Sunday, February 24, 2013

ඉක්වදෝරයේ රෆායල් කොරයා ලතින් ඇමරිකාවේ මීළඟ වාමාංශික නියමුවාද?


ඉක්වදෝරයේ ජනාධිපති රෆායල් කොරයා රාජ්‍ය නායකයින් අතර තරුණයෙකි. ඔහුගේ පනස්වන උපන්දිනය යෙදී ඇත්තේ මෙම වසරේ අප්‍රේල් 6 වනදාය. එමෙන්ම ඔහු උගතෙකි. ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ඔහු ලබාගෙන ඇත්තේ ඇමරිකාවේ ඉහලම සරසවියක් වන ඉලිනෝයි සරසවිය-අර්බානා ෂැම්පේන් සරසවියෙනි. 2007 සිට ඉක්වදෝරයේ ජනාධිපති ලෙස කටයුතු කරන ඔහු එරටට අවශ්‍ය වූ දේශපාලන ස්ථාවරත්වය අත් කරදී ඇත. 2012 සැප්තැම්බරයේදී ඔහුගේ ජනප්‍රියත්වය සියයට 80 ක් විය. ජනාධිපති පත් වී වසර පහක් ගතවූ පසු එතරම් ජනප්‍රියත්වයක් හිමිකරගත් නායකයකු ලතින් ඇමරිකාවේ තබා සමස්ථ ලෝකයේම වුවද සිටීදැයි සැක සහිතය.



ඔටවාලෝ ප්‍රදේශයේදී ජනතාව හමුවූ ජනපති රෆායල් කොරයා (2011) Wikimedia Commons.



මෙවන් තත්ත්වයක් යටතේ 2013 ඉක්වදෝර් මහා මැතිවරණය පිළිබඳ බොහෝ දෙනා තුල සැකයක් නොවීය. පෙබරවාරි 17 වනදා පැවති මැතිවරණයේදී එරට ව්‍යවස්ථාදායකය සඳහා ඡන්දය මෙන්ම ජනාධිපතිවරණයේ පළමු වටයද පවත්වන ලදී. ව්‍යවස්ථාදායකයේ ආසන 137 න් 92 ක්ම දිනා ගත්තේ කොරයාගේ PAIS සන්ධානයයි. (Alianza PAIS හෙවත් Alianza Patria Altiva I Soberana යනු ප්‍රෞඪ හා ස්වෛරී පීතෘභූමි සන්ධානය යන්නයි. ස්පාඤ්ඤ භාෂාවෙන් pais යන වදනේ තේරුම 'රට' යන්නයි). ජනාධිපතිවරණයේ දෙවන වටයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නොවීය. කොරයා සියයට 56 ක් ඡන්ද ලබා ජයග්‍රහණය කල අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට ලැබුනේ සියයට 23 ක ඡන්ද ප්‍රමාණයක් පමණි. ඔහු මැතිවරණය අවසාන වූ විගස සිය පරාජය භාර ගත්තේය.

රෆායල් කොරයාගේ ජයග්‍රහණය පිළිබඳව පුවත කෙරෙහි එතරම් අවධානයක් යොමු නොවූයේ ඒ සමඟම සිදුවූ තවත් වැදගත් සිදුවීමකිනි. එනම් මාස දෙකක් තිස්සේ කියුබාවේ ප්‍රතිකාර ලැබූ හියුගෝ චාවේස් පෙබරවාරි 18 වනදා යළි වෙනෙසුවේලාවට ළඟා වීමයි. පිළිකාවෙන් පීඩා විඳින චාවේස්ගේ සෞඛ්‍යය තත්ත්වය අයහපත් වීමත් සමඟ වෙනෙසුවේලාවේ පමණක් නොව චාවේස් විසින් ගොඩ නංවන ලද වාමාංශික එකමුතුවේ අනාගතයද අවිනිශ්චිත විය. ලතින් ඇමරිකාව තුල චාවේස්ගේ අඩුව පිරවීමට ඉදිරිපත් වූයේ ඉක්වදෝරයේ රෆායල් කොරයාය.

