Thursday, August 18, 2016

හෙල්ල විසි කිරීමේ ලෝක ශූරයාගේ අපූරු පුහුණුකරු

දිනය 2011 සැප්තැම්බර් 15 ය​. ස්ථානය මොසැම්බික් රටේ මපුටෝ නුවර එස්ටාඩියෝ ඩෝ සිම්පෙටෝ හෙවත් සිම්පෙටෝ ක්‍රීඩාංගනය​. සමස්ථ අප්‍රිකානු ක්‍රීඩා උළෙලෙහි (All-Africa Games) පිරිමි හෙල්ලය විසි කිරීමේ තරඟය නිමා වූයේ කෙන්යාවේ ජුලියස් යෙගෝ නම් 22 හැවිරිදි තරුණයකුට ජයග්‍රහණය අත්කර දෙමිනි. මීටර 78.43 ක් දුර හෙල්ලය විසි කළ යෙගෝ වසර 14 ක් පැරණි ජාතික වාර්තාවක් බිඳ හෙළීය​. 2010 දී කෙන්යාවේ අගනුවර නයිරෝබි නුවරදී පැවති අප්‍රිකානු ශූරතාවයේදී තෙවන ස්ථානය දිනා ගත්ත ද යෙගෝ පිළිබඳ ජනමාධ්‍යවල වැඩි අවධානයක් යොමු වූයේ මපුටෝහිදී ළඟා කරගත් මෙම ජයග්‍රහණය ද සමඟය​. මෙය සමස්ථ අප්‍රිකානු ක්‍රීඩා ඉතිහාසයේ කෙන්යාව පිටිය ඉසව්වකදී ලද පළමු රන් පදක්කම විය​.

තරඟය අවසානයේ මාධ්‍යවේදීහු යෙගෝගේ ක්‍රීඩා දිවිය සහ ඔහු මෙතරම් සාර්ථක වීමේ රහස දැන ගැනීම සඳහා ඔහුගේ පුහුණුකරු සොයා පැමිණියහ​. කෙතෙක් සෙවූවද ඔවුනට යෙගෝගේ පුහුණුකරු හමු නොවීය​.

"ඔබේ පුහුණුකරු කවුද​?" ඔවුහු යෙගෝගෙන් විමසා සිටියෝය​.

"යූ ටියුබ් එක තමා මගේ පුහුණුකරු" යෙගෝ ගත් කටටම කීවේය​.
ජුලියස් යෙගෝ 2015 ලෝක ශූරතාවයේදී (සේයා රුව​: Xinhua)

මහා සුවිභේද නිම්නයෙහි (Great Rift Valley) පිහිටි චෙප්ටොනොන් නම් කුඩා ග්‍රාමයෙහි උපන් ජුලියස් යෙගෝ කුඩා කළ පටන් ම යමක් විශ්වාස කළේය​. එනම් හෙල්ලය විසි කිරීම සිය ශරීරය තුල කිඳා බැසගත් හැකියාවක් බව ය​. කුඩා කළ පටන්ම ඔහු එම ඉසව්ව කෙරෙහි උනන්දු වූයේ ය​.

කෙසේ වෙතත් ඔහුට අභියෝග රැසකටම මුහුණ දීමට සිදු විය​. ඔහුගේ දෙමාපියෝ දුප්පත් ගොවීහු වූහ​. අප්‍රිකාවේ බොහෝ දෙමාපියන් මෙන් ම ඔවුන් ගේ ද පරම විශ්වාසය වූයේ අධ්‍යාපනය දියුණුවේ රන් දොරටුව බවය​. එහෙයින් සිය පුත්‍රයා අධ්‍යාපනය පසෙක ලා ක්‍රීඩාවට සිත යොමු කිරීම කෙරෙහි ඔවුහු දැඩි අප්‍රසාදය පළ කළහ​.

එමතුද නොව​, යෙගෝ තෝරාගත් ක්‍රීඩාව​, එනම් හෙල්ලය විසි කිරීම​, එකළ කෙන්යාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් නොවී ය​. යෙගෝට පුහුණුවීමට ස්ථානයක් නොවීය​. පුහුණුකරුවකු ද නොවීය​. සගයකු ද නොවී ය​.

