Sunday, February 24, 2013

දෙවන ලෝක යුද්ධයේදී ජපනාට එරෙහිව කල පළමු ප්‍රහාරක මෙහෙයුම-ග්වාඩල්කනාල් යුධ ව්‍යාපාරය


1941 දෙසැම්බර් 7 වනදා පර්ල් හාබර් වෙත එල්ල කල ප්‍රහාරයත් සමඟ ජපන් අධිරාජ්‍යය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ විය. (1937 සිට ජපානය චීනය සමඟ යුද්ධයක පැටලී සිටියාය). කෙටි කලකින් ජපන් හමුදා නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේත්, දකුණු පැසිෆික් කලාපයේත් විශාල පෙදෙසක අණසක පැතිරූහ. පිළිවෙලින් 1942 මැයි සහ ජූනි මාසවල සිදුවූ කොරල් මුහුදේ සටන සහ මිඩ්වේ සටන විසින් පැසිෆික් සාගරයේ ජපන් ආක්‍රමණ සීමා කරන ලදී. මෙයින් මිඩ්වේ සටන ජපානය දෙවන ලෝක යුද්ධයේදී ලැබූ පළමු දරුණු පරාජය විය. මේ අතර 1942 අප්‍රේල් මාසයේ ලංකාවට බෝම්බ හෙලීම අසාර්ථක වීමෙන් පසු ඉන්දියානු සාගරය කරා වූ ජපන් ආක්‍රමණයක අවදානම බොහෝ දුරට පහ විය.

1942 මැයි මාසයේ කොරල් මුහුදේ සටනේදී කිසිදු පාර්ශවයකට පැහැදිලි ජයග්‍රහණයක් නොලැබුනද, එයින් පසුව දකුණු ශාන්තිකර (පැසිෆික්) සාගර ප්‍රදේශවල ජපන් නාවික හමුදා ක්‍රියාකාරකම් පාලනය විය. කෙසේ වුවද සොලමන් දූපත් ප්‍රදේශවල ජපන් හමුදා රැඳී සිටීම ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගමනාගමනයට තර්ජනයක් විය. මේ හේතුව නිසා, දකුණු සොලමන් දූපත්වල පිහිටි ග්වාඩල්කනාල් සහ අවශේෂ දූපත් කිහිපයක් අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කළාය.

ඇමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට් තීරණය කොට තිබුනේ මුලින්ම ජර්මනිය පරාජය කොට ඉනික්බිති ජපානය පරාජය කල යුතු බවයි. එහෙයින්, ඇමරිකාවේ සියලු හමුදා අංශවල සහය මෙම ප්‍රහාරයට ලැබුනේ නැත. නාවික හමුදාව සහ මැරීන් භටයෝ මෙම ප්‍රහාරයට සම්බන්ධ වූහ. ඔවුනට ඕස්ට්‍රේලියානු, නවසීලන්ත සහ බ්‍රිතාන්‍ය සහය ලැබිණ.

ප්‍රහාරය ආරම්භ වූයේ 1942 අගෝස්තු 7 වනදා හිමිදිරි පාන්දරය. ප්‍රහාරක බලකාය කොටස් දෙකකට බෙදී, එක් කණ්ඩායමක් ග්වාඩල්කනාල් දූපතටද, අනෙක් කණ්ඩායම ටුලාගි ඇතුළු කුඩා දූපත් කිහිපයකටද ගොඩබස්වන ලදී. ටුලාගි දූපතේ සිටි කුඩා ජපන් සේනාංකය ප්‍රබල සටනකට පසු අගෝස්තු 8 වනවිට යටත් විය. ග්වාඩල්කනාල් දූපතේදී මුලින්ම එතරම් දැඩි ප්‍රතිරෝධයක් එල්ල නොවූ අතර, ඇමරිකානු මැරීන් භටයන් විසින් පසුව හෙන්ඩර්සන් ගුවන් තොටුපල ලෙස හඳුන්වන ලද ස්ථානය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අල්ලා ගන්නා ලදී.



ග්වාඩල්කනාල් වෙත ගොඩබැසීම, 1942 අගෝස්තු 7. Guadalcanal Landings, Aug. 7, 1942. Wikimedia Commons.