කාලයක් තිස්සේ ඉක්වදෝරයේ පැවති දක්ෂිනාංශික ආණ්ඩු පිළිබඳව කලකිරී සිටි ජනතාව 2006 ජනාධිපතිවරණයේදී වාමාංශික නායකයකු වූ රෆායල් කොරයාට ජයග්‍රහණය ලබා දුන්හ. 2007 ජනවාරියේ වැඩ භාරගත් හෙතෙම 2008 දී ඉක්වදෝරයේ විදේශ ණය ගෙවීම ප්‍රතික්ෂේප කළේය. 2009 ජනාධිපතිවරණයෙන් ද ඔහු පහසු ජයක් ලැබූ නමුත් මෙවර 2013 මැතිවරණයේදී ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය පෙර දෙවතාවටම වඩා වැඩිය.

දුප්පත්කම අඩු කිරීම, ඉඩම් ප්‍රතිසංස්කරණ ආදිය ඔහුගේ දේශීය ප්‍රතිපත්තිවල ප්‍රධාන අංග වෙති. වගා නොකරන ඉඩම් අයිතිකරුවන්ගෙන් පවරාගෙන ඉඩම් නැති ගොවීන්ට ලබාදීම ඔහුගේ ඉඩම් ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණයි. මේ අතරම ඉක්වදෝරයේ ස්වාභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම ඔහුගේ බලාපොරොත්තුවකි. ඛනිජතෙල් සහ ආකාර කර්මාන්ත දියුණු කිරීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු වී ඇත. "අපට රත්‍රන් මල්ලක් මත සිටින හිඟන්නන් විය නොහැක" යනුවෙන් ඔහු වරක් සඳහන් කළේය. නමුත් කාර්මික සංවර්ධනයට අවශ්‍ය විදෙස් ආයෝජන එරටට ළඟා වීම පසුගිය වසරවලදී අඩු වී තිබීම ජනපති කොරයා මුහුණදෙන ප්‍රධානතම බාධකයකි. එම බාධකයෙන් එතෙර වීමට ඔහු අපේක්ෂා කරන්නේ චීනය වැනි රටවල් සමඟ මිත්‍රත්වය වර්ධනය කරගැනීමෙනි.

ජනමාධ්‍ය පාලනයේදී රෆායල් කොරයා ඔහුගේ මිතුරු හියුගෝ චාවේස්ට වඩා දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කරයි. රජයට විරුද්ධ මාධ්‍ය වෙනෙසුවේලාවේ සාමාන්‍යයෙන් නිදහසේ ක්‍රියාත්මක වන නමුත් ඉක්වදෝරයේ නම් ඊට එතරම් ඉඩ හසර නොලැබේ. අවස්ථා කිහිපයකදීම විරුද්ධවාදී මාධ්‍යවේදීන්ට එරෙහිව නඩුහබවල පැටලුන රෆායල් කොරයා ඒවායින් ජයග්‍රහණද ලබා ඇත.



වමේ සිට පැරගුවේ, බොලිවියාව, බ්‍රසීලය, ඉක්වදෝරය සහ වෙනෙසුවේලා රටවල ජනාධිපතිවරු. (2009 ජනවාරි), Fabio Rodrigues Pozzebom/ABr (Agencia Brazil) Wikimedia Commons.



සිය විදෙස් ප්‍රතිපත්තියේදී රෆායල් කොරයා ඇමරිකන් විරෝධී වාමාංශික නායකයෙකි. 2012 දී විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ්ට දේශපාලන රැකවරණ ලබාදීමට එකඟ වීමත් 2009 දී එතෙක් ඇමරිකානුවන් භාවිතා කල ගුවන් හමුදා කඳවුරක් සඳහා වූ බද්ද දීර්ඝ නොකිරීමත් ඊට උදාහරණ දෙකකි. චාවේස් විසින් නිර්මාණය කල අපේ ඇමරිකානු ජනතාවන් සඳහා වන බොලිවාරියානු සන්ධානය (Alianza Bolivariana para los Pueblos de Nuestra América-ALBA) නම් ජාත්‍යන්තර සංවිධානයේ ක්‍රියාකාරී නායකයෙකි. 2009 ජුනි මාසයේ ඉක්වදෝරය මෙම සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට පෙර එහි වූයේ සාමාජික රටවල් 4 ක් පමණි. දැනට සමස්ථ සාමාජිකත්වය 8 කි. මේ අතර වෙනත් ප්‍රාදේශීය අන්තර්ජාතික සංවිධාන කිහිපයකම ඉක්වදෝරය ක්‍රියාකාරීව කටයුතු කරයි.