සිය අවශ්‍යතාවය උදෙසා අන්තර්ජාලයේ පිහිට ලබා ගැනීමට ඔහුට අදහසක් පහල වූයේ මෙම අවස්ථාවේ ය​. ලෝ ප්‍රකට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන්ගේ යූ ටියුබ් (Youtube) වීඩියෝ නැරඹීමට ඔහු පුරුදු වූයේ මේ අනුව ය​. ඉන්ටර්නෙට් කැෆේ එකකට යන යෙගෝ එම වීඩියෝ නරඹා ඔවුනගේ තාක්ෂණික උපක්‍රම​, ඔවුන් පුහුණු වන ආකාරය යනාදිය දැක​, ඊළඟ දවසේ ඒ ආකාරයෙන් සිය කටයුතු හැඩගස්වා ගත්තේය​. ඔහු මේ සියල්ල කළේ ස්වෝත්සාහයෙනි.

2010 වසරේ ඔහු මුල් වරට මීටර 75 සීමාව ඉක්මවූ අතර ඉන් පසු නොනැවතීම සිය වාර්තා අලුත් කරමින් පෙරට ඇදුණි. 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඔහු අවසන් තරඟයට තේරී පත් වූ නමුත් එහිදී ලැබුණේ 12 වන ස්ථානයයි.

කෙසේ වෙතත් ඔලිම්පික් අවසන් තරඟයට සුදුසුකම් ලැබීම තමන් ලද විශාල ජයග්‍රහණයක් බව යෙගෝ පවසයි. ඔහුට පළමු කිසිදු කෙන්යානුවකු හෝ කිසිදු අප්‍රිකානුවකු හෝ හෙල්ල විසි කිරීමේ ඔලිම්පික් අවසන් තරඟයකට සුදුසුකම් ලබා නොතිබීම ඊට හේතුව යි.

වසර දෙකකට පසු 2014 ග්ලාස්ගෝ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී මීටර 83.87 ක් දුරට හෙල්ලය​ විසි කරමින් රන් පදක්කම දිනාගත් යෙගෝ එම වසරේදීම මොරොක්කෝවේ පැවති අප්‍රිකානු ශූරතාවයේදී මීටර 84.72 ක් විසි කරමින් රන් පදක්කම දිනුවේය​.

2015 දී ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලිය යෙගෝගේ ස්වර්ණමය අවස්ථාව විය​. බීජිං නුවර පැවති එම තරඟාවලියේදී යෙගෝ සියල්ලන්ම මවිත කරමින් මීටර 92.72 ක දුරක් හෙල්ලය විසි කරමින් අප්‍රිකානු වාර්තාවක් ද සමඟින් ලෝක ශූරයා බවට පත් වූයේය​.

අද වනවිට ජුලියස් යෙගෝ තනිව පුහුණු වන්නෙකු නොවේ. ඔහුට දැන් පුහුණු සගයින් පිරිසක් වෙයි. එමෙන්ම ඔහුගේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ සිය පුත්‍රයා ජාර්විස් මළල ක්‍රීඩකයකු වනු දැකීමයි.

"ඔහු මට වඩා හොඳ ක්‍රීඩකයකු වේවි. ඔහුට නම් පුහුණුකරුවකු නැති වෙන්නේ නැහැ" ජුලියස් යෙගෝ පවසයි.

8 comments:

  1. උනන්දුව තියේන කෙනෙක්ට , සුදුසු ඕනැම දේයක් තමන්ගේ සගයා බවට පත් කරගෙන , ජයග්‍රහනයට එන්න පුලුවන්.. මේ තියේන්නේත් උදාහරනයක්.

    ReplyDelete
  2. නියමයි.......!!!!!!!! මේවා කාටත් හොඳ පාඩම්.....!!!!

    ReplyDelete
    Replies
    1. විසේසයෙන් ලංකාවෙ කෙරුමොන්ට​

      Delete
  3. ජුලියස් යෙගෝ වැන්නකු ලංකාවේ සිටීම යනු තවත් දසදෙනෙකු ඔලිම්පික් යැවීමක් බව නම් ස්ථිරයි. කෙසේ නමුදු මේ නම් තමන් සතු සම්පත් උපරිම ලෙස භාවිතා කරමින් ජයගත් අයෙකුගේ කතාවක්. ස්තුතියි අකුරු කිරීම ගැන.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එකතු කිරීමට​. හැබැයි ජුලියස් යෙගෝ එක්ක එහෙම බොරු කාරයො යන්නේ නෑ.

      Delete