණය කරන්න ප්‍රසන්න විතානගේ පාදක කර ගත්තු වික්ටර් අයිවන් ගේ "නොනිමි අරගලය" කෘතිය මිලදී ගන්නයි.

    ReplyDelete
  3. චිත්‍රපටියට ප්‍රචාරයක් ලැබෙනවා වගේම දැනට උසාවියේ තියන නඩුවටත් හොඳ ප්‍රචාරයක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙම වෙන්නම ඕන නෙ

      Delete
  4. විය යුතු දේ කොහොම හරි වෙනවා..අපිට තියෙන්න කරුණු හරි හැටි සැලකිල්ලෙන් විමසමින් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න වල්පල් කියවන්නෙ නැතුව..

    ReplyDelete
  5. නිහඬයි කිව්වට උසාවිය නිහඬ නෑ කියලා මේ තහනම් නියෝගයෙන් පේනවා.. ඇත්තටම හැමෝම නීතියේ පරමාධිපත්‍යය ගැන කතා කරනවනේ...උසාවියෙන් කාට හරි අගතියක් උනොත් ඊට පස්සේ මොකද කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඊළඟ උසාවියකට යන්න පුලුවන්. ඉස්සෙල්ල බලමු මේකට මොකද වෙන්නෙ කියල​.

      Delete