වෙනෙසුවේලාවේ ජනාධිපත් චාවේස් රෆායල් කොරයා වෙත සුබ පැතුම් පණිවිඩයක් එව්වේය. එමගින්, ALBA සංවිධානයටත් ඇමරිකානු රටවල බොලිවාරියානු සහ සමාජවාදී ව්‍යාපාරයනටත් රෆායල් කොරයාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වීය.

12 comments:

  1. මෙහෙම කෙනෙක් මතු වෙන එක ලෝක බල තුලනයට හොඳයි මම හිතන්නෙ.. චාවේස්ගෙන් පස්සෙ ඇමෙරිකාවට තර්ජනයක් වෙන්න ඔහුට පුළුවන් වෙයි එහෙනම්..

    මාධ්‍ය මර්ධණය නොකර ගමන යන්න පුළුවන්නම් වැඩිය හොඳයි.. ඒත් එහෙම කරන්න ගියාම අරුන් පිස්සු නටනවා රටේ ඉන්න හොරිකඩ මාධ්‍ය කාරයො අල්ලගන..

    බහුතරය ඉතින් තියන ජනප්‍රියත්වය නැති කරගන්නවනෙ බලයට ආවට පස්සෙ.

    "අපට රත්‍රන් මල්ලක් මත සිටින හිඟන්නන් විය නොහැක"

    ලඟදි ලිපියක් කියෙව්වා නැනෝ තාක්ෂණය ගැන.. ඒකෙදි අපේ මිනිරන් සම්පත ගැනත් මේ උදාහරණෙමයි දීලා තිබුනෙ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එකතු කිරීමට.
      මට අමුතුවෙන් එකතු කරන්නට කිසිවක් නැත.

      ජුලියන් අසාන්ජ්ට දේශපාලන රැකවරණය දෙන්නට තීරණය කිරීම පිළිබඳව මට කියන්න අමතක වුනා. ඔන්න ඒකත් එකතු කළා.

      Delete
    2. මාධ්‍ය මර්ධනය කරනවා නම් කොහේ හෝ කොස්සක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ..

      අනික ඇමරිකාවට හෝ චීනය පැත්තට හැරිලා අනික් පැත්තට පස්ස පෙන්වන රාජ්‍ය නායකයෙක් හොඳ රාජ්‍ය නායකයෙක් යයි මම හිතන්නේ නෑ.. දෙකම සමබර කරගෙන අපිට ගන්ඩ තියෙන ප්‍රයෝජන අරගෙන යන එක තමයි කරන්ඩ ඕනෙ..

      Delete
    3. කතාව නම් ඇත්ත. නමුත් ඔතන මෙහෙම දෙයකුත් වෙලා තියෙනවා. මෙච්චරක් කල් ඉක්වදෝරය, වෙනෙසුවෙලාව, බොලීවියාව වගේ රටවල් පාලනය කරලා තියෙන්නේ ඇමරිකානු හිතවාදීන්. ඔවුන් රටේ බහුතර දුප්පත් ජනතාවට කරපු ඉටි ගෙඩියක් නැහැ. නමුත් ඇමරිකාවට එරෙහිව ක්‍රියා කරන ආණ්ඩුවක් බලයට එනවට ඇමරිකාව කැමතිත් නැහැ. ඒ නිසා තමයි 2002 චාවෙස්ව බලයෙන් නෙරපන්න උත්සාහ කලේ. ඒ වෙලාවේ වෙනෙසුවෙලාවේ ඔහුට විරුද්ධ මාධ්‍ය ලොකු වැඩ කොටසක් කළා.

