Sunday, May 15, 2016

පළමු ලෝක යුද්ධයේ ආසියානු - පැසිෆික් කලාපීය සටන්

පළමු ලෝක යුද්ධය ඇරඹෙන අවධියෙහි ආසියාවේ හා විශේෂයෙන්ම පැසිෆික් සාගරයෙහි ජර්මන් යටත් ප්‍රදේශ ගණනාවක් විය​. චීනයේ ට්සිංටාඕ ප්‍රදේශය ජර්මනිය සතු වූ වැදගත්ම නාවික මධ්‍යස්ථානයක් විය​. මීට අමතරව ජර්මන් නව ගිනියාව, ජර්මන් මයික්‍රෝනීසියාව (නාවුරු, මාර්ශල් දූපත්, මරියානා දූපත්, කැරොලයින් දූපත්) සහ ජර්මන් සැමෝවාව ද ඊට අයත් විය​.
නිව් ගිනියා දූපත 1914 දී. වම් කොටස නෙදර්ලන්තයට අයත් වූ කොටසය​.

යුද්ධාරම්භයේදී ට්සිංටාඕ හි සිටි ජර්මන් නැගෙනහිර ආසියානු බල ඇණිය වයිස් අද්මිරාල් මැක්සිමිලියන් ෆොන් ස්පී (Maximilian von Spee) විසින් අණ දෙන ලද නෞකා හයකින් යුතු වූ බල ඇණියක් විය​. මෙයින් එම්ඩන් නෞකාව ඉන්දියන් සාගරයේ මෙහෙයුම් සඳහා වෙන් කරන ලද අතර අනෙක් නෞකා සමඟින් ජර්මනිය වෙත ළඟා වීමේ බැරෑරුම් උත්සාහයකට ෆොන් ස්පී මුල පිරුවේය​.

නමුත් තමන්ට වඩා ප්‍රබල නාවික සේනාංකවල තර්ජනය සහ ජර්මනියට ඇති දුර හේතුවෙන් මෙම කාර්යය අන්ත අපහසු එකක් බව ඔහු දැන සිටියේය​. මිත්‍ර පාක්ෂික නෞකාවලට සහ නාවික මධ්‍යස්ථානවලට හැකි පමණ කරදර කිරීම ඔහුගේ බලාපොරොත්තුව වූයේ ය​.

ටික කළක් මරියානා දූපත් හි පගාන් දූපතේ රැඳෙමින් මිත්‍ර පාක්ෂික නැව්වලට පහර දුන් ෆොන් ස්පීගේ බල ඇණිය ඉන්පසු 1914 සැප්තැම්බර් 22 දා හයිතිය දෙසට කඩා වැදී, ප්‍රංශ නැව් දෙකක් ද ගිල්වා හයිති අගනුවර වන පැපිති නගරයට ද දැඩි අලාභහානි කළේය​.

නොවැම් බර් 1 වනදා චිලී රාජ්‍යයේ වෙරළට එපිටින් මුහුදේදී සිදුවූ කොරොනෙල් මුහුදු සටන ෆොන් ස්පීගේ මීළඟ ජයග්‍රහණය විය​. එහිදී බ්‍රිතාන්‍ය නාවික බල ඇණියක් ජර්මානුන් අතින් අන්ත පරාජය විය​. මෙම සටනේදී 1,500 ක පමණ බ්‍රිතාන්‍යයින් පිරිසකගේ ජීවිත අහිමි වූ බැව් කියැවේ.
Maximilian von Spee

මින් ටික දිනකට පසු ජර්මන් නැගෙනහිර ආසියා නෞකා බල ඇණිය අත්ලන්තික් සාගරය වෙත පිවිසි අතර 1914 දෙසැම්බර් 8 වනදා ෆෝක්ලන්ත සටනේදී බ්‍රිතාන්‍යයන් අතින් පරාජයට පත්ව විනාශ මුඛයට පත් වූහ​. වයිස් අද්මිරාල් ෆොන් ස්පී ද සටනින් මියගිය අතර ඔහුගේ නෞකාව වූ ෂාන්හෝර්ස්ට් නෞකාව ගිලාබත් විය​.

එම්ඩන් නැවේ වික්‍රම​

ජර්මන් නැගෙනහිර ආසියානු නෞකා බල ඇණියෙහි වූ එම්ඩන් නෞකාව එයින් ඉවත් කර ඉන්දියන් සාගරයේ ප්‍රහාරක කටයුතු සඳහා යෙදවුණේ 1914 අගෝස්තු 14 වනදාය​. එහි අණ දෙන නිලධාරියා වූයේ කාර්ල් ෆොන් ම්‍යුලර් ය​. මේ වනවිට ද බටහිර ඉන් දියන් සාගරයෙහි ක්‍යෝනිග්ස්බර්ග් ජර්මන් නෞකාව මෙහෙයුම් කටයුතුවල නිරත වූ බැවින් නැගෙනහිර ඉන් දියන් සාගරයෙහි මෙහෙයුම්වල නිරත වීමට ම්‍යුලර් තීරණය කළේය​.

එම්ඩන් නෞකාව ඉන් දියන් සාගරයට කඩා පනින විට ද එය තවමත් ෆොන් ස්පීගේ නැගෙනහිර ආසියානු බල ඇණිය සමඟ සිටිතියි යන්න බ්‍රිතාන්‍යයන් ගේ විශ්වාසය විය​. මේ නිසා මුල් දිනවලදී කල්කටා සහ කොළඹ අතර වෙළෙඳ මාර්ගය ඔස්සේ ගමන් කරන වෙළෙඳ නැව් අල්ලා ගැනීමට සමත් විය​.