ප්‍රහාරය ආරම්භයේදී දූපතෙහි විශාල ජපන් හමුදා සේනාංකයක් නොවූ නමුත් ජපානය ග්වාඩල්කනාල් අතහැර දැමීමට සූදානම් නොවීය. මේ හේතුවෙන් වහ වහා සෙබළුන් ප්‍රවාහනය කිරීමට සිදු විය. සපයාගත හැකි වූ සියලු යාත්‍රා අවශ්‍ය පරිදි මේ සඳහා යොදා ගැනිණ. කෙසේ වුවද, හැකි පමණ සෙබළුන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීමේදී, ඔවුනට ඇති තරම් බර ආයුධ සපයා දිය හැකි වූයේ නැත.

ඇමරිකානු හමුදාවලටද ග්වාඩල්කනාල් සටන් බිම කටුක අත්දැකීමක් විය. ඔවුනට සතුරු ප්‍රහාරවලට අමතරව අතීසාර වසංගතයකින්ද පීඩා විඳීමට සිදු විය. සෙබළුන්ට සටන් කිරීමට වූයේ, ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග සහිත දිවයිනකය. කෙසේ වුවද, භූමියේ වූ මෙම තත්ත්වය ජපන් හමුදාවලටද එලෙසම බාධක රැසක් එල්ල කළේය. ඇමරිකන් හමුදා අල්ලාගත් ප්‍රදේශවලින් ඔවුන් පලවා හරිනු පිණිස එම ප්‍රදේශවලට හමුදා ප්‍රහාර එල්ල කල යුතු වූයේ ගොඩබිමිනි. ඒ සඳහා, ජපනුන්ට ගමන් කරන්නට සිදු වූයේ කටුක භූමියක් හරහාය. ඇමරිකන් භටයන්ටද ඉදිරියට යාමට එක් බාධකයක් වූයේ මේ භූමියේ ස්වභාවයයි. තවත් ගැටලුවක් වූයේ ජපන් ස්නයිපර්කරුවන්ගේ ප්‍රහාරයන්ය.

ග්වාඩල්කනාල් අවට මුහුදේ සහ ඊට ඉහල අහසේ නාවික සහ ගුවන් සටන් නිරන්තරයෙන්ම සිදු විය. නොවැම්බරයේදී සිදුවූ නාවික ගැටුම මින් ප්‍රධාන වේ. මෙහිදී, ජපන් හමුදා සහ සැපයුම් රැගත් නෞකා කණ්ඩායමකට ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වූ අතර සෙබළුන් සහ සැපයුම් විශාල ප්‍රමාණයකට ග්වාඩල්කනාල් දූපතට ළඟා විය හැකි නොවීය. මෙය ග්වාඩල්කනාල් සටනෙහි වැදගත් සන්ධිස්ථානයක් විය. මේ අතර නොවැම්බර් අවසන් භාගයේ සහ දෙසැම්බර් මුල් භාගයේ තවත් අවස්ථා කිහිපයකදී ජපන් හමුදාවලට අවශ්‍ය සැපයුම් ග්වාඩල්කනාල් වෙත නැව් මඟින් යැවීමට ගත් උත්සාහයන් කිහිපයක්ම ව්‍යර්ථ විය. මේ අනුව සටන දිගටම ගෙනයාම අසීරු බව දුටු ජපන් නාවික හමුදාව දූපත අතහැරීමට යෝජනා කළේය. 1942 අවසානයේ මෙම යෝජනාවට අනුමැතිය ලැබිණ. 1943 ජනවාරියේ හමුදා ඉවත් කරගැනීම ඇරඹුන අතර, පෙබරවාරි 9 වනවිට අවසන් ජපන් සේනාංක ග්වාඩල්කනාල් හැර ගියහ.

ග්වාඩල්කනාල් සටන් ව්‍යාපාරය දෙපක්ෂයටම ඉතා වැදගත් විය. මෙහිදී ජපන් හමුදාවලට මුහුණ දීමට සිදු වූයේ සංඛ්‍යාවෙන් විශාල ඇමරිකානු හමුදාවකටය. නමුත් ජපන් සෙබළුන් සංඛ්‍යාත්මකව අඩු වීමට තවත් හේතුවක් වූයේ, ජපන් හමුදාවලට අවශ්‍ය තරම් අතිරේක භටයන් ලබා ගැනීමට නොහැකි වීමයි. ඊට මූලික හේතුව වූයේ ඇමරිකානු ප්‍රහාරයන්ය.