      මේ රටවල පෞද්ගලික මාධ්‍ය පාලනය කරන්නේ ලොකු ධනවතුන්. ඒවායෙන් නිදහස් මාධ්‍යයකින් කෙරෙන කාර්යය නෙවෙයි සිද්ධ වෙන්නේ. පොහොසතාට අවශ්‍ය දේ තමයි වෙන්නේ. මේ පොහොසත්තු තමයි මෙතෙක් කල් ඒ ඒ රටවල් පාලනය කරපු ඇමරිකන් හිතවාදී බලවත්තු. ඒකයි මාධ්‍ය එක්ක ඝට්ටනයට හේතුව. චාවේස්ට විරුද්ධව මාධ්‍ය කටයුතු කරපු ආකාරය ගැන අමරිකානුවන්ම ලියපු පොත්වල පවා දකින්න තියෙනවා. New York ජනපදයේ, Long Island ප්‍රදේශයේ Newsday පත්තරේ මාධ්‍යවේදියකු වුන Bart Jones ලියපු Hugo! කියන පොත ඊට උදාහරණයක්.

      ගොඩක් වෙලාවට මේ වගේ ආණ්ඩු බලයට ආවම බටහිර රටවල් කරන දෙයක් තමයි ඒ රටවල ආයෝජනය කරන එකෙන් වැලකී සිටීම. මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ ඇමරිකාව ගහන ගහන පදයට නටන්නේ නැති නිසා.

      රෆායල් කොරයා බලයට එන්න කලින් ඉක්වදෝරයේ හිටියේ බොහොම ඇමරිකන් හිතවාදී ආණ්ඩුවක්. ඔවුන් එරටේ මුදල් ඒකකය පවා අයින් කරලා ඇමරිකානු ඩොලර් ඉක්වදෝරයේ නෛතික මුදල් ඒකකය බවට පත් කළා. ඒ වගේ පසුබිමක තමයි ජනතාව රෆායල් කොරයා පත් කලේ. ඔහු අතිශයින් ජනප්‍රිය වෙලා තියෙන්නේ දුප්පත් ජනතාව වෙනුවෙන් වෙන අය නොකරපු යමක් කරන නිසා. වෙනෙසුවෙලාවේ චාවේස්, බොලීවියාවේ මොරාලෙස් වගේ අයත් බොහෝ දුරට සිය ජනප්‍රියත්වය රැක ගෙන තියෙන්නේ ඒ කාරණය නිසා.

      ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ අය කරන හැම දේම නිවැරදියි කියලා. ඒක වෙනම කතාවක්. නමුත් සමහර විට එයාලට විකල්පයක් නැති වෙන අවස්ථාත් තියෙනවා.

      Delete
    4. විස්තරයට ස්තුතියි!

      Delete
  2. ඔන්න දැනුයි කියෙව්වේ. මේවා ඉතින් මට නම් අලුත් තොරතුරු.. ස්තුතියි ලිපියට.!

    ReplyDelete
  3. පට්ට... :)

    මෙයා නේද ජූලියන් අසාන්ජේ ට ඇසයිලම් (Asylum) ස්ටේටස් එක දුන්නේ

    ReplyDelete
  4. හ්ම්... එල එල...චාවේස්ගෙන් පසුව කොරයා ද මොරලස්ද මදුරෝද, ඩැනිමෙල් ඕර්ටෙගාද මීලගට ලතින් ඇමෙරිතාවේ අනුහස් සහිත නායකයා වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලේ හිටපු ඔර්ටේගා නෙවෙයි දැන් ඉන්නේ. අනිත් අය අතුරිනුත් වැඩි පිළිගැනීමක් තියෙන්නේ කොරයාට බවයි මම හිතන්නේ. මදුරෝ කොහොම වෙයිද දන්නේ නැහැ. උන් අතරේ තිබ්බ සමගිය නැතිවෙලා යයිද දන්නේ නැහැ. :-)

      මේ අල්ලපනල්ලේ, තව කෙනෙක් කරලියට එනවා. චිලී රටේ හිටපු ජනාධිපතිනි මිෂෙල් බැචෙලේ ඊළඟ ජනාධිපතිවරණය දිනයි කියලයි ගොඩක් අය හිතන්නේ.

      Delete