බ්‍රිතාන්‍යයන් සහ විශේෂයෙන්ම ඉන්දියානුවන් තුෂ්නිම්භූත කරමින් එම්ඩන් නෞකාව මදුරාසි (දැන් චෙන්නායි) නගරයට පහර දුන්නේ සැප්තැම්බර් 22 රාත්‍රියේය​. වරායේ වූ තෙල් ටැංකි දෙකකට ගිනි තබා තවත් තුනකට අලාභ සිදු කළ එම්ඩන් නෞකාව වෙළෙඳ නැවකට ද පහර දුන්නේය​. මදුරාසි වැසියන් මෙම ප්‍රහාරයෙන් භීතියට පත් වූ අතර ඔවුන් සමහරෙක් ජර්මනිය ඉන්දියාව ආක්‍රමණය කරන බව සිතුවේ යයි සඳහන් ය​.

ඔක්තෝබර 20 වනදා පමණ වනතුරු ඉන් දියන් සාගරයේ සැරි සරමින් මිත්‍ර පාක්ෂික වෙළෙඳ නැව් අල්ලා ගනිමින් මහත් හිසරදයක් වූ එම්ඩන් නැව ඉනික්බිති පීනෑං වරායට පහර දීම සඳහා පිටත් විය​. ඔක්තෝබර් 28 හිමිදිරි පාන් දර පීනෑං වෙත කඩා වැදුණ එම්ඩන් නෞකාව රුසියානු නැවක් සහ ප්‍රංශ නැවක් ගිලාබත් කළේය​.
එම්ඩන් නැවේ අවසාන සටනින් පසු (පින්තූරය ඇලන් ග්‍රීන්)
එම්ඩන් නැවෙහි වික්‍රමය නිමා වූයේ නොවැම්බර් 9 වනදා කොකෝස් දූපතේදී ය​. ඒ සිඩ්නි නම් ඔස්ට්‍රේලියානු නැවක් විසින් පහර දී පරාජය කිරීමත් සමඟිනි. ඇඩි ලෙස ප්‍රහාරයට ලක් වූ එම්ඩන් නැව ගලවා ගැනීම සඳහා ම්‍යුලර් විසින් එය උතුරු කීලිංග් දූපත් වෙරළ වෙත ගෙන යන ලදී. එහිදී නැවෙහි වූ ජීවතුන් අතර සිටි සෙබලුන් යුධ සිරකරුවන් බවට පත් විය​.

පැසිෆික් සාගරයේ ජර්මන් විජිත​

බොහොමයක් පැසිෆික් සාගරයේ ජර්මන් විජිත සටනක් නැතිවම යටත් වූයේය​. 1914 අගෝස්තු 29-30 අතර දහසකින් යුතු නවසීලන්ත බල ඇණියක් සැමෝවා දූපතෙහි ගොඩ බැස්ස අතර එහි වූ ජර්මන්නු සටනකින් තොරවම යටත් වූහ​.

මේ අතර සැප්තැම්බරයේදී ඔස්ට්‍රේලියානු හමුදා ජර්මන් නව ගිනියාවට ගොඩ බැස්සෝය​. ජර්මන් හමුදා බිටා පකා සහ ටෝමා හිදී විරුද්ධතා දැක්වූ නමුත් ඉනික්බිතිව වැඩි විරෝධතා නොදක්වා යටත් වූහ​. හර්මන් ඩෙට්ස්නර් යටතේ වූ කුඩා ජර්මන් බල ඇණියක් පමණක් නව ගිනියාවේ ඉතිරි වූහ​. ඔවුන් යටත් වූයේ යුද්ධය අවසන් වූ පසුවය​.

ට්සිංටාඕ

ජර්මනියට අයත් ව තිබූ ට්සිංටාඕ බලකොටුව ජපනුන් විසින් වටලනු ලැබුණේ 1914 ඔක්තෝබර් 31 වනදාය​. නොවැම්බර් 6 වනදා ජපන් හමුදා බලකොටුව දෙසට ප්‍රහාරයක් දියත් කළ අතර ඉන් පසුදින ජර්මන් හමුදා යටත් වූහ​.

මේ අතර පැසිෆික් සාගරයේ බටහිර කොටසෙහි වූ ජර්මන් මයික්‍රොනීසියාවේ දූපත් ද ජපනුන් විසින් අල්ලාගන්නා ලදී. මේ අනුව පැසිෆික් සාගර ප්‍රදේශවල යුද්ධය බොහෝ කොටම 1914 වසර තුළදීම නිම විය​.

කළින් ලියූ ලිපි පෙළ​

* පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

* පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

* පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද

* පළමු ලෝක යුද්ධයේ ආරම්භක අවස්ථා

* පළමු ලෝක යුද්ධය: තුර්කිය යුද්ධයට එක් වෙයි

2 comments:

  1. කලින් පොස්ට් එකයි මේකයි දෙකම එක විට කියෙව්වා.ජර්මානුවන් ඇයි දන්නේ නැහැ ලංකාවට ලොකු අවධානයක් නොදැක්වුයේ.

    ReplyDelete
    Replies
    1. ලංකාව හරි වටින නිසා වෙන්න ඇති
      නෑ ඉතින් එයාලට එහෙම කරන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ නෙ

      Delete