ග්වාඩල්කනාල් සටන අවසන් වන විට ස්ටාලින්ග්‍රාඩ් සටන අවසාන වී ගතව තිබුනේ සතියකි. ජර්මන් යුධ ව්‍යාපාරය පිළිබඳ ස්ටාලින්ග්‍රාඩ් අනාවැකියක් වූවා සේම, ජපන් යුද්ධ ව්‍යාපාරය පිළිබඳ ග්වාඩල්කනාල් පැහැදිලි අනාවැකියක් ගෙනහැර දැක්වීය. තමන්ට වඩා බෙහෙවින් වැඩි කාර්මික ශක්තියක් තිබුණු ඇමරිකාව සමග දීර්ඝ කාලීන යුද්ධයක අවසානය තමාගේ පරාජයෙන් කෙළවර වන බව ඇතැම් ජපනුන් ග්වාඩල්කනාල්වලදී තේරුම් ගන්නට ඇත.

12 comments:

  1. මේක මට අළුත්ම කතාවක්.. මේ දූපත කොහෙද හරියටම තියෙන්නෙ ? ලෝක සිතියමක කෑල්ලක් එක්ක පෙන්නන්න පුළුවන් වෙයිද ?

    මේ නම දැක්කම මට මතක් වුනේ නන්දිකඩාල්.. :-)

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මට සොලමන් දූපත් තියෙන මැප් එකක් දාන්න බැරි වුනා නේ. මීට පස්සේ මම ඒ වැඩේ කරන්නම් අමතක නොකර. විකිපීඩියා එකේ සොලමන් දූපත් ගැන බලන්න. සිතියම් කීපයක්ම තියෙනවා.

      http://en.wikipedia.org/wiki/Solomon_Islands

      Delete
  2. මේ විස්තර ටික හරිම වටිනවා...
    ජයවේවා!!!!!

    ReplyDelete
  3. වෙනදා සේම දන්නා සිද්ධියක නොදන්නා කරුණු වලින් අපිව දැනුවත් කිරිම පිළිබඳව ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට ඇවිත් අප දිරිමත් කළාට බොහොම පින්!

      Delete
  4. මේ තොරතුරු තවත් සවිස්තරව කියවියහැකි සබැඳි ඇත්නම් දක්වන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පුළුවනි.

      United States Army Center of Military History වෙබ් අඩවියේ මේ පිටු

      1. http://www.history.army.mil/brochures/72-8/72-8.htm

      2. http://www.history.army.mil/books/wwii/GuadC/GC-fm.htm

      සෙබලෙකුගේ පෞද්ගලික සටහන් බලන්න... Guadalcanal Journal

      http://guadalcanaljournal.com/

      මීට අමතරව යූ ටියුබ් එකේ හොඳ වීඩියෝ කීපයක්ම තිබුණා.

      Delete
    2. බොහොම ස්තුතියි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  5. පර්ල් හාබර් වෙත එල්ල කල ප්‍රහාරය පත්තරේක ලිපියක් තිබුන වගේ මතකයි. අද්මිරාල් නගුමෝ ද ඒකට නායකත්වය දුන්නේ..?

    ReplyDelete
    Replies
    1. අද්මිරාල් චුඉචි නගුමෝ තමයි....එයාම තමයි කොළඹට බෝම්බ දාන්න ආපු සේනාංකයේ ලොක්කා වුනෙත්.

      Delete
  6. ග්වන්ඩර්කනාල් දුපත් ආශ්‍රිත සටනේදී ඇමරිකාව පත්වූ දුෂ්කර බව ඔවුන් ඔකිනාවා හිදී ද නොඅඩුව ලැබූ අතර ඔවුන් ජපාන බන්සායි සටන් කරුවන් සහ පොල් ගස් මත සිට වෙඩි තබනා ස්නයිපර්කරුවන් හමුවේ වඩා අසරණ වුවා. ජපනුන් ඇමරිකානුවන් කුඩා බිම් කඩවල් මත කොටු කර පහර දෙන්නටද උගුල් අටවා පහර දෙන්නටද මෙන්ම භුමියේ පිහිටීම මත වාසි ගන්නටද බොහෝ කොටම පුරුදු වූ අතර ඇතැම් අමරිකානුන් මානසික ආතතියට ලක්වීම මගින් සිහි විකල් වීම සහ මර උගුල් නිසා සහ සැපයුම් මද නිසා රෝගී වීමද ඇමරිකානු සටන කෙරේ වැඩි බලපෑමක් එල්ල කළා. ප්‍රධාන දුපත සමගින් අවශේෂ දූපත් ඉතා කුඩා වුවත් සටන දිගටම ඇදගෙන යාමට සිද්ධ වුයේ උක්ත කරුණු මතයි.

    හොඳ සටහනක් චාමර. ඔතන හොඳ නාවික සටන් කීපයක්ම සිද්ධ වුනා කියල මට මතකයි.

    ReplyDelete